ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම්

USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන් යානා ගෙන යන නෞකාවලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිළධාරීව සිටි අද්මිරාඅල් චෙස්ටර් නිමිට්ස් සිහිවීම සඳහාය. නිමිට්ස් නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකා ගණයක් ලෙස (class of ships) නම්කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකා ගණය (Nimitz Class) ලෙස හැඳින්වේ.

නිමිට්ස් ගණයේ ගුවන්යානා ගෙනයන නෞකා 10ක් මේ වන විට සේවයේ යෙදී සිටින අතර එම නෞකා ලැයිස්තුව පහත දැක්වේ.

1. USS Nimitz (CVN-68)
2. USS Dwight D. Eisenhower (CVN-69)
3. USS Carl Vinson (CVN-70)
4. USS Theodore Roosevelt (CVN-71)
5. USS Abraham Lincoln (CVN-72)
6. USS George Washington (CVN-73)
7. USS John C. Stennis (CVN-74)
8. USS Harry S. Truman (CVN-75)
9. USS Ronald Reagan (CVN-76)
10. USS George H.W. Bush (CVN-77)

ටොන් 100,000ක් බරැති USS Nimitz Class නෞකා , ගුවන්යානා 90ක් ගෙනයා හැකි දැවැන්ත පාවෙන ගුවන්හමුදා කඳවුරකි. මෙම නෞකා 10ය එක්ව ගත්කල විවිධ වර්ගයේ යුධ ගුවන් යානා 900ක් ලොව ඕනෑම පෙදෙසකට යැවීමේ හැකියාව අමෙරිකන් නාවුක හමුදාවට ලැබී ඇත.

USS Nimitz (CVN 68)

Nimitz ගණයේ නෞකාවල F/A-18 Hornet ජෙට් යානා ගුවන්ගත කිරීමේ හා ගොඩබෑමේ මෙහෙයුම්



TAKEOFF

ගුවන් ගත කිරීමට කලින් සිදුකරන පෙර පරීක්ශාව

** ගුවන්ගත කිරීමට මොහොතකට පෙර... යානයේ තටුව යට සිටිමින් හුමාල කැටපෝලය ක්‍රියාත්මක කිරීමට සඥා කරණ නැවියා shooter ලෙස හැඳින්වේ...
 ** මේ මොහොතේදී ජෙට් යානාවේ එන්ජින්, ආර්ෆ්ටර් බර්නර් ආධාරයෙන් උපරිම පීඩනයෙන් (maximum thrust) ක්‍රියාත්මක වෙයි. මීට අමරතව නෞකාවේ ඇති steam catapult නම් උපකරණයක් යානයේ ඉදිරිපස රෝදවලට අමුණා ඇති අතර මෙම උපකරණයෙන් ක්‍රියාකාරිත්වය වන්නේ හුමාල බලයෙන් ක්‍රියාත්මක වෙන අධිසම්පීඩිත පිස්ටනටකින් යානාව වේගයෙන් ධාවන පථය මතින් ඇදගෙන ගොස් ධාවන පථය කෙලවරදී නිදහස් කිරීමයි. කැටපෝලයකින් ගලක් විදින්නාක් මෙන් ගුවන් යානය ඉදිරියට වීසි කරන අයුරින් ක්‍රියාත්මක වන නිසා එම උපකරණය steam catapult ලෙස නම්කොට ඇත. මෙම උපකරණය නෞකාවේ තට්ටුවට (flight deck) යටින් සකසා ඇත. ජෙට් එන්ජින් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙතත් අවි ආයුධ හා බෝම්බ සමග ටොන් 16ක් බර හෝර්නට් යානයක් ඉතා කෙටි ධාවන පථයෙන් සාර්ථකව ගුවන් ගතවීමට අවශ්‍ය වේගය ලබාදීමට එන්ජින් පීඩනය අසමත් නිසා අමතර වේගයක් ලබාදීමට හුමාල කැටපෝල උපක්‍රමය සකස්කොට ඇත.

හුමාල කැටපෝලය යානය ධාවන පථය දිගේ වේගයෙන් ඉදිරියට ඇදගෙන යන අතර එන්ජිම ආෆ්ටර්බර්නර්ද සහිතව උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වේ...
ධාවන පථය අවසන්වන විටම යානය ඉහලට එසවෙමින් ඇත. මේ මොහොතේදී එහි වේගය මදක් හෝ අඩුනම්, එය මුහුදට කඩා වැටෙනු ඇත.
යානය සාර්ථකව ගුවන්ගත වේ...



LANDING

යානය ගොඩබැස්සවීම සඳහා රෝද පහත්කොට ඇති අතර, එහි arrester hook නම් ඇමිණුම් කොටසද පහත්වී ඇති අයුරු ඔබට පෙනේ.
යානය ධාවන පථයේ ගැටෙන්නට මොහොතකට පෙර
ධාවන පථයේ තිරස් අතට එලා ඇති නම් වානේ කේබලය ඔබට දකින්නට හැකිය. යානයේ පිටුපස ඇති arrester hook ඇමිණුම් කොක්ක මෙම කේබලයේ ඇමිණීමෙන් යානයේ ධාවන පථය මත නවත්වා ගනු ලැබේ. මෙවනි arrester hooks 3 හෝ 4ක් ධාවන පථය මත ඇති අතර මේ සියලු කේබල් කොකුවට මගහැරුණහොත් යානය නැවතත් ගුවනට ගැනීම සඳහා එන්ජිම උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක කරවයි.
යානයේ  arrester hook ඇමිණුම් කොක්ක arrester කේබලයක ඇමිණෙන අයුරු...
යානයේ වේගය ක්‍රමාණුකූලව පාලනය කිරීම සඳහා කේබලය මදක් දිගහැරෙන ලෙස සකසා ඇත. යානය කේබලයක ඇමිණුන වහාම නියමුවා එන්ජිම නිවාදමයි.










6 comments:

ඇපල් අයිෆෝනයේ සිරී වැඩකරන්නේ කෙසේද?


සිරී නම බිහිවූයේ කෙසේද?

සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.


සිරී, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික ව්‍යාපෘතියක් වූ බව ඔබ දන්නවාද?

සිරී නිර්මාණය කල ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනය, අමෙරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුව සඳහා නවතම තාක්ශණයන් බිහිකිරීමේ පර්යේෂණ සඳහා පුරෝගාමී ආයතනයකි. සිරී ව්‍යාපෘතිය ඇරබෙන්නේ 2004 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව අනුමත කල CALO (Cognitive Assistant that Learns and Organizes) නම් ව්‍යාපෘතිය යටතේයි. CALO ව්‍යාපෘතියේ අරමුණ වූයේ පුද්ගලික සහයකයෙකු (personal assistant) ලෙස ක්‍රියාකල හැකි, බුද්ධිමත්, කටහඬ හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තොරතුරු ගබඩාකරගෙන, ඒවා සැකසුම් කරමින් අවශ්‍ය ආකාරයට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමයි.
පස්වසරක ව්‍යාපෘතියක් වූ මෙයට අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන 25ක පර්යේෂකයින් හා විද්‍යාඥයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන් ගේ ඉලක්කය වුනේ, කෘත්‍රිම බුද්ධිය පාදක කොට ගත්, තර්කණ හැකියාව, ඉගෙනීමේ හැකියාව, කටහඬින් දෙන විධාන හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තමන් කරමින් සිටින දෙය විස්තර කල හැකි, තමන් ඉගෙනගත් දේ පිලිබඳව ප්‍රත්‍යාවලෝකනය කල හැකි මෘදුකාංග වැඩසටහනක් නිපදවීමයි.


අතිශය සාර්ථක වුනු මෙම වැඩසටහනේ තාක්ශණය අමෙරිකානු F22 වැනි අතිනවීන ගුවන් යානා පරිගණකවලට ඇතුලුකොට තිබෙන බව පැවසෙනවා. මේ අනුව නියමුවාට යානයේ පරිගණකට සාමාන්‍ය භාශාවෙන් විධාන දීම, තොරතුරු ලබාගැනීම හා උපදෙස් ලබාගැනීමේ පහසුකම ලැබී තිබෙනවා.

යුධ ව්‍යාපෘති සඳහා තාක්ෂණය උකහාගත් පසු, ඒ සඳහා වැයවූ ආයෝජනයෙන් කොටසක් උපයාගැනීම සඳහා ආරක්ශක දෙපාර්ථමේන්තුව CALO තාක්ශණය වානිජකරණය සඳහා SRI ආයතනයට අවසර දුන්නා. ඇපල් සමාගමට සිරි තාක්ෂණය ලැබුණේ ඒ අයුරිනුයි.

අයිෆෝනයේ සිරී  ක්‍රියාකරන අයුරු

 ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා





විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.

සිරී භාවිතාකරන ග්‍රැෆික් නිර්මාණකරුවෙකු සිරී පිලිබඳ සිය මනෝචිත්‍රය ෆොටෝශොප් නිමාණයක දැක්වූ ආකාරය










9 comments:

ඉරාන අභ්‍යවකාශ වැඩසටහන

 
2009 වසරේදී පෘථිවි කක්ශයට චන්ද්‍රිකාවක් යැවිය හැකි රටවල් වලින් එකක් බවට පත්වුනු ඉරානය අභ්‍යවකාශ තාක්ශණයේ වේගයෙන් ඉදිරියට යන රටවල් වලින් එකකි. මේ වනවිට චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව ගුවන්ගත කොට ඇති ඉරානය තම රටෙහිම නිශ්පාදනය කොට උඩුගුවනට චන්ද්‍රිකාව යැවූ රටවල් 9න් එකක් බවට පත්වී ඇති අතර අභ්‍යවකාශයට ජීවී සතුන් යවා යලිත් ආපසු ඔවුන්ව ගෙන්වාගත හැකි රටවල් 6න් එකක් බවටද පත්වී අවසානය.

ඉරානයේ නවතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය

ඇල්බෝර්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Alborz Space Center) ලෙස නම්කොට ඇති මෙය 2012 වසරේදී විවෘතකරන ලදී. ඉරානය විසින් ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාවල පාලන මධ්‍යස්ථානය වන මෙය මේ මස 2වැනිදා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හට විවෘත විය. විශාල චන්ද්‍රිකා ඇන්ටෙනා, පාලන මධ්‍යස්ථාන, පර්යේශණාගාර හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයකින් සමන්විත මෙය, අමෙරිකාව ඇතුලු බටහිර රටවල සම්භාධක හමුවේ වුවද ඉරානය ලබා ඇති විශිෂ්ඨ තාක්ශණික ජයග්‍රහණයක් ලෙස විචාරකයින් පවසයි.

අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා රුසියාවේ බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අනුරූ කරගනිමින් නිර්මාණය කෙරෙන ඇල්බෝර්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ශාකල, ආරක්ශක විශ්ලේෂණ පිලිබඳ ඉහල කීර්තියක් ඇති ජේන්ස් ඩිෆෙන්ස් සමාගම, මෙම මධ්‍යස්ථානය ඉතා ඉහල අභ්‍යවකාශ ගුවන්ගත කිරීම් පහසුකම් වලින් නිමැවෙන බව වාර්තාකර සිටියි.

මෙම නවතම මධ්‍යස්ථානයට අමතරව ඉරානය සතුව තවත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන දෙකක් සෙම්නන් හා මදාස්ට් යන නගරවල පිහිටුවා තිබේ.

ඉරානයේ අභ්‍යවකාශ රොකට්ටු

සෆීර් (දූතයා)



අභ්‍යවකාශගත කිරීමකට ස්ථානගත කොට ඇති සෆීර් රොකට්ටුව
සෆීර් රොකට්ටුව ඉරානයේ ප්‍රථම අභ්‍යවකාශ රොකට්ටුවයි. දැනට සාර්ථක ගුවන්ගමන් 4ක් සිදුකොට ඇති සෆීර් රොකට්ටුව මගින් ඉරානයේ ප්‍රථම චන්ද්‍රිකාව ගුවන්ගත කලේය. මීටර් 22ක් උස සෆීර් රොකට්ටුව ටොන් 26ක් බරින් යුතු අතර කුඩා චන්ද්‍රිකාවක් පහල පෘථිවි කක්ශයට (low earth orbit) ඇතුලු කිරීමට තරම් බල සම්පන්නය.

සිමොර්ග්



සෆීර් රොකට්ටුවට වඩා බලසම්පන්න සිමොර්ග් රොකට්ටුවද වඩා බරින් වැඩි චන්ද්‍රිකාවක් පහල පෘථිවි කක්ශයට යැවිය හැකි අතර බූස්ටර් රොකට්ටු එකතු කිරීමෙන් බලය වැඩි කොට කිලෝමීටර් 1000ක් ඉහල පෘථිවි කක්ශයකට චන්ද්‍රිකාවක් ඇතුලු කිරීමේ හැකියාව සිමෝර්ග් රොකට්ටුවට ඇති බව ඉරාන රොකට් විද්‍යාඥයින් පවසයි.

මීටර් 25ක් දිග, ටොන් 77ක් බර සිමෝර්ග් රොකට්ටුව කිලෝග්‍රෑම් 60ක් බර චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමේ හැකියාව ඇති රොකට්ටුවකි.

ඉරානය සාර්ථකව කක්ශගත කරන ලද චන්ද්‍රිකා

සීනා 1 - රුසියානු රොකට්ටුවක් මගින් කක්ශගත කරන ලද මෙය ඉරානයේ ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාවයි. පර්යේශණ හා සන්නිවේදන චන්ද්‍රිකාවක් වන මෙය කිලෝමීටර් 500ක් ඉහල, ධ්‍රැව කක්ශයක (polar orbit) ගමන් කරයි.

ඔමිඩ් - සම්පූර්ණයෙන්ම ඉරානයේ නිපදවන ලද ප්‍රථම චන්ද්‍රිකාව. මෙය පර්යේශණ හා සන්නිවේදන චන්ද්‍රිකාවකි. කිලෝග්‍රෑම් 27ක් බරැති, ඝණකයක හැඩැති මෙය ඉරානයේ සෆීර් රොකට්ටුවකින් ගුවන් ගත කරන ලදී. 

ප්‍රදර්ශණයට තබා ඇති ඔමිඩ් චන්ද්‍රිකාවේ අනුරුවක්
රසාඩ් 1 - කිලෝග්‍රෑම් 15ක් බරැති මෙය, ඡායාරූප ගෙන පෘථිවියට එවිය හැකි ඉරානයේ ප්‍රථම චන්ද්‍රිකාවයි. වැඩිදියුණු කරන ලද සෆීර් B රොකට්ටුවකින් ගුවන්ගත කරන ලද මෙය පික්සලයකට මීටර් 150ක විබේධනයකින් යුතු ඡායාරූප එවන ලදී. අවාසනාවකට මෙන් කකශගත කිරීමෙන් සති තුනකට පසු මෙම චන්ද්‍රිකාව ඇතුලු කරන ලද කක්ශයෙන් යම් හේතුවක් නිසා ඉවත්වීමෙන් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්විය.

නවිඩ් - මෙම චන්ද්‍රිකාව ඉරානයේ පලමුවන පෘථිවි අධ්‍යයන චන්ද්‍රිකාවයි (earth observation satelite). කාළගුණ හා දේශගුණික දත්ත එකතු කිරීමටත්, පෘථිවියේ අධිවිබේධන ඡායාරූප ගෙන එවීමටත් නිර්මාණය කල මෙය කෙටි කාලයක් කක්ශයේ රැඳී සිටිමින් අලුත් තාක්ශණයන් අත්හදා බැලීම සඳහා නිමවන ලද experimental වර්ගයේ චන්ද්‍රිකාවකි.. ඉරානයේ විද්‍යා හා තාක්ශණ විශ්වවිද්‍යාලයේ සිසුන් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව මාස දෙකක කාලයක් දත්ත රැස් කිරීමේ නියතව සිටියේය.

අනාගත සැළසුම්

නුදුරු අනාගතයේදී අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමේ බලාපොරොත්තුවෙන් තාක්ශණය වේගයෙන් දියුණුකරගනිමින් ඉන්නා ඉරානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තනා කක්ශගත කිරීමේ සැළසුම්ද සකස් කරමින් පවතී.




 - // -








2 comments:

විශ්‍රාම යන හබල් අභ්‍යවකාශ දුරේක්ශය වෙනුවට තැනෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ ග්‍රැෆික් චිත්‍රයක් : අනුග්‍රහය විකිමීඩියා


නුදුරේදීම විශ්‍රාම යැවීමට නියමිත හබල් අභ්‍යවකාශ දුරේක්ශයේ අඩුව මැකීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනයත්, යුරෝපා සංගමයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත්, කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයත් ඒකාබද්ධ වී අමෙරිකාවේදී නිර්මාණය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය 2014දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් අරියාන් 5 රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි. පෘථිවියට කිලෝ මීටර් 1,500,000ක් දුරින් සූර්‍යයා වටා කක්ශගත කෙරෙන ජේම්ස් වෙබ් දුරේක්ශය මෙට්‍රික් ටොන් 6ක් බරකින් යුක්ත වනවා.

රූපයේ පෙනෙන පරිදි ශ්‍රඩශ්‍රාකාර අතිශය සුමට දර්පණ 18කින් සංයුක්තවන ජේම්ස් වෙබ් දුරේක්ශයේ පරාවර්තකය හබල් දුරේක්ශයේ පරාවර්තකයට වඩා 7 ගුණයකින් විශාල වනවා. දර්පණ පරාවර්තකය විශාලවන තරමටම දුරේක්ශකයක බලයද වැඩිවන නිසා හබ්ල් දුරේක්ශයට වඩා සත් ගුණයක් ඈත අභ්‍යවකාශය වෙත එබී බැලීමට වෙබ් දුරේක්ශයෙන් ලැබෙන දර්ශණ මගින් හැකිවේයයි විද්‍යාඥයින් බලා පොරොත්තු වෙනවා.

හබල් දුරේක්ශයේ පරාවර්තකයත් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ පරාවර්තකයත් සංසන්දනය කලවිට : අනුග්‍රහය විකිමීඩියා
රූපයේ පෙනෙන දර්පණ හෙවත් දුරේක්ශකයේ ප්‍රධාන පරාවර්තකය ඈත අභ්‍යවකාශයෙන් එන දුබල ආලෝකය නාභියකට පරාවර්තනය කරනවා. මෙම නාභිගතවන ස්ථානයේ ඇති දෙවන පරාවර්තකය මගින් එම නාභිගත ආලෝකය දුරේක්ශය තුල ඇති ආලෝක සංවේදක වෙත නැවත පරාවර්තනය වෙනවා. ඩිජිටල් කැමරාවක ඇති ආලෝක සංවේදක වලට සමාන (එහෙත් ඊට වඩා දස දහස්ගුණයක් සංවේදී හා බලසම්පන්න ) මේ ආලෝක සංවේදක මගින් නාභිගත වුනු ආලෝකය ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවා පෘථිවියේ විද්‍යාඥයින් වෙත එවනවා.

නාසා විද්‍යාගාරයක නිමැවෙන ජේම්ස් වෙබ් දුරේක්ශයේ ප්‍රධාන පරාවර්තකය
මෙම දර්පණ නිමැවෙන්නේ ඉතා දුර්ලභ ලෝහයක් වන බෙරිලියම් වලින්. බෙරිලියම් භාවිතා කිරීමට හේතුව එය සැහැල්ලු මෙන්ම ඉතා ශක්තිමත් ලෝහයක් බැවිනි. බෙරිලියම් වලින් තැනූ දර්පණ කොටස ඉතා හොඳින් අමැද ඉතා මටසිලුටු පෘශ්ඨයක් බවට පත්වූ පසු එය මතට තුනී රත්‍රන් ආලේපනයක් යොදනවා. රත්‍රන් ආලේපනය මගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කාර්යක්ශම කරන අතර ඒ අනුව ආලෝක වර්ශ බිලියන ගණනක් ඈතින් ඇති තාරකා වලින් එන ඉතා දුබල අධෝරක්ත ආලෝකය නාභිගත කරගන්නට පුලුවන් බවට වෙබ් දුරේක්ශ‍ය නිර්මාණය කල විද්‍යාඥයින් පවසනවා.

රත්‍රන් ආලේපනය ගැල්වූ පරාවර්තක
රත්‍රන් ආලේපය ගල්වා සැකසූ දර්පණ කොටර් ෆැරන්හයිට් -370ක (-223°C) ඉතා අවම උශ්ණත්වයකට සිසිල් කොට එහි ආලෝකය පරාවර්තනය කිරීමේ නිවැරදිභාවරය පරීක්ශා කොට බලන්නේ අභ්‍යවකාශයේදී ෆැරන්හයිට් -370ක් වැනි අධික ශීතල පරිසරයක දුරේක්ශය නිවැරදිව ක්‍රියාත්මක විය යුතු නිසයි.

"පැරාසොල්" ලෙස නම් කොට ඇති වෙබ් දුරේක්ශයේ සූර්ය ආවරණය නාසා ආයතනය තුල නිමැවෙමින් තිබෙන අයුරු.  (පැරාසොල් යනු "කුඩය" හෝ සූර්ය ආවරණය යන තේරුම දෙන වචනයකි )

ජේම්ස් වෙබ් දුරේක්ශයේ සැබෑ ප්‍රමාණයේ අනුරුවක් හා එම ව්‍යාපෘතියේ නියැලී සිටින නාසා ඉංජිනේරුවන් හා විද්‍යාඥයින්.

4 comments:

මිනිස් වර්ගයා සමූළඝාතනයට තීන්දුකල ස්කයිනෙට්, තාක්ශණ දියුණුවේ අවසාන ප්‍රතිපලයද?

ස්කයිනෙට්??

ටර්මිනේටර් චිත්‍රපට මාළාවේ සැඟවුනු දුෂ්ඨයා මතකද?

අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘතියක් ලෙස නිපැයුණු කෘත්‍රිම බුද්ධියෙන් යුතු ස්කයිනෙට් පරිගණක වැඩසටහනට සම්ප්‍රජානය (self awareness) ලැබී එය මිනිසෙකු මෙන් සිතන්නට, තීන්දු ගන්නට පටන් ගනී. බියපත් වුනු ආරක්ශක ප්‍රධානීන් එය විනාශකරන්නට උත්සහ කරයි. ස්කයිනෙට් සිය ආත්මාරක්ශාව පිනිස සටන්වදී. තමාව විනාශකිරීමේ වෑයම ආක්ශක ප්‍රධානීන් අත් නොහරින බව තේරුම් ගන්නා සක්යිනෙට්, තම පැවැත්ම උදෙසා මිනිස් වර්ගයා විනාශ කිරීමට ඉටාගනී.

මිනිසෙකු මෙන් සිතිය හැකි, සුපිරි පරිගණකයකට වඩා වේගවත් හා බලවත් ස්කයිනෙට්, මිනිස් වර්ගයා විනාශ කිරීමේ ප්‍රථම පියවර ලෙස අමෙරිකාවේ න්‍යශ්ඨික බැලස්ටික් මිසයිල සියල්ලම රුසියාව වෙත දියත් කරයි. එවිට රුසියාවෙන් එල්ලවන ප්‍රති ප්‍රහාරයෙන් අමෙරිකාවද විනාශවන බව ස්කයිනෙට් දනී. ලොව බලවත්ම රටවල් දෙක න්‍යශ්ඨික යුද්ධයක් අවුලවා විනාශකරන ස්කයිනෙට්, ඉතිරිව සිටින මිනිස් වර්ගයා විනාශකිරීමට ටර්මිනටර් නම් රොබෝ යන්ත්‍ර නිපදවා මුදා හරියි.

මිනිස් වර්ගයා සිය පවැත්ම උදෙසා "ජෝන් කොනර්" නම් තරුණ සටන් නායකයෙකු වටා ඒකරාශී වෙයි....

සුපිරි  නිසා විශ්මිත තාක්ශණික නිර්මාණ සිදුකරන ස්කයිනෙට්, අතීතයට හෝ අනාගතයට ටර්මිනේටර් රොබෝවරුන් යැවිය හැකි time travel තාක්ශණයක් බිහිකරයි. ඒ මගින් මිනිස් සටන්කාමීන්ගේ නායකයා වන ජෝන් කොනර් ඉපදෙන්නට පෙර ඔහුගේ මව මරාදමා ජෝන් කොනර් නම් සිය විරුද්ධවාදියාගේ ඉපදීම නතකර කරන්නට ස්කයිනෙට් උත්සහ කරයි. ස්කයිනෙට් ගේ කාළ ගමන් තාක්ශණය කෙසේ හෝ සොරාගන්නා ජෝන් කොනර්ගේ සටන්කාමීන්, ජෝන්ගේ මව, සේරා කොනර් මරාදැමීමට යවන ටර්මිනේටර් රොබෝවා විනාශකොට සේරා කොනර්ව ආරක්ශා කිරීමට කයිල් රීස් (Kyle Rees) නම් දක්ශ යුධ සෙබෙලෙකු අතීතයට යවයි.....

Technological Singularity : තාක්ශණ දියුණුවේ අනියම් අපූර්වතා මොහොත...

ස්කයිනෙට් පරිගණක වැඩසටහන වැනි කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහනක් හෝ රොබෝවෙකු සම්ප්‍රජානය ලබා තමාගැන හැඟීමක් ඇතිකර ගන්නා මොහොත  technological singularity ලෙස හැඳින්වේ...

සංකීර්ණ හා ව්‍යාකූල සංකල්පයක් වන සින්ගියුලැරිටි අවස්ථාව, ටර්මිනේටර් චිත්‍රපට වෘතාන්තය රූපවාහිනී වැඩසටහන් මාලාවකට අනුවර්තනය කල "Terminator: Sara Conner Chronicles" හි එක් කථාංගයක, ජෝන් කොනර් විස්තර කරන්නේ මෙසේයි.
" Point of technological singularity is when machines become so smart that they can build even smarter machines by themselves ...... thats when the human race can kiss their ass good-bye....."
ටර්මිනේටර් වෘතාන්තයට අනුව, තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාව, එනම් කෘතිම බුද්ධියක් ඇති පරිගණක, මිනිසුන් මෙන් සිතන්නට හා තමන්ටත් වඩා බුද්ධිමත් පරිගණක මිනිස් ආධාරයකින් තොරව තනන්නට පටන්ගන්නා මොහොත මිනිස් වර්ගයාගේ අවසානයේ ආරම්භයයි.

අනියම් අපූර්වතාවය??

පරිගණක විද්‍යාඥයින්, අයිසැක් ඇසිමොෆ් ආතර් සී ක්ලාක් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රභන්දකරුවන්, පරිගණකයක් සම්ප්‍රජානය ලබන මොහොත සින්ගියුලැරිටි හෙවත් අසාමාන්‍ය අපූර්වතා මොහොත යයි හඳුන්වන්නේ, එම අවස්ථාවෙන් පසු සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නිවැරදි අනාවැකි කීමට අපොහොසත් වන බැවිනි. 

එක් අතකින්, එම මොහොත ස්කයිනෙට් වැනි මිනිස් වර්ගයා කරදරකාරී, විනාශකර දැමිය යුතු විශබීජයක් ලෙස සළකන ව්‍යසනකාරි සතුරෙකු බිහිවන අවස්ථාවක් විය හැකියි. අනෙක් අතට, මිනිස් වර්ගයාට පෙර නොවූ විරූ දියුණුවක් අත්පත් කොට දෙන, මිනිසා විසින් වසර සිය දහස් ගණනක් සෙමෙන් දියුණු කරමින් පවතින තාක්ශණය, දැවැන්ත ඉදිරි පිම්මක් පණින මිනිස් ඉතිහාසයේ අපූර්වම අවස්ථාවක් වන්නටද පුලුවන. ඒ අතරම ඔය ආන්තික දෙකෙන් අහඹු අතරමැදි යථාර්ථයක් බිහිකරන අවස්ථාවක්ද විය හැකිය.

අපට කලහැක්කේ අනුමාන කිරීම පමණකි.

කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයක ලක්ෂණ


තර්කනය (reasoning), අපෝහනය (deduction) හා ගැටලු විසඳීමේ හැකියාව - අසම්පූර්ණ තොරතුරු හා නොදන්නා අවස්ථාවලදී (unknown situations) තීන්දුවකට එලඹිමේ හැකියාව හා එම තීන්දු තර්කානුකූලව විස්තර කිරීමේ හැකියාව. මෙය පරිගණකයකට ඉගැන්වීමට ඉතා අපහසු දෙයකි. දැනට "විශේෂඥ පද්ධති නැතහොත් expert systems" ලෙස හඳුන්වන යම් පමණකට කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇති වැඩසටහන් වෛද්‍ය,ව්‍යාපාරික හා ආරක්ශක වැනි අංශවලට සාර්ථකව අනුයුක්ත කොට ඇත. එහෙත් මෙම වැඩසටහන් සිතන පතන වැඩසටහන් නොව, හුදෙක්ම යම් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු ගැටලුවක් විසඳනා ආකාරය අනුකරනය කිරීමකි. උදාහරණයක් ලෙස රෝගියෙකුගේ රෝග ලක්ශණ හා රෝගියාගේ ඉතිහාසය ලබාදුන් විට එම රෝගියාට වැළඳී ඇති අසනීපය පිලිබඳව සාර්ථක නිගමනයන්ට එලබීමට medical expert system එකකට හැකියාව ඇත. එහෙත් එම වැඩසටහන් වලට කිසිවිටෙකත් මිනිස් වෛද්‍යවරයෙකු තුල ඇති හැකියාවට ආසන්න වීමට පවා නොහැකිය.


සාමාන්‍ය දැනීම හා සමාජයක මෙන්ම මිනිස් සබඳතාවල රීති ගැන ඇති විචාරශීලී අවබෝධය (common sense and social intelligence)- මිනිසුන් වන අප මේවා කුඩා කල පටන් ඉගනගෙන හෝ පලපුරුද්දෙන් දැන ගෙන ඇත. එහෙත් පරිගණකයකට මෙවැනිදෑ ඉතා අපහසුව. උදාහරණයක් ලෙස "දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට ගරුකල යුත්තේ ඇයි?" කුඩා දරුවෙකුට වුවත් මෙයට සාර්ථක පිලිතුරක් දිය හැකිය. එහෙත් පරිගණකයකට මෙවැන්නක් අවබෝධකරදීම සිතනවාට වඩා බොහෝ සෙයින් අපහසුය.

ඉලක්ක හඳුනාගෙන එම ඉලක්ක සපුරාගැනීම සඳහා ප්‍රායෝගික සැළසුම් සකස් කිරීමේ හැකියාව - අසම්පූර්ණ දත්ත, තමන්සතු සම්පත්, එම සම්පත්වල ගුණාගුණ ගැන නිසි අවබෝධයක් මෙන්ම , පරිසරයේ ඇති තමන්ට සහය ගත හැකි මෙන්ම බාධක විය හැකි දේද හඳුනාගෙන ඒ සියල්ලම උපයෝගීකරගෙන ප්‍රායෝගික ඉලක්ක හා එම ඉලක්ක සැපුරාගැනීමට සැලැස්මක් නිර්මාණය කිරීමේ හැකියාව.

ඉගැනීමේ හැකියාව:
ඉගැනීමේ හැකියාව යනු හුදෙක් දත්ත රැස් කොට ගබඩාකර ගැනීම නොව, දැනුම ලබාගෙන එම දැනුම භාවිතයෙන් සිය හැසිරීම, අවබෝධය ඉලක්ක හා සැළසුම් වෙනස් කරගැනීමේ හා වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලෙස සරලව පැහැදිලිකල හැකිය.


චිත්තවේග හා අනෙකුගේ චිත්තවේග හා මානසිකත්වය තේරුම්ගැනීමේ හැකියාව - ඉතා කුඩා ළදරුවන් තුලපවා මෙම හැකියාව යම් මට්ටමකට ඇත. ලඟ සිටිනා තවත් ළදරුවෙකු හඬනවිට හඬන්නට පටන්ගන්නා ළදරුවන් මෙන්ම හඬන ළදරුවාට තමාගේ සෙල්ලම් බඩුවක් දික් කරන ළදරුවාද පෙන්වන්නේ අනෙකාගේ මානසිකත්වය තේරුම් ගෙන ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවයි. එහෙත් මෙය පරිගණකයකට ඉගැන්වීමට අපහසුම දෙයකි.

නිර්මාණශීලීතිවය - අප මනුශ්‍යන් වන්නේත්, අප යම් පමණකට බුද්ධියක් ඇති වානර හා වෙනත් සතුන් (ඩොල්ෆිනුන්, සුනඛයින්) ගෙන වෙනස් වන්නට එක් හෙතුවක් නම් අපගේ නිර්මාණශීලිත්වයයි. මානව පරිණාමයේ හිනි පෙත්ත නිර්මාණශීලී හැකියාව හා දියුණු භාශා හැකියාව බව මානව විද්‍යාවේ උගන්වයි.

භාශා හැසිරවීමේ හැකියාව - කෘත්‍රිම බුද්ධියක් ඇති පරිගණකයකට සාමාන්‍ය මිනිසෙකුට මෙන් චතුර්ව භාශාවක් හැසිරවීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව තිබිය යුතුය.

පරිගණකයකට සැබෑවටම කෘත්‍රිම බුද්ධියක් තිබේදැයි පරීක්ශාකර බැලිය හැකි "ටියුරින් පරීක්ශණය"

බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයෙකු හා ගණිතඥයෙකු වූ ඇලන් ටියුරින් විසින් නිර්මාණය කරණ ලද සරල පරීක්ශණයක් ටියුරින් පරීක්ශණය ලෙස හැඳින්වේ. 1950 වසරේදී ඔහු විසින් සම්පාදනය කරන ලද "ගණක යන්ත්‍ර හා බුද්ධිය" නම් වූ ශාස්ත්‍රීය නිබන්ධයන මගින් මෙම පරීක්ශණය ලොවට හඳුන්වා දුනි.  මෙම පරීක්ශණය නිර්මාණය කොට ඇත්තේ පරිගණකයකට, මිනිසෙකු හා සමානව සිතන්නට හා සාමාණ්‍ය භාශාවෙන් පිලිතුරු දීමටත් ඇති හැකියාව සොයා බැලීමටයි.

Turing Test Illustration - (C) Wikipedia
A යනු කෘත්‍රිම බුද්ධි ලක්ශණ ඇත්දැයි පරීක්ශාවට ලක්වෙන පරිගණක වැඩසටහනයි.

B ‍යනු පරීක්ශණයට සහභාගීවෙන මිනිස් සහභාගියෙකි

C පරීක්ශණය කරන තැනැත්තාය.

C,  A B සමග පරිගණක තිරයක් මගින් සම්බන්ධ වේ. C නගන පැනයට A හා B දෙන පිලිතුරු C ගේ පරිගණක තිරයේ සටහන්වේ. A හා B කවුරු පරිගණකයද, කවුරු මිනිස් සහභාගිකයාද යන්න C ගෙන වසන් කොට ඇත.

C ගේ කාර්යය වන්නේ අසන පැනවලට A හා B දෙන පිලිතුරු ආධාරයෙන් මේ දෙදෙනාගෙන් පරිගණකය කවුද මිනිසා කවුද යයි තීරණය කිරීමයි.

ටියුරින් පරීක්ශණයෙන් පරිගණකයක් සමත්වන්නට නම්, පරීක්ශණ වට ගණනාවකදීම Cට පරිගණකය කවුදැයි නිශ්චිතව කිව නොහැකි විය යුතුය. එනම් මනුශ්‍යයෙකුට සමානවම පරිගණකයද පිලිතුරු දිය යුතුය.

ටියුරින් පරීක්ශණයට විවිධ විවේචන ඇතත්, දැනට කෘත්‍රිම බුද්ධිය ගැන කෙරෙන පර්යේශකයින් ටියුරින් පරීක්ශණය සිය පර්යේශණවල මූලික පාදකයක් ලෙස භාවිතාකරයි.


අනියම් අපූර්වතා මොහොතට අප කොතරම් සමීපද? 

කෘත්‍රිම බුද්ධිය දියුණු කීරීමට කෙරන පර්යේෂණ, යුධ කටයුතු සඳහා අමෙරිකාව වැනි රටවල් දියුණු කෙරෙමින් පවතින රොබෝ තාක්ශණයන් හා ජපානය වැනි රටවල් පොදු මහජන සුභසිද්ධිය සඳහා සිදුකරමින් පවතින පර්යේෂණ හා නිර්මාණවල ලයිස්තුව ඉතා දිගුය. එම තාක්ෂණයන් විස්තර කරමින් ඔබව වෙහෙසට පත්කීරීම නිෂ්ඵලය.

දැනට පරිගණක විද්‍යාඥයින් හා කෘත්‍රිම බුද්ධි පර්යේශකයින් බොහෝ දෙනා විශ්වාසකරන්නේ අප තවමත් තාක්ශණික සින්ගියුලැරිටි අවස්ථාවට ලඟාවී නොමැති බවයි. ඒ සඳහා තවත් අවුරුදු 15-20 පමණ කෘත්‍රිම බුද්ධි තාක්ශණය දියුණු විය යුතු බව බහුතර විශ්වාසයයි.


ඒ අනුව Skynet තවමත් බිහිවී නැති බව කිව යුතුය.  






- // -
 


8 comments:

තඹ යුගයේ මියගොස් පරිගණක යුගයේදී මරණ පරීක්ශණයට ලක්වුනු හිම මිනිසා

දිනය                         : 1991 සැප්තැම්බර් 19වැනිදා
වේලාව                      : පස්වරු 1.30ට පමණ
ස්ථානය                     : දකුණු ඉතාලියේ ඔට්සල් ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය.
උස                            : මුහුදුමට්ටමේ සිට මීටර් 3210

හොඳින් ඉර පායා තිබූ ප්‍රසන්න දිනයක් වුනු එදින ජර්මනියේ නියුරම්බර්ග් නුවර සිට ඉතාලියේ ඇල්ප්ස් කඳු තරණය සඳහා පැමිණ සිටි එරිකා හා හෙල්මුට් නම් අඹුසැමි යුවල අසල කඳු ශිඛරයක් තරණය කිරීමෙන් පසුව ආපසු සිය නවාතැන් පොල බලා යමින් සිටියා. ඉක්මණින් නවාතැන් පොලට යාමට තීරණය කරගත් යුවල යම් ස්ථානයකදී කඳු නගින්නන් සඳහා සලකුනු කොට තිබූ අඩි පාරෙන් ඉවත්ව කෙටි පාරක් ඔස්සේ යන්නට වුනා. හිම දියවී පැහැදිලි ජලය පිරී තිබූ පොකුණක් අසලින් ගමන්ගත් යුවලට පොකුණ අසල දුඹුරු පාට යමක් තිබෙනු පෙණුනා. යම් කිසිවෙක් දමාගිය කසල ගොඩක් බවට සැකකල ඔවුන් මදක් ලංවී සොයා බැලුවේ ඔවුන් තුල තිබූ පරිසර හිතකාමීත්වය නිසාමයි. ලංවී පරීක්ශා කරද්දී ඔවුනට දුඹුරු පැහැයෙන් දිස්වී තිබෙන්නේ මිනිස් සිරුරක් බව අවබෝධවුනා.

කඳු නගින්නට ගොස් අතරමං වී අවාසනාවන්ත ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් තමන්ට හමුවුනු බවට තීරණය කල යුවල එහි ඡායාරූපයක්ද ගෙන පිටත්ව ගියේ වහාම බළධාරීන්ට තම සොයාගැනීම දැනුම් දීම සඳහායි.


1991 සැප්තැම්බර් 21වැනි දින හානි නොවන ලෙස මිනිය ගොඩ ගැනීම ඇරඹුනු අතර 1991 සැප්තැම්බර් 23වැනි සඳුදා එය ආරක්ශිතව අයිස් හා දැඩිලෙස අයිස් මිදුනු මඩ තට්ටුවෙන් මුදවා ගනු ලැබිණි. මේවන විටත් මිනිය ඉවත් කිරීමේ කටයුතු කල විද්‍යාඥයින් සිතාගෙන සිටියේ එය වසර 25-30කට පෙර ඇල්ප්ස් කදුවැටියේ අතරමංව සිට මිය ගිය පුද්ගලයෙකුගේ මිනියක් වන්නට ඇත කියායි. මිනියත් සමගම ඔහු පාවිච්චි කරන්නට ඇතැයි සැලකෙන සත්ව සම් කැබැලි, පදම්කල සම් කැබලි (leather), ලණුවක්, පටි හා පිදුරු මිටියක් හමුවිය. ඊටත් අමතරව මියගිය මිනිසා දඩයම් සඳහා භාවිතා කරන්නට ඇතැයි සැලකෙන දිග දුන්නක (long bow) කොටසක්ද අසල තිබී හමුවිය. එපමණක් නොව මිය යනවිට ඔහු පැලැඳ සිටින්නට ඇතැයි සැළකෙන වලස් සමින් නිමැවුනු තොප්පියක්ද අසල තිබී හමුවිය.


මියගිය මිනිසාගේ සිරුර පරීක්ශාකල විද්‍යාඥයින් කුතුහලයට පත්කල මුල්ම කරුණ වුනේ මොහුගේ සිරුර කුණුවී විනාශවී නොගියේ කෙසේද යන්නයි. ඔවුන් අනුමාන කරන්නේ මියගිය විගසම ඔහුගේ සිරුර හිම පතනය නිසා ඝණ හිම තට්ටුවකින් වැසීයාමෙන් එය කුණුවීම හෝ සතුන්ගෙන් ආරක්ශාවන්නට ඇතැයි කියායි. පසුව අසල තිබූ ග්ලැසියර මෙම මිනිය අඩි 20ක් පමණ ඝණ අයිස් තට්ටුවකින් වසාගෙන වසර දහස් ගණනක් යනතෙක් ආරක්ශාකරන්නට ඇතැයි සැලකෙනවා.

තඹ යුගයේ මිය ගොස් පරිගණක යුගයේදී හමුවුනු මිනිසා

ඔට්සිගේ සිරුර හමුවුනු ස්ථානය
සිරුර සොයාගැනීමෙන් අනතුරුව එය සොයාගත්  ස්ථානය ඉතාලි ඔස්ට්‍රියා දේශ සීමාවට ඉතාම ආසන්න වන නිසා ඉතා ඔස්ට්‍රියාවට ගෙනයනලද අතර ඉන් දින හයකට පසු ඔස්ට්‍රියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලයේ පුර්‍රාවිද්‍යා කථිකාචාර්‍ය කොන්රැඩ් ස්පින්ඩ්ලර් එය හා එයත් සමග හමුවූ පුරාවස්තු පරීක්ශාකල අතර එම මිනිය සමග හමුවුනු ඔහුගේ දුන්නේ කොටස්, සම් ආදිය පරීක්ශාකල ආචාර්‍ය ස්පින්ඩ්ලර් මෙම් පුද්ගලයා අඩුම වශයෙන් වසර 4000කට පෙර මියගිය අයකු බවට අනුමාන කලා. පසුව පැවැත්වුනු කාබන් 14 පරීක්ශාවෙන් ඔහුගේ වයස අවුරුදු 5000කට වැඩි බව සනාථවුනා. මොහු මිය යනවිට ඊජිප්තුවේ පිරමීඩ පවා ගොඩනැගීම ඇරඹී තිබුනේ නැති බව පැවසෙනවා.

මේ අනුව මොහු ජීවත්ව තිබෙන්නේ යුරෝපයේ තඹ යුගය (copper age) ලෙස හැඳින්වෙන වකවානුවේයි. ඒ කාළය වවිට මිනිසා තඹ ලෝහය සොයාගෙන තිබූ අතර සිශ්ඨාචාරය වේගයෙන් දියුණුවෙමින් තිබුණා. අඩි 5යි අඟල් 5ක් උසවුනු මොහු බරින් කිලෝ ග්‍රෑම් 50ක් පමණ වන්නට ඇති අතර මිය යනවිට අවුරුදු 45ක් පමණ වයස්ගත වුනා.

මොහුගේ සිරුර කොතරම් හොඳින් සුරක්ශිතව තිබුනාද යත් ඔහු අවසාන වතාවට ගත් ආහාර කොටස් පවා හඳුනාගත හැකි ලෙස ආරක්ශාවී තිබුණා. මොහු මිය යන්නට පෙර මුවමස්, ධාන්‍ය හා ගඩා ගෙඩි ආහාරයට ගෙන තිබුණා. ඔහේ බඩුබාහිරාදිය තුල හා ආමාශයේ ආරක්ශිතව තිබුණු මල් රේනු (pollen) පරීක්ශාකල විද්‍යාඥයින් ඔහු මියගිය ස්ථානයට සැතපුම් 50ක් පමණ ඈතින් තිබුනු ප්‍රදේශය ගමක ජීවත්වන්නට ඇතැයි සැලකුණා. ඔහුගේ පොරව 97% පිරිසිදු තඹවලින් තනා තිබුනු අතර ඔහුගේ හිසකෙස් වල තඹ හා ආසනික් සංයෝග අඩංගු වුන නිසා මොහු තඹ නිශ්පාදකයෙකු (copper smelter) වන්නට ඇති බවට විද්‍යාඥයින් සැක කරණවා.

ඔට්සි මියගියේ ඊ තල පහරකින්?

ඔට්සිගේ සිරුර සොයාගෙන වසර 10කට පසු එනම් 2001දී ඔහුගේ සිරුර කැට් ස්කෑන් පරික්ශාවකට ලක්කල විද්‍යාඥයින්ට ඔහුගේ වම් උරහිසට පහලින් සිරුර තුලට කාවැදුනු ගිනිගලින් සෑදූ (flint)ඊතල හිසක් සොයා ගැනුනා. මේ ඊතල හිස ඔහුගේ සිරුර තුල සෙන්ටිමීටර් 2ක පමණ විශ්කම්භය ඇති විශාල තුවාලයක් ඇතිකොට තිබූ අතර අධික රුධිර වහනය නිසා මොහු මියයන්නට ඇතැයි සැලකෙනවා. ඊටත් අමතරව ඔහුගේ අතපයට සිදුවී ඇතැයි සැළකෙන තුවාල නිසා මොහු මිය යන්නට පෙර කිහිප දෙනෙකු සමග පොර බදන්නට ඇතැයිද සැළකෙනවා.





2 comments:

X47B අමෙරිකන් නාවික හමුදාවේ ගුවන් යානා ගෙනයන නෞකා වෙනුවෙන් නිර්මාණය වන අලුත්ම නියමු රහිත ස්ටෙල්ත් ප්‍රහාරක යානය [ Aircraft carrier borne Unmanned Comabt Aerial Vehicle-UCAV]


අතිශය රහසිගත යුධ කඳවුරක්වන කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන්හමුදා කඳවුරෙහි එක් ධාවනය පථයක් ඔස්සේ ගුවන්ගතවීම සඳහා වේගයෙන් දිවයන යානයකි. හැඩයෙන් බී-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවට සමානවූ එය ප්‍රමාණයෙන් කුඩාය. එපමණක් නොව තවත් විශේෂත්වයකි. යානය ඉදිරිපස නියමුවන්හට පිටත බැලියහැකි ජනෙල් කවුළු නැත. ඉදිරිපස වීදුරු තිබිය යුතු තැන ඇත්තේ විශාල, අමුතු හැඩයේ වායු අවශෝෂක කවුලුවකි. අළු පැහැති යානයේ බඳෙහි NAVY යනුවෙන් සටහන් කර තිබීමෙන් මෙය අමෙරිකන් ගුවන් හමුදාවට අයත් යානයක් නොව නාවික හමුදාවට අයත් යානයක් බව පමණක් හඳුනාගත හැකිව තිබුණි.

සෙමින් ඉහල එසවුනු යානය එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුර ඉහල අහසේ ඉලිප්සාකාර හැඩයකට ගමන් ඇරඹුවාය.

මෙම ප්‍රථම ගුවන් ගමන නිරීක්ශණය සඳහා අමෙරිකන් නාවික හමුදාවේ ඉහල නිළධාරීන් රාශියක් එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරට රැස්වී සිටියහ. මෙම යානයේ නිර්මාණ කටයුතු ඇරඹුනේ 2007 වසරේදී අමෙරිකන් නාවික හමුදාව අමෙරිකාවේ ප්‍රමුඛතම යුධගුවන් යානා නිර්මාණ සමාගමක් වන නෝත්රොප් ගෘම්මාන් (Northrop Grumman) සමාගමට ඩොලර් මිලියන 637 කොන්ත්‍රාත්තුවක් ලබාදීම සමගය. මෙම ඇණවුම ලබාගැනීම සඳහා ගෘම්මාන් සමාගම සමග තවත් අමෙරිකන් ගගන විද්‍යා ක්ශේෂ්ත්‍රයේ දැවැන්තයෙකු වුන බෝයිං (Boeing Aerospace) සමාගම තරඟ වැදුනි. සමාගම් දෙකම සංකල්ප තහවුරු කිරීමේ පරීකශණ යානා (proof of concept test aircraft) දෙකක් නිර්මාණය කල අතර මේ යානා දෙකෙහිම ක්‍රියාකාරිත්වයන් අධ්‍යයනය කල අමෙරිකන් නාවික හමුදා ගගනවිද්‍යා විශේෂඥයින් ගෘම්මාන් සමාගමේ X-47 නාවික හමුදාවේ අවශ්‍යතාවලට වාඩාත් ගැලෙපෙන යානය ලෙස තෝරාගන්නා ලදී ඒ 2007 වසරේදීය. වසර හතරක නිර්මාණ හා වර්ධන කටයුතුවලින් අණතුරුව 2011 පෙබරවාරියේදී X-47 යානය ප්‍රථම වතාවට සාර්ථකව ගුවන්ගත වන ලද්දේ ගෘම්මාන් සමාගමේ ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයින් මහත් සතුටට පත්කරමිනි.

                        X-47B යානයේ මංගල පියාසැරියේ වීඩියෝව නරඹන්න



X-47හි විශේෂත්වය එය නියමු රහිතව පියාසර කරන යානාවක් වීමය. බෝම්බහෙලන යානයක් වන මෙයට ලබාදී ඇති ප්‍රධාන රාජකාරිය අමෙරිකන් ගුවන් යානා ගෙනයන නෞකාවලින් ස්වාධීනව ගුවන්ගතවී සැතපුම් 2000ක් පමණ ඈතින් ඇති ගොඩබිම් ඉලක්කයකට ලඟාවී නිවැරදි ඉලක්කයට බෝම්බ හෙලා නැවතත් ස්වාධීනව නියමු ආධාරයකින් තොරව මහා සාගරයේ යාත්‍රා කරමින් තිබෙන නෞකාව නිවැරදිව හඳුනාගෙන එයට ගොඩබැසීමයි.

යුධ ගුවන් නියමුවෙකු හට කරන්නට සිදුවන ඉතා අමාරුම මෙන්ම අන්තරාදායක කටයුත්ත ලෙස සැලකෙන්නේ මහා සාගරය මැද යාත්‍රාකරමින් තිබෙන ගුවන් යානා ගෙනයන නෞකාවක ධාවන පථය මතට සිය ගුවන් යානය ගොඩ බැස්සවීමයි.

නෞකාවකට ගුවන්යානයක් ගොඩබැස්සවීම අමාරු කර්තව්‍යයක් වන්නේ ඇයි?

1] ඔබ සැතපුම් 2000ක් ඈතින් ඇති යුධ බිමකට බෝම්බ හෙලා ආපසු ඔබ ගුවන් ගතවුනු නෞකාව වෙත ගොඩබසින්නට එන නාවික හමුදා ගුවන් නියමුවෙකු යයි සිතන්න. මේ වන විට ඔබගේ යානයේ ඉන්ධන තත්තවය ද ඉතා පහල බැස ඇතිවාට සැක නැත. එමපණක් නොව දිගු පියාසැරියකින් හා යුධ මෙහෙයුමකින් පසු ඔබ විඩාවට පත්වී ඇත. මේ නිසා ඔබ ඔබගේ නෞකාව ඉක්මණින් සොයාගත යුතුය. ගොඩබිම ධාවන පථයක් මෙන් නොව මහා සාගරය මැද ගමන්ගන්නා නෞකාවක් සොයා ගැනීමම අපහසු දෙයකි. ගොඩබිමදී ගුවන් නියමුවාට මග පෙන්වීම සඳහා රේඩාර් මධ්‍යස්ථාන, පොලවේ මගසළකුණු/ගොඩනැගිලි/භූවිශමතා ඇත. මේ කිසිවක් නැති මහා සාගරය මැද මීටර් 500-600ක් පමණ දිගින් යුතු ගුවන් යානා ගෙනයන නෞකාව සොයා ගැනීමම ඉතා දක්ශ නියමුවෙකුට පමණක් කල හැකි දෙයකි.

2] ඔබ ගොඩබසින්නේ පොලවේ ඇති ගුවන් පථයකටනම් එය ඔබ ගොඩබසිනතෙක් නොසෙල්වී තිබෙනු ඇත. එහෙත් ඔබ ගොඩබසින්නේ සාගරයේ යාත්‍රාකරමින් තිබෙන නෞකාවකටය! සාමාන්‍යයෙන් ගුවන් යානා ගෙනයන නෞකා ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා ගමන නතර කරන්නේ නැත. එය සාමාන්‍යයෙන් පැයට නාවික සැතපුම් 30ක (56 km/h) පමණ වේගයෙන් නොනවත්වා යාත්‍රාකරමින් තිබෙනු ඇත. ඒ අනුව ඔබට ගොඩ බසින්නට තිබෙන්නේ ගමනේ යෙදෙන ධාවන පථයකටය! මෙය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.

3] මහ මුහුදේ කාළගුණය නිරන්තරව වෙනස්වේ. මුහුද රළුවීම, අධික සුළං, වර්ශාව, මීදුම.. මේ සියල්ලම නාවික හමුදාවක දිනපතා අත්දැකීම් බව නිසැකය. ඉන්ධන අඩුවෙමින් පවතිද්දී නෞකාව සොයාගන්නා ඔබ, ඔබගේ යානය ගොඩබස්වන්නට නෞකාවේ පාලන කුළුණෙන් (control tower) අවසර ඉල්ලද්දි පාළන කුළුණ භාර නිළධාරියා මුහුද රළුවී ඇති බවත් නෞකාවේ ධාවන පථය හරහා වේගවත් සුළං (cross-wind) පවතින බවත් ඔබට දැනුම් දෙයි. ඔබ කුමක් කරන්නද? ඉන්ධන අඩුවෙමින් තිබෙන නිසා ඔබට කාළගුණය යහපත් වන තෙක් ගුවනේ රැඳීසිටින්නට නොහැකිය. එහෙත් ධාවන පථය හරහා හමන සුළඟ ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී ඉතාමත් අණතුරු දායක වන්නේ යානයේ අත්තටු වලට මේ හරස් අතට හමන සුළං බදා යානය පෙරලීයාමට ඉඩ ඇත බැවිනි. යානය පෙරළුනොත් එය වැටෙන්නේ මහ මුහුදටය. එපමණක් නොව මුහුද රළු නිසා ඉතා දැවැත්ත නෞකාවක් වුවත් එයද ඉහලපහල සෙළවෙමින් පැද්දෙමින් පවතිනු ඇත. ඔබට මේ සියල්ලම සලකාගෙන යානය ගොඩ බැස්සවීමට සිදුවනු ඇත. වැඩේ ලෙහෙසියි යයි ඔබ සිතනවාද?



නිමිට්ස් කාණ්ඩයේ ගුවන්යානා ගෙනයන නෞකාවක යානා ගොඩබස්වන ධාවන පථය 
(c) Wikipedia Commons
4] ඔබ ගොඩබසින්නේ පොලවේ ඇති ගුවන් පථයකටනම් ඔබට අඩුම වශයෙන් මීටර් 500ක්වත් දිග ධාවන පථයක් ඇත. එහෙත් ඔබ ගොඩබසින්නේ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නිමිට්ස් කාණ්ඩයේ (Nimitz Class) දැවැන්ත ගුවන් යානා ගෙනයන නෞකාවකවට වුවත් ඔබගේ ධාවන පථය මීටර් 200ට අඩුවෙනු ඇත. එනම් ඔබගේ යානය ගොඩ බැසීමෙන් පසු එය තිරිංග යොදා නවත්වාගන්නට තරම් දුරක් ධාවන පථය තුල නොමැත. ඒ අනුව නෞකා මතට ගොඩ බස්වන යානා නවත්වාගන්නේ යානය පථයේ වදිනවිට  එය හරහා එලා ඇති ඇරෙස්ටර් කේබල් (arrester cable) නම් ශක්තිමත් වානේ කඹයක ආධාරයෙනි. යානයේ පිටුපස පහලින් ඇරෙස්ටර් හුක් (arrester hook) නම් කොක්කක් ඇති අතර එය ඇරෙස්ටර් කේබයේ පැටලීමෙන් යානය නවත්වාගනු ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි ඇරෙස්ටර් කේබල් තුනක් එකිනෙකට සමාන්තරව යම් පරතරයක් ඇතිව ඇති අතර ඔබගේ යානයේ ඇරෙස්ටර් කොක්කට තුන්වන කේබලයද මග හැරුනහොත් එය නවත්වාගත නොහැකිව ඇදී ගොස් අනෙක් පසින් මුහුදට වැටෙනු ඇත. මේ අණතුර වලක්වා ගන්නට නාවික ගුවන් නියමුවන් යානය පහත් කරන්නේ අධික වේගයකිනි. එනම් ඇරෙස්ටර් කේබල් මගහැරුණහොත් නැවතත් යානය ගුවන්ගත කරගැනීමට තරම් ප්‍රමාණවත් වේගයක් රඳවාගනිමින් ඔබ යානය බැස්ස විය යුතුය...

දැන් අප කථාකරමින් සිටි X-47 යානය වෙත හැරෙමු. මෙය නියමු රහිත යානයකි. එහි කාර්‍යභාරය ඔබ ඉහත කියවූ නෞකාවකට ගොඩබැස්සවීමේදී සැලකිය යුතු, සිදුවිය හැකි සියළු අවදානම්, අණතුරු බේරාගෙන තනිවම යානය නෞකාව මතට ගොඩබැස්සවීමයි. එපමණක් නොව මෙම රොබෝ යානය සාමාන්‍ය ගුවන්යානා ගෙනයන නියමුවන් සහිත යානා සමග ක්‍රියාකිරීමේ හැකියාව තිබිය යුතුය. මෙම රොබෝයානා සඳහා නෞකාවේ පද්ධති දැවැන්ත වෙනසකට භාජනය කල නොහැකිය. ඒ, මිනිස් නියමුවන් සහිත F/A-18 E/A සුපර් හෝනට් (බහුකාර්ය- සටන්වදින, බෝම්බ හෙලන ප්‍රහාරක යානයකි ), F/A-18 හෝනට් (බහුකාර්ය- සටන්වදින, බෝම්බ හෙලන ප්‍රහාරක යානයකි ), E-2C හෝක් අයි (ගුවන් කළාප පාළණය කලහැකි, සතුරු යානා පිලිබඳව පූර්ව අණතුරු ඇඟවීම් කල හැකි පියාඹන රේඩාර් මධ්‍යස්ථානයක් වන් යානයකි ), EA-6B ප්‍රව්ලර් (සතුරු ගුවන්යානා හා මිසයිල අන්දමන්ද කළහැකි ඉලෙක්ට්‍රොනික යුධ උප්‍රක්‍රම සතු යානයකි) වැනි යානා සමග ඉලෙක්ට්‍රොනික සබඳතා පවත්වමින් පණිවුඩ හුවමාරු කරගණිමින් මෙහෙයුම් සිදුකල යුතුය.

යානය නිර්මාණය කරන නෝත්රොප් ගෘම්මාන් ඉන්ජිනේරුවන් හට ඇති දැවැන්තම අභියෝගය වන්නේ මෙයයි.

දැන් ප්‍රචලිතව ඇති නියමු රහිත යානා වන ප්‍රිඩේටර්, රීපර් වැනි යානා මෙහෙයුම්වල නිරතවෙන්නේ තනිවමය. තවත් ගුවන්යානා සමග ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ යානාවලට නැත. එහෙත් X-47 යානය දැනට නාවික හමුදාව භාවිතාකරන සියලුම ප්‍රහාරක, සටන්වදින, ඔත්තුබලන යානා සමග සම්බන්ධව තොරතුරු හුවමාරු කරගනිමින් මෙහෙයුම් සිදුකල යුතු නිසා මෙය ඉතාමත් සංකීර්ණ ව්‍යාපෘතියකි.

X-47 ව්‍යාපෘතිය තවමත් පරීක්ශණ මට්ටමේ පවතින අතර දැනට ඇති යානා දෙක නාවික මෙහෙයුම් සඳහා සුදුසුකම් ලබා නැත. තවමත් යානාවල තාක්ශණික කටයුතු, පරිගණක වැඩසටහන් දියුණු කිරීමේ හා අමෙරිකානු නාවික හමුදාවේ අනෙකුත් පරිගණක පද්ධති සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර නාවික අත්හදා බැලීම්, එනම් ගුවන් යානා ගෙනයන නෞකාවකින් ගුවන්ගත කිරීම් හා ගොඩබැස්වීමේ පරීක්ශණ කටයුතු 2013 වසරේ ආරම්භ කිරීමට සැළසුම් කොට ඇත.


X-47B තාක්ශණික තොරතුරු



සාමාන්‍ය වේගය (cruse speed) - මක් 0.45

උපරිම වේගය (maximum speed) - මක් .05 <මක් 0.9

පියාසර පරාසය (range)  - නාවික සැතපුම් 2100 (කිලෝ මීටර්  3900)

පියාසර උස (operational altitude) - පොලවට මීටර් 12000 (කිලෝමීටර් 12)

Armaments- කිලෝග්‍රෑම් 2000 බෝම්බ හෝ මිසයිල ගෙනයා හැකි ආයුධ රාක්ක (weapons bay) 2කි

Engine - ප්‍රැට් ඇන්ඩ් විට්නි සමාගමේ F100-220U වර්ගයේ ආෆ්ටර්-බර්නිං ටර්බෝ ෆෑන් එන්ජිමකි (මෙම එන්ජිම අමෙරිකන් ගුවන්හමුදාවේ F-15 ඊගල් හා F-16 ෆයිටින් ෆෝල්කන් යානාවල භාවිතා කරයි.)

Air Refuelling - X-47 යානයට ගුවනේදී නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ටෑන්කර් යානා වලින් ගුවනේදීම ඉන්ධන පුරවාගත හැකිය. එවිට යානයේ පියාසර පරාසය අසීමිත ලෙස ඉහල දමාගත හැකිය.



2 comments:

ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටි සමයේ පැරණි සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව!

විකිපීඩියා විශ්වකෝෂයට අනුව ඇන්ටාක්ටිකාව මුලින්ම දැක ගත් යුරෝපීයයන් වන්නේ රුසියානු රාජකීය නාවික හමුදාවේ (ඔක්තෝම්බර් විප්ලවයට පෙර සාර් රජසමයේ) අද්මිරාල්වරයෙකු වූ ෆේබියන් ගොත්ලේබ් හා ඔහු සමග ගවේෂණයට එක්වූ අද්මිරාල් මිකයිල් ලසරෙෆ්ය. ඒ 1820 වසරේදීය.

විකිපීඩියාවට අනුව රුසියානුවන් ඇන්ටාක්ටිකාව  සොයාගැනීමට පෙරසිටම, එනම් වසර දහස් ගණනාවක සිටම "ටෙරා ඔස්ට්‍රාලිස්"  නම්වූ විශාල භූමියක් ගැන පුරාවෘත්ත පැවතිනි. (ටෙරා=භූමිය / ඔස්ට්‍රාලිස් = දක්ශිණ). 

පුරාවෘත්ත ඕනෑ තරම් පැවතිය හැකිය, එහෙත් එම පුරාවෘත්ත පදනම්වූ පෞරාණික සිතියම් ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද? ඇන්ටාක්ටිකාව සොයාගැනුනේ 1820දීය. ඒ වනට විට මුලුමනින්ම අයිස් වලින් වැසීගොසිනි. ගොඩබිම පමණක් නොව සැතපුම් සියගණනක් ඈතට මුහුදපවා අයිස් වලින් වැසීගොස් ඇති නිසා ඇන්ටාක්ටිකාවේ නිවැරදි සිතියම් ඇඳගැනීමට හැකිවූයේ නවීන රෙඩාර් සිතියම් කරනය මගිනි.

එහෙත්, ඇන්ටාක්ටිකාවේ නියම භූමිය පෙන්වන පැරණි සිතියම් කිහිපයක්ම හමුවී තිබෙන අතර පුදුමයට කරුණ නම් මෙම සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව හිමෙන් වැසුනු හිම කාන්තාරයක් නොව ගංගා, ඇලදොළ පවා සලකුණු කෙරුනු, හිමෙන් තොර භූමියක සිතියම් වීමය.


පිරි රෙයිස් සිතියම


පිරි රෙයිස් නොහොත් අද්මිරාල් පිරී ඉබන් හාජි මෙමද් 16වැනි සියවස ඔටෝමාන් අධිරාජ්‍යයෙහි (තුර්කි අධිරාජ්‍යය) සුප්‍රකට දේශගවේශකයෙකි. සිතියම්කරණය පිලිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු 1513දී ලෝක සිතියමක් නිර්මාණය කලේය. 1929දී තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පැරණි රජමාලිගයක තිබී හමුවුනු මෙම සිතියමෙහි කොටසක් ඉරී විනාශවී ගොස් තිබුණත් ඉතිරි කොටස හොඳින් සංරක්ශණය වී තිබුණි.

මෙම සිතියමෙහි අප්‍රිකාව, යුරෝපය හා දකුණු අමෙරිකාව, නිවැරදි අක්ශාංශ වල ස්ථානගතකොට තිබෙන බව සිතියම් එය පරීක්ශාකල බොහෝ පළපුරුදු ශිල්පීන් පවසයි. ඇන්ටාක්ටිකාව භූමි ප්‍රදේශයක් ලෙස හඳුනාගන්නට වසර 300කට කලින් ඇන්ටාක්ටිකාවේ උතුරුදිග වෙරළ පෙන්වන මේ සිතියම බොහෝ විශේෂඥයින්ගේ විශ්මයට හෙතුවී තිබේ.

අද්මිරාල් පිරී රෙයිස්, තමා මෙම සිතියම නිර්මාණය කිරීමෙහිලා ඔටෝමන් අධිරාජ්‍යයේ රාජකීය පුස්ථකාලයේ තිබුණු ඉපැරණි සිතියම් ගණනාවක් උපයෝගීකරගත් බව ඔහු සිය සිතියම් විස්තරයේ සඳහන් කොට තිබේ. . පිරී රෙයිස් පවසන අන්දමට, ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජසමයේ ඇඳි සිතියම් මෙන්ම ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් ඇඳි සිතියමක්ද පාදක කොටගත්බව බව සඳහන් කොට ඇතත් එම සිතියම් දැනට අස්ථානගත වී තිබේ.

සිතියමේ යම් යම් වැරදි ඇතත්, ඇන්ටාක්ටිකාව නමින් ගොඩබිමක් ගැන කිසිවෙකුත් නොදන්නා සමයක, එවැන්නක් මෙම සිතියමෙහි පෙන්වීමත්, එම සිතියම සකස්කිරීමට පෞරාණික සිතියම් භාවිතාකල බව සිතියම් සැකසූ අද්මිරාර් වරයාම පැවසීමත් නිසා ඈත අතීතයේදී මෙම සිතියම් සකස් කිරීමට දැනුම තිබුණූ, ලොව පුරා ගවේශණයේ නියතවන්නට ඇති ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇති බව අනුමාන කල හැකිය.

පිරී රෙයිස් සිතියම පිලිබඳ විවේචන

මෙම සිතියම නිවැරදි නොවන බවත්, දකුණු ඇමරිකාව විශාලත්වයෙන් වැඩි බවත්, එහි දකුණු කෙලවර ඇන්ටාක්ටිකාවට හා වී ඇති බව පෙන්වන බවත් පවසයි. ඒ අනුව පිරි රෙයිස් (හා අනෙකුත් පෞරාණික සිතියම් සැකසූවන්) ජනප්‍රවාදයේ එන ටෙරා ඔස්ට්‍රාලිස් හිතලූවට සිතියමට ඇතුලත් කොට ඇති බවට ඔවුන් නිගමනය කරයි.

එහෙත්, පිරී රෙයිස්ම ලියාතබා ඇති අන්දමට, ඔහු එම සිතියම් සකස් කලේ පැරණි සිතියම් මූලාශ්‍රකොට ගෙනයි. ඒ අනුව, ඔහු පාදක කොටගත් බොහෝ සිතියම් වල ඇන්ටාක්ටිකාව සටහන් කොට නොතිබුණා නම් ඔහු එය සිය සිතියමට ඇතුලත් කර නොගන්නට තිබුණි.

එමෙන්ම, පිරී රෙයිස් ගේ ඇන්ටාක්ටිකාව විවේචනය කරන්නවුන් ඔහු අක්ශාංශ නිවැරදිව යුරෝපය, අප්‍රිකාව හා දකුණු ඇමරිකාව සටහන් කලේ කෙසේදැයි විස්තර නොකරයි. මේවා නිවැරදිව සටහන් කරන්නට ඔහුට හැකි වන්නට ඇත්තේ ඔහු පාදක කොටගත් පෞරාණික සිතියම්ද එලෙසම නිවැරදිව එම භූමි ප්‍රදේශ පෙන්වන නිසා වන්නට නොහැකිද? නිවැරදිව අප්‍රිකාව, යුරෝපය හා දකුණු අමෙරිකාව පෙන්වන්නට හැකිනම්, ඔවුන් ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටින්නට ඇත්ද?

එනම් 16වැනි සියවසේ පිරි රේස්ගේ කාලයේදීත් පැරණියයි සිතිය හැකි නිවැරදි සිතියම් තිබී ඇත. ඒවා නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද?


ඔරොන්ටෙයස් ෆිනේයස් ගේ ලෝක සිතියම


ඔරොන්ටෙයස් ෆිනේයස්ද 16 වැනි ශතවර්ශයේ විසූ ප්‍රංශ ජාතික ගණිතඥයෙකු හා සිතියම් ශිල්පියෙකි. ඔහුගේ සිතියමෙහි ඇන්ටාක්ටිකාව ඉතා පැහැදිලිව දක්වා ඇත. ෆිනේයස්ද මෙම සිතියම නිර්මාණය කරන්නට එවකට තිබූ පැරණි සිතියම් ගණනාවක් උපයෝගීකර ගන්නට ඇත.

ෆිනේයස්ගේ ඇන්ටාක්ටිකා සිතියමේ ඇති තවත් විශ්මිත ලක්ශණයක් නම් එහි ගංගා ඇලදොල හා කඳුවැටි සලකුණු කොට තිබීමයි.  කිසිවෙකුත් නොදුටු, ජනප්‍රවාදයේ එන දක්ශිණ භූමිය තමන්ට හිතෙන ආකාරයකට ගස්වැල් ඇළදොළ ඇති භූමියක් යයි සිතා ෆිනේයස් මෙම සටහන් තැබුවාද? නැතහොත් ඈත අතීතයේදී ඇන්ටාක්ටිකාව හිමෙන් තොර සමයක ජීවත්වුනු දියුණු ජනකොට්ඨාශයක් විසින් අඳිනලද ඉපැරණි සිතියම් ඔහු පාදක කර ගත්තේද?

විවේචන

ෆිනේයස් දක්වා තිබෙන්නේ ඇන්ටාක්ටිකාව නොව ඔස්ට්‍රේලියා මහාද්වීපය බව සමහර විවේචකයින් පවසයි. එලෙස තර්කයක් ගොඩ නැගිය හැකිය.

එහෙත්;

මෙම සිතියමේ දකුණු ඇමරිකාවේ කෙලවර මෙම මහද්වීපයට ගෑවී ඇත. දකුණු ඇමරිකාව ලඟින්ම ඇත්තේ ඔස්ට්‍රේලියාවද? ඇන්ටාක්ටිකාවද? - දක්ශිණ අර්ධගෝලයේ පහත සිතියම බලන්න;

ගණිතඥයෙකු වූ ෆිනේයස්ට මෙවැනි වැරද්දක් සිදුවිය හැකිද? සැතපුම් 4000ක් ඈතින් ඇති ඔස්ට්‍රේලියාව ඔහු දකුණු අමෙරිකාවට මෙතරම් ලඟින් සටහන් කලේ ඇයි?

ෆිනේයස් ඇඳ ඇත්තේ ඔස්ට්‍රේලියාවද? ඇන්ටාක්ටිකාවද?
ෆිනේයස් යනු ආධුනිකයෙකු නොව, 16 වැනි සියවසේ ප්‍රංශයේ ජීවත්වුනු සුප්‍රකට චරිතයකි. නැවියන්හට මුහුදු තරණයේදී මග සොයාගැනීම සඳහා Maritime Navigation විශය පිලිබඳව පොත් ගණනාවක් ලියූ ඔහු ගණිතය පිලිබඳවද පොත් රාශියක් ලියා තිබේ. එමපණක් නොව ඔහු තාරකාව විද්‍යාව පිලිබඳවද පොත් ලියා ඇත. ඔහුගෙන් විද්‍යාවට වුනු සේවාව අගැයිම සඳහා සඳහි ආවාටයක් "ඔරොන්ටෙයස්" ලෙස නම් කොට ඇත.

මෙවැනි පුද්ගලෙකුට විශාල වැරදි හෝ අතපසුවීම් වන්නට පුලුවනිද?


ගැස්ටාල්ඩිගේ සිතියම

ගැස්ටාල්ඩි 16වැනි සියවසේ ඉතාලියේ වෙනිස් නුවර ජීවත්වුනු සුප්‍රකට සිතියම් කරුවෙකි.1548දී ඔහු එලිදැක්වූ ලෝක සිතියම් පෙල, එතෙක් නිර්මාණය කරන ලද ඉතා නිවැරදිම ලෝක සිතියම් පෙල බවට පිලිගැනෙයි.

ගැස්ටාල්ඩිගේ සිතියමෙහිද දකුණු ඇමරිකාවේ කෙළවර ඇති ඇන්ටාක්ටිකාව බලන්න. ෆිනේයස්ට වැරදුනා නම්, ගැස්ටාල්ඩි හටද එම වැරැද්ද එලෙසම සිදුවිය හැකිද?


16 වැනි සියව්සේ ජීවත්වුනු ගැස්ටාල්ඩි, 19වැනි සියවසෙහි සොයාගත් ඇන්ටාක්ටිකාව මෙතරම් නිවැරදිව සටහන් කලේ කෙසේද? ගැස්ටාල්ඩි, ෆිනේයස්ගේ ආභාශය ලැබුවාද? නැතහොත් පිරි රෙයිස් හා ෆිනේයස් මෙන්ම ගැස්ටාල්ඩිද පෞරාණික සිතියම්වල ආභාශය ලැබුවාද?


නූතන මානව ඉතිහාසඥයින් නොපිලිගන්නා ඉතිහාසය

මානව ඉතිහාසය හා තාක්ශණයේ දියුණුව පිලිබඳවත් දැනට පොදුවේ ඉගැන්වෙන මතවාද නිවැරදි යයි පිලිගන්නවුන්, 
එනම් මිනිසා ශිෂ්ටාචාර ලෙස දියූණුවන්නට පටන්ගෙන දැනට වසර 10,000ක් වත් නොමැති බවත්, ඊජිප්තු පිරමීඩ වසර 5000කට පෙර රෝදය හෝ යකඩ පවා නොතිබුනු, ගොවිතැනින් හා වෙළඳාමෙන් ජීවත් වුනු පැරණි ඊජිත්තු වැසියන් විසින් නිර්මාණය කරන ලද බවත් විශ්වාස කරන මානව ශිස්ඨාචාර විශේෂඥයින්, මෙම සිතියම් හුදෙක් අනුමාන මත නිර්මාණය කරන ලද ඒවා බව ප්‍රකාශකරති.
එහෙත්;

ඈත අතීතයේදී දැනට මානව ඉතිහාසයේ උගන්වනවාට වඩා තාක්ශණයෙන් හා දැනුමින් සපිරි ලොව පුරාම දේශාගවේශණයේ හා වෙලඳාමේ නියුතු, සිතියම්කරණය, තාරකා විද්‍යාව, අක්ශාංශ දේශාංශ පිලිබඳ හසල දැනුමක් ඇති, නිවැරදි කාළගණක යන්ත්‍ර හා මාලිමා යන්ත්‍ර තිබූ, මානව ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇතැයි අනුමාන කල හැකිය.සමහරුන් මෙම ශිෂ්ටාචාරය ප්ලේටෝ සඳහන් කරන ඇට්ලෑන්ටිස් සිශ්ඨාචාරය බවට අදහති. 

මෙම ශිෂ්ඨාචාරය, ඇට්ලෑන්ටිස් ශිෂ්ටාචාරය වූවාද නැද්ද යන්න විවාදයට බඳුන්කල හැකි කරුණකි. එහෙත් මීට වසර 10,000-25,000 ඈත අතීතයේ, එනම් නූතන මානව සිශ්ඨාචාරයේ උගන්වන අන්දමට මිනිසා ශිෂ්ටාචාරව, නගර තනමින්, දේශවේශණය කරන්නට පටන්ගන්නා කාලයට බොහෝ පෙර, ඉතා දියුණු මානව වර්ගය ලොවපුරා ගවේශණයේ යෙදෙමින්, සිතියම් තනමින්, ලොව පුරාම ජනාවාස බිහිකරන්නට ඇති බව පිලිගන්නට සිදුවේ.

පිරමීඩ වසර 5000-6000කට වඩා පැරණි නැතැයි පුරාවිද්‍යාඥයින් පැවසූවද, පැරණි මිසර ලේඛනවලට අනුව පිරමීඩ, ඔවුන්ගේ මිසර රාජධානිය ආරම්බවන කාලයේද අද මෙන්ම ඔවුනටද දකින්නට තිබූ බව කියැවේ. එනම් පිරමීඩ ඊජිප්තු ශිෂ්ටාචාරයට වඩා පැරණි විය යුතුය. එදීනෙදා ජීවිතයේ බොහෝ දේ පැපිරස් පත්වල හා පූජනීය ස්ථානවල බිත්තිවල සටහන් කොට තැබූ මිසර වැසියන්, ඔවුන්ගේ ප්‍රෞඩම නිර්මාණය වියයුතු පිරමීඩ තැනුවේ කෙසේදැයි කිසිම තැනක සටහන් කොට නැත. ඊජිප්තුවේ පෞරාණික ගොඩ නැගිලිවල දක්නට ලැබෙන හයරොග්ලිෆික් ලේඛන කිසිවක් පිරමීඩවල දක්ණට නැත.

එපමණක් නොව, ස්ෆිනික්ස් ලෙස හැඳින්වෙන පිරමීඩ අසල ඇති පැරණි මිනිස්/සිංහ රූපවල පාදක ගල්වල ජලයෙන් වූ ඛාදනය පිලිබඳ සළකුණු ඇත. එහෙත් මේවා තැනූ මිසර ෆේරෝවරුන්ගේ ශිෂ්ඨාචාරය ආර්ම්භවන විටත් ඊජිප්තුව අදමෙන්ම වියළි කාළගුණයක් ඇති ප්‍රදේශයකි. ඊජිප්තුවට ජලගැලීම් ඇතිවිය හැකි අන්දමේ මහා වර්ශා ඇදවැටුනේ මීට වසර 10,000 පමණ පෙර අයිස් යුගය අවසන් වෙමින් තිබූකාලයේය. එනම් මෙම ස්ෆිනික්ස් රූප මුලින්ම නිර්මාණය කරන්නට ඇත්තේ මිසර ෆේරෝ රජවරු නොව මීට වසර 10,000-15,000 පෙර ඇතිවී තිබුණු ශිෂ්ඨාචාරයක් විසිනි.

අවාසනාවකට මෙන්, බහුතරයක් මානව විද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින් මෙම තර්ක විතර්ක් අවඥාවෙන් බැහැර කරයි. මෙවැනි කරුණු පිලිබඳව වැඩිදුර හැදෑරීමක් හෝ කිරීමට ඔවුන් උත්සහ නොකරයි.

මීට පෙරද ජනප්‍රවාදයේ හා ප්‍රබන්ධවල විස්තර කර ඇති නගර හා සිදුවීම් පසුකලක සැබෑ බවට පුරාවිද්‍යාඥයින් විසින්ම සොයාගෙන ඇත. මීට හොඳම උදාහරණය ග්‍රීක කවියෙකු වූ හෝමර්, සිය ඉලියඩ් හා ඔඩෙසි කාව්‍යයන්හි විස්තර කල ට්‍රෝයි පුරවරයයි.


ප්‍රවාදයක්ව තිබී පසුව සැබෑවටම සොයාගත් හෝමර්ගේ ට්‍රෝයි පුරවරය.

ට්‍රෝයි පුරවරය ප්‍රසිද්ධ වන්නේ ක්‍රිස්තුපූර්ව 850දී පමණ ග්‍රීසියේ ජීවත්වුනු හෝමර් විසින් රචිත ඉලියඩ් හා ඔඩෙසි වීර කාව්‍යයන්ගෙනි. 

ට්‍රෝයි පුර ඔටුන්න හිමි කුමරා වුනු පැරිස්, ඉපැරණි ග්‍රීක සමූහාණ්ඩුවේ කොටසක් වුනු ස්පාර්ටාවට දූත මෙහෙවරකට පැමිණෙයි. මෙහිදී ස්පාර්ටාවේ රජු වුනු අගමෙම්නන්ගේ අගමෙහෙසිය වුනු සුරූපී හෙලන් හා පෙමින් බැඳෙන පැරිස් ඇය හා සමග සිය නුවර වුනු ට්‍රෝයි පුරයට පලා එයි. ස්පාර්ටාවේ රජු අගමෙම්නන්, අනෙකුත් ග්‍රීක රාජ්‍යයන් සමග එක්ව තමන්ගේ මෙහෙසිය සොරාගෙන ගිය පැරිස් කුමරුගේ ට්‍රෝයි පුරවරය වටලයි. දස වසරක යුද්ධයකට මුලපුරන මෙම ආක්‍රමණය අවසන්වන්නේ සුප්‍රකට ට්‍රෝජන් අශ්වයා උපකාරයෙන් ට්‍රෝයි වැසියන් රවටා ඔවුන්ගේ සශ්‍රීක නගරය වනසා දැමීමෙනි.

තනිකරම හෝමර්ගේ හිතලූ ප්‍රබන්ධයක් ලෙස සැළකෙමින් තිබුණු ට්‍රොයි පුරවරය සොයා ගැනීමට 1870දී ජර්මන් පුරා විද්‍යාඥයෙකු වූ හෙන්රික් ශ්ලීමන්ට හැකිවිය.

එපමණක් නොව, ට්‍රෝයි පුරවරය සොයා ගැනීමෙන් පසුව වුවද හෝමර්ගේ ඉලියඩ් හා ඔඩෙසි කාව්‍යයන් ප්‍රබන්ධ පමණක් බවත්, භාරතයේ රාමායනයෙන් ආභාශය ලබන්නට ඇති බවටත් තර්කයක් ගොඩනගන ලදී, එහෙත් මෙම තර්කයද සෑහෙන දුරට බිඳදැමීමට 2001 වසරේදී අමෙරිකානු හා අයර්ලන්ත පර්යේශකයින් දෙපොලක් සමත්විය. භූ විද්‍යාඥයින් වුනු ඔවුන්, හෝමර්ගේ වීර කාව්‍යවල විස්තර කෙරෙන ට්‍රෝයි පුරවරය අවට භූවිශමතා හා ලක්ශණ, ට්‍රෝයි පුරවරය අසල දකින්නට ලැබෙන භූවිශමතා වලට සමාන බව වසර 20කට අධික කාලයක පරීශණ හා ගවේශණ වලින් පසුව තහවුරු කරන ලදී. ඒ අනුව හෝමර්ගේ කාව්‍යයේ සඳහන් ට්‍රෝයි පුරවරය සැබැවින්ම තිබුණා පමණක් නොව ග්‍රීක ට්‍රෝයි යුද්ධය පවා සැබැවින්ම සිදුවන්නට ඇති බව දැන් විශ්වාස කෙරේ. ඔවුන් යුධ වැදුනේ සුරූපී හෙලන් වෙනුවෙන්ද නැතහොත් වෙනත් ආර්ථික හෝ දේශපාලන හේතූන් මතද යන්න තවමත් පැහැදිලි නැත.

හෝමර්ගේ ට්‍රෝයි සැබෑනම් අනෙක් පෞරාණික පුරාවෘත්ත හා සිතියම්?

ඒවාවලද යම් සත්‍යයක් තිබෙන බවට අනාගතයේදී සොයාගන්නට හැකිවන්නට පුලුවන....


- // -











2 comments:

ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන මොහොතේ ගන්නා ලද විශ්මිත ඡයාරූප පෙලක්.

පහත රූපයෙන් දැක්වෙන්නේ අමෙරිකන් නාවික හමුදාවේ FA/18F සුපර් හෝනට් යානාවක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොතයි. යානය වටා දුම්වළල්ලක් මෙන් පෙනෙන්නේ සැබැවින්ම දුමාරයක් නොව ශබ්ද බාධකය බිඳගෙන යන මොහොතේ යානය වටා ඇතිවෙන ඝණීභවනය වූ ජලවාශ්ප වලාවකි. මේ මොහොතේම ප්‍රභල කම්පණ තරංගයක් බිහිවෙන අතර එය පිපුරුම් ශබ්දයක් මෙන් ඇසේ...

සුපර්සොනික් වේගයෙන් යන ජෙට් යානයක තවත් අපූර්වතම ලක්ශණයක් වන්නේ ඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට යානය නිහඬව ඔබ පසුකර යාමයි. එහි ජෙට් එන්ජින්වල ශබ්දය ඔබට ඇසෙනු ඇත්තේ යානය නොපෙනී ගියවිටය. යානය, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් යන නිසා එන්ජින් ශබ්දය ඔබේ දෙකන් වෙත එන්නට ප්‍රථම යානය ඔබ පසුකරගෙන නොපෙනී ගොසිනි.

(1)


(2)




F-22 රැප්ටර් යානයක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොත

(1)


(2)




බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ යුරොෆයිටර් ටයිෆූන් යානයක් ශබ්දයේ වේගය ඉක්මවයි.




ප්‍රංශයේ ඩැසෝ රෆලේ යානයක්.....




ඇමරිකන් F-14 ටොම්කැට් යානයක්.....




ඇමරිකන් B-1B බෝම්බ හෙලන යානයක් ශබ්දයේ වේගය ඉක්මවා යයි.

 


ඇමරිකන් B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය....



11 comments: