රථවාහන ලොවේ යුග පුරුෂයෝ - 1

කාර් නැතිනම් මෝටර් රථ අපට නැතුවම බැරි දෙයක්. වැඩට යන්න, විනෝද වෙන්න, වැඩ රාජකාරි කරගන්න වාහනයක් තියෙන එක කොයිතරම් වටිනවද? ර්ථ වාහන ලෝකය දැන් කොතරම් දියුණු වෙලාද කියනවනම් අද දියුණු රටවල සාකච්ඡා වෙන්නේ රියදුරන් නැති, රොබෝ කාර් මහාමාර්ගවලට අනුයුක්ත කරන්නේ කොහොමද කියලා.
රොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි?
පොඩි කාර්, ලොකු කාර්, සුපිරි වේග කාර්, සුපිරි සුඛෝපභෝගී කාර්, ඉලෙක්ටික් කාර්, හයිබ්‍රිඩ් කාර්, හයිඩ්‍රජන් කාර්.....අද ලෝකය කාර්වලින් පිරිල.
Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්‍රජන් කාරය
Ceylon Motor Show 2015 - BMICH (8-10 May)
කාර් නැතිනම් පෞද්ගලික මෝටර් රථ නිසා මිනිසුන්ගේ ජනජීවිතය කොතරම් වෙනස් වෙලාද? මේ වෙනස, නැතිනම් විප්ලවය ඇති කරන්න වෙහෙස මහන්සිවුනු, ධනය, ශ්‍රමය කැපකල යුග පුරුශයන් කිහිප දෙනෙක් ගැන කතාකරන්නයි මේ සැරසෙන්නේ. ඉස්සෙල්ලම ඒ අය අඳුනගෙන ඉමු;
  • ගොට්ලිබ් ඩේම්ලර්
  • කාල් බෙන්ස් 
  • විලියම් මොරිස්
ගොට්ලිබ් ඩේම්ලර් (Gottlieb Daimler)

1834 ජර්මනියේ උපතලැබූ ගොට්ලිබ් විල්හෙල්ම් ඩේම්ලර් ඉන්ජිනේරුවෙකු, කාර්මික නිර්මාණකරුවෙකු වගේම ව්‍යවසායකයෙකුද වුනා. අද අප අන්තර්දරන එන්ජිම (ඉන්ටර්නල් කම්බස්චන් එන්ජින්) කියලා හඳුන්වන,  මෝටර් රථ ප්‍රායෝගික වාහන බවට පත්කරන්නට ඉවහල්වුනු එන්ජින් වර්ගය පිලිබඳව පර්යේෂණ පවත්වපු පුරෝගාමියකු විධියට ඩේම්ලර් පිලිගැනෙනවා. ඔහු විසින් නිර්මාණය කල පෙට්‍රෝල් එන්ජිම, පෙට්‍රෝල් එන්ජින්වල පූරෝගාමී නිර්මාණය ලෙස සැලකෙනවා.

1872 දී ඩේම්ලර් ජර්මනියේ කොලෝන් නුවර මෝටර් රථ සමාගමකර බැඳුනු අතර ඔහු සමග ඔහුගේ මිතුරු විල්හෙල්ම් මේබැක්ද එම සමාගමට එක්වුනා. ඒ වනවිට එම සමාගමේ නිකොලස් ඔටෝ (Nikolaus Otto) නම්වූ තවත් මෝටර් රථ ලොවේ පුරෝගාමියෙකු සේවය කලා. එකල නිකොලස් ඔටෝ එම සමාගමේ තාක්ශණික අධ්‍යක්ශකවරයා වූ අතර ඩේම්ලර්ද සම තාක්ශණික අධ්‍යක්ශක ලෙස පත්වූවා. ඩේම්ලර් හා ඔටෝ පෙට්‍රෝල් එන්ජින් තාක්ශණය සංවර්ධනය කිරීමේ නිරතවුනු අතර මේබැක් ප්‍රධාන නිර්මාපක (Chief Designer) තනතුරට පත්වෙමින් ඔවුන් දෙපලට සහය දුන්නා.

1976දී නිකලස් ඔටෝ ෆෝ ස්ට්‍රෝක් සයිකල් (Four Stroke Cycle) තාක්ශණය හෙවත් සිවුපහර චක්‍ර තාක්ශණය නම්වූ නව පෙට්‍රෝල් එන්ජින් තාක්ශණයක් නිර්මාණය කලා. අද සමහර කුඩා මෝටර් සයිකල හැරුනුවිට සියලුම මෝටර් රථ එන්ජින් ක්‍රියාත්මක වන්නේ නිකොලස් ඔටෝ නිර්මාණය කල සිවුපහර තාක්ශණයට අනුවයි.

1877දී ඔටෝ සිය සිවුපහර චක්‍ර තාක්ශණයට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට උත්සහ කලත් එය අසාර්ථකවුනේ එවැනි පර්යේෂණ සිදුකල වෙනත් නිර්මාපකයින් ඔටෝ වෙත එම පේටන්ට් බලපත්‍රය ලබාදීමට විරුද්ධවීම නිසයි. මේ අතර ඔටෝ, ඩේම්ලර් හා මේබැක් යන තිදෙනාම නොදැනුවත්ව එකල ජර්මනියේම  මාන්හයිම් ප්‍රදේශයේ සිට පර්යේෂණ කටයුතු කල කාල් බෙන්ස් ද්විපහර චක්‍ර (Two Stroke Cycle) තාක්ශණය නම් සමාන තාක්ශණයකට පේටන්ට් බලපත්‍රයක් 1879දී ලබාගත්තා.

1885දී ගොට්ලිබ් ඩේම්ලර්, සිය ව්‍යාපාරික සගයා මෙන්ම පර්යේෂණ සගයාද වුනු විල්හෙල්ම් මේබැක් සමග එක්ව ඕනෑම රථයකට සවිකල හැකි අන්තර් දරන එන්ජින් පිලිබඳව පර්යේෂණ සිදුකල අතර ඔවුන් නිර්මාණය කල මුල්කාලීන පෙට්‍රෝල් එන්ජිමක් සාර්තකව බයිසිකලයකට සවිකොට ධාවනයේ යෙදුනු අතර එය ලොව ප්‍රථම අන්තර් දහන එන්ජිමක් සහිත මෝටර් සයිකලය ලෙස පිලිගැනෙනවා. එම වසරේදීම ඔවුන්, පෙට්‍රෝල් ඉන්ධන වාතය හා මුසුකරන කාබියුරේටරය නිපදවූ අතර ස්පාර්ක්-ප්ලග් හා කොයිල් ඉග්නිෂන් වැනි තාක්ශණයන් පිලිබඳවද පර්යේෂණ සිදුකලා.

1890දී ඩේම්ලර් හා මේබැක්, ඩේම්ලර් මෝටර් රථ සමාගම ආරම්භකල අතර ඔවුන් සිය මුල්ම රථය 1892දී අලෙවිකලා.  1894දී ඩේම්ලර්, ඔහුගේ පුත්‍රයා වූ පෝල් හා මේබැක් එක්ව ෆීනික්ස් නම් අන්තර්දහන එන්ජිමක් නිර්මාණය කල අතර එය සිලින්ඩර් හතරේ සිවුපහර ඉන්ජිමක්වූ අතර එකල නවීන තාක්ශණයන් ලෙස සැලකුණු තාක්ශණයන් රැසක් එක් කොට තිබුණා.

1900දී ගොට්ලිබ් ඩේම්ලර් මියගිය අතර 1927දී ඔවුන්ගේ මෝටර් රථ සමාගම කාල් බෙන්ස්ගේ බෙන්ස් සමාගම හා ඒකාබද්ධ කරන ලද අතර එම ඒකාබද්ධ සමාගම ඩේම්ලර් බෙන්ස් සමාගම ලෙස හැඳින්වුනා.

කාල් බෙන්ස් 

1844දී ජර්මනියේ මුල්බර්ග් ප්‍රදේශයේ උපන් කාල් බෙන්ස් අන්තර්දහන එන්ජිමකින් බලගැන්වෙන මෝටර් රථයක් පලමුවරට නිර්මාණය කල පුද්ගලයා ලෙස නිළ වශයෙන් පිලිගැනේ. අන්තර්දහන මෝටර් රථ එන්ජිම සඳහා කාල් බෙන්ස්ට 1879දී පේටන්ට් බලපත්‍රයක් හිමිවූ අතර එම පේටන්ට් බලපත්‍රය මගින් මෝටර් රථයක සවිකිරීම සඳහා අන්තර්දහන එන්ජිමක් නිර්මාණය කිරීමේ සියලුම ක්‍රමවේද ආවරණය කෙරිනි. එමෙන්ම 1886දී ඔහු නිර්මාණය කල මෝටර් රථය සඳහා ඔහුට පේටන්ට් බලපත්‍රයක් හිමිවීම මගින් මෝටර් රථ තාක්ශණය නිළ අයිතිකරුවා බවට කාල් බෙන්ස් පත්විය.

සාමාන්‍ය පවුලක උපන් කාල් බෙන්ස්ගේ පියා දුම්රිය තාක්ශණික නිළධාරියෙකු වුනු අතර බෙන්ස්ට වසර 2ක් පමණ වනවිට ඔහු හදිසි අණතුරකින් මියගියේය. පියා මිය යාමෙන් පසු බෙන්ස් පවුලට දැඩි ආර්ථික අහේනි කාලයක් උදාවූ අතර උත්සහවන්ත කාන්තාවක්වූ බෙන්ස්ගේ මව ජොසෆීන් බෙන්ස්, දුශ්කරතා මධ්‍යයේ කෙසේහෝ සිය පුත්‍රයාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සහකලාය.

ඉගෙනීමට දක්ශයෙකු වුනු බෙන්ස් වයස 15දී කාල්ශෲ විශ්වවිද්‍යාලයට (University of Karlsruhe) ඇතුලත්කර ගැනීමේ පරීක්ශණ විභාගයෙන් සමත්වූ අතර ඉන්ජිනේරු පීඨයට ඔහුව බඳවාගන්නා ලදී. එම විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධියක් දිනාගන්නාවිට ඔහුගේ වයස අවුරුදු 19කි.

1864 වසරේදී උපාධිය දිනාගත් ඔහු වසර කිහිපයක් විවිධ ආයතනවල සේවයකල අතර ඔහුගේ සිහිනය වූයේ තමාගේම සමාගමක් ආරම්භ කිරීමයි. 1871 වසරේදී ඕගස්ට් රිටර් නම්වූ ව්‍යාපාරික සගයෙකු සමග යකඩ තහඩු නිශ්පාදනය කිරීමේ කම්හල ඇරඹි නමුත් රිටර්ගේ අවිධිමත් වැඩකටයුතු නිසා ව්‍යාපාරයේ ණය බර අධිකවූ අතර ණයහිමියන් විසින් කම්හලේ යන්ත්‍රසූත්‍ර සීල් තබන ලදී. මෙහිදී ඔහුගේ පිහිටට ආවේ ඔහුගේ බිරිඳවන බර්තා බෙන්ස්ය. ඇය සිය දෑවැද්දට දෙමව්පියන්ගෙන් ලැබුණු මුදල් ආයෝජනය කොට ඕගස්ට් රිටර්ට මුදල් ගෙවා ඔහුගේ ව්‍යාපාරයේ කොටස මිළදී ගත් අතර ඒ අනුව එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කාල් බෙන්ස් හා බර්තා බෙන්ස් අතට පත්විය.

බෙන්ස් පෙට්‍රෝල් එන්ජින් පිලිබඳ පර්යේශණ පැවැත්වූයේ මෙම කම්හල තුලදීය. 1878දී ඔහු විශ්වාසදායි ලෙස ක්‍රියාත්මකවන, කාර්යක්ශම ද්විපහර අන්තර්දහන පෙට්‍රෝල් එන්ජිමක් නිර්මාණය කල අතර 1879දී එයට පේටන්ට් බලපත්‍රයක් හිමිවිය.ඉන්පසු ස්පාර්ක්-ප්ලග් හා බැටරි පද්ධතියකින් පෙට්‍රෝල් එන්ජිමක් පණගැන්වීමේ පද්ධතියක් (ignition system) නිර්මාණය කල ඔහු එයටද පේටන්ට් බලපත්‍රයක් දිනාගත්තේය. ඉන් නොනැවතුනු ඔහු අන්තර්දහන එන්ජිමට පෙට්‍රෝල් ඉන්ධන කාර්යක්ශමව ලබාදෙන කාබියුරේටර නිර්මාණය කොට එයටද පේටන්ට් බලපත්‍රයක් ලබාගත්තේය. එපමණක් නොව ක්ලච් පද්ධතිය, ගියර පද්ධතිය හා ජලයෙන් සිසිල්වන රේඩියේටර් පද්ධතියක්ද නිර්මාණය කොට මේ සියල්ලටම පේටන්ට් බලපත්‍ර දිනාගත්තේය.

ගොට්ලිබ් ඩේම්ලර්, විල්හෙල්ම් මේබැක් වැන්නවුන් මෝටර් රථයේ වැඩිදියුණුවට අතිවිශාල සේවාවක් ඉටුකලද මෝටර් රථයේ නිර්මාපකයා ලෙස කාල් බෙන්ස්ව පිලිගැනීමට බඳුන්වන්නේ ප්‍රායෝගික අන්තර්දහන එන්ජිමක් සහිත මෝටර් රථයක් නිශ්පාදනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය තාක්ශණයන් විශාල ප්‍රමාණයක් ඔහු බිහිකල බැවිනි.

1886දී පේටන්ට් බලපත්‍රය හිමිවූ බෙන්ස්ගේ මෝටර් රථය 1888 වනවිට වඩාත් වැඩි දියුණුවට පත්කල බෙන්ස් එය "බෙන්ස් පේටන්ට් මෝටර්වගන් - Benz Patent Motorwagen" ලෙස අලෙවිකරන්නට පටන්ගත්තේය.තම ස්වාමිපුරුෂයා නිර්මාණය කල මෝටර් රථය දුරගමන් සඳහා සාර්ථකව යොදාගත හැකිබව පෙන්වා එහි අලෙවිය ඉහලදැමීමට සිතාගත් බර්තා බෙන්ස් 1888 අගෝස්තු 5වැනිදා සිය සැමියාටත් නොපවසා සිය පුතුන් දෙදෙනාද සමග බෙන්ස් පේටන්ට් මෝටර්වගන් රථයකින් ඔවුන්ගේ නිවස පිහිටි මාන්හයිම් නුවර සිට කිලෝ මීටර් 106ක් දුරින් පිහිටි ෆොර්ස්හයිම් නුවර ජීවත්වුනු සිය මව බැලීම සඳහා පිටත්වූවාය. එකල අද මෙන් පෙට්‍රෝල් තෙල් විකිණූ ඉන්ධන හල් නොතිබූ අතර පෙට්‍රෝල් තෙල් තුවාල පවිත්‍රකරන පවිත්‍රකාරකයක් ලෙස ෆාමසිවල අලෙවි කරන ලදී. දිරිය කාන්තාවක් වූ බර්තා, සිය පුතුන් දෙදෙනාගේද සහය ඇතුව අතර මගදී හටගත් විවිධ කාර්මික දෝෂද පිලිසකර කරගෙන, අතර මග ෆාමසිවල නවත්වමින් පෙට්‍රෝල් තෙල් මිලටගෙන ඉන්ධන පුරවා ගනිමින් සවස් වනවිට සිය මවගේ නිවසට ලඟාවූ අතර ඇය සිය සාර්ථක ගමන් පිලිබඳව ටෙලිග්‍රෑමයක් මගින් සිය සැමියාව දැනුවත් කලේ මවගේ නිවසට පැමිණීමෙන් අණතුරුවය.

1888දී බර්තා බෙන්ස් සිදුකල මෙම ගමන මෝටර් රථයක් මගින් සිදුකල ලොව ප්‍රථම දුර ගමන (first long distance automobile trip) ලෙස පිලිගැනෙන අතර ජර්මනියේ සෑම වසර දෙකකටම වරක් මෙම ඓතිහාසික අවස්ථාව සමරන්නේ ඇය ගමන්ගත් මාර්ගයේ පැරණි මෝටර් රථ රැලියක් පවත්වමිනි. 2008දී ජර්මන් රජය ඇය ගමන්ගත් කිලෝමීටර් 106 මාර්ගය "බර්තා බෙන්ස් සිහිවටන ගමන්මාර්ගය - Bertha Benz Memorial Route" ලෙස නම්කරන ලද්දේ මෙම දිරිය කාන්තාව ජර්මනියේ මෝටර් රථ කර්මාණ්තය මෙන්ම මිනිසාගේ කාර්මික දියුණුව සඳහා ඉටුකල සේවය සැමරීම සඳහාය.

1895දී බෙන්ස් ලොව ප්‍රථම ට්‍රක් රථය නිර්මාණය කරන ලද අතර එම ට්‍රක් රථ මිලට ගත් එක් සමාගමක් එහි දුම්රිය පෙට්ටියක මෙන් ආසන සවිකොට ලොව ප්‍රථම බස් රථය නිර්මාණය කරනලද බව පැවසේ.
1899වන විට බෙන්ස් පවුලේ කර්මාණ්තශාලාව විශාල කරන්නට සිදුවූ අතර පවුලේ සමාගමක් වූ එය පොදු සමාගමක් බවට හරවා නව ආයෝජකයින් බඳවාගන්නා ලදී. 1899දී බෙන්ස් සමාගම මෝටර් රථ 572ක් නිශ්පාදනය කරන ලදී.

1883 සිට 1926 දක්වා බෙන්ස් කාර් සමාගම Benz & Cie ලෙස හැඳින්වුනි. ඔවුන්ගේ ප්‍රධානම තරඟකරුවා වූයේ ගොට්ලිබ් ඩේම්ලර් හා විල්හෙල්ම් මේබැක් 1890දී ආරම්භ කරන ලද ඩේම්ලර් මෝටර් සමාගමයි.1920 ගණන්වන විට ප්‍රථම ලෝක යුද්ධයෙන් පරාජයට පත්වූ ජර්මනිය දැඩි ආර්ථික අවපාතයකට මුහුණදී සිටි අතර මෝටර් රථ කර්මාන්තය කඩා වැටුනි. මෙයට පිලියමක් වශයෙන් බෙන්ස් ඇන්ඩ් සී සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය හා ඩේම්ලර් මෝටර් සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය සාකච්ඡාකොට සමාගම් දෙක ඒකාබද්ධකොට 1926දී ඩේම්ලර් බෙන්ස් සමාගම නිර්මාණය විය. මේ වනවිට ගොට්ලිබ් ඩේම්ලර් මියගොස් සිටි අතර කාල් බෙන්ස් 1929 වනතෙක් ආයු වැළදූ අතර ඒකාබද්ධ සමාගමේ ගරු අධ්‍යක්ශකවරයෙකු ලෙස සේවය කලේය.

සර් විලියම් මොරිස්

1877දී උපන් විලියම් මොරිස් බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තයේ පතාක යෝධයෙකි. මොරිස් මෝටර් රථ සමාගම ආරම්භකල විලියම් මොරිස්ගේ සමාගමේ ප්‍රධාන නිර්මාණය මොරිස් මයිනර් රථයයි. වයස 15දී පාසැල් අධ්‍යාපනය අවසන්කල මොරිස් බයිකල් අලුත්වැඩියා කරන වින්කලයක රැකියාව ආරම්භ කලේය. ඉතා මහින්සිවී වැඩකල මොරිස් මාස 9ක් රැකියාව කිරීමෙන් පසු සිය හාම්පුතාගෙන් ලැබෙන වේතනය පිලිබඳව නොසතුටට පත්ව සිය නිවස පිටුපස තමාගේම බයිසිකල් වින්කලයක් ආරම්භ කලේය. එම ව්‍යාපාරය ඉක්මණින් සාර්ථකවූ අතර මොරිස් ඔහු ජීවත්වුනු ඔක්ස්ෆෝඩ් නගරයේ ප්‍රධාන විදියේ බයිසිකල් සාප්පුවක් ආරම්භකල අතර එහි බයිසිකල් අලුත්වැඩියාව මෙන්ම බයිසිකල් එකල්ස් කිරීමද ඇරඹිනි. ඔහු සිය බයිසිකලය "The Morris" ලෙස හඳුන්වන ලදී. තමන් නිපැදවූ බයිසිකල් රැගෙන බයිසිකල් රේස් වලට සහභාගීවූ මොරිස් කලක් ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ සියලු තරඟ ජයගෙන බයිසිකල් ශූරයා ලෙසද නමක් දිනාගෙන සිටියේය.

1901දී මෝටර් බයිසිකල් නිශ්පාදනයට අතගැසූ මොරිස් ඔහු විසින්ම නිර්මාණය කරන ලද "Morris Motor Cycle" නම් මෝටර් බයිසිකලය නිශ්පාදනය සඳහා මෙන්ම කාර් රථ විකිණීම, සේවා සැපයිම හා අලුත්වැඩියා කිරීම සඳහා ඔක්ස්ෆර්හි ලෝන්ග්වෝල් වීදියේ ගොඩනැගිල්ලක් මිලදී ගන්නා ලදී. 1902 වනවිට මොරිස්ගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරයද අතිශයින් සාර්ථකවූ අතර එවකට බ්‍රිතාන්‍යයේ අලෙවිවූ " Arrol-Johnston, Belsize, Humber, Hupmobile, Singer, Standard, Wolseley" වැනි මෝටර් රථ සන්නාම සඳහා ඔක්ස්ෆෝර්ඩ් පෙදෙසේ නිළ ඒජන්තයා ලෙස මොරිස්ගේ සමාගම කටයුතු කලේය. 1910 වනවිට මොරිස් සිය ව්‍යාපාරය සඳහා තවත් විශාල ගොඩනැගිල්ලක් තනවන ලද අතර ඔහු එය "The Morris Garage" ලෙස හඳුන්වන ලදී.

1912දී මොරිස් සිය ප්‍රථම මෝටර් රථය නිර්මාණය කල නමුත් පලමුවන ලෝක යුද්ධය ආරම්භවීම නිසා කාර් නිශ්පාදනය නවතාදමා බ්‍රිතාන්‍ය හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිශපාදනය කෙරිනි. නැවතත් 1919දී කාර් නිශ්පාදනය යලි ඇරඹි අතර 1925 වනවිට මොරිස් සමාගම වසරකට කාර් 56,000ක් නිශ්පාදනය කරමින් පැවතිනි. මේ වනවිට ධනපතියෙකුව සිටි විලියම් මොරිස් 1927දී ඔහුගේ තරඟකාරී සමාගමක්වූ Wolseley Motors Limited සමාගම මිලටගත්තේ ස්ටර්ලිං පවුම් 730,000 ගෙවමින්. අද වටිනාකම අනුව මෙය පවුම් මිලියන ගණනක ආයෝජනයකි.

මොරිස් මිලදීගන්නාවිට වූල්සෙලි සමාගම අශ්වබල 8ක ධාරිතාවය ඇති මෝටර් රථයක් නිශ්පාදනය කිරීමට සූදානමින් සිටි අතර විලියම් මොරිස් එම රථය "මොරිස් මයිනර්" ලෙස නම් කොට 1928දී වෙළඳපොලට එවීය. මෙය අප කවුරුත් දන්නා මොරිස් මයිනර් මාදිලිය නොව 1928 සිට 1934 දක්වා නිශ්පාදනය කල පැරණි මාදිලියකි. 

මොරිස් සිය රථවාහන වල එන්ජින් සඳහා අමෙරිකානු නිර්මාණ යොදාගත් අතර එම එන්ජින් බ්‍රිතාන්‍යයේ නිශ්පාදන අයිතිය ඔහු සතුවිය. ඔහු එන්ජින් නිශ්පාදනය වෙනත් සමාගමකට කොන්ත්‍රාත් පදනම මත ලබාදුන් අතර පසුව එම සමාගම මිලටගෙන එය "මොරිස් එන්ජින් සමාගම" ලෙස නම් කරන ලදී.

1938දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වනවිට විලියම් මොරිස්ගේ ව්‍යාපාර දියුණුවේ හිනිපෙත්තට නැග තිබූ අතර ඔහුගේ ව්‍යාපාර ඥාණය හා දක්ශකම මෙන්ම ඔහු සිදුකල විවිධ ප්‍රධාන හා පුණ්‍යකටයුතු සලකා බලා බ්‍රිතාන්‍ය මහ රැජින ඔහුව, ඔහුගේ ගම් ප්‍රදේශය වන නෆීල්ඩ් ප්‍රදෙශයේ සාමිවරයා (Lord of Nuffield) ලෙස නම්බුනාමයක් ලබාදෙන ලදී.

මොරිස් මෝටර් රථ සමාගමේ ජනප්‍රියම වාහනය වූයේ 1948දී අලුත් නිමාවකින් හඳුන්වාදුන් මොරිස් මයිනර් රථයයි (1948 model). එය බ්‍රිතාන්‍යයේ නිශ්පාදනය කල වාහන වලින් පලමුවෙන්ම මිලියනයක අලෙවි වාර්තාවක් තැබීමට හැකිවූ රථය ලෙස ඉතිහාස ගත වනවා. "Economy Car" හෙවත් සාමන්‍ය මහජනයාට මිලදීගත හැකි, අඩු මිල, පිරිමැසුම්දායක රථයක් ලෙස හඳුන්වාදුන් මොරිස් මයිනර් රථය 1971දී නිශ්පාදනය නවතා දමනවිට 1,300,000ක අලෙවි වාර්තාවක් තබා තිබුණා.

1948දී හඳුන්වාදුන් මුල්ම මයිනර් මාදිලිය MM (1948) ලෙස හැඳින්වෙනවා. 1952දී වැඩිදියුණු කල Series II (1952) මාදිලිය හඳුන්වාදුන් අතර 1956සිට 1972 දක්වා අලෙවි වූ මාදිලිය Minor 1000 Series ලෙස හඳුන්වනවා.

Morris Minor MM Series (1948-1952)
Morris Minor Series II (1952-1956)

Morris Minor 1000 (1956-1972)

බ්‍රිතාන්‍යයේ, ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ මොරිස් මයිනර් රථ නිශ්පාදනය කල අතර අවසන් මොරිස් මයිනර් රථය නවසීලන්තයේ මොරිස් කර්මාන්තශාලාවෙන් පිටවගියේ 1974දී.

මොරිස් සමාගමේ තවත් අපූර්ව නිර්මාණයක් වූයේ 1959දී නිමැවුනු මිනි මයිනර් රථයයි. මෙය වසර 2000දක්වා අඛන්ඩව නිශ්පාදනය වූවා. මිනි මයිනර් රථය පිලිබඳ වැඩි විස්තර අපගේ "The Ceylon Motor Show - 2015" ලිපියේ දක්වා තිබෙනවා.

Mini Minor - 1959
අතිශය සාර්ථක වූ රථවාහන  ව්‍යාපාරවලින් උපයාගත් ධනස්කන්ධයෙන් වැඩි කොටසක් විවිධ පුන්‍යායතන හා අධ්‍යාපනායතන වලට ලබාදීමට විලියම් මොරිස් කටයුතුකලා. බර්මින්හැම් විශ්වවිද්‍යාලයට විශාල ප්‍රධානයක් සිදුකල ඔහු පෙනහලු ආබාධ හා හදිසි අණතුරු වලට බඳුන්වූ පුදගලයින්ගේ දිවි ගලවාගැනීමට උපකාරීවන යකඩ පෙණහල්ල (artificial respirator) නම් උපකරණය බ්‍රිතාන්‍යයේ පමණක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ඕනෑම රටක රෝහලකින් ඉල්ලීමක් කලවිට නොමිලේ ලබදුන්නා. එවැනි යන්ත්‍ර 1700ක් පමණ බෙදාදුන් බව පැවසෙනව.

1943දී පවුම් මිලියන 10ක් යොදමින් අධ්‍යාපනය හා සමජ සංවර්ධන කටයුතු වෙනුවෙන් නෆීල්ඩ් පදනම් ආරම්භ කලා. එපමනක් නොව ඔහු ජීවත්වුනු ඔස්ක්ෆර්ඩ් ප්‍රදේශයේ නෆීල්ඩ් කොලෙජ් නම් උසස් අධ්‍යාපන ආයතනයක්ද ඔහු ආරම්භ කල. එපමණක් නොව ඔහු විසින් ප්‍රදාන ලබාදුන් කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය හා ලන්ඩනයේ ගයි මහා රෝහල ඔහු සිහිවීම සඳහා ගොඩනැගිලි නම් කොට තිබෙන අතර සදම්ප්ටන් විශ්වවිද්‍යාලය ඔහුගේ නාමය සුරැකීමට රංගශාලාවක් නම්කොට තිබෙනවා.

වයස 85ක් ආයුවැලඳු සර් විලියම් මොරිස් 1965දී මිය ගිය අතර ආදාහනය කල ඔහුගේ දේහයේ භශ්මාවශේෂ නෆීල්ඩ් දේවමන්දිර භූමියේ ඔහුගේ බිරිඳගේ සොහොන අසල තැම්පත්කොට තිබෙනවා.

Comments