AI : රොබෝලා මිනිස්සුන්ට එරෙහිව යුධ වදියිද?


KILL SWITCH

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව හිතාගත නොහැකිතරමින් වේගවත් වෙලා. මෙවැනි යන්ත්‍ර මගින් නුදුරු අනාගතයේදීම විශාල තර්ජනයක් මානව වර්ගයාටම සිදුවිය හැකි බවට මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් අණතුරු අඟවා තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කොතරම් දියුණුද යත්  ගූගල් ඩීප් මයින්ඩ් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය ලෝකයේ අමාරුම ක්‍රීඩාව ලෙස සැලකෙන Chinese GO ක්‍රීඩාවේ ලෝක ශූරයා පරාජය කරනු ලැබුවා.

සමහර කටයුතු වලදී කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මිනිස් ඥාණයට වඩා බොහෝ සෙයින් ඉදිරියට ගිහින්. ඒ වගේම කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර වලට, වෙනත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවලට ඉගැන්වීමේ හැකියාවත් දැන් ලබාගෙන. ඒ අනුව මිනිස් මැදිහත්වීමකින් තොරව පරණ යන්ත්‍ර අලුත් යන්ත්‍ර වලට තමන් දැනගත් දේ, ඉගෙන ගත්දේ උගන්වන්න පටන් අරන්. මෙහි කෙලවර කොහේවේදැයි සිතාගන්න අමාරුයි.

බලසම්පන්න කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් යම් ආකාරයකින් අසතුටුදායක ලෙස, හෝ තර්ජනාත්මක ලෙස නැතිනම් විනාශකාරී ලෙස හැසිරෙන්නට පටන්ගත් විට එවැනි යන්ත්‍රයක් නවත්වන්නේ කෙසේද?

සුපිරි බුද්ධියකින් යුතු යන්ත්‍රයකට තමන්ව අක්‍රිය කරන්නට යොදා ඇති උපක්‍රම සොයාගෙන ඒවා නිෂ්ක්‍රිය කරන්නට උත්සහ කරන්න පුලුවන්. ඕනෑම ජීවයක් තමන්ගේ ආත්මාරක්ෂාව හෙවත් සඳහා ක්‍රියාත්මක වෙනවා. මිනිස් මනසට ආසන්න ක්‍රියාකාරිත්වයක් ඇති කෘත්‍රිම බුද්ධියක් ඒ අයුරින් ක්‍රියාත්මක නොවේ යයි සිතන්නට පුලුවන් කමක් නෑ.

නිර්මාණශීලීව අලුත් අවස්ථාවන්ට මුහුණදීමට ඇති හැකියාව නිසා විවිධ ක්‍රම මගින් තමන්ව අක්‍රිය කල හැකි දෑ නිශ්ක්‍රිය කරන්නට පමණක් නොව තමන් අක්‍රිය කරන්නට එන මිනිස් තාක්ෂණවේදීන් මරා දමන්නටත් යන්ත්‍රයක් පෙළබෙන්නට පුලුවන්.

මෙහිදී ඔබට ටර්මිනේටර් චිත්‍රපට මාළාවේ ස්කයිනෙට් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය සිහිපත් වෙනවා ඇති. තමන්ව අක්‍රිය කරන්නට සූදානම් වෙද්දී එය නවවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නට ස්කයිනෙට් ක්‍රියාකරනවා. එහි මූලික ප්‍රතිපලය ලොව න්‍යෂ්ඨික යුද්ධයක් හටගැනීම වන අතර අතුරු ප්‍රතිපල ලෙස මිනිසුන් සමූලඝාතනය සඳහා කාළ තරණ ටර්මිනේටර් යන්ත්‍ර නිර්මාණය කරන්නට ස්කයිනෙට් පෙළඹෙනවා.

මෙවැනි අවස්ථාවක කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් සාර්ථකව ක්‍රියා විරහිත කරන්නේ කෙසේද යන්න දැනට කෘත්‍රිම බුද්ධි පර්යේෂකයින් අතර බරපතල ගැටලුවක් වී තිබෙනවා. මේ සඳහා සෑම කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයකටම, එයට තමා විසින්ම අකර්මන්‍ය හෝ අඩපණ කරගත නොහැකි එහෙමත් නැතිනම් by-pass කරගත නොහැකි KILL SWITCH එකක් හෙවත් ක්ෂණිකව අක්‍රිය කල හැකි ස්විචයක් යෝජනා කරනවා.

කෘත්‍රිම බුද්ධියක් තමන් කවුදැයි වටහා ගන්නා අවස්ථාව

කෘත්‍රිම බුද්ධියක් සංජානනය ලබාගෙන "Self Aware" අවස්ථාවට එලබෙන Technological Singularity හෙවත් තාක්ශණ දියුණුවේ අනියම් අපූර්වතා මොහොත...

කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහනක් හෝ රොබෝවෙකු සම්ප්‍රජානය ලබා තමාගැන හැඟීමක් ඇතිකර ගන්නා මොහොත  technological singularity ලෙස හැඳින්වෙනවා. සංකීර්ණ හා ව්‍යාකූල සංකල්පයක් වන සින්ගියුලැරිටි අවස්ථාව, ටර්මිනේටර් චිත්‍රපට වෘතාන්තය රූපවාහිනී වැඩසටහන් මාලාවකට අනුවර්තනය කල "Terminator: Sara Conner Chronicles" හි එක් කථාංගයක, ජෝන් කොනර් විස්තර කරන්නේ මෙසේයි.

" Point of technological singularity is when machines become so smart that they can build even smarter machines by themselves ...... that's when the human race can kiss their ass good-bye....."

ටර්මිනේටර් වෘතාන්තයට අනුව, තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාව, එනම් කෘතිම බුද්ධියක් ඇති පරිගණක, මිනිසුන් මෙන් සිතන්නට හා තමන්ටත් වඩා බුද්ධිමත් පරිගණක මිනිස් ආධාරයකින් තොරව තනන්නට පටන්ගන්නා මොහොත මිනිස් වර්ගයාගේ අවසානයේ ආරම්භයයි.

අනියම් අපූර්වතාවය??

පරිගණක විද්‍යාඥයින්, අයිසැක් ඇසිමොෆ් ආතර් සී ක්ලාක් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රභන්දකරුවන්, පරිගණකයක් සම්ප්‍රජානය ලබන මොහොත සින්ගියුලැරිටි හෙවත් අසාමාන්‍ය අපූර්වතා මොහොත යයි හඳුන්වන්නේ, එම අවස්ථාවෙන් පසු සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නිවැරදි අනාවැකි කීමට අපොහොසත් වන බැවිනි. 

එක් අතකින්, එම මොහොත ස්කයිනෙට් වැනි මිනිස් වර්ගයා කරදරකාරී, විනාශකර දැමිය යුතු විශබීජයක් ලෙස සළකන ව්‍යසනකාරි සතුරෙකු බිහිවන අවස්ථාවක් විය හැකියි. අනෙක් අතට, මිනිස් වර්ගයාට පෙර නොවූ විරූ දියුණුවක් අත්පත් කොට දෙන, මිනිසා විසින් වසර සිය දහස් ගණනක් සෙමෙන් දියුණු කරමින් පවතින තාක්ශණය, දැවැන්ත ඉදිරි පිම්මක් පණින මිනිස් ඉතිහාසයේ අපූර්වම අවස්ථාවක් වන්නටද පුලුවන. ඒ අතරම ඔය ආන්තික දෙකෙන් අහඹු අතරමැදි යථාර්ථයක් බිහිකරන අවස්ථාවක්ද විය හැකිය.

සැබෑ කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයක ලක්ෂණ 

තර්කනය (reasoning), අපෝහනය (deduction) හා ගැටලු විසඳීමේ හැකියාව (problem solving) - අසම්පූර්ණ තොරතුරු හා නොදන්නා අවස්ථාවලදී (unknown situations) තීන්දුවකට එලඹිමේ හැකියාව හා එම තීන්දු තර්කානුකූලව විස්තර කිරීමේ හැකියාව. මෙය පරිගණකයකට ඉගැන්වීමට ඉතා අපහසු දෙයක් ලෙස පරිගණක විද්‍යාඥයින් සලකනවා. ඩීප් නියුරල් නෙට්වර්කින් වැනි තාක්ෂණයන් මෙවැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නිර්මාණයට යොදාගන්නවා.

දැනට "විශේෂඥ පද්ධති නැතහොත් expert systems" ලෙස හඳුන්වන යම් පමණකට කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇති වැඩසටහන් වෛද්‍ය,ව්‍යාපාරික හා ආරක්ශක වැනි අංශවලට සාර්ථකව අනුයුක්ත කර තිබෙනවා. එහෙත් මෙම වැඩසටහන් සිතන පතන වැඩසටහන් නොව, හුදෙක්ම යම් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු ගැටලුවක් විසඳනා ආකාරය අනුකරනය කරමින්, තමාට ලබාදී ඇති පටු පරාසය තුල පමණක් ක්‍රියාත්මක වෙනවා.

උදාහරණයක් ලෙස රෝගියෙකුගේ රෝග ලක්ශණ හා රෝගියාගේ ඉතිහාසය ලබාදුන් විට එම රෝගියාට වැළඳී ඇති අසනීපය පිලිබඳව සාර්ථක නිගමනයන්ට එලබීමට medical expert system එකකට හැකියාව තිබෙනවා. එහෙත් එම වැඩසටහන් වලට කිසිවිටෙකත් මිනිස් වෛද්‍යවරයෙකු තුල ඇති හැකියාවට ආසන්න වීමට පවා නොහැකියි.

සාමාන්‍ය දැනීම හා සමාජයක මෙන්ම මිනිස් සබඳතාවල රීති ගැන ඇති විචාරශීලී අවබෝධය (common sense and social intelligence)- මිනිසුන් වන අප මේවා කුඩා කල පටන් ඉගනගෙන හෝ පලපුරුද්දෙන් දැන ගෙන තිබුණත් පරිගණකයකට මෙවැනිදෑ ඉතා අපහසුයි.

උදාහරණයක් ලෙස "දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට ගරුකල යුත්තේ ඇයි?" කුඩා දරුවෙකුට වුවත් මෙයට සාර්ථක පිලිතුරක් දෙන්නට පුලුවන්. එය පලමුවෙනි ශ්‍රේණියේ ප්‍රශ්ණ පත්‍රයක තිබෙන ප්‍රශ්ණයක් වුවත් කෘත්‍රිම බුද්ධි පරිගණකයකට මෙවැන්නකට උත්තර සෙවීම අපහසුයි.

ඉලක්ක හඳුනාගෙන එම ඉලක්ක සපුරාගැනීම සඳහා ප්‍රායෝගික සැළසුම් සකස් කිරීමේ හැකියාව 

අසම්පූර්ණ දත්ත, තමන්සතු සම්පත්, එම සම්පත්වල ගුණාගුණ ගැන නිසි අවබෝධයක් මෙන්ම , පරිසරයේ ඇති තමන්ට සහය ගත හැකි මෙන්ම බාධක විය හැකි දේද හඳුනාගෙන ඒ සියල්ලම උපයෝගීකරගෙන ප්‍රායෝගික ඉලක්ක හා එම ඉලක්ක සැපුරාගැනීමට සැලැස්මක් නිර්මාණය කිරීමේ හැකියාව දැනට ඇති දියුණුම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් වලට පවා නැති හැකියාවක්.

ඉගැනීමේ හැකියාව 

ඉගැනීමේ හැකියාව යනු හුදෙක් දත්ත රැස් කොට ගබඩාකර ගැනීම නොව, දැනුම ලබාගෙන එම දැනුම භාවිතයෙන් සිය හැසිරීම, අවබෝධය ඉලක්ක හා සැළසුම් වෙනස් කරගැනීමේ හා වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලෙස සරලව පැහැදිලිකල හැකිය.

චිත්තවේග හා අනෙකුගේ චිත්තවේග හා මානසිකත්වය තේරුම්ගැනීමේ හැකියාව

ඉතා කුඩා ළදරුවන් තුලපවා මෙම හැකියාව යම් මට්ටමකට ඇත. ලඟ සිටිනා තවත් ළදරුවෙකු හඬනවිට හඬන්නට පටන්ගන්නා ළදරුවන් මෙන්ම හඬන ළදරුවාට තමාගේ සෙල්ලම් බඩුවක් දික් කරන ළදරුවාද පෙන්වන්නේ අනෙකාගේ මානසිකත්වය තේරුම් ගෙන ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවයි. එහෙත් මෙය පරිගණකයකට ඉගැන්වීමට අපහසුම දෙයකි. 

නිර්මාණශීලීතිවය

අප මනුශ්‍යන් වන්නේත්, අප යම් පමණකට බුද්ධියක් ඇති වානර හා වෙනත් සතුන් (ඩොල්ෆිනුන්, සුනඛයින්) ගෙන වෙනස් වන්නට එක් හෙතුවක් නම් අපගේ නිර්මාණශීලිත්වයයි. මානව පරිණාමයේ හිනි පෙත්ත නිර්මාණශීලී හැකියාව හා දියුණු භාශා හැකියාව බව මානව විද්‍යාවේ උගන්වයි. 

භාශා හැසිරවීමේ හැකියාව

කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයකට සාමාන්‍ය මිනිසෙකුට මෙන් චතුර්ව භාශාවක් හැසිරවීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව තිබිය යුතුය.

මෙවැනි කෘත්‍රිම මනසක් ඇති රොබෝවෙකු හෝ යන්ත්‍රයක් පාලනය කරන්නේ කෙසේද?

Comments