ඉරාණ න්‍යෂ්ඨික වැඩසටහනට සිදුවූ හානිය ඉතා දැඩියි - CIA අලුත්ම විශ්ලේෂණය


ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් සිදු කළ ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන "බරපතල ලෙස හානි වී ඇත" යන්න, සී.අයි.ඒ ඔත්තුසේවයේ අලුත්ම ඇස්තමේන්තුව බව ඇමරිකාවේන් වාර්තා වෙනවා.

මීට පැය 48කට පමණ පෙර, එනම් ජූනි 24 CNN හා නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ තමන්ට ඇමරිකාවේ Defense Intelligence Agency (DIA) ඔත්තුසේවයේ යමෙකු විසින් ලබාදුන් මූලික ඇස්තමේන්තුවකට අනුව ඉරාණ න්‍යශ්ඨික වැඩසටහනට සිදුවූ හානිය ඉතාමත් අල්ප බවයි. 

සී.එන්.එන් හා නිව් යෝර්ක් ටයිම්ස් මෙම වාර්තාවට දැඩි ප්‍රසිද්ධියක් ලබාදුන් අතර එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව දැඩි ලෙස කෝප ගන්වන්නට හේතුවුනා. එමෙන්ම ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට්, ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවක සිටින අසාර්ථක පරාජිතයෙක් (a loser in the intelligence community) සී.එන්.එන් හා නිව්යෝර්ක් ටයිම්ස් වෙත වැරදි වාර්තාවක් ලබා දී ඇති බවත්, ලොව විශාලම බෝම්බ 14ක් නිවැරදි ඉලක්කයට වැටීමෙන් සිදුවන හානිය ඕනෑම කෙනෙකුට සිතාගත හැකි බවත් ඇය ප්‍රකාශ කලා.


කෙසේවෙතත් ඊයේ (25, බදාදා) දහවල්, CIA ප්‍රධානී ජෝන් රැඩ්ක්ලිෆ්, ඉතාමත් විශ්වාසකල හැකි මූලාශ්‍ර මගින් ලැබුනු තොරතුරු අනුව සැකසූ ඔවුන්ගේ නවතම ඇස්තමේන්තුවට අනුව "ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මෑතකාලීන, ඉලක්කගත ප්‍රහාරයන් මගින් බරපතල ලෙස හානි වී ඇති බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු තහවුරු කළ හැකි" බව නිලවශයෙන් කියා සිටියා.

රැඩ්ක්ලිෆ්ට අනුව, මීට පෙරද ඉතා නිවැරදි තොරතුරු ලබාදී ඇති විශ්වාසදායක සහ නිවැරදි මූලාශ්‍රයකින්/ක්‍රමයකින් ලබාගත් නව බුද්ධි තොරතුරු මේ අලුත් වාර්තාවට ඇතුළත් වන අතර, එමඟින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික පහසුකම් කිහිපයක් විනාශ වී ඇති බවත්, ඒවා නැවත ගොඩනැගීමට ඉරාණයට වසර ගණනාවක් ගතවිය හැකි බවත් ප්‍රකාශ කර සිටිනවා. 

එමෙන්ම, ඊශ්‍රායල් බුද්ධි අංශයේ නිලධාරීන් බදාදා ප්‍රකාශ කළ ආකාරයට, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල කළ ප්‍රහාරයන් හේතුවෙන් “ඉතා සැලකිය යුතු” සහ “දිගුකාලීන හානි” සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම නවතම ඔත්තු වාර්තා ඇමරිකන් ආරක්ෂක බුද්ධි අංශයේ යමෙකු (ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් ඒජන්සි)  විසින් මාධ්‍ය වෙත හොරෙන් කාන්දුකරන ලද (leaked report) වාර්තාවේ සඳහන් වූ ආකාරයට, ෆෝර්ඩෝ, ඉස්ෆහාන් සහ නටන්ස් න්‍යෂ්ඨික සංකීර්ණවලට එක්සත් ජනපදයේ "මිඩ්නයිට් හැමර්" මෙහෙයුමෙන් අවම හානියක් වූ බවට කල ඇස්තමේන්තුව කනපිට හරවනවා. 

කෙසේ වෙතත් ඉරාණයේ න්‍යෂ්ඨික වැඩසටහනට ඇමරිකන් ප්‍රහාර මගින් සිදුවූ හානිය පිලිබඳ ගැටලුව මේ වන විට ඉතා දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලි වන අතර, ඒ වටා විවිධ ඇජෙන්ඩාවන් ඇති බලවේග විවිධ තොරතුරු සමාජගත කිරීමට උත්සහ කරනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ බලවේග ප්‍රහාරය අසාර්ථක බවට සමාජගත කරමින් ට්‍රම්ප්ව අවමානයට ලක් කිරීමට උත්සහ කරන අතර ඇමරිකන් හා ඊශ්‍රායල් බලවේග, ඉරාණයේ තම මෙහෙයුම් සාර්ථක බව පෙන්වන්නට උත්සහ කරනවා.

විශේෂයෙන්ම ඉරාණ හිතවාදී බලවේග, මේ වන විට දැඩි ලෙස කඩාවැටී ඇති ඉරාණයේ ප්‍රතිරූපය මදක් හෝ ඔසවා තැබීමට මෙය අවස්ථාවක් කරගනිමින් සිටිනවා.

මැදපෙරදිග සිය බලය ප්‍රක්ෂේපනය කරමින් අවශ්‍ය අවස්ථාවල අරාබිකරයේ රටවල්වලට මෙන්ම බටහිර රටවල්වලටද දැඩි කරදර ඇති කරමින් කලාපය අස්ථාවර කිරීමට ඉරාණය බළල් අත් ලෙස භාවිතා කල හමාස්, හිස්බුල්ලා සංවිධාන මේ වන විට ඊශ්‍රායලය විසින් කාලාන්තරයකට හිස එසවිය නොහැකිලෙස විනාශකර දමා තිබෙනවා. එමෙන්ම ඉරාණ හිතැති අසාද් පාලනය සිරියාවෙන් පන්නා දමා ඉරාණ විරෝධී, යම් ආකාරයකට බටහිර හිතවාදී ආණ්ඩුවක් සිරියාවේ බිහිවී ඇති අතර, යේමනෙයේ හූති සංවිධානයද ඉරාණයේ විධාන ගනන් නොගන්නා තත්වයටම ඉරාණයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය කඩා වැටී තිබෙනවා. මේ සියල්ලම ඊශ්‍රාලය හා ඇමරිකාව ඉරාණයට කෙලින්ම බෝම්බ දැමීමට පෙරම තිබූ තත්වයයි.

ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් ඒජන්සියේ ලීක් වූ වාර්තාවෙන් මදක් වික්ෂිප්ත වී සිටින ඊශ්‍රායල් බුද්ධි අංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට "වෘත්තීයමය යුධ හානි තක්සේරුවක් - professional battle damage assessment " සඳහා කාලය ගතවනවා. තවමත් ඉරාණයේ කිසිවෙකුට හෝ මෙම ස්ථාන වෙත ලඟාවීමට හැකියාවක් තිබෙනවාදැයි අපි දන්නේ නෑ. භූමියෙන් නිවැරදි තොරතුරු ලැබීමට නම්, ඉරාණයේ සිටින ඊශ්‍රායල් ඔත්තු කරුවන්ට හානියට පත්වූ ස්ථානවල ඇස්තමේන්තු ඉරාණ මූලාශ්‍රවලින්ම ලැබිය යුතුයි.

ඒ අනුව ඊශ්‍රායල බුද්ධි අංශ මේ වන විටත් අවසන් තීන්දුවකට පැමිණ නැති බව ඊශ්‍රායල ආරංචිමාර්ග පවසනවා. එහෙත් මෙම මෙහෙයුමේ කිසිදු දෝෂයක් තිබුණු බවු හෝ බංකර්-බස්ටර් බෝම්බ ක්‍රියාත්මක නොවූ බවට කිසිදු ලකුණු තවමත් තමන්ට ලැබී නැති බව යුදෙව්වන් පවසනවා. ඒ අනුව බලාපොරොත්තු කරගැනීමට අවශ්‍ය නැති බව ඔවුන් අවධාරණය කරනවා.

Comments