NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ යොදවයි

 

2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ කාර්මික උපායමාර්ගයේ මූලික වෙනසක් සිදු කිරීමට බලපෑවේය. හුආවේ (Huawei) සමාගම සඳහා මෙම කාල පරිච්ඡේදය, හුදෙක් වාණිජ සන්නිවේදන සේවා සපයන්නෙකුගේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබන ජාතික තාක්ෂණික පෙරගමන්කරුවා (National Champion) බවට පත්වීමේ පෙරනොවූ විරූ පරිවර්තනයක් විය.

ඇමරිකාවේ හා වෙනත් බටහිර රටවල සම්බාධක නිසා සිය තාක්ෂණික ප්‍රගමනය දැඩි ප්‍රපාතයකට හෙලන බව දන්නා චීනය සම්පූර්ණ ස්වයංපෝෂිත ආකෘතියක් දෙසට යොමු වුනා. ඇමරිකාවේ මයික්‍රෝප්‍රොසෙසර්, අධිවේගී මෙමරි චිප් තාක්ෂණ මෙන්ම අධිබල චිප් නිර්මාණ යන්ත්‍ර නොමැතිව මේ ගමන ඉතා දුෂ්කරව වුවත් එය කෙසේ හෝ සිදුකල යුතු බවට චීනය නිගමනය කලා

මෙම පරිණාමය බටහිර තාක්ෂණික සීමාකිරීම්වලට එරෙහිව චීනය එල්ල කළ ප්‍රධාන මූලෝපායික ප්‍රතිචාරයයි. චීන රාජ්‍යය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද දේශීය තාක්ෂණික පද්ධතියේ  ප්‍රධානතම සැපයුම්කරුවා, තාක්ෂණ නිර්මාපකයා හා සම්බන්ධීකාරකයා ලෙස හුවාවේ සමාගමට අතිවිශාල වගකීමක් පැවරුනේ මෙහි ප්‍රතිපලයක් ලෙසයි.

මෙම ප්‍රයත්නය අර්ධසන්නායක ක්ෂේත්‍රයේ "මෑන්හැටන් ව්‍යාපෘතියක්" (Manhattan Project) ලෙස හඳුන්වනු ලබන ව්‍යුහයක් යටතේ සංවිධානය කරන්නට චීන ප්‍රතිපත්ති සම්පාදකයින් කටයුතුකර තිබෙනවා.

මෙහි පාලනය කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම මට්ටමින් සිදුකෙරෙන අතර, ෂී ජින්පිං මහතාගේ සමීපතමයෙකු වන ඩිං ෂුඑෂියැං සහ මධ්‍යම විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම වැඩපිළිවෙල මෙහෙයවනු ලබනවා.

මෙය හුදෙක් ව්‍යාපාරික ගොඩනැගීමේ සැලැස්මක් නොවේ; එය රාජ්‍ය පර්යේෂණ ආයතන, පෞද්ගලික ව්‍යවසායයන් සහ දහස් සංඛ්‍යාත ඉංජිනේරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුවන ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් මෙහෙයුමක් ලෙස චීනය සලකනවා.

මේ මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණය පිලිබඳ මෑන්හැටන් ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ සැපයුම් දාමයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය "100% ක් ඉවත් කිරීමයි".

මේ අපේක්ෂිත තාක්ෂණික ස්වාධීනත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා හුආවේ හි උපායමාර්ගය ද්විත්ව ප්‍රවේශයක් මත රඳා පවතී. එහිදී පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිපැයුම් අංශය භාවිත කරමින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා මුදල් සම්පාදනය සිදු කරයි. 

SMIC සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද නැනෝමීටර 7 (7nm) කිරින් (Kirin) චිපය සහිත Mate 60 ස්මාර්ට්ෆෝන් මාලාව 2023 අගභාගයේදී නිකුත් කිරීම මෙහි ප්‍රථම සාර්ථක පියවර විය. ඒ සමගම, Ascend චිප මාලාව - විශේෂයෙන් 910B සහ 910C - ඇමෙරිකානු එන්විඩියා (Nvidia) සමාගමේ H-series චිප සඳහා ප්‍රධාන දේශීය විකල්පය ලෙස පෙරමුණ ගෙන තිබෙනවා තිබෙනවා.

මෙම ප්‍රගතිය පවත්වා ගැනීම සඳහා හුආවේ සමාගම සුපිරි පරිගණක සහ චිප නිකුත් කිරීමේ සැලැස්මක් සකස් කර තිබෙනවා.

  • Ascend චිප මාලාවේ විකාශනය: 2025 පළමු කාර්තුවේ Ascend 910C නිකුත් කිරීමෙන් පසුව, 2026 දී Ascend 950 ද, 2027 දී 960 සහ 2028 දී 970 නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

  • Atlas සුපිරි පද්ධති: විශාල AI පුහුණු පද්ධති සඳහා, චිප 8,192 ක ධාරිතාවයකින් යුත් Atlas 950 (2026 අග) සහ චිප 15,488 කට සහය දක්වන Atlas 960 (2027 අග) සංවර්ධනය කරමින් තිබෙනවා.

හුආවේ හි මූලික ශක්තිය පවතින්නේ එහි "පද්ධති මට්ටමේ" (System-level) කාර්යක්ෂමතාවය තුළයි. නිෂ්පාදන තාක්ෂණයේ පවතින පමායන් මගහරවා ගැනීම සඳහා සමස්ත පද්ධතියේම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනවා.

චීනය මුහුණ දෙන විශාලතම බාධාව වන්නේ අති නවීන ලිතෝග්‍රැෆි (Lithography) යන්ත්‍ර නොමැති වීමයි. EUV (Extreme Ultraviolet) යන්ත්‍ර ලබා ගැනීමට නොහැකි වීම නිසා හුආවේ සමාගමට භෞතිකව ට්‍රාන්සිස්ටර කුඩා කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය භාවිතා කිරීමට තවමත් නොහැකිවී තිබෙනවා. DEUV හෙවත් Deep Extreme Ultra Violet යන්ත්‍ර මගින් නැනෝමීටර් 2-3 අතර ප්‍රමාණයට ට්‍රාන්සිස්ටර් කුඩාකරමින් පවතින අතර මේ වනවිට එම තාක්ෂණය නෙදර්ලන්තයේ ASML සමාගම පමණක් සතුව තිබෙන අතර යුරෝපා මෙන්ම ඇමරිකානු සම්බාධක නිසා චීනයට ASML සමාගමේ DEUV යන්ත්‍ර ලබාගැනීමට කිසිදු හැකියාවක් නෑ. එබැවින් පද්ධතිමය නවෝත්පාදනය දැනට එකම ප්‍රායෝගික විසඳුම බවට පත්ව ඇත්තේ DEUV තාක්ෂණයන් නිර්මාණය කිරීම දශක ගණනාවක් ගතවන තාක්ෂණික ව්‍යාපෘතියක් නිසයි.

2025 මැයි මාසයේදී හුආවේ සමාගම "Tau Scaling Law" කලා තාක්ෂණය ප්‍රකාශයට පත් කළේය. ටාවු තාක්ෂණ රාමුව, පරිපථ ක්ෂුද්‍ර කිරීම වෙනුවට පරිපථ තුලින් දත්ත ගමන් කිරීම වේගවත් කරමින්, මයික්‍රෝප්‍රොසෙසර් වඩාට් වේගවත් කිරීමට යෝජනා කරනවා. මෙය කල හැකි ආකාර හුආවේ සමාගම විසින් ප්‍රායෝගිකව පෙන්වා ඇති ආකාරයට පහත දැක්වෙනවා;

  • ත්‍රිමාණ සිරස්  අතට ගොඩනැගීම (3D Vertical Stacking): ට්‍රාන්සිස්ටර් එකිනෙක තට්ටු වශයෙන් () නිර්මාණය කිරීමේ තාක්ෂණය

  • අභ්‍යන්තර සන්නිවේදන දුර අඩු කිරීම: ට්‍රාන්සිස්ටර් හා වෙනත් උපාංග අතර දත්ත හුවමාරුව හා ප්‍රොසෙසින් උපදෙස් (processing instructions) ගමනාගමනය වේගවත් කිරීම.

  • සුපිරි චිප්ලෙට් පැකේජකරණය (Advanced Chiplet Packaging): කුඩා චිප කිහිපයක් එකතු කර එකම අධි-ක්‍රියාකාරී චිපයක් ලෙස සකස් කිරීම.

මෙම ක්‍රම මගින් 2031 වන විට නැනෝමීටර 1.4 ක (1.4nm) කාර්යක්ෂමතාවයකට සමාන මට්ටමක් ලබා ගැනීම හුආවේ බලාපොරොත්තු වන අතර ඒමගින් හුආවේ ප්‍රොසෙසර් ASML DEUV තාක්ෂණයෙන් නිර්මාණය කරන NVIDIA නැනෝමීටර් 2 අධිබල ප්‍රොසෙසර්වලට සමාන කිරීමට බලාපොරොත්තු වෙනවා.

ස්වාධීන ලිතෝග්‍රැෆි තාක්ෂණයක් නිර්මාණය කරගැනීමේ වෑයම

2025 මුල් භාගයේදී, Extreme Ultra-Violet (EUV) ආලෝකය උත්පාදනය කළ හැකි රහසිගත මූලාකෘති යන්ත්‍රයක් ෂෙන්ශෙන් හි ආරක්ෂිත පර්යේෂණාගාරයක ගොඩනැගීමට චීනය සමත්වුනා. මෙම ව්‍යාපෘතිය ලෝකයේ සංකීර්ණතම යන්ත්‍රෝපකරණ ප්‍රතිනිර්මාණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සලකනවා.

කෙසේ වෙතත්,  බටහිර DEUV තාක්ෂණයසමග සංසන්දනය කිරීමේදී මෙම මූලාකෘතිය තවමත් ආරම්භක මට්ටමේ පවතින අතර තවත් දශකයක් පමණ යනතෙක් චීනය බටහිර EUV තාක්ෂණයට පිටුපසින් සිටිනු ඇතැයි විචාරකයින් පවසනවා.


Comments