Artificial Intelligence : සෑම් ඕල්ට්මන් මොනවා කිව්වත් Super Intelligent AI තව ගොඩක් දුර


බොහෝ අය විශ්වාස කරන්නේ කෘත්‍රිම බුද්ධිය තවදුරටත් බුද්ධිමත් වනු ඇති බවයි. විශේෂයෙන් ගැඹුරු තර්කන හැකියාව අවශ්‍ය ගැටළු තර්කානුකූලව හා සියුම්ව විසඳීමේ හැකියාව නොබෝදිනකින්ම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ලබාගනු ඇතැයි බොහෝ විශ්ලේෂකයින් අනුමාන කරනවා. 

ඔවුන් අනුමාන කරන අන්දමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම පරිනාමය සුපිරි බුද්ධිය (superintelligence) යනුවෙන් හඳුවන, මානව චින්තන හැකියාවට වඩා ඉතා සුපිරි හැකියාවක් ඇති කෘත්‍රිමවූ මෘදුකාංගයක් නිර්මාණය වීම වන අතර එය සීග්‍රයෙන් සිදුවෙනවා.

මෑතකදී සාකච්ඡාවකට එක්වූ මෙටා ප්‍රධානී හා ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ග් පවසන අන්දමට කෘත්‍රිමව නිර්මාණය වන සුපිරි බුද්ධිය, වසර 100 කට අධික කාලයක් තිස්සේ මනුෂ්‍යත්වය අනුගමනය කළ ප්‍රවණතාවක් ඉදිරියට ගෙනයාමක් පමණක් බවයි. 

මෙම වේගවත් වර්ධනය අති බළසම්පන්න පරිගණක සඳහා විශාල ඉල්ලුමක් ඇති කරමින් පවතිනවා. එන්විඩියා (Nvidia) සමාගමේ නිර්මාතෲ ජෙන්සන් හුවැන්ග් පවසන අන්දමට එවැනි තර්කන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය පරිගණකමය ගණනය කිරීම් ප්‍රමාණය දැන් පවතින කෘත්‍රිම බුද්ධි මාදිලිවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පරිගණක බලයට වඩා 100 ගුණයකින් වැඩිය. කෘත්‍රිම බුද්ධි සමාගම් මෙම පරිගණක බලය තමන් සතු කරගැනීම සඳහා බිලියන ගණන් මුදල් වියදම් කරමින් අති විශාල ආයෝජනයන් කරමින් සිටිනවා.

ලොව විශාලම ආයෝජන බැංකුව වන JPMorgan Chase සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජේමි ඩයිමන් මෙසේ පවසනවා 

"අපි දැනට කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 2ක් පමණ වැය කරනවා. දැනට මෙම තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කල හැකි අවස්ථා (use cases) 600ක් පමණ අප හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව බොහෝ විට ලබන වසරේදී දෙගුණ වීමටත්, සමහරවිට තුන් ගුණ වීමටත් ඉඩ තිබෙනවා."

කෙසේ වෙතත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් නිර්මාණය කරන සමාගම් තුලින්ම සියුම් තර්කන හැකියාවන් සහිත සුපිරි-කෘත්‍රිම බුද්ධි වැඩසටහන් බිහිවීමේ කාලරාමුව හා ඒවායේ වර්ධනය වන හැකියාවන් පිලිබඳව සැක මතුකරන පර්යේෂණ පත්‍රිකා එලි දකිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඇපල් සමාගමේ පර්යේෂකයින් කණ්ඩායමක් ප්‍රකාශයට පත්කල "The Illusion of Thinking" ලෙස නම්කල පර්යේෂණ පත්‍රිකාව, සුපිරි බුද්ධියක් ලඟදීම නිර්මාණය කරගත හැකිවනු ඇතැයි අනුමානයෙන් ඩොලර් බිලියන ගණනින් ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇන්ත්‍රොපික්, පර්ප්ලෙක්සිටි වැනි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් මත ආයෝජනය කරන්නවුන් තිගැස්මකට ලක් කිරීමට සමත්ව තිබෙන අතර CNBC වැනි ව්‍යාපාරික චැනල ඒ පිලිබඳව සංවාදයක් ගොඩ නගමින් තිබෙනවා.

මෙම පර්යේෂ පත්‍රිකාව සිදුකල පරියේෂණවලට අනුව බොහෝ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සරල තර්කන හැකියාවක් අවශ්‍ය අවස්ථාවලදී ඉතා ඉක්මනින් හා නිරවද්‍යව එම කාර්යය සිදුකලත්, ගැටලුව සංකීර්ණවත්ම එම බුද්ධි වැඩසටහන්වල නිරවද්‍යතාවය ඉතා වේගයෙන් කඩා වැටෙන බව නිරීක්ෂණය කර තිබෙනවා. පර්යේෂකයින් අනුමාන කරන්නේ දැනට නිර්මාණය කර තිබෙන ඉතාමත් සංකීර්ණ හා නවතම කෘත්‍රිම බුද්ධි මාදිලි පවා සැබෑ තර්කන ක්‍රියාවලියක් (true human reasoning process) සිදුනොකරන බවත්, සිදුකරන්නේ වේගවත් රටා හඳුනාගැනීමක් (high speed pattern recognition) මගින් පිලිතුරු සෙවීමක් පමණක් බවත් පවසනවා.

දැනට වඩාත්ම බලවත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් වල නිර්මාපකයෙකු වන ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ පර්යේෂකයින් නිකුත්කල "Reasoning Models Don't Always Say What They Think." නම් වාර්තාවක්ද ඇපල් සමාගමේ පර්යේෂණ පත්‍රිකාවේ නිගමනවලට සමාන නිගමනයන්ට එලඹ තිබෙනවා.

එමෙන්ම චීනයේ සුප්‍රකට කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ආයතනයක් වන LEAP ආයතනයේ නිරීක්ෂණයන්ට අනුවද කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සැබෑ තර්කන හැකියාවන් මෙන්ම නවමු ආකාරයේ විසඳුම් හා කල්පිතයන් ගොඩනැගීමේ හැකියාවද ලබාගෙන නෑ.

ඒ අනුව, ඕපන් ඒ.අයි (OpenAI) සමාගමේ සම-නිර්මාතෘ මෙන්ම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සෑම් ඕල්ට්මන් නිතර ප්‍රකාශ කරන ආකාරයේ හැකියාවන් ඇති සුපිරි බුද්ධියක් සහිත Artificial Intelligence Model නිමවා ගැනීමට තවත් බොහෝ කාලයක් ගතවන්නට පුලුවන්.



Comments