HISTORY : කොළඹ සුප්‍රකට තැන්වල නම් හැදුන හැටි!!

පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව
මාලිගාකන්ද හා මාලිගාවත්ත

1587දී සීතාවක රාජසිංහ නරේන්ද්‍රයාණෝ (පලමු රාජසිංහ) කොළඹ පෘතුග්‍රීසි බළකොටුව වටකොට පහරදුනි. මාස නවයක් පුරා කාළතුවක්කු 150කින් හා ඇතුන් 120කින්ද සපිරි 60,000 දහසක සේනාවක් බළකොටුව වටලාගෙන සිටියද පෘතුග්‍රීසීන් යටත් කරගැනීම අපහසුවිය.

සීතාවක රාජසිංහ රජුගේ තාවකාලික වාසස්ථානය වූයේ කොළඹ කොටුවට මදක් ඈතින් වූ උස්බිමකි. රජුගේ වාසභූමිය බවට පත්වූ මේ කඳුගැටය පිහිටි පෙදස මාලිගාකන්ද විය. මාලිගාකන්දේ පිහිටි තාවකාලික රජමාලිගාව වටා පෙදෙස මාලිගාවත්ත නම් විය.

හල්ෆ්ස්ඩෝර්ප්

1655 ඔක්තෝම්බරයේදී ලන්දේසීන්ගේ (ඕලන්දක්කාරයින්) නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම හෙවත් VOC (Vereenigde Oost-Indische Compagnie) සමාගමේ කුලීහේවායින් 11,000ක් දෙවැනි රාජසිංහ රජුගේ 16,000ක හේවා බළඇණියක් සමග පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව යලිත් වටකර ගත්තෝය. ලන්දේසි බළඇණියේ නායකයා ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට් වූ අතර ඔහු නිරීක්ෂණ චාරිකාවක් සඳහා බළකොටුවේ බටහිර පෙදෙසේ සිටිද්දී පෘතුගීසි වෙඩික්කරුවෙකු තැබූ වෙඩිල්ලක් පපුවේ වැදී එතනම මිය ගියේය. ජෙනරාල් හල්ෆ්ට්ගේ නිවස්නය හා අණදෙන මූලස්ථානය තිබූ කුඩා කඳුගැටය ඔහු සිහිවීම සඳහා ලන්දේසීන් විසින් හල්ෆ්ට්ස්-ඩෝර්ප් හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය යන නමින් හඳුන්වන්නට පටන්ගත්තේය.




වුල්ෆෙන්ඩාල් (වූල්වන්දාල්)

දෙවන රාජසිංහ රජු සමග පෘතුග්‍රීසි කොළඹ කොටුව වටලාගෙන සිටි ලන්දේසි හමුදාවේ දෙවැන්නාවූයේ ජෝන් වෑන් ඩාර් ලාන්ය. ඔහුගේ මූළස්ථානය පිහිටියේ හල්ස්ෆ්ඩෝර්ප් කඳුගැටයෙන් මදක් ඈත්වූ තවත් උස්බිමකය. එම උස්බිම සිට කොළඹ වරාය පිහිටි පෙදෙස හා මුහුද හොඳින් දර්ශණය වූ බව පැවසෙනවා. මෙම උස්බිමෙහි පෘතුග්‍රීසීන් විසින් කුඩා දේවස්ථානයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. පෘතුග්‍රීසීන්ගේ යටත්වීමෙන් පසු කොළඹ කොටුව අත්පත්කර ගත් ලන්දේසීන් එම ස්ථානයේ ඕලන්ද රෙපරමාදු ක්‍රිස්තියානි පල්ලියක් ගොඩගැනීමට කටයුතු සූදානම් කලා. අද වුල්ෆෙන්ඩාල් පල්ලිය, එලෙස ලන්දේසීන් ගොඩනැගූ දේවස්ථානයයි.

කඳුගැටයෙන් පහල පෙදස වනලැහැබ් වලින් හා වගුරුබිම්වලින් ගහනවූ අතර ප්‍රමාණයෙන් විශාල නරින් මේ පෙදෙසේ බහුලව සිටි බවත්, එම නරින් වෘක්කයින් ලෙස වැරදිලෙස වටහාගත් ලන්දේසීන් එම පෙදෙස වෘක්කයින් ගහන පහත්බිම හෙවත් වුෆන් ඩාල් ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.



ජින්තුපිටිය

ජින්තුපිටිය පෙදෙස වුල්ෆෙන්ඩාල් පල්ලියේ සිට සිට කිලෝමීටර් භාගයක් පමණ ඈතින් පිහිටි ස්ථානයකි. ගූගල් සිතියම් අනුව වුල්ෆෙන්ඩාල් පල්ලිය පිහිටි පෙදෙස පවා අයත්වන්නේ ජින්තුපිටියටයි.

ජින්තුපිටිය පෙදෙසට ඒ නම ලැබී ඇති අන්දමද රසවත් කතාවකි. ජින්තුපිටිය පෙදෙස අත්පත්කරගෙන සිටි පෘතුග්‍රීසීන් එහි තිබී පුරාතන පර්සියානු අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි නිකායක්වූ නෙස්ටෝරියානු නිකායේ සළකුණු සහිත කුරුසියක් සොයාගෙන තිබෙනවා. එනිසා ඔවුන් එම ස්ථානයේ සැන් තොමේ හෙවත් සාන්ත තෝමස් ශාන්තුවරයා වෙනුවෙන් කුඩා පල්ලියක් ගොඩනගා තිබෙනවා.

සැන් තෝමේ පල්ලිය පිහිටි එලිමහන් පෙදෙස එකල එහි විසූ සිංහලයන් විසින් සැන්තොමේ පිටිය ලෙස හඳුන්වා තිබෙනවා. පෘතුග්‍රීසීන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන් සිය රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට නොගැලපෙන මේ පල්ලිය බිඳදමා එම පල්ලිය අවට පෙදෙස කනත්තක් බවට හරවා තිබෙන අතර එම කනත්තේ රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයින් නොවන, එනම් විශ්වාස නොකරන්නන් (non believers) සඳහා වෙන්කොට තිබෙනවා. විශ්වාස නොකරන්නන් ලන්දේසි බසින් ජෙන්තියෝ ලෙස හඳුන්වන අතර ජෙන්තියෝ වලලා ඇති පිටිය ජෙන්තියෝ පිටිය හෙවත් පසුකලෙක ජින්තුපිටිය බවට පත්වූ බව විශ්වාස කෙරෙනවා.


අලුත්මාවත

කොළඹ වරායේ ජැටිය අසල සිට කැළණි ගඟ මෝය දක්වා දිවෙන පාර අලුත්මාවත ලෙස හඳුන්වනවා. මේ අලුත්මාවතට නම ලැබුනේ ඕලන්ද ආණ්ඩුකාර පෙට්‍රස් වූයිස්ට්  විසින් අලුතින්ම ගල් අතුරා සකසන ලද අලුත්ම පාරක්වූ නිසා බවයි පැවසෙන්නේ. ඕලන්ද යටත්විජිතයක්වූ ලංකාවට පත්කර එවන ලද 20 වැනි ආණ්ඩුකාරවරයා වූ  පෙට්‍රස් වූයිස්ට් කෲර පාලකයෙකු වූවා. ඔහු අතින් බොරු චෝදනා එල්ලවී මරණයට පත්වූයේ ස්වදේශිකයින් පමණක් නොවේ. ඕලන්ද VOC පාලනයේ නිළධාරීන් හා ලංකාවේ පදිංචියට පැමිණ සිටි ඕලන්ද ජනපදිකයින්ද මොහුගේ ද්වේෂයට බඳුන්වී මැරුම්කෑවා. වසර 3ක කුරිරු පාලනයකින් පසු පෙට්‍රස් වූයිස්ට් VOC සමාගමේ මූලස්ථානය වූ ඉන්දුනීසියාවේ බැටාවියාවට ආපසු කැඳවූ අතර එහිදී නඩු විභාගයකින් පසුව හිසගසා මරණයට පත්කොට තිබෙනවා.

විස්ට්වයික් පාර

අලුත් මාවතට සමාන්තරව දිවෙන විස්ට්වයික් පාර, ආන්ඩුකාර වූයිස්ට්ගේ මෝදර පිහිටි නිවෙස වෙත යන මාවතයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

බගතලේ පාර

බගතලේ පාරට නම ලැබුණු හැටිද අපූරුය. බගතලේ පාර හා ඒපෙදෙසට නම ලැබුනේ බ්‍රිතාන්‍ය යුගයේදීය. එකල කොළඹ යනු විසල් නගරයක් නොව කොටුව හා පිටකොටුවෙන් එපිට ග්‍රාමීය පෙදෙසකි. එහි කුරුඳුවතු බහුල විය. (උදා: කොළඹ කුරුඳුවත්ත ). චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් බ්‍රිතාන්‍යයෙන් මෙරට සිවිල් සේවාවට අනුයුක්තවූ ධනවත් බ්‍රිතාන්‍ය ප්‍රභූවරයෙකු වූ අතර ඔහු ගාලුපාරේ සිට (එකල ගාලු පාර කුඩා කරත්ත පාරක් විය ) රාජකීය/තර්ස්ටන් විද්‍යාල දක්වා පැතුරුණු විශාල කුරුඳු වත්තක් මිළදීගෙන එහි මන්දිරයක් ඉදිකලේය. ඒ මන්දිරයට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් "බගතලේ" යන නම තැබුවේලු. බගතලේ යනු පැරණි ප්‍රංශ ගෘහස්ථ ක්‍රීඩාවකි.

1800 ගණන්වල බ්‍රිතාන්‍ය ප්‍රභූන් අතරද ප්‍රචලිතව තිබූ මේ ක්‍රීඩාවට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ තිබූ දැඩි ලොල්බව නිසා සිය නිවස එනමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය. ඔහුගේ බගතලේ මන්දිරයට ගාලුපාරේ සිට යන මාවත් බගතලේ පාර ලෙස හඳුන්වන්නට පටන්ගත්තේලු.

ඇල්ෆ්‍රඩ් පෙදෙස / ඇල්ෆ්‍රඩ් හවුස් 

බගතලේ මන්දිරය පසුකලෙක යටත් විජිත ලංකාවේ ප්‍රමුඛතම සිංහල කෝටිපතියා හා විශිෂ්ඨ සමාජ සේවකයෙකුවූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සතුවිය. විශාල තේවතු, පොල් හා කුරුඳු වතු මෙන්ම කර්මාණ්තශාලා හා යටත් විජිත ලංකාවේ බැංකුවල කොටස් හිමියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා කොළඹ "ද සොයිසා" මාතෲ නිවාසය ආරම්භකිරීමට එම භූමිය හා තමන් සතු නිවස පරිත්‍යාග කල අතර, වේල්ස් කුමාර හා වේල්ස් කුමරි විද්‍යාල ආරම්භ කිරීමටද පුරෝගාමී විය. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල හා වෙනත් රෝහල් ගණනාවක් ආරම්භ කිරීමට ධනය හා ඉඩකඩම් පරිත්‍යාග කල දානපතියෙකි.

එකල ලංකාවේ ධනවත්ම ලාංකික ප්‍රභූවරයා මෙන්ම දැඩිලෙස බ්‍රිතාන්‍ය කිරුළට පක්ෂපාතවූ චාල්ස් හෙන්රි ද සොයිසා බ්‍රිතාන්‍ය රජපවුල සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වූවා. මේ සබඳකම් නිසාම ලංකාවට පාතැබූ පලමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන වික්ටෝරියා රැජිණගේ පුත් එඩින්බරෝ හි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු සඳහා රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීමේ වරම දිනාගත්තා.

මේ සඳහා ඔහු බගතලේ මන්දිරය අති විශාල වියදමක් දරා සම්පූර්ණයෙන් නවීකරණය කල අතර නවීකරණය කොට එය "ඇල්ෆ්‍රෙඩ් හවුස්" යනුවෙන් ඇල්ෆ්‍රඩ් කුමරාට ගෞරව පිණිස නම් කලා. එමෙන්ම එම මන්දිරය පිහිටි කුරුඳු වගාව ඉවත්කොට අක්කර එකසිය විස්සක මනරම් උද්‍යානයක්ද සකස් කොට එය ඇල්ෆ්‍රඩ් ගාඩන්ස් ලෙස නම් කලා.

අද බගතලේ පාරට යාබද ඇල්ෆ්‍රඩ් පෙදෙස, ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන්ස්, ඇල්ෆ්‍රඩ් ඇවනිව් යන පාරවල් හා පෙදෙස් පුරා මේ සුවිසල් උද්‍යානය පැතිර තිබුණා. දැන් ඉතිරිව ඇත්තේ ඒ පාරවල් හා පෙදෙස් නාම විතරයි.

ඇල්ෆ්‍රඩ් මන්දිරය 
චාල්ස් පෙදෙස / චාල්ස් වටරවුම / චාල්ස් ඇවනියු

ඇල්ෆ්‍රඩ්/බගතලේ මන්දිරය ආශ්‍රිත කොළඹ 3ට අයත් මේ සියලු පෙදෙස් චාල්ස් හෙන්රිද සොයිසාට අයත්ව තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් මේ සුවිසල් ඉඩකඩම් බෙදාහදාගත් ඔහුගේ දරුමුණුපුරන් සිය පරිත්‍යාගශීලී ඥාතියා සිහිවීම පිණිස තමන්ට අයත්වූ කොටස්වලට චාල්ස් නම යොදා තිබෙනවා. 


ලයාර්ඩ්ස් පෙදෙස / ලයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ 

බගතලේ මන්දිරය නිර්මාණය කල චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ පුත්‍රයෙකුවූ චාල්ස් පීටර් ලයාර්ඩ් කොළඹ නගරයේ පලමු පුරපති වීමේ ගෞරවය දිනාගත් අතර පසුකලක නයිට් පදවියකින්ද උපහාර ලැබුවා. කොළඹ පලමු පුරපතිවූ චාල්ස් පීටර් ලයාර්ඩ් සිහිවීම සඳහායි බම්බලපිටියේ ලයාර්ඩ්ස් පෙදෙස හා ග්‍රෑන්ඩ්පාස් හි ලයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාවත් නම්කොට ඇත්තේ.

චාල්ස් පීටර් ලයාර්ඩ්ගේ පලමු පිරිමි දරුවාවූ චාල්ස් පීටර් ලයාර්ඩ් (පියාගේ නමම ලබා දී ඇත ) ලංකාවේ පලමු අගවිනිසුරු ලෙස පත්වීම් ලැබුවේය.

පෙනීක්වික් පාර

වැල්ලවත්තේ පෙනීක්වික් පාර කොළඹ පුරපතිවරයෙකු, ලංකාවේ පෝස්ට්මාස්ටර් ජෙනරාල් මෙන්ම ලංකා යටත්විජිත රජයේ භාණ්ඩාගාරික තනතුරද ලැබූ චාල්ස් එඩ්වර්ඩ් ඩුකාට් පෙනීක්වික් සිහිවීම සඳහා නම්කොට ඇත.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments