GOOGLE : බෝ පැලේ වගේ හිටිය ගූගල් දැන් නරක් වෙලා


"Don't Be Evil  - දුෂ්ඨ වෙන්න එපා"

ඩෝන්ට් බී ඊවිල් හෙවත් දුෂ්ඨ නොවිය යුතුයි කියන ආදර්ශ පාඨය ගූගල් සමාගමේ අරම්භයේ ඉඳලාම එහි ජානවලට කාවැදිලා තියෙන එකක්. ගූගල් සමාගම  ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශය (code of conduct) පටන් ගත්තේම මේ වාක්‍යයෙන්. 

ගූගල් සමාගම 1998දී ආරම්භවෙලා අවුරුදු දෙකකින්, ඒ කියන්නේ වසර 2000දී තමයි "ඩෝන්ට් බී ඊවිල්" ආදර්ශ පාඨය මුල්කරගත් ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශය නිර්මාණය කරගත්තේ. ගූගල් නිර්මාතෲවරුන් වන ලැරී පේජ් සහ සර්ගෙයි බ්‍රින් යන දෙදෙනාම, ගූගල් සමාගම සෑම කටයුත්තකදීම මේ ආදර්ශ පාඨය හිස් මුදුනින් තබාගෙන ක්‍රියාත්මක වන බවට පොරොන්දුවක් දී තිබුණා. මේ පොරොන්දුව ඔවුන් නිකුත්කල පලමු "කොටස් හිමියන් ඇමතුමේ - Letter to Shareholders" පැහැදිලිව දක්වලා තියෙනවා.


එහෙත් ගිස්මෝඩෝ තාක්ෂණික ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට 2018 අප්‍රේල් මාසයේදී යාවත්කාලීන කරන ලද  ආචාරධර්ම හා ව්‍යාපාරික හැසිරීම් ප්‍රකාශයේ මේ "ඩෝන්ට් බී ඊවිල්" ප්‍රතිපත්තිය ඉවත්කරලා. අලුත් ප්‍රකාශයේ ඩෝන්ට් බී ඊවිල් කියලා සඳහන් කරලා තියෙන්නේ අන්තිම වාක්‍යයේ විතරයි.

ගූගල් දැන් දුෂ්ඨ වෙමින් යනවාද?

බොහෝ විචාරකයින් පවසන අන්දමට උත්තරය "ඔව්". එය තහවුරු කරන්නට ඔවුන් ප්‍රභල සාක්ෂි තුනක් ඉදිරිපත් කරනවා.

Project Maven

ඇමරිකන් ඩ්‍රෝන හා ඔත්තුබලන චන්ද්‍රිකා මගින් නිරන්තරයන් ජනනය වන ටෙරාබයිට් ලක්ෂ ගණනක වීඩියෝ හා චායාරූප නිසිපරිදි අධ්‍යයනය කර ඒවායෙන් ලබාගත හැකි බුද්ධි තොරතුරු උකහාගෙන ආරක්ෂක අංශවලට ලබාදීම ඉතා අපහසු කටයුත්තක්. මේ සඳහා ගූගල් සමාගම  (හා වෙනත් සමාගම්) නිර්මාණය කොට ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ ව්‍යාපෘතිය ප්‍රොජක් මෙවන් ලෙස හඳුන්වනවා.  ගූගල් සමාගම ඇමරිකන් ආරක්ෂක අංශ සමග ඉත සමීපව ක්‍රියාත්මක වීම මේ වනවිට සමහර ගූගල් සේවක-සේවිකාවන්ගේ විරෝධයට බඳුන්වී තිබෙනවා.

Deceptive AI

පසුගියදා පැවැත්වුනු ගූගල් I/O තාක්ෂණික සම්මන්ත්‍රණයේදී සුන්දර් පිචාර්යි ගූගල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධි සහයකයාට ලබාදුන් ඩූප්ලෙක්ස් නම් අපූරු පහසුකමක් හඳුන්වාදුන්නා. ඩූප්ලෙක්ස් යනු, පුද්ගලයෙකු සමග දෙබසක් ගෙනයා හැකි, එමගින්, ආසන වෙන්කරවා ගැනීම්, පාරිභෝගික සේවා ලබාගැනීම් වැනි කටයුතු සඳහා ගූගල් ඇසිස්ටන්ට් යොදාගත හැකි තාක්ෂණයක්. I/O සම්මන්ත්‍රණයේදී සිදුකල නිරූපණයකදී (demonstration) ඩූප්ලෙක් තාක්ෂණයෙන් බලගැන්වුනු ගූගල් ඇසිස්ටන්ට් සහයකයා අවන්හලක් අමතා එහි සේවකයුකු සමග සාකච්ඡාකොට කෑමවේලක් සඳහා අසුන් වෙන් කරගන්නවා. මෙහිදී එම අවන්හලේ සේවකයා සිතාගෙන සිටියේ තමන් මේ කතා කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමග කියායි.

මේ විශාල් රැවටිල්ලක් බව සඳහන් කරන විවේචකයින්, එම ගූගල් ඇසිස්ටන් කෘත්‍රිම බුද්ධි සහයකයා තමන්, කෘත්‍රිම බුද්ධි සහයකයෙකු බවත්, තම හාම්පුතා වෙනුව අමතන බවත් ප්‍රකාශකල යුතුව තිබුණා යයි ඔවුන් පවසනවා. මෙවැනි රැවටිලි කාර හැසිරීම් විශාල ආචාරධර්ම ගැටලු (ethical issues) ඇතිකරන බවයි ඔවුන් පවසන්නේ. ගූගල් සමාගම මෙවැනිදෑට සංවේදී නොවීම, ඔවුන් "දුෂ්ඨ නොවී සිටීමේ" ප්‍රතිපත්තියෙන් ඉවත්ව යන බවට කදිම සාධකයක් බවයි කි‍යැවෙන්නේ.

Selfish Ledger

ගූගල් සමාගම ලොවපුරා අන්තර්ජාල භාවිතාකරන් බිලියන ගණනකගෙන් අතිවිශාල දත්ත ප්‍රමාණයක් එකතුකර ගන්නවා. සෑම් ගූගල් සෙවුමකින්ම, සෑම ජීමේල් පණිවුඩයකින්ම, සෑම යූටියුබ් වීඩියෝ නැරඹුමකින්ම ඔවුන් එකතුකර ගන්නා දත්ත, දැන්වීම් සමාගම් වලට විකුණා ඔවුන්ගේ ඉලක්ක දැන්වීම් වලින් ආදායම් උපදවනවා.

සෙල්ෆිෂ් ලෙජර් කියන්නේ මින් එහාට ගිහින් පාරිභෝගිකයින්ගේ හැසිරීම් රටා හඳුනාගැනීමට පමණක් නොව එය තමන්ට රුචි ආකාරයට වෙනස් කරන්නට හැකි කල්පිත තාක්ෂණයක්. මෙය ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන විස්තරාතමක වීඩියෝවක් ගූගල් සමාගමේ selfish ledger පර්යේෂණ කණ්ඩායම සමාගම ඇතුලේ පරිහරණය සඳහා නිකුත් කරලා තිබුණා. මේ වීඩියෝ වේ කොපියක් මාධ්ය ආයතනයකට ලීක් වීමත් සමගයි මේ තොරතුරු හෙලිවුනේ.

ගූගල් වැනි බලසම්පන්න සමාගම් මෙලෙස සිය භාවිතා කරන්නන් බිලියන ගණනකගේ පෞද්ගලික රුචි අරුචිකම් හඳුනාගැනීමට මෙන්ම ඒවා තමන්ට වාසි සහගත ලෙස සූක්ෂ්මව වෙනස් කිරීමට තැත් කිරීම ඉතාම භයානක බවයි විවේචකයින් පවසන්නේ.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. අපි මේ උගුලේ හිරවෙලා ඉවරයි. දැං ඉතින් ඒකට ඕනේ විදිහට නැටවෙන්න තමයි තියෙන්නේ

    ReplyDelete

Post a Comment