COMIC CON 2019 : මාවෙල් සිනමා විශ්වයේ අලුත්ම චිත්‍රපට පෙලගැස්ම



සැන් ඩියේගෝ නුවර මේ දිනවල පැවැත්වෙන කොමික්-කොන් 2019 උළෙලේදී ඩිස්නි සමාගම, සිය මාවෙල් චිත්‍රාගාරය ඉදිරි වසර දෙක තුලදී ඉදිරිපත් කරන්නට නියමිත මාවෙල් සිනමා විශ්වයේ (Marvel Cinematic Universe - MCU) සතරවන අදියරේ චිත්‍රපට හා රූපවාහිනී කථා මාලා පිලිබඳව සවිස්තර අනාවරණයක් කලා.

ඒ අනුව ඉදිරියේදී මාවෙල් සිනමා ලෝලීන්ට බලාපොරොත්තු වන්නට පුලුවන් චිත්‍රපට හා රූපවාහිණී කතාමාලා මෙසේයි.

May 1, 2020: Black Widow movie

MCU විශ්වයේ බ්ලැක් විඩෝ (නටාෂා රොමනෝෆ්) චරිතයට වෙන්වූ චිත්‍රපටියක් පිලිබඳව වසර කිහිපයක සිටම මාවෙල් සිනමා ලෝලීන් බලාපොරොත්තු තබා සිටි අතර මෙය ලබන වසරේදී සැබෑවෙන බව මාවෙල් නිවේදනය කලා.

ස්කාලට් ජොහැන්සන් රඟන මෙම චිත්‍රපටයේ කාළ රාමුව චිත්‍රපටය Captain America: Civil War අවසන් වූ වහාම සිදුවූ සිදුවීම් දාමයක් වටා ගෙතී තිබෙනවා.

Nov. 6, 2020: The Eternals movie

මාවෙල් කොමික්ස් චිත්‍රකතා අතර තවත් ජනප්‍රිය කතා මාලාවක් වන ඉටර්නල්ස් කතාවල චරිත පණපොවන ඉටර්නල්ස් චිත්‍රපටය 2020 නොවැම්බරයේදී එලිදකිනවා.

ඉටර්නල්ස් යනු වසර මිලියන පහකට පෙර පෘථිවියට පැමිණි "සෙලෙස්ටියල්ස්" නම් සුපිරි පිටසක්වල ජීවී විශේෂයක් බිහිකල මානවරූපී, එහෙත් සුපිරි බලයන් සහිත ජීවීන් පිරිසක්. සෙලෙස්ටියල් පිටසක්වලයින්, පූර්ව-මානව වානරයින් ඇසුරෙන් සිදුකල පර්යේෂණ වලින් ඉටර්නල්ස් ජීවීන් බිහිවූ අතර, නූතන මානවයින්ද, ඉටර්නල්ස් ගෝත්‍රයේ සදාකාලික සතුරන් වූ  ඩීවියන්ට්ස් ජීවීන්ද බිහිවුනා.

සෙලෙස්ටියල් පිටසක්වලයින් විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලද මෙවැනිම ජාන පර්යේෂණ සිදුකල අතර එම පර්යේෂණ වලින් ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටවල හා ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් රූපවාහිණී කතාමාළාවල මුණ ගැසෙන ස්ක්‍රල්, ක්‍රී ආදී දියුණු පිටසක්වල ගෝත්‍රද බිහිවූ බවයි පැවසෙන්නේ.

Fall 2020, The Falcon and the Winter Soldier

2020 සරත් සෘතුවේදී (අගෝ-නොවැ) ද ෆැල්කන් ඇන්ඩ් විටර් සොල්ජර් චරිත ඇතුලත් චිත්‍රපටයක්ද එලි දැක්වීමට සූදානමින් සිටිනවා. කැප්ටන් ඇමරිකා, ඇවෙන්ජර්ස් හා තෝර් චිත්‍රපටවල මෙම චරිත දෙකම පෙනී සිට තිබෙනවා.

Feb. 12, 2021: Shang-Chi and the Legend of the Ten Rings movie

මාවල් කොමික්ස් චිත්‍රකතා ලෝකයේ තවත් ජනප්‍රිය චිත්‍රකතා මාලාවක් වන්නේ චීන සම්භවයක් ඇති, කුංග් ෆූ සටන් කලාවේ කෙල පැමිණි ෂැංග්-චී චරිතයයි.

ලෝක ආධිපත්‍යය වෙනුවෙන් විවිධ කෲර ත්‍රස්ත ක්‍රියා සිදුකරන ෆූ මැංචූ  නැමැත්තාට දාව ඇමරිකානු යුවතියකට බිහිවන ෂැංග්-චී, කුඩා කල සිටම පියාගේ දැඩි අධීක්ෂණය යටතේ බිහිසුණු කුංග්-ෆූ හා වූෂූ සටන් කලා පුහුණු වෙමින් දක්ෂ සටන් කාමියෙකු හා ඝාතකයෙකු ලෙස ප්‍රකට වනවා.

පසු කලෙක සිය පියාගේ සැබෑ තතු දැනගන්නා ෂැංග්-චී, ඔහුගේ වියරු සැළසුම් පරාජය කිරීමට ශපත කරනවා. මේ සඳහා MI6, CIA වැනි ඔත්තු සේවා සමග ක්‍රියාත්මක වන ෂැංග්-චී පසුව ඇවෙන්ජර්ස් කණ්ඩායමේ සාමාජිකත්වයට ආරධනා ලබනවා.

Spring, 2021: WandaVision TV Series (Disney+ channel)

MCU විශ්වයේ වන්ඩා මැක්සිමෝෆ් (ස්කාලට් විච්) හා විෂන් යන චරිත දෙක වටා ගෙතෙන වන්ඩා විෂන් රූපවාහිණී කතාමාලාව ඩිස්නි චිත්‍රපට සමාගමේ ඩිස්නි-ප්ලස් චැනලය මගින් විකාෂණය කිරීමට සූදානම් වනවා. නෙට්ෆ්ලික්ස් ආකාරයටම digital streaming තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන චැනලයක් වන ඩිස්නි+ චැනලය, ඩිස්නි, ෆොක්ස්, 20 සෙන්චරි ෆොක්ස් ආදී සිනමා හා රූපවාහිණී සේවාවල බිහිවූ සියලුම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලා විකාෂණය කිරීමට බිහිකොට තිබෙනවා.

මෙහි කාළ රාමුව Avengers: Endgame චිත්‍රපටයෙන් පසුකාලය ලෙස දක්වා ඇති අතර එය අලුත්ම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයේ සිදුවීම් වලටද බැඳෙන බවයි MCU ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

May 7, 2021: Doctor Strange in the Multiverse of Madness

බෙනඩික් කම්බර්බැච් රඟන අලුත්ම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයද ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් චිත්‍රපටයෙන් පසු සිදුවූ සිදුවීම් හා බැඳි පවතිනවා.

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ සහයක චරිතය ලෙස වන්ඩා මැක්සිමෝෆ් (ස්කාලට් විච්) සිටින අතර එය තරමක් බිහිසුණු තේමාවක චිත්‍රපටයක් වනු ඇතැයි, අධ්‍යක්ෂක ලෙස පත්ව සිටින ස්කොට් ඩෙරික්සන්, කොමික්-කොන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියා.

Spring, 2021: Loki TV Series (Disney+ channel)

ඇවෙන්ජර්ස්, තෝර් චිත්‍රපටවලින් ජනාදරයට පත්, තෝර් ගේ අඩ-සොයුරා වන ලෝකී රඟන රූපවාහිණී කතාමාලාවක් 2021දී ඩිස්නි+ චැනලය ඔස්සේ විකාෂණය වනු ඇතැයි කොමික්-කොන් හිදී ඩිස්නි-MCU හෙලිකලා. චිත්‍රපටවලදී මෙන්ම ටොම් හිඩල්ස්ටන් මෙම රූපවාහිණී කතාමාලාවටද රංගනයෙන් දායත්වය දෙනු ඇති.

Avengers: Infinity War චිත්‍රපටයේදී ලෝකී, තේනෝස් අතින් මරණයට පත්වන ආකාරය පෙන්වන නමුත්, Endgame චිත්‍රපටයේ කාළතරණ රූපරාමු මාළාවේදී ලෝකී, ටෙසරැක්ට් බළශක්ති ප්‍රභවයද රැගෙන පලායන අයුරු පෙන්වනවා. ඒ අනුව ලෝකී මරණයෙන් ගැලවුන බවට වන ප්‍රස්තූතය මත ලෝකී රූපවාහිණී කතාමාලාව ගොඩනගා තිබෙනවා.

Summer, 2021 : What If…? TV Series (Disney+ channel)

වට් ඉෆ්? මාවෙල් කොමික්ස් චිත්‍රකතා මාලාවල තවත් ජනප්‍රිය කතා පොත් පෙලක්. මෙහිදී මාවෙල් සිනමා විශ්වයේ සත්‍යයන් ලෙස ගන්නා යම් යම් කරුණු වෙනස්වූ වානම් කුමක් සිදුවිය හැකිද? යන පැනයෙන් කතා ගොඩ නගා  තිබෙනවා.

උදාහරණයක් ලෙස, MCU විශ්වයේ දැවැන්ත බළකණුවක් වන අයන් මෑන්, ඇවෙන්ජර්ස් කණ්ඩායමේ සතුරෙකු වූවා නම්? යන කල්පිතය වටා චිත්‍රකතාවක් ගොඩ නගා තිබෙනවා. එමෙන්ම ස්පයිඩර් මෑන්, ඇවෙන්ජර්ස් කණ්ඩායමට එකතු නොවී ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායමට එකතුවූවා නම්? යන පැනයෙන්ද තවත් ඉතා ජනප්‍රිය චිත්‍රකතාවක් ගොඩ නගා තිබෙනවා.

2021 ග්‍රීස්ම සෘතුවේදී එලිදැක්වෙන වට් ඉෆ් ටීවී සීරීස් එක මෙවැනි ප්‍රස්තූතවලින් ගොඩ නගා ඇති බවයි මාවෙල් ආරංචිමාර්ග පවසන්නේ.

Fall, 2021: The Falcon and Winter Soldier Disney Plus series

ෆැල්කන් හා වින්ටර් සොල්ජර් (බකී) චරිතවටා ගෙතුනු රූපවාහිණී කතාමාලාව.

Nov. 5, 2021: Thor 4: Love and Thunder

අකුණු ගැසීමට අධිපති තෝර් ගේ පෘථිවි පෙම්වතිය වු ජේන් ෆොස්ටර් MCU කතා මාලාවලින් සැඟවී සිටියත්, ඇය හා තෝර් වටා ගෙතුන සතර වැනි තෝර් චිත්‍රපටය 2021 නොවැම්බර් 5වැනිදා එලිදකින බව මාවෙල් නිස්චිතවම ප්‍රකාශ කර සිටිනවා.

මේ කතාව අවසන් වන්නේ පෘථිවි යුවතියක් වන ජේන් ෆොස්ටර් ඇස්ගාඩියන් සුපිරි මානවිකාවක් බවට පත්වී, සිය පෙම්වතා වන තෝර් මෙන්ම අකුණු වලට අධිපති දෙවඟනක් බවට පත්වීමෙන් බවයි සැන් ඩියේගෝවේ කොමික්-කොන් වෙතින් ඇසෙන්නේ.

ජේන් ෆොස්ටර් (නැටලි පෝර්ට්මන්) 2019 කොමික්-කොන් හිදී



Comments

  1. mokada aluth lipi neththe goda kalekin

    ReplyDelete
  2. mokada aluth lipi neththe goda kalekin

    ReplyDelete
  3. mokada aluth lipi neththe goda kalekin comment eka post karanna epa..lipi nethi nisai baluwe

    ReplyDelete
  4. Great Content, Super high-quality and keep it up :)

    http://commodityonlinetips.in/

    ReplyDelete

Post a Comment