Last flight of U2
1960 මැයි 1 වන දින සෝවියට් අහසේ ස්වර්ඩ්ලොව්ස්ක් හිදී CIA ගුවන් නියමු ෆ්‍රැන්සිස් ගැරී පවර්ස්ගේ U-2 යානය මිසයිලයකින් බිම හෙලීමත් සමග, අවසන් වූයේ එක් මෙහෙයුමක් පමණක් නොවේ — එය යුගයක නිමාව සලකුණු කළේය. ගුවන් යානයක් පියාසර කරන උස ප්‍රමාණය පමණක් ආරක්ෂාවට ප්‍රමාණවත් නොවන බව සෝවියට් SA-2 ගුවන් ප්‍රහාරක මිසයිල මගින් තහවුරු විය.
ඇමෙරිකාවට සතුරු බලප්‍රදේශ ඇතුළත සිදු වන දේ අහසින් දැක බලා ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ට වඩාත් ඉහළින් පියාසර කිරීමට පමණක් නොව, සතුරු ප්‍රහාරයන්ට හසු නොවන තරම් අතිශය වේගයකින් පියාසර කිරීමටද සිදු විය.
Project OXCART
ඔක්ස්කාට් ව්‍යාපෘතිය යනු U-2 යානය වෙනුවට වෙනත් යානයක් නිර්මාණය කිරීම සඳහා, 1957 දී ආරම්භ කර 1960 න් පසුව වේගවත් කරන ලද, ඇමෙරිකානු CIA ඒජන්සියේ අතිශය රහසිගත වැඩසටහනයි. ඒ සඳහා තිබූ අවශ්‍යතා ඉතා අභියෝගාත්මක විය: අඩි 80,000 කට වඩා ඉහළින් පියාසර කිරීම, ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකට වඩා වැඩි — එනම් පැයට සැතපුම් 2,200 ක පමණ (Mach 3) වේගයක් පවත්වා ගැනීම, සහ සතුරාගේ ගුවන් ආරක්ෂක පද්ධති මඟහැරීම සඳහා එහි රේඩාර් සංඥා අවම කිරීම යනාදියයි.
මෙම කොන්ත්‍රාත්තුව භාර ගැනීමට ඉදිරිපත් වූ එකම කණ්ඩායම වූයේ කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි ක්ලැරන්ස් ජොන්සන් යටතේ පැවති ලොක්හීඩ් සමාගමේ අතිනවීන සංවර්ධන වැඩසටහන් අංශය (Skunk Works) යි. A-12 හෙවත් පලමු කළුකුරුල්ලා ඔවුන් ගේ නිර්මාණය වුනා
The First Blackbird: A-12
1962 වසරේදී ප්‍රථම ගුවන් ගමනේ යෙදුණු, එක් අසුනක් සහිත A-12 යනු 1962 තරම් අතීත කාලයක නිර්මාණය කිරීමට නොහැකි විය යුතුව තිබූ, (ahead of its time) වර්ගයේ ගුවන් යානයක් වූ අතර, එවැනි යානයක් ඇමරිකාව සතුව තිබෙන බව පවා වසර 20-30 යනතෙක්ම රහසක්ව තබාගන්නට ඇමරිකන් ආරක්ෂක අංශ ප්‍රවේසම් වුනා.
1962 අප්‍රේල් මාසයේදී නෙවාඩා හි පිහිටි දුරස්ථ, වියළි වැව් පතුලක් වන Groom Lake හි සුප්‍රකට Area 51 හිදී එහි පරීක්ෂණ පියාසැරි ආරම්භ වුනා. OXCART ව්‍යාපෘතිය සඳහා Area 51 පහසුකම් පරිශ්‍රය විශාල ලෙස පුළුල් කරනලද අතර — අඩි 8,500 ක් දිගැති එහි ගුවන් පථය (runway) තවත් දිගු කර, ගුවන් යානා අංගන (hangars) ඉදි කර අනාගත තාක්ෂණයන්ගෙන් පිරුණු A12 සැඟවීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහායක යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කරන්නට ඇමරිකන් ආරක්ෂක අංශ ක්‍රියාකලා.
මක් (Mach) 3.35 ක වේගයකදී ඇතිවන චලිත තාපගැන්වීමට (kinetic heating) ඔරොත්තු දීම සඳහා, මෙහි ව්‍යූහයෙන් 90% කට වඩා ටයිටේනියම් ලෝහයෙන් නිපදවන්නට තීරණය වුනා. එකල එම ලෝහය ලබා ගැනීමට සිදු වූයේ CIA front සමාගම් හරහා වන අතර, ඒවා සැකසීමට පෙර නොතිබූ, අලුත්ම යන්ත්‍ර හා මෙවලම් නිර්මාණය කරගැනීමටද සිදුවුනා.
යානය නිර්මාණය කරතිබූ විශේෂ හැඩතල මෙන්ම, අලුතින්ම නිර්මාණය කල රේඩාර් අවශෝෂණය කරන ද්‍රව්‍ය වලින් බඳ ගොඩනැගීම නිසා A12 ඇමරිකාවේ ප්‍රථම සැබෑ stealth (රේඩාර් පද්ධතිවලට හසු නොවන) ගුවන් යානය ද වුනා. ඒ අනුව, A12 යානය එකල ලොව අඩුම රේඩාර් හරස්කඩ අගය (Radar Cross-Section) සහිත යානය බවට පත්වුනා.
තමන්ට පෙර පැවති ඕනෑම යානයකට වඩා වේගවත්, උසින් පියාසර කළ හැකි සහ රේඩාර්වලට හසු නොවන තාක්ෂණයෙන් යුතු වූ A-12 යානය, හයිපර්සොනික් හෙවත් අධි-සුපර්සොනික් යානා පවුලේ පලමු වැන්නා වුනා.
Project KEDLOCK: The A12 based YF-12A Interceptor
1962 ඔක්තෝබර් මාසයේදී, A-12 යානය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිද්දී, සෝවියට් සුපර්සොනික් බෝම්බ හෙලන යානා ඇමරිකානු ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර විනාශ කිරීම සඳහා A12 interceptor version නිෂ්පාදනය කිරීමට ඇමරිකානු ගුවන් හමුදාව කොන්ත්‍රාත්තුවක් ලොක්-හීඩ් සමාගමට ලබාදුන්නා.
AF-12 ලෙස නම් කර, පසුව YF-12A ලෙස වෙනස් කරන ලද මෙය A-12 හි මූලික සැලසුම වෙනස් කරමින් නිර්මාණය කළ එකක්.
එහි විශාල Hughes AN/ASG-18 ප්‍රහාර පාලන පද්ධතිය (Fire Control System) සවි කිරීම සඳහා යානයේ ඉදිරිපස නාසය කොටස දිගු කර තිබූ අතර, අභ්‍යන්තර ගබඩා තුළ Hughes GAR-9/AIM-47 Falcon air-to-air මිසයිල තුනක් සහ Fire Control Officer සඳහා දෙවන නියමු කුටියක් ද ඇතුළත් කර තිබුණා.
ඇමරිකානු ගුවන් හමුදාව මෙයින් යානා 100 ක් නිපදවීමට අදහස් කළද, නිෂ්පාදනය වූයේ යානා තුනක් පමණි. එකල පැවති ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් 1968 මුල් භාගයේදී මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලද්දේ, මෙය අධික ලෙස වියදම් සහිත වීම සහ ඒ වන විට සංවර්ධනය වෙමින් පැවති F-111 Aardvark Supersonic Bomber යානය නිසා මෙහි උපායමාර්ගික වැදගත්කම අඩුවීම හේතුවෙනි.
Project TAGBOARD: The M-21 and D-21
එසේම 1962 ඔක්තෝබර් මාසයේදීම, CIA සංවිධානය Skunk Works වෙත වඩාත් රැඩිකල් යෝජනාවක් ගෙන ආවේය: A-12 යානය පවා අහිමි වියහැකි තරමේ අධි අවදානමක් ඇති ප්‍රදේශ හරහා පියාසර කළ හැකි ඩ්‍රෝන යානයක් A-12 හරහා ගුවනට මුදා හැරිය හැකි පද්ධතියක් නිර්මාණය කරන්න පුලුවන්ද?
මෙහි ප්‍රතිඵලය වූයේ TAGBOARD ව්‍යාපෘතියයි. මෙහි මව් යානය M-21 ලෙස නැවත නම් කරන ලදී ("M" යන්නෙන් Mother / මව් යානය අදහස් වේ). එහි මුදා හැරීම් පාලන නිලධාරියා (Launch Control Officer) සඳහා දෙවන අසුනක් ඇතුළත් විය. "Daughter" (දූත යානය) ලෙස හැඳින්වූයේ D-21 යානයයි:
දිගින් අඩි 43 ක් වූ, ටොන් පහකට වඩා බරැති, රැම්ජෙට් (ramjet) එන්ජිමකින් බලගැන්වුණු මෙය, අඩි 90,000 ක් උසින් මැක් (Mach) 3.3+ ක වේගයකින් සැතපුම් 3,000 ක පරාසයක පියාසර කිරීමට සමත් විය. එසේම මෙහි රේඩාර් හරස්කඩ (RCS) අගය A-12 යානයටත් වඩා අඩු මට්ටමක පැවතුණි.
ආරක්ෂිත දුරින් සිට ඩ්‍රෝන යානය ගුවනට මුදා හැරීම, පූර්ව-ක්‍රමලේඛනය කරන ලද මාර්ගයේ යානයට පියාසර කිරීමට ඉඩ හැරීම, ඉන්පසු ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණ, C-130 යානයක් මගින් ගුවනේදීම නැවත ලබා ගැනීම සඳහා එහි ෆිල්ම් කැප්සියුලය පිටතට විසි කිරීම (eject) සහ පීඩන වි පුපුරණ ද්‍රව්‍ය (barometric explosive) මගින් D-21 drone යානයම ස්වයං-විනාශ වීම ඊට ඇතුළත් විය.
ලොක්හීඩ් සමාගම M-21 යානා දෙකක් සහ D-21 යානා 38 ක් නිපදවන ලදී. 1966 ජූලි 30 වන දින, සිව්වන පරීක්ෂණ ගුවනට මුදා හැරීමේදී, D-21 යානය මැක් 3 වේගයේදී එහි මව් යානයේ ගැටුණි. M-21 යානය විනාශ වූ අතර එහි මුදා හැරීම් පාලන නිලධාරී රේ ටොරික් (Ray Torick) මිය ගියේය.
කෙසේ වෙතත් ඩ්‍රෝන යානයේ භාවිතය අවසන් වූයේ නැත. SENIOR BOWL ව්‍යාපෘතිය යටතේ D-21B ලෙස B-52 බෝම්බ හෙලන යානාවල සිට ගුවනට මුදා හරින ලද එය, 1969 නොවැම්බර් සහ 1971 ජූලි අතර කාලය තුළ කොමියුනිස්ට් චීනයට ඉහළින් මෙහෙයුම් හතරක් සිදු කළ අතර, ඉන්පසු එම වැඩසටහන අවසාන වශයෙන් අවලංගු කරන ලදී.
SR-71 Blackbird
OXCART ව්‍යාපෘතියේ වඩාත්ම ප්‍රසිද්ධ නිර්මාණය වන්නේ SR-71 යානයයි. 1962 දෙසැම්බර් මාසයේදී RS-71 නිරීක්ෂණ/ප්‍රහාරක (reconnaissance/strike) ගුවන් යානයක් ලෙස නියෝග කරන ලද මෙහි ප්‍රධාන මෙහෙයුම වූයේ, පරමාණුක ප්‍රහාරයකින් පසු සිදුවන නිරීක්ෂණ කටයුතු සිදු කිරීමයි.
A-12 යානයට සංසන්දනාත්මකව බලන කල, SR-71 යානය අඩි හයක් දිගින් වැඩි වූ අතර, සම්පූර්ණයෙන්ම බර පටවා ඇති විට රාත්තල් 15,000 ක් බරින් වැඩි විය. එසේම එහි chines (දාර) කොටස් ද වඩාත් පළල් විය. විශේෂයෙන්ම, මෙයට දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු — එනම් නිරීක්ෂණ පද්ධති නිලධාරියෙකු (Reconnaissance Systems Officer) — එකතු කර තිබූ අතර, දෘශ්‍ය (optical), රේඩාර් සහ ELINT (විද්‍යුත් බුද්ධි තොරතුරු) සංවේදක සහිත එකිනෙක මාරු කළ හැකි නාසය කොටස් (nose cones) ද ඇතුළත් විය.
එම අධික බර නිසා යානයේ කාර්යක්ෂමතාවයට යම් බලපෑමක් සිදු විය: SR-71 හි සාමාන්‍ය පියාසර වේගය මැක් (Mach) 3.2 වූ අතර, එය A-12 හි මැක් 3.35 වේගයට වඩා තරමක් අඩු සහ අඩු උසකින් පියාසර කළ එකක් විය. නමුත් එමගින් යානයේ පියාසර පරාසය, ඉන්ධන ධාරිතාව සහ මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩි දියුණු විය.
මුලින් යානා හයක් සඳහා නියෝග කිරීමෙන් පසුව, ඇමරිකානු ගුවන් හමුදාව 1963 අගෝස්තු මාසයේදී තවත් යානා 25 ක් සඳහා නියෝග කළේය. කැලිෆෝනියාව, ඔකිනාවා සහ එක්සත් රාජධානියේ ස්ථානගත කර තිබූ SR-71 ගුවන් යානා සමූහය, 1968 මාර්තු සිට 1989 නෙවැම්බර් හි සේවයෙන් ඉවත් කරන තෙක් මෙහෙයුම් වාර (sorties) 3,500 කට වඩා පියාසර කර ඇත.
Comments
Post a Comment