CHINA vs. TAIWAN: චීනයේ Z-10 ප්‍රහාරක හෙලිකොප්ටර් තායිවාන ගුවන් සීමාවට ඇතුලුවී අනවසර මෙහෙයුමක් සිදුකරයි.

 


Changhe Aircraft Industries Corporation (CAIC) නිර්මාණය කල චීනයේ නවතම ප්‍රහාරක හෙලිකොප්ටරයක් වන  Z-10 හෙලිකොප්ටර් තායිවාන ගුවන්සීමාවට අනවසරයෙන් ඇතුලුවූ බව මැයි 10 වැනි දින තායිවානය වාර්තාකලා. 

චීන ප්‍රහාරක යානා හා වෙනත් යුධ ගුවන් යානා තායිවාන ගුවන්සීමාවට ඇතුලුවී තර්ජනාත්මක පියාසැරි රටා පෙන්වා යලිත් චීන ගුවන්සීමාවට ඇතුලුවීම නිතරම සිදුවනවා. තායිවානය, බලහත්කාරයෙන් වෙන්ව සිටින චීනයට අයත් දූපතක් බව චීනයේ නිළ ස්ථාවරය වන අතර තායිවානය වෙනම ස්වාධීන රටක් බව පිලිගන්න රටවල් සමග චීනය දැඩි රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් ඇති කරගන්නවා.


කෙසේ වෙතත් මෙම පියාසැරි සඳහා චීනයේ නවීනතම යානා උපයෝගී කරගන්නේ කලාතුරකින්. බොහෝවිට චීන ගුවන්හමුදාව සතු යල්පැන ගිය යානා මේ සඳහා උපයෝගීකර ගන්නවා. එයට හේතුව, තායිවාන ගුවන්සීමාවලට ඇතුලුවන චීන යානා, ඇමරිකාව විසින් තායිවානයට ලබාදී ඇති නවීනතම රේඩාර් හා වෙනත් ගුවන් ආරක්ෂක උපක්‍රම මගින් නිරීක්ෂණය කිරීමයි. තම නවීනතම ගුවන්යානාවල රේඩාර් චිත්‍ර හා පියාසැරි රටා (flight profile) ඇමරිකානු රේඩාර් යන්ත්‍රවල සටහන් වීමෙන්, එම යානාවලට පහරදීමට අවශ්‍ය තොරතුරු ඇමරිකන් ගුවන්හමුදාවද ලබාගන්නා නිසා, සිය නවීනතම යානා තායිවාන රේඩාර් පද්ධති ක්‍රියාත්මක පෙදෙස්වලට නොයවන්නට චීනය ප්‍රවේසම් වනවා.


පැයට කිලෝමීටර් 230ක වේගයෙන් පියාසර කරන Z-10 යානය චීනයේ නිෂ්පාදිත WZ-29 ටර්බෝ ෂාෆ්ට් ජෙට් එන්ජින් දෙකකින් ක්‍රියාත්මක වෙනවා. කිලෝමීටර් 6ක් ඉහල අහසේ ගමන් කල හැකි යානයේ නියමුවන් දෙදෙනෙකු සිටිනවා.

කිලෝමීටර් 800ක මෙහෙයුම් පරාසයක් ඇති යානයේ රොකට් හා මිසයිල ගෙනයා හැකි ස්ථාන (weapons hardpoints) 4ක් ඇති අතර මිලිමීටර් 25 උණ්ඩ නිකුත්කල හැකි ප්‍රභල මැෂින් තුවක්කුවක්ද තිබෙනවා.

මෙම හාර්ඩ් පොයින්ට් 4ට සම්බන්ධකොට විවිධ වර්ගයේ මිසයිල හා රොකට්ටු 16ක් ගෙනයා හැකියි. එම මිසයිල වර්ග යානය යොදාගන්නා මෙහෙයුම අනුව වෙනස් වනවා. යුධ ටැංකි නාශක මිසයිල, ගොඩබිම් ස්ථාන පුපුරුවා හැරිය හැකි මිසයිල මෙන්ම සතුරු හෙලිකොප්ටර් බිම හෙලිය හැකි මිසයිලද ගෙනයා හැකියි.

මෙම යානයට සමාන කල හැකි ඇමරිකන් හෙලිකොප්ටරය, ඇමරිකන් යුධ හමුදාව සතු  ඇපෑචි (AH-64 Apache) හෙලිකොප්ටරයයි. එමෙන්ම යුරෝපා සංගමයේ එයාබස් හෙලිකොප්ටර් සමාගම නිර්මාණය කරන යුරෝකොප්ටර් ටයිගර් (Eurocopter Tiger)  යානයද Z-10 යානයේ තරඟ කරුවෙක්.

Comments