FOOD SECURITY : ආහාර හිඟයක් ලඟ එන මේ අවධියේ කොස් මාමා කෙනෙකු යලි ඕනෑ කර තිබේ!


ආතර් වින්සන්ට් ඩයස්.... හෙළ වහරෙන් ආතර් වී. දියෙස් 1886දී පානදුරේදී ධනවත් පවුලක උපත ලැබුවේය. පානදුර සාන්ත ජෝන් විද්‍යාලයෙන් (දැන් සිරිල් ජෑන්ස් විද්‍යාලය) හා කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ආතර් වී දියෙස් සිය පවුලේ ව්‍යාපාරය වූ වැවිලි කර්මාණ්තයට පිවිසුනු අතරම එක රටේ දැවෙන ගැටලුවලට විසඳුම් සෙවීමටද සිය කාළය හා ධනය යෙදවුනා.

මෙහිදී සඳහන් කල යුතු තවත් වැදගක් කරුණක් වන්නේ ආතර් වී දියෙස් ගේ පියා ජෙරමියාස් ඩයස් වැවිලි කර්මාණ්තයට අමතරව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අරක්කු බලපත්‍ර ලබාගෙන ජයටම අරක්කු තැබෑරුම් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බවයි. 

කෙසේ වෙතත්, 1902දී ආතර් වී දියෙස් ගේ පියා මියගිය අතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ අධ්‍යාපනය අතර නතර කර දමා සිය පවුලේ ව්‍යාපාර භාරගන්නට සිදුවුනා. ඔහුගේ ව්‍යාපාරික දිවිය සාර්ථක වූ අතර ඔහු ඉතා සාර්ථක රබර් වැවිළි කරුවෙකු හා ව්‍යාපාරිකයෙකු බවට පත්වුනා.

ආතර් වී දියෙස් මුලින්ම අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධවී සිය සමාජ මෙහෙවර ඇරඹුවා.. බ්‍රිතාන්‍යයන් බදු ආදායම් උදෙසා අරක්කු ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමෙන් ජන සමාජයට සිදුවන ව්‍යසනය නවත්වා ගැනීම අමද්‍යප ව්‍යාපාරයේ අරමුණ වුනා. 

සිය පියාගේ තැබෑරුම් වලින් මත්පැන් ගැනීමට සේසතම වියදම් කරමින් දරු පවුල් පවා මහපාරට ඇද දැමූ මිනිසුන් පිලිබඳව හොඳ අත් දැකීම් තරුණ ආතර් වී දියෙස්ට තිබුණා විය යුතුයි. සිය පියා අරක්කු විකිණීමෙන් මුදල් ඉපයීම නිසා දැනුම් තේරුම් ඇති වයසේ සිටම ආතර් වී දියෙස් පන්සිල් ගන්නා විට "සුරාමේරය" සිල් පදය නොකියවා දෑත් බැඳගන්නා බව ඔහුගේ චරිතාපදානවල සටහන්වී තිබෙනවා.

කොස් ප්‍රචාරණ ව්‍යාපාරය - 1918

එකල ලංකාව සහල් වගාවෙන් බොහෝ පිටුපසින් සිටි අතර ගල්-ඔය ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපෘතිය වැනි නූතන දැවැන්ත කෘෂි ව්‍යාපෘති ආරම්භවීමේ පිඹුරුපත් පමණක් සැකසමින් තිබුණු යුගයකි. 

යටත් විජිත ලංකාවත් දරුණු අහේණියකට බඳුන්කල මහා යුරෝපා යුද්ධය හෙවත් පලමු ලෝක යුද්ධයෙන් (1914-1918) යුරෝපා රටවල පවා කුසගිණ්න පැතිරී ගිය අතර මුලු යුරෝපයම දරුණු ලෙස විනාශවී තිබුණා.  එමෙන්ම 1896–1897 කාලයේද ඉන්දියාවේ දුර්භික්ෂයක් හටගත් බවත් ඉන් දුගී ඉන්දියානුවන් මිලියන 10-12ක් පමණ මිය ගිය බවත් ඔහු කියවා දැන සිටියා.

ඒ බැවින්, ලංකාව මේ අහේනීයෙන් ගලවා ගැනීමට, විශාල ශ්‍රමයක් අවශ්‍ය වී වගාව කරන අතරේම එතරම් මහන්සියක් නොගත යුතු, ඉබේම වගේ වැවෙන, පල හටගත් පසු වසර 20ක් 30ක් එක දිගටම, කුඩා ගමකට සෑහෙන පලදාව ලබාදෙන කොස් ගස, රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට ඉතා වැදගත් බව වටහාගත් ආතර් වී දියෙස්, කොස් වගාව ප්‍රචලිත කිරීමට ඉටා ගත්තා.

1918දී ආතර් වී දියෙස් සිය කොස් ව්‍යාපෘතිය දැනට තිබෙන කොස් ගස් නොකපා රැකබලා ගැනීම මෙන්ම හැකිතාක් කොස් ගස් සිටුවීමට ජනතාව පෙලඹවීම සඳහා දියත් කලා.

කොස් ප්‍රවර්ධනය සඳහා ලංකාව පුරා ගමන් කිරීම ඇරඹූ ආතර් වී දියෙස් කොස් ඇට බෙදාදෙමින්, ඒවා පැලකිරිමට දිරිගන්වමින් මෙන්ම කොස්ගස් නොකපා රැක ගන්නට ගැමියන් පෙළඹවිමින් කොස් වගාව රැකගැනීමට උත්සහ කලේය. රට පුරා කොස්ගස් මිලියනයක් වගාකිරිම ඔහුගේ අරමුණ වූ බව පැවසෙනවා. මේ අරමුණ සාක්ෂාත් කරගැනිම සදහා විවිධ අවස්ථාවල රජයේ සහය ලබාගැනීමට උත්සහ කලා.

මුලදී නොලැබුණු රාජ්‍ය අනුග්‍රහය

කොස්ඇට නොමිලයේ තැපැලෙන් යැවිමටත්, මහමාර්ග දෙපස කොස්ගස් වැවීමටත් දියෙස් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද එම යෝජනා ප්‍රතික්ෂේප වුනේ ලාභ ආහාර ප්‍රභවයක් ලෙස කොස් ගසෙහි වටිනාකම වටහාගන්නට අපහසු නිසා විය යුතුය.

කෙසේ වෙතත්, එකල රජයේ අමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතාගේ සමිපතමයෙකු හා දියෙස් මහතාගේ ඥාතිදියණියක් අතර විවාහයක් සිදුවීම හා බැඳුනු සිද්ධියකින් සර් ජෝන් ගේ සහය කොස් ව්‍යාපෘතියට ලබාගැනීමට ආතර් වී දියෙස් සමත් වුනා.

විවාහ මංගල්‍යයේ භෝජන අතර  කොස් ගෙඩියෙන් සෑදු ආහාර අමුත්තන්ට රස විඳීමට සැලැස්වූ ආතර් වී දියෙස් කොස් ගස කොතරම් වටිනා ආහාර ප්‍රභවයක් දැයි ඔවුනට ඒත්තු ගැන්වූවා.

මංගල්‍යයේ ප්‍රධාන අමුත්තා වූ කොතලාවල ඇමැතිවරයා ඉලක්ක කොට දියෙස් මේ ව්‍යාපෘතිය දියත් කල අතර එය සාර්ථක වුනා. රට ගැන දැඩි ඇල්මක් තිබූ සර් ජෝන්, කොස් ප්‍රචලිත කිරීමේ වැදගත්  කමත්, ඒ සඳහා ආතර් වී දියෙස්ගෙ කැපවීමත් පිලිබඳව පැහැදුනු බවත්, ඉන් ඉදිරියට කොස් වැවීමේ ව්‍යාපෘතියට රජයේ සහය ලබාගැනීමට සර් ජෝන්ගේ උපකාරය ලැබුණු බවත් සඳහන් වෙනවා.

ඒ අනුව රජයේ තැපැල් වියදමින් කොස්ඇට රටපුරා නොමිලේ යැවීමටත් මාර්ග දෙපස කොස් ගස් වැවීමටත් අවසර ලැබුණු අතර කොස් ගස් කැපීම තහනම් කරමින් විවිධ අණපණත් ගෙන එන්නටත් හැකිවුනා. අදටත් කොස් ගසක් කපන විට බළපත්‍ර ලබාගැනීම අනිවාර්ය දෙයක්.

අපට දැන් යලිත් කොස් මාමා කෙනෙකු ඕනෑකර තිබේ.

නුදුරේදීම රටේ ආහාර අර්බුධයක් ඇතිවන බව අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද අවබෝධ කරගෙන තිබේ. අර්බුධය ගෝලිය වුවත්, ලංකාවේ එය වඩාත් දරුණු වීමට කෘෂි පොහොර හා කෘෂි රසායන ක්ෂණිකව තහනම් කිරීමේ අදූරදර්ශී තීරණය දැඩිව බලපා තිබෙන බව දැන් රහසක් නොවේ.

ඒ පිලිබඳව පස්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ජනපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම ගැටලුවට විසඳුමක් නොවේ. ඔහු දෝෂාරෝපණයට ලක් නොවිය යුතු මෙයින් අදහස් නොකෙරේ - දේශීය ගොවිතැනේ වර්තමාන කඩාවැටීමට ජනාධිපතිවරයා හා ඔහුට උපදෙස් දුන් ඇම්බැට්ටයින් සම්පූර්ණයෙන් වගකිව යුතුය. එහෙත් බැණ බැණ සිටීම හෝ හාල් නැව් එනතෙක් සිටීම ප්‍රශ්ණයට විසඳුමක් නොවේ.

දැන් කල යුත්තේ රටේ ආහාර සුරක්ෂිත තාවය වර්ධනයේ එක් පියවරක් ලෙස කොස් මෙන්ම දෙල් ගස්ද රැක ගැනීමත් එම ගස් රෝපණයට හැකි තාක් දිරි දීමත්ය.

එමෙන්ම බතල, මංඤ්ඤොක්කා වැනි පහසුවෙන් වගාකල හැකි, ඉක්මණින් පලදාව දෙන විකල්ප පිෂ්ඨ ප්‍රභව හැකිතාක් ප්‍රවර්ධනය කල යුතුය. හැම ගෙවත්තකම නූතන උපක්‍රම අනුව මංඤ්ඤොක්කා, බතල ආදිය වැවීමට උනන්දු කල යුතු අතර, ඒ සඳහා උපදෙස් ජාතික රූපවාහිණී නාලිකා මෙන්ම වෙබ් අඩවි හා සමාජ ජාල මගින් ප්‍රචලිත කල යුතුය.

ඉතා ඉක්මණින් ඇති විය හැකි බඩගින්න නැමති වසංගතය දුරු කිරීමට අපි සැවොම දැන් දැන්ම සූදානම් විය යුතුය. ඒ සඳහා ඉතා පහසු, ඉක්මණින් ගත හැකි ක්‍රියාමාර් තිබේ. කල යුත්තේ දැනුවත් කිරීම හා රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීමයි.

Comments