TV SERIES : STRANGER THINGS SEASON 4 - නොසිතූ විරූ අවසානයක් - ඇත්තටම මොකද වුනේ?

 

සීසන් 4 කතාංග එපිසෝඩ් නවයකින් සමන්විත අතර එයින් එපිසෝඩ් 7ක් අද එනම් මැයි 27 එලි දැක්වුනා, අවසන් එපිසෝඩ් ජූලි 1 වැනිදා එලි දැක්වුනා,

සීසන් 4 ප්‍රධාන චරිත මෙසේයි.

ඉලෙවන් (ඇය දැන් ජේන් හොපර් වන අතර ජිම් හොපර් ඇයගේ සුළු පියා ලෙස ඇයව භාරගෙන තිබෙනවා)
හෙන්රි ක්‍රීල් / වෙක්නා
මයික් වීලර්
නැන්සි වීලර්  - මයික්ගේ වැඩිමල් සොයුරිය
ඩස්ටින් හෙන්ඩර්සන්
සූසී - ඩස්ටින්ගේ හොඳම මිතුරිය වන අතර ඇය අති දක්ෂ පරිගණක හැකර්වරියක්
ලූකස් සින්ක්ලෙයාර්
එරිකා සින්ක්ලෙයාර් (ලූකස්ගේ බාල සොයුරිය)
මැක්සීන් මේෆීල්ඩ් (මැක්ස්)
විල් බයර්ස්
ජොනතන් බයර්ස් (විල් බයර්ස් ගේ වැඩිමල් සොයුරූ)
ජොයිස් බයර්ස් (විල් හා ජොනතන්ගේ මව)
ස්ටීව් හැරිංටන්  
රොබින් බක්ලි - ස්ටීව් හැරිංටන්ගේ මිතුරිය
ජිම් හොපර් - හෝකින්ස් පොලීසියේ ප්‍රධානී
එඩී මන්සන් - ඩස්ටින්, ලූකස් හා මයික් ගේ පාසැලේ ජ්‍යේෂ්ඨ සිසුවෙක්
ආගයිල් - සර්ෆර් බෝයිස් පිට්සා අවන්හලේ සේවක හා බයර්ස් සොයුරන්ගේ මිතුරා
ආචාර්ය මාටින් බ්‍රෙනර් - හෝකින්ස් පර්යේෂණාගාරයේ ප්‍රධාන විද්‍යාඥ
ආචාර්ය සෑම් ඔවෙන්ස් - හෝකින්ස් පර්යේෂණාගාරයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු හා ආචාර්ය බ්‍රෙනර්ගේ පර්යේෂණ සගයා
දිමිත්‍රි ඇන්ටනෝෆ් - ජිම් හොපර් සෝවියර් රුසියාවේ සිරකරගෙන සිටි සිරකඳවුරේ ආරක්ෂකයෙකු හා ජිම් හොපර්ගේ මිතුරා
යූරී - දිමිත්‍රිගේ මිතුරා හා හොරබඩු ජාවාරම් කරුවෙකු


පසුබිම් කතා

සීසන් 4 ආරම්භ වනවිට එලෙවන් හෙවත් ජේන් හොපර්ගේ සුළු පියා වන ජිම් හොපර් ස්ටාර් කෝට් වෙළඳ සංකීර්ණයේ සිදුවන දරුණු සටනේදී (සීසන් 3) අතුරුදහන් වන අතර ඔහු මිය යන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

ජිම් හොපර් සමග සබඳකමක් ඇතිකරගෙන සිටි ජොයිස් බයර්ස් ජිම් හොපර්ගේ අතුරුදහන් වීමත් සමග දැඩි වේදනාවට පත්ව, ඇයගේ පුතුන් තිදෙනා වන විල් හා ජොනතන් මෙන්ම හොපර් සුළු පියා ලෙස හදා ගැනීමට භාරගත් ඉලෙවන්/ජේන් හොපර් සමග හෝකින්ස් අතහැර කැලිෆෝනියාවේ පදිංචියට යනවා.

එහිදී ජොනතන්, විල් හා ජේන්, ආගයිල් නම් ජ්‍යේෂ්ඨ සිසුවෙකු සමග මිතුරු වන අතර ඔහු සර්ෆර් බෝයිස් නම් පිට්සා අවන්හලේ අර්ධකාලීනව සේවය කරනවා. ඔවුන් පාසැල් යන්නේත් ආගයිල් පිට්සා ඩිලිවරි වෑන් රථයෙන්.

මේ වනවිට එලවන්ගේ සුපිරි මානසික හැකියාවන් ඇයට අහිමිවී ඇති අතර සීසන් 3 අවසානයේ සිදුවන දරුණු සටනේදී මානය හා පෘථිවිය අතර විවෘතව තිබූ දොරටුව වසා දැමීමට අධිමානසික ශක්තිය යෙදීමට සිදුවීම නිසා එසේ වන්නට ඇතැයි ඇයගේ මිතුරන් සැකකරනවා. 

මේ අතර හෝකින්ස් උසස් පාසැලේ ජ්‍යේෂ්ඨ සිසුවියක වන නැන්සි වීලර්, පුවත්පතක කතුවරියක් ලෙස සීමාවාසික පුහුණුවක (internship) නිරතවන අතර ඇයගේ මිතුරා වන ස්ටීව් හැරිංටන් හා පාසැල් මිතුරියක් වන රොබින් බක්ලි පාසැල් කාලයෙන් පසු වීඩියෝ පට අලෙවි සැලක සේවය කරනවා.

ඩස්ටින් හෙන්ඩර්සන්, ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ක්‍රීඩාවට ඇලුම් කරන්නන් සඳහා එඩී මන්සන් නම් ජ්‍යේෂ්ඨ සිසුවෙකු ආරම්භ කොට ඇති හෙල්ෆයර් නම් ක්‍රීඩා සමාජයකට බැඳී ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ක්‍රීඩාවේ නිරතවෙනවා. ඔහුගේ මිතුරු මයික් වීලර්ද එම සමාජයේ සිටින අතරම ලූකස් සින්ක්ලෙයාර් නම් ඔවුන්ගේ අනෙක් මිතුරාත් එම ක්‍රීඩාවට ඇලුම් කරනවා.

මැක්සීන් (මැක්ස්) මෙම පාසැලේම ඉගෙන ගන්නා නමුත් ඇය සිය පැරණි මිතුරන්ගෙන් ඈත්ව සිටිනවා. ස්ටාර් කෝට් සටනේදී සිය සොයුරා මියයාමේ වේදනාවෙන් ඇය පෙලෙනවා. කලක් ඇය හා දැඩි මිතුදමකින් බැඳී සිටි ලූකස්ව හමුවීම පවා ඇය දැන් ප්‍රතික්ෂේප කරනවා.

SEASON 4, VOLUME 1 (EPISODES 1 TO  7)


1979 සිදුවීමකින් ආරම්භවනවා. ආචාර්ය ස්ටීවන් බ්‍රෙනර් අධිමානසික ශක්තීන් ඇති කුඩා දරුවන් යොදාගෙන පර්යේෂණ සිදුකරන පර්යේෂණාගාරයක් මෙහෙයවන අතර එහි එවක 10 හැවිරිදි දැරියක වන ඉලෙවන් සිටින බවත් යම් අත්භූත සිදුවීමක් නිසා ඉලෙවන් හැරෙන්නට අනෙක් සියලුම දරුවන් හා කාර්ය මණ්ඩළය සැහැසි ආකාරයට ඝාතනය වී ඇති බවත් පෙන්වනවා.

ඉන්පසු කතාව 1986 වසරට දිවෙන අතර සීසන් 3 අවසන්වූ ස්ටාර්කෝට් මෝල් සාප්පු සංකීර්ණයේ සටනින් මාස 8කට පසු සිදුවීම් පෙන්වනවා. ඒ වනවිට විල්, ජොනතන්, ජොයිස් හා එලවන් (දැන් ජේන් හොපර්) කැලිෆෝනියාවේ ජීවත්වන අතර ඉලෙවන්ට සිය අධිමානසික ශක්තිය අහිමිවී තිබෙනවා. සමාජශීලී නොවන ඉලෙවන් නිතරම පාසැලේ සිසු සිසුවියන්ගේ උසුලුවිසුල හා සැහැසි ක්‍රියා (bullying) වලට පාත්‍ර වනවා.

මේ අතර පාසැලේ ජනප්‍රියම සිසුවියක මෙන්ම චියර්ලීඩර් කණ්ඩායමේ නායිකාව වන ක්‍රිසී කනින්හැම්, රහසේම එඩී මන්සන් හමුවී මත්ද්‍රව්‍ය ඉල්ලා සිටිනවා. ක්‍රිසී වැනි දක්ෂ, ජනප්‍රිය සිසුවියක් හදිසියේම මත්පෙති මිළදීගැනීමට තමන් හමුවීමට පැමිණීම ගැන එඩී මන්සන් පුදුමයට පත්වෙනවා.

කෙසේ වෙතත් ඇයට යම් බරපතල මානසික ගැටලුවක් ඇති බවත්, විවිධ අවස්ථාවලදී ඇයට අධිස්වාභාවික දර්ශණයවීම් ඇතිවී දැඩි ලෙස බියපත් වන ස්වභාවයන් පෙන්නුම් කරන අතර ඇය පාසැලේ මනෝවෛද්‍ය උපදේශකවරිය හමුවීමටද ගොස් තිබෙනවා. යම් අවස්ථාවලදී තමන්ට පිස්සු හැදෙන්නට මෙන් එන බව ඇය එඩී මන්සන්ට පවසනවා.

දින කිහිපයකට පසුව හෝකින්ස් උසස් පාසැල හා තවත් පාසැලක් අතර බාස්කට් බෝල් අවසාන මහා තරඟය පැවැත්වෙන අතර කණ්ඩායමට ක්‍රීඩාකරන ලූකස් ලකුණක් ලබාගැනීමෙන් තරඟ ජය හෝකින්ස් පාසැලට හිමිවෙනවා. ඒ සමගම පාසැල් නිවාඩුකාලය එළඹෙනවා.

අවසන් මහා තරඟය පැවැත්වෙන දිනම එඩී මන්සන්ගේ මෙහෙයවීමෙන් ඩන්ඩන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ක්‍රීඩාවේ අවසන් තරඟයද පැවැත්වෙන අතර එඩී මන්සන්ගේ කණ්ඩායම හා ඩස්ටින්/මයික් හා ලූකස්ගේ නැගෙනිය වන එරිකාගේ කණ්ඩායම තරඟ වදිනවා. ලාබාල වුවත් දක්ෂ ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ක්‍රීඩිකාවක වන එරිකාගේ උපායශීලී බව නිසා එඩී මන්සන්ගේ කණ්ඩායම පරදවා ඩස්ටින්/මයික්/එරිකා කණ්ඩායම ජය ලබනවා.

ලූකස්, ඩස්ටින්, මයික් ඇතුලු මිතුරන් මග හැර සිටින මැක්සීන්, අවසන් බාස්කට් අබෝල් තරඟයේ විස්තර ගුවන්විදුලි විස්තර විචාරය හරහා අසන අතර ලූකස් ලබාගත් ලකුණකින් හෝකින්ස් පිල ජයගත් බව දැනගන්නවා.

ඇය හා මව හෝකින්ස් නගරය කෙලවරේ දුගී පවුල් ජිවත්වන ජංගම නිවාස අංගනයක ජීවත් වන අතර එඩී මන්සන් සිය මාමා සමග ජීවත්වූ ජංගම නිවාසයද මැක්සීන්ගේ නිවස පෙනෙන මානයේ තිබුණා.


අවසන් මහා තරඟයේදී චියර්ලීඩර් කණ්ඩායම මෙහෙයවූ ක්‍රිසී, තරඟයෙන් පසුව සිය පෙම්වතා හා බාස්කට්බෝල් කණ්ඩායමේ නායකයා වූ ජේසන් ඇතුලු පිරිස සමග ජය සමරනවා වෙනුවට එඩී මන්සන් සමග ඔහුගේ නිවසට පැමිණෙනවා දකින මැක්සීන් විශ්මයට පත්වෙනවා. පෙම්වතෙකු සිටින ක්‍රිසී වැනි රූමත්, ජනප්‍රිය සිසුවියක් එඩී මන්සන් වැන්නෙකු සමග පැමිණීම ඇයට සිතාගත නොහැකි වනවා.

පැය භාගයකට පමණ පසුව විදුලිය විසන්ධිවීම් කිහිපයක් සිදුවන අතර හදිසියේම නිවසින් එලියට පැනගත් එඩී මන්සන් සිය වෑන් රථයට පැන වේගයෙන් පලායන ආකාරය ඇය දකිනවා. එමෙන්ම ක්‍රිසී නිවසෙන් එලියට නොපැමිණි බවද ඇය නිරීක්ෂණය කරනවා.පසුදින මැක්සීන්ට, එඩී මන්සන්ගේ නිවස අතර විශාල කලබලයක් දකින්නට ලැබෙන අතර විවරවූ දොරටුවෙන්  බිම වැටී සිටින ක්‍රිසී දකිනවා. . පොලිස් නිළධාරීන්, එඩී මන්සන්ගේ මාමාගෙන් ප්‍රශ්න කරන ආකාරයද මැක්සීන්ට දකින්නට ලැබෙනවා. එඩී සමග නිවස තුලට යනවිට ඇය හැඳ සිටි චියර්ලීඩර් නිල ඇඳුමින්ම ඇය සිටින බවද නිරීක්ෂණය කරනවා.

හොපර්ගෙන් ලැබුණු පණිවුඩය අනුව, රුසියානු භාශාව කතාකල හැකි පැරණි මිතුරෙකුවූ  මරීව (සීසන් 3) දැනුවත් කරන ජොයිස්, ඔහුත් සමග ජිම් හොපර්ව බේරාගැනීමට ඇලස්කාව බලා පිටත් වනවා. ජිම් වෙනුවෙන් පණිවුඩය එවූ දිමිත්‍රි නම් රුසියානුවාට අනුව ඔවුන් ඇලස්කාවේදී යූරී නැමැත්තෙකුට ඩොලර් 40,000ක් ලබාදිය යුතු අතර ඔහු, ඔවුන්ව රුසියාව වෙත ගෙන යනු ඇතැයි පවසනවා. මුදල් ලැබීම සනාතවූ පසු, ජිම් හොපර්ට සිරගෙදරින් පලායාමට තමන් උදව් කරන බව දිමිත්‍රි පවසා සිටියා.

පාසැල් නිවාඩුව නිසා, මයික් සිය ආදරවන්තිය වූ ඉලෙවන් බැලීමට කැලිෆෝනියාවට යනවා. කැලිෆෝනියාවේදී, මයික් ඉලෙවන් පාසැලේදී ගර්හාවට ලක්වෙන බවත්, දැඩි නොසතුටෙන් සිටින බවත් වටහා ගන්නවා.

මේ අතර මැක්සීන්, ඩස්ටින්ව මුන ගැසී, මිය ගිය ක්‍රිසී එඩී මන්සන්ගේ වෑන් රථයෙන් ඔහුගේ නිවසට පැමිණි බවත්, පැය භාගයකින් පමණ ඔහු දැඩි ලෙස බියපත් ස්වභාවයකින් නිවසින් එලියට පැන වෑන් රථයට නැගී පලා යන හැටි තමා දුටු බවත් පවසා සිටියා. එහෙත් එම තොරතුරු තමන් පොලීසියට නොදුන් බවද ඇය පවසා සිටියා. එඩී ඩස්ටින්ගේද මිතුරෙකු නිසා තමන් එම විස්තර පොලීසියට නොකියූ බව ඇය කියා සිටියා.

ඩස්ටින් මෙම විස්තරය ස්ටීව් හා රොබින්ට පවසන අතර ඔවුන් සතර දෙනා බියපත්ව සැඟව සිටින එඩී සොයා යනවා. තමන් ක්‍රිසීව මරා නොදැමූ බවත් තමන් සමග ඇය නිවසට පැමිණියේ මත්පෙති මිළට ගැනීමට බවත් පවසා සිටියා. 

ඇය ඉල්ලා සිටි සැර මත් පෙති රැගෙන එනවිට සාලයේ සිටි ක්‍රීසී ආවේශවූවාක් මෙන් ගැහෙමින් සිටි ඔහු පැවැසූවා. ඇයව ඇහැරවා ගැනීමට තමන් දැඩි ලෙස වෙහෙස වුවත් ඇයගේ දෑස් උඩගොස් වෙවුලමින් සිටි බව ඔහු පැවසූවා. මොහොතකින් අදහාගත නොහැකි ලෙස ඇයගේ සිරුර සිවිලිම දෙසට එසවුනු බවත් මොහොතකින් ඇයගේ අතපය කැඩී,  හකුපාඩා ඇදවී දෑස් පුපුරා යන හැටි තමා දුටු බවත් එඩී පවසා සිටියා. මොහොතකින් ඇයගේ සිරුර බිම වැටුනු බවත්, බියපත්ව සිහි එලවාගත නොහැකිවූ නිසා තමන් පලාගිය පවැසූවා.

ස්ටාර්කෝට් සිදුවීම හා ඊට පෙර - පෘථිවියේ දර්පණ මානයක් වන (mirror dimension) අප් සයිඩ් ඩවුන් මානයේ ජීවත්වන අත්භූත බලවේගය විසින් සිදුකල ක්‍රියා ගැන අත්දැකීම් ඇති ස්ටීව්, රොබින්, ඩස්ටින් හා මැක්සීන් ඒ පිලිබඳව එඩීට පවසන අතර ඔහු ක්‍රිසී මරා නොදැමූ බව තමන් දන්නා බවත් පැවසූවා. ස්ටාර්කෝට් සටනේදී ඉලෙවන්, එම මානයට යන දොරටුව වසා දැමූ නවත් යලිත් කෙසේ හෝ දොරටුවක් විවරවී ඇති බවට ඔවුන් සැක කරනවා.

මේ අතර පුවත් කතුවරියක් ලෙස සීමාවාසික පුහුණුව ලබන නැන්සී, පුවත්පතේ සේවය කරන තවත් සිසුවෙකු වූ ෆ්‍රෙඩ් සමග ක්‍රිසී මියගිය ජංගම නිවාස සංකීර්ණයේ නිවැසියන්ගෙන් තොරතුරු එකතු කරනවා. ඒ අතර එඩීගේ මාමා මුන ගැසෙන නැන්සී ඔහුගෙන් ක්‍රිසීගේ මරණය සම්බන්ධයෙන් විමසනවා. අමුතුර් චරිතයක් වුවත්, මත්ද්‍රව්‍ය ලෝලියෙකු වුවත් එඩී, මිනී මරුවෙකු නොවන බවත් සැබැවින්ම මෘදු, අහිංසක පුද්ගලයෙකු බවත් එඩීගේ මාමා නැන්සීට පවසනවා. 

එමෙන්ම ක්‍රිසීගේ සිරුර විකෘතිවී තිබූ ආකාරයටම අත්භූත ලෙස විකෘතිවූ සිරුරු සහිත නොවිසඳුනු මිනී මැරුම් කිහිපයක් 1950 ගණන්වලදී හෝකින්ස්වල සිදුවූ බවත් වික්ටර් ක්‍රීල් නම් පුද්ගලයෙකු, සිහිය විකල්වී සිය බිරිඳ හා දරුවන් දෙදෙනාවද මෙලෙසම මරා දැමූ බවත් පවසා සිටියා. වික්ටර් ක්‍රීල් ජීවිතාන්තය දක්වාම අධි ආරක්ෂිත මානසික රෝහලක සිර කොට ඇති බවද පැවසූ ඔහු, වික්ටර් ක්‍රීල් එයින් පැන ගොස් යලිත් ඝාතන සිදුකරන්නට පටන් ගෙන ඇතිදැයි සොයා බලන ලෙස නැන්සිට පවසනවා.

මේ අතර නැන්සි සමග පැමිණි ෆ්‍රෙඩ් අතුරු දහන් වන අතර, ක්‍රිසී මිය ගිය ආකාරයටම අතපය කඩා, හිස පොඩිකොට, ඇස් පුපුරවා මරාදමා තිබූ ෆ්‍රෙඩ්ගේ සිරුර පසුදා සොයාගන්නවා.

ක්‍රිසීව හා ෆ්‍රෙඩ්ව මරාදැමූ අත්භූත බලවේගය අප් සයිඩ් ඩවුන් මානයෙන් පැමිණි බවත්, මීට පෙර එවැනි අත්භූත සිදුවීම් සිදුකල මයින්ඩ් ෆ්ලේයර්ට වඩා බල සම්පන්න බව අනුමාන කරන ඩස්ටින්, ඔහු ඩන්ජන්ස් ඇන් ඩ්‍රැගන්ස් ක්‍රීඩාවේ සිටින බලසම්පන්න දුෂ්ඨ චරිතය වන "වෙක්නා" නම් චරිතයට අනුරූප කොට ඔහුව වෙක්නා ලෙස හඳුන්වන්නට පටන් ගන්නවා.

ක්‍රිසීගේ හා ෆ්‍රෙඩ්ගේ මරණ සඳහා එඩී මන්සන්ව පොලිසීයෙන් සොයන අතරම ක්‍රිසීගේ මරණයෙන් වියරු වැටී සිටින ඇයගේ පෙම්වතා වන ජේසන්ද සිය බාස්කට් බෝල් කණ්ඩායමේ හිතවත් සාමාජිකයින් කිහිපදෙනෙකු සමග එඩී සොයමින් හෝකින්ස් ජනාවාසය පීරනවා.

මේ අතර ආචාර්ය මාටින් බ්‍රෙනර්ගේ භයානක පර්යේෂණ ගැන හා ඔහු පුහුණු කල අධිමානසික දරුවන් ගැන සොයන ඇමරිකන් යුධ හමුදාවේ රහස් ඒකකයක අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජැක් සලිවන්, හෝකින් වල සිදුවන අත්භූත මරණ, බ්‍රෙනර් බිහිකල බලසම්පන්නම අධිමානසික පුද්ගලයා වන ඉලෙවන් විසින් සිදුකරන බවට සැක කරමින් ඇයව සොයන්නට පටන් ගන්නවා.

ලුතිනන් කර්නල් සලිවන් ආචාර්ය සෑම් ඔවෙන් හමුවී ඉලෙවන් හා ආචාර්ය බ්‍රෙනර් ගැන විමසන අතර ඉලෙවන් අතුරුදහන් වූ බවත්, ඇය ගැන තොරතුරක් නොදන්නා බවත් පවසනවා. ඉලෙවන්ව සොයා කැලිෆෝනියාවට යන සෑම් ඔවන්, ඇයට වෙක්නා සිදුකරන මරණ ගැන පවසා ඇයත් ඇයගේ මිතුරු කැලත් දැඩි අණතුරක සිටින බව පවසා ඇයගේ නැතිවූ අධිමානසික ශක්තිය නැවත ලබාගැනීමට ඇයට උදව්කල හැකි බව පවසා නෙවාඩා කාන්තාරයේ භූගත පර්යේෂණාගාරයකට රහසේ ගෙනයනවා.

මේ අතර සෑම් ඔවන්ස්ගේ උපදෙස් මත, රහස් ඔත්තු නිළධාරීන් දෙදෙනෙකු ඉලෙවන්ගේ මිතුරන් වන විල්, ජොනතන් හා මයික්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ව නිවාස අඩස්සියේ රඳවා ගන්නවා. ඉලෙවන් සෑම් ඔවන්ස් සමග ගිය බව නොදන්නා මිතුරන් කෙසේ හෝ ඇයව සොයා ගැනීම සඳහා ප්‍රයෝගයක් ලෙස කෑමට පිට්සා ඇණවුම් කරන ආකාරයෙන් සිය මිතුරු ආගයිල්ට පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

මේ අතර ඉලෙවන් සොයා පැමිණෙන ලුතිනන් කර්නල් සලිවනෙගේ යුධ හුම්දා කණ්ඩායම ඔවුන් සිටි නිවසට පහර දෙනවා. ඒ මොහොතේම ආගයිල් සිය පිට්සා වෑන් රථයෙන් පැමිණීම නිසා ගැලවෙන මයික්, විල් හා ජොනතන්, වෙඩි වැදුනු රහස් ඔත්තු නිළධාරියෙකුද වෑන් රථයේ නංවාගෙන පලායනවා.

රහස් ඔත්තු නිළධාරියා වෑන් රථයේම මිය යන අතර මිය යාමට පෙර, ඉලෙවන් සිටින තැන ලෙස දක්වා දුරකථන අංකයක් ලබා දෙනවා. එම අංකයට ඇමතුමක් දෙන විල්, මයික් හා ජොනතන්, එය පරිගණක ජාලයකට සම්බන්ධ දුරකථන අංකයක් බව වටහාගෙන, එම ස්ථානය කොහේදැයි සොයාගැනීමට ඩස්ටින්ගේ මිතුරිය වන සූසීගේ උපකාරය ලබාගැනීමට තීරණය කරනවා. සැතපුම් දහස් ගණනක් ඈත යූටා ප්‍රාන්තයේ සිටින සූසී දක්ෂ හැකර්වරියක් බව ඩස්ටින් පවසා තිබුණා. කෙසේ හෝ සූසීව සොයා ගන්නා ඔවුන්, ඇයගේ උපකාරයෙන්, ඔත්තු සේවා නිළධාරියා ලබාදුන් අංකයෙන් සම්බන්ධවන පරිගණක  ජාලය පිහිටි ස්ථානයේ අක්ෂාංශ/දේශාංශ තොරතුරු ලබාදෙනවා.

මේ අතර නැන්සි හා රොබින් හෝකින්ස් පුස්ථකාලයට ගොස් පැරණි පුවත්පත් වාර්තා පිරික්සමින් වික්ටර් ක්‍රීල් හා ඔහුගේ ඝාතනයන් ගැන තොරතුරු සොයා බලනවා. ඒ අනුව වික්ටර් ක්‍රීල් රඳවා තබා සිටින ආරක්ෂිත මානසික රෝහල සොයාගන්නවා. එමෙන්ම වික්ටර් ක්‍රීල්, සිය පවුලේ මරණ සඳහා අමනුෂ්‍ය බලවේගයක් වගකිව යුතු බවත් පවසා තිබෙනවා.

සිය සොයුරාගේ මරණයෙන් ඇතිවුනු කම්පණය නිසා පාසැලේ මනෝවෛද්‍ය උපදේශකවරිය හමුවෙන්නට යනවිට එම කාර්යාලයේ සිට මිය ගිය ක්‍රිසී පැමිණි බව සිහිපත් කරන මැක්සීන් සිය මිතුරන් සමග, නිවාඩුවට වසා ඇති පාසැලේ මනෝ උපදේශකවරියගේ කාර්යාලයට රහසින් ඇතුලුවී ඇයගේ වාර්තා පරික්ෂා කරනවා. ඒ අනුව ක්‍රිසීට දැඩි මානසික ආතතිය, නින්ද නොයෑම, බිහිසුණු සිහින පෙනීම යනාදී ලක්ෂණ තිබී ඇති බවත් සොයාගන්නවා. එම ලක්ෂණ, තමන්ට තිබෙන ලක්ෂණවලට හරියටම සමාන බව වටහාගන්නා මැක්සීන්, වෙක්නාගේ ඊලඟ ඉලක්කය තමන් බව සිය මිතුරන්ට පවසනවා.

පුස්ථකාලයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මනෝ විද්‍යාව හදාරණ සිසුවියන් දෙදෙනෙකු ලෙස ලියකියවිලි සකසා ගන්නා නැන්සි හා රොබින්, වික්ටර් ක්‍රීල් රඳවා ඇති  මානසික රෝහලේ වෛද්‍යවරයා රවටාගෙන වික්ටර් ක්‍රීල් සමග කතාකිරීමට අවස්ථාව උදාකර ගන්නවා. 

ඔහු සිය පවුල මරා නොදැමූ බව තමන් විශ්වාස කරන බව වික්ටර් ක්‍රීල්ට පැවැසූ නැන්සි හා රොබින්, එවැනි මරණ යලිත් හෝකින්ස්වල සිදුවන බව පවසා, ඔහුගේ අත්දැකීමේ විස්තර විමසනවා. හෝකින්ස්වල අලුත් නිවසේ පදිංචියට ගිය පසු මේ අවාසනාවන්ත සිදුවීම් ආරම්භවූ බව පැවසූ වික්ටර් ක්‍රීල් මුලින් නිවස වටා විකෘතිකර මරා දැමූ සතුන් හමුවෙන්නට පටන් ගත් බවත්, රාත්‍රී බිහිසුණු සිහින පෙනී පවුලේ සියල්ලන් බියපත් කල බවත් පවසා සිටියා.

දිනක් රාත්‍රී කෑම මේසයට වාඩිවූ, හදිසියේම සිය බිරිඳ ඉහලට එසවී අතපය කුඩුවී, ඇස් පුපුරා මියගිය බවත්, සිය දියනියටද එම ඉරනමම අයත්වූ බවත් පැවසූවා. සිය පුත්‍රයාද සිහිසුන්වී කෝමා තත්වයකට පත්වී පසුව මිය ගිය බව පැවසූවා.'

අමනුෂ්‍යයාගේ ග්‍රහණයට තමන් හසුනොවූයේ මන්දැයි විමසූවිට හදිසියේම රේඩියෝව ක්‍රියාත්මකවී තමන් ආසාම කරන ගීතයක් වාදනය වූ බවත් වික්ටර් ක්‍රීල් පවසූවා. එමෙන්ම මානසික රෝහලේ මනෝවෛද්‍ය වරුන් සමග කල කතාබහේදී සංගීත නාදය, මානසික සංකූලතාවලට හොඳ ප්‍රතිකාරයක් බවට පර්යේෂණ ප්‍රතිපල ලැබී ඇති බව පවසා තිබුණා. ඒ අනුව ඒ අනුව වික්ටර් ක්‍රීල්ගේ හිත ඔහුගේ ප්‍රියතම සංගීතයට යොමුවූ විට අමනුෂ්‍යයාට ඔහුගේ මනස ග්‍රහණය කරගත නොහැකිවූ බවත් නැන්සි හා රොබින් වටහා ගත්තා.

මේ අතර, ක්‍රිසීට සිය මානසික ව්‍යාකූලතා ඇතිවන්නට පටන්ගෙන සතියකින් වෙක්නාගේ ග්‍රහණයට හසුවී මියගිය නිසා තමන්ද ඉක්මණින් මිය යන බවත්, එය නැවැත්වීමේ කිසිම ක්‍රමයක් නැති බවත් වටහාගන්නා මැක්සීන් සිය මිතුරු මිතුරියන්ට අවසන් සුබපැතුම් ලිපි ලියා, මියගිය සිය සොයුරාගේ සොහොන වෙත මිතුරන් සමග යන්නේ ඔහුගෙන් සමාව අයැද මිය යන්නට සූදානම් වන්නටයි.

සොහොන ලඟ සිටින අතරේ ඇය වෙක්නාගේ ග්‍රහණයට හසුවී භ්‍රාන්තයකට පත්වෙන අතර සිය මිතුරන් කොතෙක් උත්සහ කලද ඇයව එයින් මුදවා ගැනීමට අසමත් වෙනවා. වික්ටර් ක්‍රීල්ගෙන් තොරතුරු විමසන්නට ගිය නැන්සි හා රොබින් රේඩියෝ යන්ත්‍රය මගින් අමතා මැක්සීන් වෙක්නාගේ ග්‍රහණයට යටත්ව ඇති බවත් ඇයව බේරාගත හැකි ක්‍රමයක් කියන ලෙසත් මැක්සීන්ගේ මිතුරන් අයැද සිටියා.

මැක්සීන්ට ඇයගේ ප්‍රියතම සංගීතය ඇසීමට සලස්වන ලෙස නැන්සි හා රොබින් උපදෙස් දෙනවා. සංගීතයට ලැදි මැක්සීන් යන යන තැන රැගෙන යන වෝක්මන් කැසට් ප්ලේයරය හරහා ඇයට ඇයගේ ප්‍රියතම ගීතය අසන්ට සලස්වන අතර එමගින් ඇය වෙක්නාගේ මානසික ග්‍රහණයෙන් මිදී පියවි සිහියට පැමිණෙනවා.

ආචාර්ය ඔවෙන්ස්, ඔහු හා ආචාර්ය බ්‍රෙනර් ඉලෙවන්ගේ නැතිවූ අධිමානසික බලය යලි ලබාදීමට හැකි පර්යේෂණ ව්‍යාපරුතියක් නෙවාඩා කාන්තාරයේ පැරණි මිසයිල බංකරයක අරඹා තිබුණා. යම්කිසි දිනක අප්-සයිඩ්-ඩවුන් මානයේ දොරටුවක් විවරවුවහොත්, ඉලෙවන්ට එය යලි වසා දැමීමට උදව් කිරීමට මෙය සූදානම් කර තිබුණා. නීනා ප්‍රොජෙක්ට් ලෙස හැඳින්වූ එය හරහා සිය මානසික ව්‍යවුල සමථයකට පත්කරගෙන යලිත් චෛතසික ශක්තිය ප්‍රක්ෂේපනය කිරීමේ හැකියාව ලබාගැනීමට ඇය සූදානම් කරන අතර, එම ප්‍රවේශයේදී ඇයට, ඇය අතීතයේ සිදුකල බිහිසුණු ක්‍රියා යලිත් අත්විඳීමට සිදුවන බවත්, ඇයගේ චෛතිසික ශක්තිය නැතිවී තිබෙන්නේද, සැබැවිනම එය නැතිවී ඇති නිසා නොව, ඇයගේ මානසික ව්‍යාකූලතාවන් සියා ඇයගේ මනස විසින්ම ඇතිකර තිබෙන ආරක්ෂිත බාධකයක් නිසා බව බ්‍රෙනර් විස්තර කරනවා.

නීනා ව්‍යාපෘතිය සාර්ථක වන තර ඉලෙවන් සිය අධිමානසික චෛතිසික ශක්තිය යලි ලබාගන්නව. එහෙත් එහි ප්‍රතිපලයක් ලෙස ඉලෙවන්ට තමන් සිදුකල සියලුම බිහිසුනු ක්‍රියා හා ඝාතන පිලිබඳ මතකයන්ද යලි සිහිපත් වෙනවා. වෙක්නා යනු හෝකින්ස් පර්යේෂණාගාරයේ සහයකයෙකු ලෙස සිටි 001 නම් පලමු අධිමානසික ශක්තිය ඇති දරුවා බවත්. ඔහු වෙන කිසිවෙක් නොව වික්ටර් ක්‍රීල්ගේ පුත්‍රයා බවත් ඇය තෙරුම් ගන්නවා. හෝකින්ස් විද්‍යාගාරයේ දරුවන් සියලු දෙනා ඝාතනය කරන ඔහු සමග ඇතිවන කෝපය නිසා ඔහුව අප්සයිඩ් ඩවුන් මානයට යවන්නේ තමන් බවද, වෙක්නා ලෙස දැන් හෝකින්ස්වල ඝාතන සිදුකරන්නේ ඔහු බවත් ඇය වටහා ගන්නවා.

අවසානය  | Season Finale

වෙක්නා මේ වනවිට ජීවිත 4ක් බිලිගෙන ඇති අතර එම ස්ථාන 4න්ම හෝකින්ස් සිට අප් සයිඩ් ඩවුන් මානය වෙත දොරටුවක් විවර වන බව ඩස්ටින් ඇතුලු පිරිස තේරුම් ගන්නවා. මුල්ම මරණය සිදුවූ එඩීගේ නිවසේ වහලය අප්සයිඩ් ඩවුන් මානයේ ඇති එඩීගේ නිවසේ වහලය හා සම්බන්ධ වන බවත් ඒ හරහා වෙක්නාට නොදැනී අප්සයිඩ් ඩවුන් මානයට පිවිසිය හැකි බවත් ඔවුන් තේරුම් ගන්නවා. 

මේ අතර නැන්සිගේ මනස ආක්‍රමණය කරන වෙක්නා ඔහුගේ අවසාන සැලස්ම ඇයට පෙනෙන්නට සලස්වනවා. 

අවසන් සටන

මැක්සීන්, ලූකස් හා එරිකා ක්‍රීල් නිවස වෙත යනවා. නැන්සි, ස්ටීව් හා රොබින් එඩීගේ නිවසේ විවෘතව ඇති මාන-කවුළුව හරහා අප්-සයිඩ් ඩවුන් මානයේ ඇති ක්‍රීල් නිවස වෙත යනවා. වෙක්නා එයතුල රැඳී සිටින බවට අනුමාන කරන ඔවුන්, ඔහුව විනාස කිරීමේ සැලසමක් හදාගෙන සිටිනවා.

නැන්සි ඇතුලු පිරිසට අප්-සයිඩ් ඩවුන් මානයේ සිටින ලේ පිපාසිත වවුලන් තමන් වෙතට ඇදගැනීමට ඩස්ටින් හා එඩී ක්‍රියාකරනවා. ඩස්ටින්ව ආරක්ෂාකරගෙන වවුලන් තමන්වෙත ඇදගැනීම සඳහා එඩී ඔවුන් සිටින ආරක්ෂිත ස්ථානයෙන් ඉවතට යනවා. වවුල් ප්‍රහාරයට හසුවන ඔහු මිය යනවා.

මේ අතර ඉලෙවන් සොයා ඇරිසෝනා කාන්තාරයේ රහසිගත පර්යේෂණාගාරය වෙත ගිය මයික්, විල් හා ආගයිල් ඇයව සොයාගන්නවා. ඇයට හෝකින්ස්වල සිදුවන්නේ කුමක්දැයි සිය මනස විහිදුවා සොයාගැනීමට අවශ්‍ය ජලය පිරි ජල ටැංකියක් පිට්සා අවන්හලක ඩීප් ෆ්‍රීසර් යන්ත්‍රයක් තුල පිලිවෙල කරනවා.

සිය අධිමානසික ශක්තිය යොදවා ඒ වනවිට සැලැස්මේ හැටියටම වෙක්නා ගේ ග්‍රහණයට හසුව සිටින මැක්සීන්, වෙක්නාගෙන් මුදා ගැනීමට ඉලෙවන් වෙහෙසෙනවා. ඒ අතර ඉලෙවන් සමග මනෝමය සටනක නිරතවෙන වෙක්නාගේ ශරීරය අනාරක්ෂිත නිසා ඔහුගේ සිරුරට වෙඩිතබා ගිණි තබන්නට නැන්සි, රොබින් හා ස්ටීව් සමත්වෙනවා. කෙසේ වෙතත් මේ අතරතුර මැක්සීන්ගේ හදවත නැවතී ඇය මිය යනවා. ඒ අවසරයෙන් වෙක්නා සිය 4වැනි බිල්ල සම්පූර්ණ කරගැනීමත් සමග හෝකින්ස්වල මහා භූමිකම්පාවක් සිදුවී, පොලොව පැලී අප්සයිඩ් ඩවුන් මානයට විවර වනවා.

කෙසේ වෙතත් ඉලෙවන් සිය අධිමානසික ශක්තියෙන් මැක්සීන්ගේ නැවතුන හදවත යලි පණගන්වන නමුත් විනාඩි කිහිපයක් මොලයට ඔක්සිජන් නොලැබීම නිසා මැක්සීන් කෝමා තත්වයට පත්වෙනවා.

මේ අතර ප්‍රහාරයෙන් දැඩි ලෙස අඩපන වුනත් වෙක්නා තවමත් ජීවත් වන බව විල්ට හැඟෙනවා. විල් හා අප්සයිඩ් ඩවුන් මානය අතර තවමත් යම් සබඳතාවයක් තිබෙන අතර වෙක්නාගේ වේදනාවද ඔහුට දැනෙනෙනවා.

Comments

  1. මගේ දුවල දෙන්න මේ දිනවල බලන්නේ මේක. මමත් අතරින් පතර බලනවා. මට එපමණම අල්ලලා යන්නේ නැහැ. නරක නැහැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවේ මගේ පොඩි දුව එක්ක. ලොකු දුව එච්චර කැමති නෑ.

      මම වැඩියෙන්ම කැමති කතාවට වඩා 1980 ගණන් ඔතෙන්ටික් විධියට පෙන්වන එකට. කතාව බලනකොට ඒ කාලේ මතක්වෙනවා.

      සෝනි වෝක්මන්, වීඩියෝ කැසට්, චොපර් බයිසිකල්..... :D

      Delete
    2. ඔව් ඒක නම් ඇත්ත. දුවල වෝක්මන් එකක් දැකලම නැහැ. මම කැසට් එකක් පෙන්නුවා ලොෆ්ට් එකෙන් ගෙනල්ල.

      Delete

Post a Comment