THE INTERNET : ඇඩෝබි සමාගම Flash තාක්ෂණය පෙන්ෂන් යවයි!


ඇඩෝබී සමාගම නිර්මාණය කල ෆ්ලෑෂ් තාක්ෂණයේ ආරම්භය 1995 තරම් ඈතට දිවයනවා. 1995 ෆියුචර්වේව් නම් සමාගමක් ඇපල් මැකින්ටොෂ් හා වින්ඩෝස් පරිගණකවල සජීවීකරණ සිදුකල හැකි ඇනිමේෂන් මෘදුකාංගයක් හඳුන්වාදුන්නා. ඒ වනවිව අන්තර්ජාලයේ world wide web ජාලය ජනප්‍රියවෙමින් තිබුණ අතර තම මෘදුකාංගය වෙබ් අඩවිවල සජීවීකරණ පහසුවෙන් නිර්මාණය කල හැකි තාක්ෂණයක් බව වටහා ගත් ෆියුචර්වේව් සමාගම එකල වනවිට පරිගණක ග්‍රැෆික් ලෝකයේ තරුවක් බවට පත්වෙමින් සිටි ඇඩෝබි සමාගමට තම තාක්ෂණය අලෙවිකිරීමට උත්සහ කලත් ඇඩෝබි සමාගම එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ.

ඒ වනවිට සජීවීකරණ හා පරිගණක ක්‍රීඩා සඳහා  බහු-මාධ්‍ය නීර්මාණ මෘදුකාංගයක් ලෙස (multi-media content creation tool) ශොක්වේව් නම් මෘදුකාංගයක් ඉදිරිපත් කරමින් සිටි මැක්‍රෝමීඩියා සමාගම ෆියුචර්වේව් සමාගම මිලට ගෙන ෆිව්චර්වේව් ෆ්ලෑෂ් තාක්ෂණය මැක්‍රෝමීඩියා ෆ්ලෑෂ් ලෙස අලෙවිකරන්නට (1996) පටන් ගත්තා. වෙබ් අඩවි සජීවීකරණයේ, සීඩී රොම් තැටි ආධාරයෙන් ක්‍රියාත්මක වන බහුමාධ්‍ය මෘදුකාංඝ හා පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා නැතුවම බැරි තාක්ෂණයක් ලෙස ෆ්ලෑෂ් ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

2005දී මැක්‍රෝමීඩියා සමාගම ඇඩෝබි සමාගම විසින් මිළදීගැනීමෙන් පසු, මැක්‍රෝමීඩියා ෆ්ලෑෂ්, ඇඩෝබි ෆ්ලෑෂ් ලෙස අලුතින් භෞතීස්ම වුනා.

වෙබ් අඩවිවල පහසුවෙන් සජීවිකරණයන් පෙන්වීමට ෆ්ලෑෂ්  කෙතරම් ප්‍රයෝජනවත් වූවත්, එහි ඇති ප්‍රධාන අඩුපාඩු කිහිපයක් වූවා. මේ අඩුපාඩු ඉතා කදිමට පෙන්වාදුන්නේ අයිෆෝන් නිර්මාතෲ ස්ටීව් ජෝබ්ස් විසින්. 2010දී ස්ටීව් ජෝබ්ස් අයි-OS මෙහෙයුම් පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ෆ්ලැෂ් ඉවත්කොට දැමුවා. ජෝබ්ස් පැවසූ අන්දමට ෆ්ලෑෂ් තාක්ෂණය - පරිගණකයේ හෝ ෆෝනයේ මතකය හා ප්‍රොසෙසරයට වැඩි බරක් යොදන, ආරක්ෂාව අතින් ඉතා පහල නිසා ආධුනික හැකර්වරයෙකුට වුවද පහසුවෙන් පරිගණකයකට ඇතුලුවීමට ඉඩ සලසන, බුද්ධිමය දේපොල නීති නිසා වෙනස්කම් කිරීමට ඉතා අපහසු, කරදරකාරී තාක්ෂනයක්. 2012න් පසු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියද ෆ්ලෑෂ් භාවිතාකරන්නේ නෑ.

HTML5, WebGL වෙබ් පිටු සැකසීමේ තාක්ෂණ නිසා දැන් ෆ්ලෑෂ් නොමැතිව වෙබ් පිටුවල සජීවීකරණ සිදුකල හැකි බැවින් ෆ්ලෑෂ් යල් පැනගිය තාක්ෂණයක් බව වටහාගත් ඇඩෝබි සමාගම පවා 2015 වනවිට සිය මෘදුකාංග HTML5/WebGL තාක්ෂණය වෙත යොමුකලා.

පසුගිය අඟහරුවාදා ඇඩෝබී සමාගම නිළවශයෙන් ෆ්ලෑෂ් තාක්ෂණය වැඩිදියුණු කිරීම හෝ ෆ්ලෑෂ් ප්ලේයර් බෙදා හැරීම නවත්වන බවට ප්‍රකාශකල අතර 2020 වනවිට ෆ්ලෑෂ් තාක්ෂණය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයෙන්ද ඉවත්වනු ඇති.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments