NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

CAR TECH: How Porsche "torture" tests their high performance engines | පෝෂ මෝටර් සමාගම ඔවුන්ගේ අධිවේගී එන්ජින් පරීක්ෂාකරන ආකාරය


Porsche 911 GT3 මෝටර් රථයේ දැකිය හැකි වර්ගයේ ලීටර් 4.0ක, ස්වාභාවික වායු චූෂණ (naturally aspirated) 'ෆ්ලැට්-සික්ස්' එන්ජිමක් අධිවේගී ධාවනයේදී එම එන්ජිමේ සිදුවන හැලහැප්පීම්, අධික ගුරුත්ව-ත්වරණයන්ට (G-Forces) භාජනයවීම් වලදී එන්ජිමේ ක්‍රියාකාරිත්වය, විශේෂයෙන්ම එන්ජින් ඔයිල්, නිසි පරිදි එන්ජිම තුල සංසරණය වන්නේදැයි තහවුරු කිරීමට ජර්මනියේ පෝර්ෂ මෝටර් සමාගම සුවිශේෂී පරීක්ෂණයක් සිදුකරනවා.

WATCH THE VIDEO ON X PLATFORM


ඉන්ධන, සිසිලන සහ දුම් පිටවීමේ පද්ධතිවලට පූර්ණ ලෙස සම්බන්ධ කර ඇති මෙම එන්ජිම, දරුණු භෞතික කැලඹීම්වලට හා සෙලවීම්වලට ලක්වන අතරතුරම, එහි උපරිම සීමාව වන ආර්.පී.එම්. (RPM) 9,000 දක්වා වේගයෙන්  ක්‍රියාත්මක කරවයි.

මෙහිදී සිදුවන්නේ හුදෙක් සරල, එකම රටාවකට අනුව එන්ජිම සලිත කිරීමක් නොවේ. ඒ වෙනුවට පෝෂ සමාගමේ සේවය කරන ධාවන ශූරයන් (company race drivers) විසින් සැබෑ ධාවන පථයන්හිදී ලබාගත් දත්තයන් (telemetry data) මෙම හයිඩ්‍රොලික් ක්‍රියාකරවනයන් (hydraulic actuators)  වෙත ලබාදෙයි.

මෙහිදී පරිගණකය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වඩාත්ම ප්‍රසිද්ධ වැඩසටහන වන්නේ Nürburgring Nordschleife (නූර්බර්ග්රින්ග් නෝර්ඩ්ශ්ලිෆ) ධාවන පථයේ අධිවේගී වටයක (hot lap) ධාවනයක්දි ටෙලිමෙට්‍රි ආකාරයෙන් ලබාගන්නා දත්ත ඇකියුටේටර් හරහා සිමියුලේටරයට ලබාදී, ඒ අනුව එන්ජිම තාත්වික ධාවනයක යෙදෙන ආකාරයට සලිත කිරීමයි.

මෝටර් රථය නූර්බර්ග්රින්ග් නෝර්ඩ්ශ්ලිෆ අධිවේගී ධාවන පථයේ සුප්‍රසිද්ධ 'කැරොසල්' (carousel) වංගුව පසුකරන විට හෝ 'ඩොටිංගර් හෝහ්' (Döttinger Höhe) සෘජු මාවත දිගේ වේගයෙන් ඉදිරියට ඇදෙන විට, ධාවන පථයේ භූ විෂමතාවට සර්වසම වන අයුරින් මෙම සැබෑ එන්ජිමද ඉදිරියට, පසුපසට සහ දෙපසට ඇලවෙමින් මනාව සම්බන්ධීකරණය වූ චලනයක නිරත වේ.

නූර්බර්ග්රින්ග් වැනි ධාවන පථවල දැඩි වංගු ගැනීමේදී, මෝටර් රථ මත ගුරුත්වාකර්ෂණ බලය මෙන් 1.5 ගුණයකට වඩා වැඩි (1.5 Gs) පාර්ශ්වික බලයක් (lateral forces) එන්ජිම මත  ක්‍රියාත්මක විය හැකිය. එන්ජිමක්  මෙම දැඩි වංගු ගැනීමේදී අධි-ගුරුත්ව බලයකින් පැත්තකට ඇදීම (high lateral g-forces) හේතුවෙන් එන්ජින් ඔයිල්  ගුරුත්වාකර්ෂණයට එරෙහිව පැත්තකට තල්ලුවීම නිසා අධික ආර්.පී.එම් වේගයකින් මෙන්ම අධික තාපයකින් ක්‍රියාත්මකවන එන්ජිමේ යම් කොටස්වලට නිසි පරිදි එන්ජින් ඔයිල් නොලැබීමෙන් එන්ජිම ගිණිගැනීම හෝ පුපුරායාම සිදුවන්නට පුලුවන්.

මෙය oil starvation ලෙස හැඳින්වෙන අතර, ආර්.පී.එම්. (RPM) 9,000 ක වැනි ඉහළ වේගයකදී, මින් ක්‍රෑන්ක්ෂාෆ්ට් බෙයාරිං (crankshaft bearing) එකක් විනාශ වී තත්පරයකින් පංගුවක් වැනි සුළු කාලයක් තුළ මුළු එන්ජිමම සහමුලින්ම විනාශ වී යා හැකිය.

පෝර්ෂේ (Porsche) සමාගම මෙම යන්ත්‍රය ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ ඔවුන්ගේ 'ඩ්‍රයි සම්ප්' (dry sump) ලිහිසි තෙල් පද්ධති පරිපූර්ණ මට්ටමට ගෙන ඒම සඳහාය. මෙහිදී සාමාන්‍ය එන්ජින්වල මෙන් ඔයිල් බඳුන (standard pan) තුළ ලිහිසි තෙල් බුරුලට රැඳෙන්නට හරින්නේ නැත. ඒ වෙනුවට බාහිරින් පිහිටි තෙල් ටැංකියක් හෝ එන්ජිමටම ඒකාබද්ධ කළ වෙනම කුටීරයක් (dry sump) භාවිතා වේ.

මෙම හයිඩ්‍රොලික් යන්ත්‍රය මත එන්ජිම දැඩි "වධබන්ධනයකට" ලක් කිරීමෙන්, පෝර්ෂේ ඉංජිනේරුවන්ට එහි සවිකර ඇති පීඩන සංවේදක (pressure sensors) සජීවීව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව, එන්ජිම කෙතරම් දරුණු ලෙස සෙලවීම්වලට ලක් වුවද, එහි ඔයිල් පීඩනය බිඳකුදු අඩාල නොවන බව තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි වේ.

Comments