NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HEALTH: පිටගැස්ම හැදෙන්නෙ මළකඩ කාපු යමක් ඇණුනු විට නෙමෙයි

 

වත්තේ හෝ වෙනත් එලිමහනක ඇවිදින විට ඔබේ දෙමාපියන් "මලකඩ කාපු ඇණ තියෙනවා පරිස්සමෙන්!" කියලා කියන කතාව බොහෝ විට අපේ ළමා කාලයේ අපිට අහන්න ලැබෙන සාමාන්‍ය දෙයක්. මලකඩවල තියෙන භයානකකම ගැන විස්තර කරන ඔවුන්, ඇනෙන්න පුළුවන් වගේ තියෙන ඕනෑම දෙයක් දැක්කොත් "දැක්කොත් කියන්න" කියන නීතිය මතක් කරනවා.  


මේ උපදෙස ඇත්තටම දෙමාපියන් දෙන්නේ අපේ හොඳට බව පැහැදිලියි. හැබැයි, ඒ කතාවේ මූලික පදනම වැරදියි.

මෙයින් අදහස් කරන්නේ පිටගැස්ම (Tetanus) කියන්නේ දෙමාපියන් කියන තරම් භයානක නැති ලෙඩක් කියලා නෙවෙයි. උතුරු ඇමරිකාවේ ක්ලීව්ලන්ඩ් ක්ලිනික් (Cleveland Clinic) ආයතනය තක්සේරු කරන පරිදි, පිටගැස්ම වැළඳෙන රෝගීන්ගෙන් සියයට 10ක්ම මිය යනවා. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති හෝ ලබා ගැනීමට අපහසු රටවල මේ ප්‍රතිශතය ඊටත් වඩා ගොඩක් වැඩි බව විශ්වාස කෙරෙනවා.

වසර දහස් ගණනක් තිස්සේ පිටගැස්ම කියන්නේ මිනිස් සංහතියට ලොකු පීඩාවක් වුණු රෝගයක්. පුරාණ ග්‍රීක වෛද්‍යවරයකු වූ හිපොක්‍රටීස් පවා ඔහුගේ පොත්පත්වල මේ රෝගය ගැන සඳහන් කර තිබෙනවා. 

නමුත් 1884 දී පර්යේෂකයන් මේ රෝගය ක්‍රියාත්මක වන ආකාරය සොයාගත්තා. ඊට වසර 40 කට පසුව, විද්‍යාඥයන් ඊට එරෙහිව එන්නතක් නිපදවීමට සමත් වුණා. අද වන විට, මූලික එන්නත් මාත්‍රා තුන සහ වසර 10 කට වරක් ලබා ගන්නා බූස්ටර් (Booster) එන්නත මගින් පිටගැස්ම වැළැක්වීමේ 100% ක සාර්ථකත්වයක් ලබාගත හැකියි.

මලකඩ කාපු ඇණ සහ පිටගැස්ම අතර මෙච්චර ලොකු සම්බන්ධයක් ඇති වුණේ කොහොමද කියන එක තවමත් පැහැදිලි නැහැ. 

යකඩ ඔක්සයිඩ් (Iron oxide) කියන්නේ සාමාන්‍යයෙන් මිනිස් සිරුරට හානිකර දෙයක් නෙවෙයි. මලකඩ කාපු යකඩ බටවලින් එන වතුර කිසිම සෞඛ්‍ය ගැටලුවක් නැතුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පානය කරනවා. සාමාන්‍යයෙන් මලකඩ ලෙස හඳුන්වන මේ යකඩ ඔක්සයිඩ් රසායනික සංයෝගය සහ පිටගැස්ම රෝගය අතර කිසිම සම්බන්ධයක් නැහැ. 

ඇත්තටම පිටගැස්ම ඇතිවන්නේ Clostridium tetani කියන බැක්ටීරියාව නිසයි. මේ බැක්ටීරියාව පස්, දූවිලි සහ සතුන්ගේ මලපහ තුළ, එනම් ඕනෑම තැනක තියෙන්න පුළුවන්. එය ගැඹුරු තුවාල මගින් විතරක් නෙවෙයි, මතුපිටින් සිදුවන සීරීම්, කෘමි සතුන් කෑම, සැත්කම් සහ ඔබේ සමට සිදුවන ඕනෑම හානියක් හරහා සිරුරට ඇතුළු විය හැකියි. 

මලකඩ කාපු ඇණයක් පෑගීමෙන් විතරක් නෙවෙයි, ගෙවත්තේ වැඩ කරන විට පවා මෙය ශරීරගත වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි ඔබේ බූස්ටර් එන්නත් ලබාගත් කාල සීමාවන් නිසි ලෙස මතක තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ. මලකඩ කාපු කම්බි දැලක වැදී අල්ල කැපෙනකම් ඉන්නේ නැතුව, සෑම වසර 10 කට වරක්ම බූස්ටර් එන්නත ලබාගත යුතුයි. මන්ද ඕනෑම තුවාලයක් පිටගැස්ම ඇතිකිරීමේ අවදානමක් සහිත තුවාලයක් විය හැකි නිසයි.

මෙම බැක්ටීරියාව ඔබේ සිරුරට ඇතුළු වූ විට ඔබ නියමිත පරිදි එන්නත් ලබාගෙන නොමැති නම්, මෙම කුඩා ආක්‍රමණිකයන් වේගයෙන් බෝ වීමට පටන් ගන්නවා. CDC ආයතනයට අනුව දින 3 ත් 21 ත් අතර පවතින මෙම වර්ධන කාලය තුළ කිසිදු රෝග ලක්ෂණයක් මතු වන්නේ නැහැ. 

නමුත් මේ බැක්ටීරියා ඔබේ සිරුර තුළදී මැරෙන්න පටන් ගන්නකොට, ස්නායු පද්ධතියට පහර දෙන විෂක් (Neurotoxin) මුදා හරිනවා. විශේෂයෙන්ම, එය පේශි සංකෝචනය පාලනය කරන GABA නම් රසායනිකය අක්‍රිය කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුහුණේ හනු පූට්ටු වීම, පිටකොන්ද පාලනයකින් තොරව ධනු රාශියක් මෙන් නැවීම සහ පාදවල ඇඟිලි දිගටම ඇකිලී පැවතීම වැනි මුළු සිරුරම දැඩි තදවීමකට ලක්වන තත්ත්වයක් ඇති වෙනවා.

Comments