INDUSTRIAL SPYING : චීන Huawei බුද්ධිමය දේපොල හොරකමේ යයි!


  • අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී.

  • Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවී


  • Fujitsu සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයා


  • ඇමරිකාවේ T Mobile සමාගමේ රොබෝ තාක්ෂණය සොරාගත් හුආවී සේවකයින් දෙදෙනා.


  • 2018 දෙසැම්බර් මාසයේ, කැනඩාවේ වැන්කූවර් නුවරදී හුආවේ සමාගම ප්‍රධාන මූල්‍ය නිළධාරිණිය (Chief Finance Officer) වන Meng Wanzhou අත් අඩංගුවට


"Miraj Diamond Glass" (C)  Akhan Semiconductor Inc
අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී.

Akhan Semiconductor Inc. කුඩා ඇමරිකානු නවෝත්පාදන සමාගමක්. ඇඩම් ඛාන් නම් ව්‍යවසායික ඉන්ජිනේරුවරයා විසින් ස්ථාපනය කරන ලද මේ කුඩා සමාගම, ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් යන්ත්‍රවලට යෙදිය හැකි, නොකැඩෙන, නොසීරෙන, දියමන්ති ආලේපණයක් සහිත වීදුරු වර්ගයක් නිර්මාණය කලා. දැනට අයිෆෝන් හා වෙනත් මිලෙන් වැඩි ජංගම දුරකථනවල භාවිතාවෙන ගොරිල්ලා ග්ලාස් නම් වීදුරු වර්ගයට වඩා දසගුණයක ශක්තියකින් හා සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුතු මේ වීදුරු වර්ගය "Miraj Diamond Glass" ලෙස නම්කොට තිබුණා. 

ඒ අනුව කෝටි ගණනක් වටිනා කර්මාණ්තයක් වන ජංගම දුරකථන හා ටැබ්ලට් වල තිරයට යොදන වීදුරු නිශ්පාදන වෙළඳපොලේ යම් කොටසක් හිමිකරගැනීමට තමන්ට හැකියාව ඇතැයි ගණන් බැලූ ඇඩම් ඛාන් හා ඔහුගේ ව්‍යාපාරික සගයින් ඉහලම තලයේ ස්මාර්ෆෝන් නිෂ්පාදකයින් සමග සාකච්ඡා ඇරඹූ අතර එම වීදුරුවේ සාම්පල ඔවුන් වෙත යැවුනා. ඇපල්, සැම්සුංග් හා හුවාවී එලෙස මිරාජ් ඩයමන්ඩ් ග්ලාස් වීදුරු සාම්පල් ලබාගත් සමාගම් අතර වුනා.

පරීක්ෂණ සඳහා සාම්පල ලබාදීමේ ගිවිසුමට අනුව එම සාම්පල වලට හානි කිරීම තහනම් වූ අතර ඒවා ඇමරිකාවෙන් පිටතට යැවීමද තහනම්වූ අතර ලබාදුන් පරිද්දෙන්ම දින 60කින් ඒවා නැවත එවිය යුතු වුනා. සැම්සුන්ග් ඇපල් වැනි සමාගම් නියමිත පරිදිම එම වීදුරු ආපසු එවූ අතර, එවා මහාපරිමාණයෙන් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියා.

එසේ වුවත් හුආවී සමාගමට යවන ලද සාම්පල ආපසු පොරොන්දුවූ වෙලාවට නොලැබුණු අතර ඒවා ආපසු ලබාදෙන ලෙස ඉල්ලා යවන ලද ඊමේල් පණිවුඩවලටද ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. දිගින් දිගටම කරන ලද ඉල්ලීම් වලින් පසුව, මාස ගණනාවකට පසු සාම්පලය ආපසු ලැබුණු අතර එය කැබලි කිහිපයකට කැඩී තිබුණා.



තමන් විසින් නිර්මාණය කොට පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබූ, වාණිජමය වශයෙන් කෝටි ගණනක් වටින නිර්මාණය හුආවී සමාගම විසින් ප්‍රති-ඉන්ජිනේරුකරණයට බඳුන්කොට කොපිකර ගැනීමට උත්සහ කොට ඇතිබවට තිබූ දැඩි සැකය නිසා සමාගම ඇමරිකානු FBI පොලීසියට පැමිණිලි කල අතර FBI පර්යේෂණාගාරවලදී සිදුකල පරීක්ෂාවලදී හුආවී සමාගම එම වීදුරු සාම්පලය දැඩි ලෙස විවිධ විශ්ලේෂණවලට බඳුන්කොට ඇති බවත්, එය ඇමරිකාවෙන් පිටකොට චීනයට යවා පරීක්ෂාකොට ඇති බවටත් හෙලිවුනා. 

සේවකයින් දෙතුන් දෙනෙකු පමණක් සිටින, තවමත් ගැණුම්කරුවන් පවා නැති, ඉතා කුඩා සමාගමක් නිර්මාණයකල නව තාක්ෂණයක් සොරා ගැනීමට චීන රජයේ සෘජු සහය ලබන හුආවී වැනි දැවැන්ත චීන සමාගම් දරන නිර්ලජ්ජී උත්සහයට මේ සිදුවීම තවත් එක් උදාහරණයක් බවයි ඇමරිකානු රජය පවසන්නේ.

වීදුරුව බිඳීයාමට හේතුව කිලෝවොට් 100කට අධික බලයක් ඇති ලේසර් කිරණයක් එයට එල්ලකොට සිදුකල පරීක්ෂාවක් බවයි FBI පර්යේෂණාගාරය පවසන්නේ. මෙවැනි දියමන්ති පටලවලින් ආවරණය කරණ ලද වීදුරු අධිබල ලේසර් අවි නිශ්පාදනයේදී ලේසර් කිරණ නාභිගත කිරීම සඳහාද යොදාගන්නා බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.



Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවී

Cisco Systems Inc පරිගණක ජාල හා අන්තර්ජාල සම්බන්ධතා සඳහා රව්ටර් නම් උපකරණ නිර්මාණය කරන ලොව විශාලතම සමාගම් වලින් එකක්. සිස්කෝ රව්ටර් භාවිතා කරන මෘදුකාංග හා තාක්ෂණය පරිගණක ජාල නිර්මාණයේදී සම්මතය ලෙසට භාවිතාකරන අතර ඒවා ජාල ඉන්ජිනේරුකරණයේදී (network engineering) නැතුවම බැරි තාක්ෂණයක්.

2003දී හුආවී සමාගමට එරෙහිව නඩුවක් පැවරූ සිස්කෝ සමාගම, හුආවී සමාගම තමන්ගේ රව්ටර් හා නෙට්වර්ක් ස්විච් උපකරණවල ඇති මෘදුකාංගවල මූල-කේත (source code) සොරාගෙන ඇති බවට චෝදනා කලා. 2004වනවිට එම මෘදුකාංග ඇතුලත් උපකරණ වෙළඳපොලෙන් ඉවත් කිරීමට හුආවි සමාගම පියවර ගත්තා.

ෆුජිට්සූ සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයා

2004 ජූනියේදී Fujitsu Network Communications සමාගම, SuperComm tradeshow තාක්ෂණික ප්‍රදර්ශණයේදී ඔවුන්ගේ ප්‍රදර්ශණ කුටියේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ  හුආවී සමාගමේ සේවකයෙකු ෆුජිට්සු කුටියේ ප්‍රදර්ෂණයට තබා තිබූ ඔවුන්ගේ නවතම උපාංගයක පිට ආවරණ ගලවා ඉවත්කොට ඡායාරූප ගනිමින් සිටියදී ආරක්ෂකයින්ට හසුවුබව හෙලිකල සිටියා. මේ පිලිබඳව හුආවී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීයාට නිළවශයෙන් දැනුම් දුන් බව ෆුජිට්සු සමාගම පවසා සිටියා. මෙම උපාංගය ඩොලර් මිලියනක් වැයකොට ෆුජිට්සූ සමාගම නිර්මාණය කල අලුත්ම පරිගණක ජාල හැසිරවීමේ උපකරණයක් බව ෆුජිට්සූ සමාගම හෙලිකලා.

Yi Bin Zhu නම්වූ මේ හුආවී ඉංජිනේරුවා සතුව තිබී සිස්කෝ, ලූසන්ට්, ටෙල්ලැබ්ස්, නෝටෙල් වැනි තවත් අධිතාක්ෂණක සමාගම්වල උපාංගවල අභ්‍යන්තර ඡායාරූප හමුවී තිබුණා. මේ අනුව හුආවී බුද්ධිමය දේපොල සොරාගැනීම ඉතාමත් සැලසුම් සහගතව සිදුකරන බවට තහවුරු වුනා.

ඇමරිකාවේ T-Mobile සමාගමේ රොබෝ තාක්ෂණය සොරාගත් හුආවී සේවකයින් දෙදෙනා.

2012–2013 වසරවලදී කිහිප වතාවක් ටී-මොබයිල් සමාගමේ විද්‍යාගාරයකට රහසින් ඇතුලුවූ හුආවී සේවකයින් දෙදෙනෙකු, එහි නිර්මාණය කරමින් තිබූ, ජංගම දුරකථන ස්වයංක්‍රීය පරීක්ෂාකල හැකි රොබෝ යන්ත්‍රයක සැලසුම් හා අභ්‍යන්තර කොටස්වල ඡායාරූප සොරාගත් බවට චෝදනා කොට සිටියා. එලෙස හොරෙන් ලබාගත් තාක්ෂණයෙන් හුආවී සමාගම ඔවුන්ගේම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කොට ඇතිබවයි ටී-මොබයිල් සමාගම පවසන්නේ.

2019 දෙසැම්බර් මාසයේ, කැනඩාවේ වැන්කූවර් නුවරදී හුආවේ සමාගම ප්‍රධාන මූල්‍ය නිළධාරිණිය (Chief Finance Officer) හා එහි නිර්මාතෲවරයා වන  Ren Zhengfeiගේ දියණිය,  Meng Wanzhou අත් අඩංගුවට පත්වූයේ ඇමරීකාව කල ඉල්ලීමකටයි. 

ඇයගේ මූලිකත්වය යටතේ හුආවී සමාගම, ඇමරීකාව විසින් සම්බාධක පනවා ඇති ඉරාණය සමග ඇමරිකානු බැංකු හරහා මූල්‍ය ගණුදෙනුකල බවත්, ඒ සඳහා ඇමරිකානු බැංකුවලට සාවධ්‍ය තොරතුරු ලබාදුන් බවටත් ඇයට චෝදනා ගොනුවී තිබෙනවා.





විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment