MARS UPDATE : කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය පණගැන්වීමට නාසා ආයතනය සැරසෙයි!


ඊයේ අඟහරු ග්‍රහයා මතට ගොඩබැස, සාර්ථකව ගමනාන්තයට පැමිණිබව තහවුරු කිරීම සඳහා කිව්රියෝසිටි යානය විසින් එවන ලද ඡායාරූප පරීක්ශා කල නාසා රොබෝ ඉන්ජිනේරුවන්, කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය පණගැන්වීම සඳහා එහි පද්ධති එකින් එක පරීක්ශා කිරීමේ health check මෙහෙයුමක් ආරම්භ කළ බව වාර්තාවේ.

Sol 0

කිව්රියෝසිටි යානය අඟහරුවා මත ගතකරන මුල් දිනය සොල් 0 ලෙස නම් කොට ඇත.  (සොල් යන නාමයෙන් හඳුන්වන අඟහරුගේ දිනයක් පෘථිවි පැය 24යි  මිනිත්තු 37ක් වේ). දැනට ක්‍රියාත්මක වෙමින් පවතින උපකරණ වන්නේ යානයේ පරිගණක පද්ධතියත් යානයේ ඇති Hazard-Avoidance Camera  (HazCam) නම් කුඩා කැමරා (2 cameras) හා Mars Hand Lens Imager (MHLI) නම් කැමරාවයි. යානය ගොඩබෑ මොහොතේ ගන්නා ලද කළු සුදු ඡායාරූප HazCam කැමරා මගින් ලබාගත් ඒවා වේ.

මීට අමතරව යානයේ UHF ඇන්ටෙනාව එසවීම, සියලුම අධිවිබේධන කැමරාවල කාච ආරක්ශා කිරීමට යොදා ඇති දූවිලි ආවරණ (dust covers) ඉවත් කිරීමේ කටයුතු හා යානයේ ප්‍රධානතම උපාංගයක් වන රොබෝ හස්තය රඳවනයෙන් ඉවත්කොට එහි ක්‍රියාකාර්ත්වය පරීක්ශා කිරීම, රෝවරයේ රෝද ක්‍රියාත්මක කරවන මෝටර් පද්ධතියේ (rover motor controller assembly) තත්වය පරික්ශාකිරීම වැනි කටයුතු ඉදිරි සතිය තුල යෙදී ඇති බව නාසා ආයතනය පවසයි.

ඉන්ජිනේරුවන්ගෙන් විද්‍යාඥයින් හට රෝවරයේ පාළනය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇත

දැනට කිව්රියෝසිටි රෝවරයේ පාළනය භාරව සිටින්නේ යානය නිර්මාණය කල හා ගුවන්ගත කල මොහොතේ සිට එහි ක්‍රියාකාරිත්වය නිරීක්ශණය කරමින් අඟහරුමතට ගොඩබැස්වීම සැළසුම්කල ඉන්ජිනේරු කණ්ඩායමයි. මොවුන් තවත් සති දෙක තුනක් යානයේ සියලුම පද්ධති හා උපාංග පරීක්ශා කරමින්, සීරුමාරු කිරීම් හා විද්‍යාත්මක පර්යේෂණ උපකරණ ක්‍රියාත්මක කරවන පරිගණක වැඩසටහන් රෝවරයේ පරිගණක වලට ප්‍රවේශණය කරමින් (software loading) යානය අඟහරු වසරක, එනම් පෘථිවි සති 98ක ගවේශණයක් සඳහා සූදානම් කරනු ඇත.

රොබෝ විද්‍යාගාරයේ පර්යේශණ කටයුතු මෙහෙයවීමට 400ක විද්‍යාඥ කණ්ඩායමක් සූදානමින්.

නාසා ඉන්ජිනේරුවන් වෙතින් යානයේ පාළනය ලැබුණු වහාම පර්යේෂණ කටයුතු ඇරඹීම සඳහා 400ක විද්‍යාඥයින් කණ්ඩායමක් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ. රොබෝ විද්‍යාගාරය තුල අඩංගු කොට ඇති සංකීර්ණ විද්‍යා උපකරණ 10ක් මගින් මෙම පර්යේශන සිදු කෙරන අතර අඟහරු මත ජීවය පවතීද (නැතහොත් අතීතයේ පැවතුනාද) යන්න නිශ්චිතව තහවුරු කරගැනීම මෙම යානය අඟහරු වෙත යැවීමේ මූලික අරමුණයි.

Comments

  1. හොඳ ලිපියක්. මේ රෝවර් එකත් මීට ඉස්සෙල්ල යවපු රෝවර් වලත් වෙනස්කම් මොනවද?

    ReplyDelete

Post a Comment