ALIENS & EXTRA TERRESTRIALS : අපට වඩා නොදියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් හමුවුනොත් අප කුමක් කලයුතුද?



2013දී තිරගත වුනු ස්ටාර්-ට්‍රෙක් : ඉන්ටු ද ඩාර්ක්නස් චිත්‍රපටයේ ආරම්භයේදී කපිතාන් ජේම්ස් ටී කර්ක් හා ඔහුගේ සහයක කමාන්ඩර් ස්පොක්, USS එන්ටර්ප්‍රයිස් යානයේ කපිතාන්  හා ප්‍රධාන නිළධාරී තනතුරුවලින් පහ කරන්නේ ඔවුන් අභ්‍යවකාශයේ සැරිසරන සෑම ස්ටාර්ෆ්ලීට් යානයකම නිළධාරීන් දැඩිලෙස පිලිපැදිය යුතු ප්‍රයිම් ඩිරෙක්ටිව් නම් විධාන මාලාව කඩකල නිසාය. 

ප්‍රයිම් ඩිරෙක්ටිව් විධාන මාලාව, ඒවනවිට (ක්‍රි.ව 2200 පමණ කාලය) දියුණු තාරකා සංචරණ තාක්ෂණය සහිත ග්‍රහලෝක ගණනාවක් එක්ව බිහිකරගත්  United Federation of Planets නම් අන්තර්-ග්‍රහලෝක සංධානයේ විශ්ව ගවේෂණ කටයුතුවලදී පිලිපැදිය යුතු නීති මාලාවක්. 

Prime Directive නීතිමාලාවට අනුව ෆෙඩරේෂණයේ යානා, තාක්ෂණයෙන් නොදියුණු ශිෂ්ඨාචාර හා සබඳකම් පැවැත්වීම ඉතාමත් ප්‍රවේසමෙන් සිදුකල යුතු අතර ෆෙඩරේෂණයේ අධිතාක්ෂණික උපකරණ, අවිආයුධ හා යානා ඔවුන්ට දර්ශණය කරවීම පවා තහනම් වනවා. මෙයට හේතුව මෙවැනි නොදියුණු ශිෂ්ඨාචාරවල සංවර්ධනය ඔවුනටම ආවේණික ක්‍රමවලට, ස්වාභාවික පරිනාමය ක්‍රියාවලියක් මගින් සිදුවිය යුතුබවට තීරණය කොට තිබෙන නිසා. 

කපිතාන් කර්ක් මෙම නීතිය නිඹුරු නම් නොදියුණු මානව රූපී ගෝත්‍රිකයින් වසන ග්‍රහලෝකයකදී බිඳ දමන්නේ එම ග්‍රහලෝකය විනාශකල හැකි තරමේ ප්‍රභල ගිණිකඳු පිපිරීමක් USS එන්ටර්ප්‍රයිස් යානය සතුවූ සුපිරි තාක්ෂණික උපකරණයකින් වලක්වමින්. ඔහු එසේ සිදුකරන්නේ එම ග්‍රහලෝකයේ ගවේෂණයකිරීමේදි අණතුරකට පත්වී ගිණිකඳු පිපිරීමෙන් මරණයට පත්විය හැකි කමාන්ඩර් ස්පොක් බේරා ගැනීම සඳහායි. එමෙන්ම එම මෙහෙයුමේදී මේ නොදියුණු ගෝත්‍රිකයින්ට USS එන්ටර්ප්‍රයිස් යානයද දර්ශනය වන අතර එම සිද්ධියේ අවසන් රූපරාමුවේදී එම ගෝත්‍රිකයින් USS එන්ටර්ප්‍රයිස් යානාවේ රූපයක් ඇඳ එය  දෙවියෙකු මෙන් වන්දනා කරන ආකාරය පෙන්වනවා.

අනාගතයේ යම් දිනෙක, තාරකා අතර සංචරණයකල හැකි තාක්ෂණයක් දියුණුකර ගත් අවධියක, පිටසක්වල ග්‍රහලෝකයක දියුණු මනසකින් යුතු ශිෂ්ඨාචාරයක් ඇති බව තහවුරුකරගත් විය දියුණු මානවයින් වන අප කෙසේ ක්‍රියාකල යුතුද?

මේ වනවිටත් නාසා ආයතනය "planetary protection rules" හෙවත් ග්‍රහලෝක ආරක්ෂණ රීතිමාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ, මානවයින් වෙනත් ග්‍රහලෝකවලට යවන යානාවල හෝ යවන ගවේෂකයින් ගෙන යන යානා හා උපකරණවල දැවටී පෘථිවියේ ක්ෂුද්‍රජීවීන් එම ග්‍රහලෝකවලට පැන ඒවා පෘථිවි ජීවයෙන් කිලිටිකිරීම (contamination) වැලැක්වීමටයි. ඒ අනුව වෙනත් ග්‍රහලොවකට ඇතුලුවන නාසා යානා හා උපකරණ දැඩි ජීවාණුහරණ ක්‍රියාවලියකට බඳුන් කරනවා.

මෑතකදී සෙනසුරු හා සෙනසුරුගේ චන්ද්‍රයන් ගවේෂණය කල කැසිනි යානය, ජීවය හටගැනීමට හෝ පවත්වාගෙන යාමට හැකි පරිසරයක් ඇති සෙනසුරුගේ චන්ද්‍රයන් වන එන්සිලේඩස් හෝ ටයිටන් මතට පතිතවීම වැලැක්වීම සඳහා වායු ග්‍රහයෙක් වන සෙනසුරු මතට කඩාවැට්ටවීමට සැලසුම් කොට තිබෙනවා.

අනාගතයේදී තාක්ෂණයෙන් නොදියුණු ශිෂ්ඨාචාර සොයාගැනීමේ ගවේෂණ සිදුකරන කාලයකදී, එම ග්‍රහලෝකවල නොදියුණු ශිෂ්ඨාචාර ආරක්ෂාකිරීම සඳහා මෙවැනිම රීතිමාලාවන් නිර්මාණය වනු ඇති. පෘථිවියේ අපට ඇති අතීත උදාහරණවලට අනුව තාක්ෂණයෙන් දියුණු යුරෝපීය ශිෂ්ඨාචාර හා නොදියුණු ආසියාතික-අප්‍රිකා-ඇමරිකා ශිෂ්ඨාචාරවල හමුවීම් වලදී එම හමුවීම් නොදියුණු ශිෂ්ඨාචාරවල විනාශයට හෝ ඒවා දැඩි වෙනස්වීම් වලට හේතුවුනා. ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටා, ඇදහිලි ක්‍රම, සංස්කෘතික ලක්ෂණ බොහෝසෙයින් නැතිවී ගිය අතර යුරෝපීයයන් ගෙන ආ, ස්වදේශිකයින්ට ප්‍රතිශක්තිය නැති ලෙඩ රෝග නිසා ලක්ෂ ගණනින් මිය ගියා. උතුරු ඇමරිකාවේ රතු ඉන්දියන් ශිෂ්ඨාචාර, ඔස්ට්‍රේලියාවේ ඇබොරිජිනි ශිෂ්ඨාචාර හා මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ඉන්කා ශිෂ්ඨාචාරය මෙලෙස විනාශවුනු ශිෂ්ඨාචාර වලට  හොඳ උදාහරණ වනවා.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments