ගුවන් හමුදා කෞතුකාගාරය | Sri Lanka Air Force Museum



කෞතුකාගාරයක් හදලා තියෙන්නෙ පැරණි මතකයන් අනාගත පරපුරට දැකබලා ගන්න, අතීතය ගෙවුනෙ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න. කෞතුකාගාරයක් කියපු ගමන් අපේ මතකයට එන්නෙ පැරණි භාණ්ඩ එකතු කරපු පුරාණ පෙනුමක් තියෙන ගොඩනැගිලි. නමුත් සොඳුරු උද්‍යානයක සිරිගත් කෞතුකාගාරයක් අපේ රටේ තියෙනවා. ඒ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය. නිවාඩු පාඩුවෙ ඇවිත් ගුවන් හමුදාවේ පැරණි ශ්‍රී විභුතිය විඳලා, අපේ ගුවන් හමුදාවෙ දක්ෂකම් බලලා, ගුවන්යානා තාක්ෂණය, ඉගෙන ගෙන, පරිසරයෙ අසිරිය විඳලා, පවුලෙ අයත් එක්ක මුළු දවසම විනෝදයෙන් ගත කරන්න රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයෙ අවස්ථාව තියෙනවා.සම්ප්‍රදායික කෞතුකාගාරයක සීමා මායිම් වලින් මිදිලා විනෝදය, අධ්‍යාපනය, ඉතිහාසය, පරිසරය මේ සියල්ලක්ම අත් විඳින්න පුළුවන් නිදහස් විවෘත කෞතුකාගාරයක් විදියට මේ ස්ථානය සකස් කරලා තියෙනවා.

1951 මාර්තු 02 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස ඇරඹි ගුවන් හමුදාව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්විය. දශක තුනක ත්‍රස්තවාදය මර්ධනය කිරීමෙන් ලොව ගුවන් හමුදා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් ගුවන් හමුදාව තම අභිමානය හා පෞඩත්වය මෙරට ජනතාවට දැක බලා ගැනීමේ අරමුනින් 2009 නොවැම්බර් මස 05 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුර තුල දී මෙම කෞතුකාගාරය ඉදි කොට විවෘත කර ඇත. 

මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඉතා රමණීය භූමියකය. රත්මලාන වැනි කර්මාන්ත ශාලා වලින් ගහන කටුක පරිසරයක මෙවන් සොඳුරු උද්‍යානයක් තිබේ යයි විශ්වාස කිරීම පවා අපහසුය. මේ මුළු භූමියම ඉතා දුර්ලභ ශාක වර්ග වගා කර ඇත. 

පිවිසුම

රත්මලාන ගුවන්හමුදා කඳවුරට පිවිසෙන දොරටුවෙන් ඇතුළු වූ විට කෞතුකාගාරයට ඇතුළු විය හැකිය. ප්‍රධාන දොරටුව අසල වාහන නවතා කෞතුකාගාර පිවිසුම් මග දිගේ පැමිණිය යුතුය. ප්‍රවේශ පත් නිකුත් කරන ස්ථානයෙන් ප්‍රවේශ පත් ලබාගැනීමෙන් පසුව කෞතුකාගාරය තුලට ඇතුළු විය හැකිය.

කෞතුකාගාර උද්‍යානය

ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයෙන් පසු මනරම් ලෙස සකස් කරන ලද කෞතුකාගාර උද්‍යානයට ඇතුළු විය හැකිය. සුන්දර මල් වර්ග හා ශාක වර්ග වවා අලංකාර කර ඇති මෙහි විවිධ ස්ථානවල ගුවන් හමුදාව භාවිතා කල පැරණි ගුවන් යානා ස්ථාන ගත කර ඇත. උද්‍යානය දිගේ ඇවිද යමින් මේ ගුවන් යානා නැරඹීමට මෙන්ම සමහර ගුවන් යානා වලට නැග බැලීමට පුළුවන. මේ ගුවන් යානා පිලිබඳ විස්තරද ඒවා අසල සටහන් කර ඇත.

පැරණි ගුවන්යානා (vintage aircraft) තබා ඇති එළිමහන් ප්‍රදර්ශනාගාරය 


මෙයද පැරණි ගුවන් යානා සහ ගුවන් හමුදාව භාවිතා කල රථ වාහන හා උපකරණ රැසක් ප්‍රදර්ශනයට තබා ඇති එලිමහන් භූමියකි. මෙම ස්ථානයෙන් විවිධ කෞතුක භාණ්ඩ නැරඹිය හැකි වාහන අංගනය, සිවිල් ඉංජිනේරු අංගනය, ඡායාරූප ගැලරිය, ඇව්රෝ සිමියුලේටරය වෙත පිවිසිය හැකිය.

SIAI MARCHETTI SF 260 TP






DOUGLAS DC 3 (C 47 DAKOTA)


























BEECHCRAFT E18 S 9700























BELL 206A JET RANGER



























Hawker Siddeley HS 748 (Avro)
















FMA IA 58 Pukara

























MiG 27








ඇව්රෝ සිමියුලේටරය

මෙය පැරණි Avro ගුවන් යානයක සකස් කල, ගුවන් ගමනක අත්දැකීම ප්‍රේක්ෂයකයාට ලබා දීමට සකස්කල ප්‍රදර්ශනාගාරයකි. මෙමගින් කොළඹ අවට ගුවන් චාරිකාවක අත් දැකීම විඳගැනීමට පුළුවන. වායු සමනය කල මෙම යානය තුලට ඇතුළු වී අසුන් ගෙන කවුළුවෙන් එපිට බැලූවිට ඉහළ ගුවනේ සිට අවට දිස්වේ. යානය පියාසර කරන බව දැනේ . එකිනෙකා අසුන්ගෙන සිටින තැන අනුව පෙනෙන දර්ශනය වෙනස්ය. යානයේ ඉදිරිපසින් නියමුවාට පෙනෙන ආකාරය දිස්වේ. මෙය ගුවන් යානයක අත්විඳීම නොලත් අයට එය ලැබීමට ඇති හොඳම අවස්ථාවකි.

රථ වාහන අංගනය 

මෙය අතීතයේ ගුවන් හමුදාව ගොඩබිම භාවිතය සඳහා යොදාගත් විවිධ වර්ග වල වාහන එකතුවකි. පැරණි වාහන වල අනර්ඝ එකතුවක් මෙහිදි දැක බලා ගත හැකිය. 

සිවිල් ඉංජිනේරු අංගනය 

මෙහි ගුවන් හමුදාවට විදුලිය ලබා ගත් විදුලි නිෂ්පාදක ගුවන් හමුදා ඉදිකිරීම් ආදී කටයුතු වෙනුවෙන් භාවිතා කල උපකරණ හා ද්‍රව්‍ය රැසක් දැක බලා ගත හැකිය.

සාමාන්‍ය අංගනය 

මෙය ගුවන් හමුදාවේ ඉතිහාසය හා විව්‍යුහය පිලිබඳ තොරතුරු දැනගත හැකි අංගනයකි. මෙහි ගුවන් හමුදාවේ ඇඳුම් පැලඳුම් ආදර්ශන, නිල ලාංඡන, අවි ආයුධ වර්ග, කොඩි ,ආහාර පාන ගැනීමට භාවිතා කල උපකරණ, සන්නිවේදන උපකරණ, ආරක්ෂක උපකරණ, වෛද්‍ය උපකරණ ,ලිපිලේඛන, පදක්කම් ආදියෙන් සමන්විත අංගනයකි. ගුවන් හමුදාව හා ගුවන් හමුදා ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු මෙම අංගනයෙන් දැක බලා ගත හැකිය.

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දා පටන් අද දක්වාම ගුවන් හමුදාවේ සියළු වැදගත් සිදුවීම්වල ඡායාරූප අතුලත් නවීන කලාගාරයකි. මෙය ආරම්භයේ සිට අවසානය තෙක් නරඹන අයෙකුට ගුවන් හමුදාව පිළිබඳ පූර්ණ දැනුවත් වීමක් ලද හැකිය. මෙම ඡායා රූප පිළිබඳ විස්තරද ඒ අසල සටහන් කොට ඇත.

දේශන ශාලාව

ගුවන් යානා පිළිබඳව, එම තාක්‍ෂණය පිළිබඳව දැනුම ලබා දීම සඳහා දේශන සම්මන්ත්‍රණ ආදිය ද කෞතුකාගාරය තුළ සිදුකරයි . ඒ සදහා නවීන තාක්ෂණික මෙවලම් වලින් යුත් දේශන ශාලාවක් කෞතුකාගාරය සතුය . මෙය තුල සිටින්නෙකුට තමන් නිල් අහස යට සිටින හැඟීමක් ඇතිවන ආකාරයෙන් සකස් කර ඇත.

මිනි තියටර්

ගුවන් ක්ෂේත්‍ර පිළිබඳව කෙටි චිත්‍රපට නැරඹීම වෙනුවෙන් ගුවන් හමුදාව භාවිතා කරන විශාලම ගුවන් යානයේ ආකෘතියට තැනූ කුඩා චිත්‍රාගාරයක්ද මෙහි ඉදිකර ඇත. මේ මගින් කෆීර් යානයක් භාවිතා කරමින් ගුවන් මෙහෙයුමක් සිදුකරන අන්දම දැක බලා ගැනීමට අවස්ථාව හිමිවේ.

එන්ජින් ප්‍රදර්ශනාගාරය

ගුවන් යානා වල භාවිතා වන විවිධ වර්ග වල එන්ජින් එකතුවකින් මෙය සමන්විත වේ. ගුවන් යානා තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනයට ලබන්නන් හට ඒ පිලිබඳ ප්‍රායෝගික දැනුම ලැබීමට ඇති හොඳම ස්ථානය මෙම එන්ජින් එකතුවයි.

වැව

කෞතුකාගාර භූමියෙහි පිහිටි මෙම වැව කෞතුකාගාර භූමියට සොඳුරු බවක් මෙන්ම සිසිලසක්ද එක් කරයි. ඕලු මල් ඇතුළු ජලජ ශාක වලින් හැඩවී ඇති වැව ආශ්‍රිතව වෙසෙන හංසයන් වැවට සුන්දරත්වයක් එක් කරයි. වැව ඉදිරිපිට උද්‍යනයේ බංකු මතට වී සිසිල් පවනේ සුවය විඳීමටද අවස්ථාව ඇත.

ගුවන් හමුදා ජයග්‍රහන

වැවෙහි එක් ඉවුරකදී ගුවන් හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් ජයග්‍රහන වල සිහිවටනයන් නැරඹීමේ අවස්ථාව උදා කර තිබේ. වැව මැද පිහිටි දූපතක ත්‍රස්තවාදීන් සතුව තිබී විනාශ කරන ලද ගුවන් යානාවක්ද ප්‍රදර්ශණය කර තිබේ. මෙම යානය විනාශ කිරීමේදී ත්‍රස්තවාදීන්ට හානි සිදුවූ ආකාරයද මෙහි මූර්තිමත් කර ඇත

ළමා උද්‍යානය

කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන්ට විනෝද වීමට ළමා උද්‍යානයක්ද මෙහි සකස් කර ඇත. ළමයින්ගේ විනෝදය සඳහා අවශ්‍ය උපාංග මෙන්ම පැරණි ගුවන් යානා කිහිපයක් ළමයින්ට ක්‍රීඩා කිරීමට යොදාගත හැකි අයුරින් සකස් කර ඇත. ස්වාභාවික පරිසරය භාවිතයෙන් කුඩා දරුවන්ට විනෝදය ලැබිය හැකි ස්ථාන කිහිපයක්ද මෙහි සකස් කර ඇත.

ප්‍රධාන ගුවන් යානා අංගනය

මෙය ආවරණය කරනලද ගොඩ නැගිල්ලක් තුල ඇති ගුවන් හමුදාවට විශේෂ වටිනාකමක් ඇති පැරණි යානා හා විවිධ පුද්ගලයන් පරිත්‍යාග කරන ලද යානා ද වේ. ගුවන් හමුදාව මිලදී ගත් පළමු ගුවන් යානය වන DHB චිප්මන්ක් T10 යානයේ සිට අද දක්වා භාවිතයෙන් ඉවත් වූ ඉපැරණි යානා රැසක් මෙහිදි දැක බලා ගත හැකිය. මෙම ගුවන් යානා අතරින් කිහිපයක් තවමත් ධාවන තත්වයේ පැවතීමද සුවිශේෂි කරුණකි. 

සමරු අලෙවි හල 

කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව එය මතක තබා ගැනීම සඳහා වටිනා සමරු මෙමගින් මිලදී ගත හැකිය. ගුවන්යානා ආකෘති, කැප්, ටීෂර්ට් ඇතුළු ගුවන් හමුදාව සිහිකල හැකි විසිතුරු බඩු මෙන්ම ගුවන් හමුදාව සම්බන්ධ තොරතුරු ඇතුලත් ග්‍රන්ථ ද මෙමගින් මිලදී ගැනීමට පුළුවන.

සමරු නිෂ්පාදනාගාරය

සමරු අලෙවිහල තුල අලෙවි කරන බොහෝ නිෂ්පාදන මෙහිදි නිෂ්පාදනය කරයි.

පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානය

කෞතුකාගාරය සතු වැදගත්ම අංගයක් වනුයේ පුස්තකාලයයි. ගුවන් හමුදාව ගුවන්යානා තාක්ෂණය පිලිබඳ ඉතා දුර්ලභ ග්‍රන්ථ රැසකින් එය සමන්විතය. විශ්වවිද්‍යාල සිසුන් පර්යේෂකයන් හට මෙම පුස්තකාලය භාවිතයෙන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය. මෙම පුස්තකාලය සතුව දුර්ලභ ගුවන්යානා අත්පොත් එකතුවක් ඇත. ඇතැම් ඒවා ගුවන්යානා නිෂ්පාදන සමාගම් පවා සතුව නොමැති අතර එම සමාගම් මගින් එම අත්පොත්වල ඇති කරුණු අධ්‍යයනය වෙනුවෙන්ම විදේශයන්හි සිට මෙහි පැමිණේ. මෙය මෙරට ගුවන්යානා තාක්ෂණය හදාරන්නන් හට ඉතා වටිනා සම්පතකි. පුස්තකාලයට පමණක් පැමිනෙන්නේ නම් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන අතර නොමිලයේම පුස්තකාලය පරිහණය කල හැකිය. පුස්තකාලය විශිෂ්ඨ කාර්ය මණ්ඩලයකින් සමන්විත නිසා පහසුවෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

ගමන් මාර්ගය

ගුවන් හමුදා කෞතුකාගාරය රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රය තුල පිහිටා ඇත. මේ වෙතට කොළඹ සිට කිලෝමීටර් 18 පමණ ගාළු පාරේ පැමිණෙනවිට හමුවන රත්මලාන ගුවන් තොටුපල අසලින් හැරී ගුවන් හමුදා කඳවුර මාර්ගයේ කිලෝමීටර් 2 පමණ පැමිණීමෙන් ලඟාවිය හැකිය. දුම්රියෙන් පැමිනෙන්නේ නම් රත්මලාන දුම්රිය ස්ථානයට පැමිණ එතැනින් 117 රත්මලාන - නුගේගොඩ බස්රථයකින් ගාළු පාරට පැමිණ මද දුරක් ගාල්ල දෙසට ගාළුපාරේ යනවිට රත්මලාන ගුවන් තොටුපල හමුවේ. එතැනින් ගුවන් හමුදා කඳවුරු මාර්ගයේ ගමන්කල හැකිය. මේ පොදු ප්‍රවාහන සේවා දුර්ලභ බැවින් කුලී රථයකින් ගමන් පහසුව සලසා ගැනීමට සිදුවේ. මෙම ස්ථානයට ගමන් කල හැකි එකම පොදු ප්‍රවාහන සේවය 256/1 රත්මලාන - සඳුන්ගම බස්රථය වන අතර මෙම බස්රථය භාවිතා කරන්නේ නම් අන්ධ විද්‍යාලය අසල බස් නැවතුම් පලට යායුතුය. බස්රථ වේලාවන් රත්මලාන ඩිපෝව - 0117706440 මගින් ලබා ගත හැකිය.( බස් රථය උදෑසන 8.10 හා 9.15 ට ගමන් ආරම්භ කරයි ) හොරණ - කොළඹ මාර්ගයේ පැමිණන්න් සඳහා වේරහැර බොරුපන හරහා රත්මලාන දෙසට ඇති මාර්ගයේ පැමිණ 7 වන පටුමග වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල මාර්ගයේ පැමිනීමෙන්ද මේ වෙත ලඟාවිය හැකිය. මෙම මාර්ගයේ බස්රථ ධාවනය නොවේ. 

විවෘත වෙලාව

සඳුදා හැර සෑම දිනකම පෙරවරු 8.30 සිට සවස 5 දක්වා කෞතුකාගාරය විවෘතව පවතී. සඳුදා දිනයන්හිදි නඩත්තු කටයුතු සඳහා වසා තැබේ.

ගාස්තු

වැඩිහිටියන් - රු 100
ළමා - රු 25
පාසල් අධ්‍යාපන චාරිකා පැමිණෙන සිසුන් - රු 5
විදේශිය වැඩිහිටි - ඇමෙරිකානු ඩොලර් 10
විදේශිය ළමා - ඇමෙරිකානු ඩොලර් 3



__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments