NEW POSTS

Recent Posts Widget

MILITARY / WARFARE : ගුවනින් ප්‍රහාරක බළ-ඇණි සතුරු බිම්වලට ගොඩබැස්වීමේ Airborne Paratrooper Warfare උපක්‍රමය ලොවට හඳුන්වාදුන් හිට්ලර්ගේ සෙනෙවියා


කර්ට් ස්ටුඩන්ට් (Kurt Student) කියන්නේ නූතන ගුවන් යුධ ක්‍රමවේදයේ නිර්මාතෘවරයායි. ඔහු කිසිවක් නොතිබූ තැනක සිට හිට්ලර්ගේ නට්සි ජර්මනියේ  පැරෂුට් භට බලකාය ගොඩනැඟූ අතර, ඉන්පසු කිසිදු හමුදාවක් මීට පෙර සිදු නොකළ අයුරින් අහසේ සිට භටයන් බිමට බස්සවා බලකොටු, පාලම් සහ සමස්ත දිවයිනක්ම අත්පත් කරගැනීමට ඔවුන්ව භාවිතා කළා. ඔහුව අහස් ප්‍රහාරක ක්ෂේත්‍රයේ පියා (farther of airborne warfare) ලෙස සැලකෙනවා.

පළමු ලෝක යුද්ධයේදී සටන්කාමී ගුවන් නියමුවෙකු වූ ස්ටුඩන්ට්, ලෝක යුද්ධ දෙක අතර කාල සීමාවේදී එක් රැඩිකල් අලුත් සංකල්පයක ප්‍රධාන නියමුවා බවට පත්වුණා. එනම්, සතුරාගේ ආරක්ෂක වළලු මඟහැර අහසේ සිට පහළට පැමිණීමෙන් පැරෂුට් සහ ග්ලයිඩර් (glider) යානා මඟින් සතුරාගේ සෘජු ප්‍රහාරක සීමාවට සහ පිටුපසට මුළු සෙබළ බලකායන්ම බැස්සවිය හැකි බවයි. 

මෙම සංකල්පය තවමත් පරීක්ෂා කර නොතිබූ, බොහෝ දෙනා සැක පහළ කළ එකක්ව තිබූ යුගයක, ඔහු ජර්මානු පැරෂුට් භටයන් වන 'ෆාල්ෂිර්ම්ජේගර්' (Fallschirmjäger) සංවිධානය කර, පුහුණු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා.

ඉන්පසු ඔහු එය ඉතා විශිෂ්ට ලෙස ඔප්පු කර පෙන්වූවා. 1940 දී පහත් රටවල් (Low Countries - low-lying coastal region of northwestern Europe) ආක්‍රමණය කිරීමේදී, ඔහුගේ ගුවන් හමුදාව මුළු ලෝකයම තිගැස්මට ලක් කළ ජයග්‍රහණයන් අත්පත් කරගත්තා. බෙල්ජියමේ ප්‍රබල 'ඊබන්-ඊමායල්' (Eben-Emael) බලකොටුව මතට ග්ලයිඩර් යානා ගොඩබස්වා එක දිනක් ඇතුළත එය අත්පත් කරගත්තේ ඔහුගේ සෙබළුන් විසිනුයි. එමෙන්ම, ඉදිරියට ඇදී එන හමුදාවට පෙර නෙදර්ලන්තයේ ප්‍රධාන පාලම් අත්පත් කරගත්තේ ද ඔහුගේ පැරෂුට් භටයන් විසිනුයි. ඔහු නිර්මාණය කළ ගුවන් ප්‍රහාරක සංකල්පය ලොවට පැමිණි අතර, එය යුද්ධය ජයග්‍රහණය කළ හැකි ප්‍රබල ආයුධයක් ලෙස පෙනෙන්නට තිබුණා.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ අග්‍රඵලය සහ උච්චතම අවස්ථාව වූයේ 1941 මැයි මාසයේ සිදු වූ ක්‍රීට් (Crete) දූපත් ආක්‍රමණයයි. ස්ටුඩන්ට්, සම්පූර්ණයෙන්ම ගුවන් මාර්ගයෙන් පමණක් සිදු කළ පළමු දූපත් ආක්‍රමණය සැලසුම් කර මෙහෙයවූවා. එහිදී, අවට මුහුද පාලනය කළ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට ඉහළින්, මධ්‍යධරණී මුහුදේ පිහිටි ක්‍රීට් දූපත අත්පත් කරගැනීම සඳහා ඔහු පැරෂුට් සහ ග්ලයිඩර් භටයන් ප්‍රහාරයට පිවිසෙව්වා. එය මීට පෙර කිසිවෙකු හෝ උත්සාහ නොකළ තරමේ අතිශය දැවැන්ත හා අවදානම් සහගත ක්‍රියාවක් වූ අතර, අහසින් බැස මුළු දිවයිනම අත්පත් කරගැනීමට ඔවුන් සමත් වුණා.

එය සාර්ථක වූවත්, ඒ සඳහා ඉතා දරුණු වන්දියක් ගෙවීමට සිදු වුණා. තමන් එනතුරු මඟබලා සිටි ආරක්ෂකයන් අතරට අහසේ සිට පාවී ආ ස්ටුඩන්ට්ගේ විශිෂ්ටතම පැරෂුට් භටයන්, අහසේදී මෙන්ම ගොඩබසින ස්ථානවලදීත් සමූලඝාතනයට ලක් වුණා. ඔවුන් දූපත අත්පත් කරගත්තද, සිදු වූ ජීවිත හානිය කොතරම් අධිකද යත් 'ෆාල්ෂිර්ම්ජේගර්' බලකාය ප්‍රහාරක බලකායක් ලෙස සහමුලින්ම අඩපණ වුණා. 

මෙම විනාශය කොතරම් කම්පන සහගත වූවක්ද යත්, යුද්ධයේ ඉතිරි කාලය පුරා දැවැන්ත මට්ටමේ ජර්මානු ගුවන් ප්‍රහාරක මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තීරණය කෙරුණා. ස්ටුඩන්ට් ගොඩනැඟූ පැරෂුට් භටයන්ට ඉන්පසුව සටන් කිරීමට සිදු වූයේ ගොඩබිම් පාබල හමුදාවක් ලෙසයි.

ඔහුගේ ගුවන් බලකාය අත්කරගත් ජයග්‍රහණ වෙනුවෙන් ඔහුට සම්මාන සහ උසස්වීම් හිමි වූ අතර, වෙනත් ඕනෑම අයෙකුට වඩා අහසේ සිට එල්ල කරන සෘජු ප්‍රහාරක (vertical assault) සංකල්පය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එකතු වෙනවා. ඉන්පසුව සිදු වූ සෑම ගුවන් සහ ගුවන්-ප්‍රහාරක මෙහෙයුමකම මුල් ආරම්භකයා වන්නේද ඔහුයි.

කෙසේ වෙතත්, ක්‍රීට් හිදී සිදු කළ ක්‍රියාවන් වෙනුවෙන් ස්ටුඩන්ට් හට චෝදනා එල්ල වූ අතර ඔහු යුද අපරාධකරුවෙකු ලෙස වරදකරු කරනු ලැබුවා.

1947 මැයි මාසයේදී ඔහුට එරෙහිව නඩුවිභාගයක් පැවැත්වුණේ, ක්‍රීට් හිදී ඔහුගේ සෙබළුන් විසින් යුද සිරකරුවන්ට හිංසා කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙන්ම, කොන්ඩොමාරි (Kondomari), අලිකියානොස් (Alikianos) සහ කන්දනෝස් (Kandanos) නගරය සහමුලින්ම විනාශ කිරීම ඇතුළු ක්‍රීට්හි සිවිල් වැසියන්ට එරෙහිව සිදු කළ පළිගැනීමේ සමූලඝාතන රැල්ල සම්බන්ධයෙනි. එහිදී ඔහුට වසර 5 ක සිරදඬුවමක් නියම වූ අතර, 1948 දී ඔහුව නිදහස් කරනු ලැබුවා.

Comments