BUSINESS STRATEGY : ඇමසන්.com නිර්මාතෲගෙන් කොටස් හිමියන්ට සුපිරි ලියමනක්

ඇමසන්.com සමාගම ගැනත්, එහි නිර්මාතෲ හා ප්‍රධාන විධායක ජෙෆ් බීසෝස් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔහු ගැන හා ඔහු නිර්මාණය කල දැවැන්ත සමාගම ගැන දැනගන්න කැමතිනම් , අපි කලින් ඇමසන් ගැන ලියපු ලිපි මෙන්න.

n

ජෙෆ් බීසෝස් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ශූර ව්‍යවසායකයෙක් විධියට විතරක් නෙමෙයි, ඇපල් සමාගමේ සුපිරි ලෙජන්ඩ් එකවූ ස්ටීව් ජෝබ්ස් වගේම ජෙෆ් බීසෝස් විප්ලවීය අදහස් සමාජගත කරන්නට මෙන්ම ඒ අදහස් හා උපක්‍රම සිය සමාගම තුල ක්‍රියාත්මක කරවන්නටත් සමත් දක්ෂ නායකත්ව ශක්තියක් ඇත්තෙක් ලෙසත් ප්‍රසිද්ධයි.

මේ නිසාම, ස්ටීව් ජෝබ්ස් ජීවතුන් අතර සිටියදී ඇපල් සමාගමේ වාර්ශික නව නිපයුම් හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයේ ජෝබ්ස් සිදුකරන ප්‍රධාන දේශණය (Keynote Speech) ලොව පුරා ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවෙන් පුල පුලා බලාසිටි අවස්තාවක් වුනා.

ස්ටීව් ජෝබ්ස් නැති අඩුව පිරවිය නොහැකි නමුත් ඇමසන්හි ජෙෆ් බීසෝස්, ස්ටීව් ජෝබ්ස් වැනිම ව්‍යාපාරික හා අධිතාක්ෂණික ලෝකයේ පතාකයෙක්. සෑම වසරකම ලොව පුරා ආයෝජකයින් වගේම ව්‍යාපාරික ප්‍රජාව, කළමණාකරණ විෂයේ ගුරුප්‍රජාව මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවත්, ජෙෆ් බීසෝස් වාර්ශිකව සිය සමාගමේ කොටස් හිමියන් වෙත ලියන සභාපති/ප්‍රධානවිධායකවරයාගේ ලිපිය (Letter to Shareholders) කියවන්නට දැඩි ආශාවකින් සිටින්නේ එය ජෙෆ් බීසෝස් ගේ ව්‍යාපාරික උපක්‍රම හා අනාගත සැළසුම් නොසඟවා ඉදිරිපත් කරන දැනුමෙන් පිරිපුන් ලියැවීමක් බවට ප්‍රචලිත නිසයි.

2016 වසරේ ප්‍රගතිය හා 2017 සිට ඉදිරියට ඇති සැළසුම්, දියුණු කෙරෙමින් පවතින තාක්ෂණ මෙන්ම ඇමසන් සමාගමේ ව්‍යාපාරික් දැක්ම සියුම්ව විශ්ලේෂණය කරන මෙවර කොටස් හිමි ලිපිය ඉතා හරවත් එකක් බව මගේ විශ්වාසයයි. මේ ලිපියෙන් තෝරාගත් වැදගත් කොටස් කිහිපයක් පහත දැක්වෙනවා.

It is still Day 01 at Amazon

ඩේ වන් හෙවත් පලමු දිනය ඇමසන් ව්‍යාපාරික දැක්මේ වැදගත් අංගයක්. මේ ඩේ වන් සංකල්පය ඇමසන් සමාගමට කොතරම් වැදගත්ද යත් ඇමසන් ප්‍රධාන මූලස්ථානයේ ඇති, ජෙෆ් බීසෝස් ගේ හා ඉහල කළමණාකාරිත්වයේ කාර්යාල පිහිටි සුවිසල් ගොඩනැගිල්ලද "Day One" ලෙස  නම් කොට තිබෙනවා.

ඩේ වන් සංකල්පයෙන් අදහස් කෙරෙන්නේ ඉතා මුල් අවධියේ තිබෙන, වේගයෙන් වර්ධනය වන, වේගයෙන් ක්‍රියාත්මක වන, ඉතා සුනම්‍ය ලෙස ක්‍රියාත්මක වන නව සමාගමක් යන්නයි. ජෙෆ් බීසෝස් ගේ ප්‍රධාන ව්‍යාපාරික උපක්‍රමය වන්නේ සිය ඇමසන් සමාගම කොතරම් විශාල වුනත්, කොතරම් ධනවත් හා සාර්ථක වුනත්, එය සෑම විටකම වේගයෙන් දියුණුවන කුඩා සමාගමක ක්‍රියාකාරිත්වයෙන් තබා ගැනීමයි.

මෙලෙස ඩේ වන් ආකාරයෙන් ඇමසන් සමාගම ක්‍රියාත්මක කරවාගැනීම සඳහා ඉතා දැඩි ලෙස සෑම ඇමසන් සේවක/සේවිකාවක්ම පිලිපැදිය යුතු, ඇදහිය යුතු සිද්ධාන්ත කිහිපයක් ජෙෆ් සිය ලිපියෙන් කොටස් හිමියන් වෙත ඉදිරිපත් කරනවා.

Day One Defense හෙවත් පලමු දිනයේ වාතාවරණය ආරක්ෂාකර ගැනීමේ උපක්‍රම ලෙස ඔහු පහත නියමයන් විස්තර කරනවා. ඒවා නම්;

Customer obsession
A skeptical view of proxies
The eager adoption of external trends
High-velocity decision-making

ඉහත නියම සියල්ලම ඇමසන් හී ක්‍රියාත්මක වන ආකාරය ජෙෆ් ඉතා සංෂිප්තව, එහෙත් පැහැදිලිව සිය කොටස් හිමි ලිපියේ විස්තර කරනවා.

Customer obsession

ව්‍යාපාරයක් අරමුණුගත කරන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. සමහර සමාගම් සිය තරඟකරුවන් අභිබවා යාම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙනවා (අපගේ උදාහරණය - ලංකාවේ සුපිරි වෙළඳසැල්) . තවත් සමහර සමාගම් සිය නිෂ්පාදනය හැකිතරම් හොඳ එකක් කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වනවා (අපගේ උදාහරණය - ඇපල්). එමෙන්ම තාක්ෂණය දියුණු කරමින් නවමු නිර්මාණ ඉදිරිපත් කිරීම තවත් ව්‍යාපාර සිය මුඛ්‍ය අරමුණ ලෙස ගෙන තිබෙනවා (අපගේ උදාහරණය - ගූගල්)

මගේ දැක්මේ හැටියට, නවමු සමාගමක ක්‍රියාකාරිත්වය දීර්ඝකාලීනව පවත්වාගැනීමට හොඳම අරමුණුගතවීමට හොඳම දෙය උන්මාදයක් ලෙස අපගේ පාරිභෝගිකයන් පිලිබඳව අරමුණු කරගැනීමයි.

ඇයි ඇමසන් උන්මාදනීය ලෙස පාරිභෝගිකයින් ගැන වෙහෙසෙන්නේ?

වාසි ගොඩක් නිසා. මෙයින් වැදගත්ම දේ තමයි පාරිභෝගිකයින් නිරන්තරවම අතෘප්තිමත්ව සිටීම. සමහරවිට ඔවුන් සමීක්ෂණවලදී තෘප්තිමත් බවත්, සමාගම ගැන සතුටු බවත් පවසනවා. සමහරවිට ඔවුන් දන්නෙත් නෑ ඔවුන්ට දැනට ලැබෙන භාණ්ඩයට හෝ සේවාවට වඩා ගුණාත්මක එකක් අවශ්‍යයි කියලා. ඒත් එවැන්නක් ඔවුන්ට ලැබුණම ඔවුන් එය සාදරයෙන් පිලිගන්නවා. මේ නිසා ඇමසන්වල අපි සෑම විටම උත්සහාකරනවා අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් අලුත් අලුත් සේවාවන් නිර්මාණය කරන්නට. ඔවුන්ගේ තෘප්තිය තවත් ඉහල මානයකට ගෙනයන්නට අප දිවා රෑ මහන්සි වෙනවා.

උදාහරණයක් ලෙස අපේ ඇමසන් ප්‍රයිම් සේවාව පාරිභෝගිකයින් ඉල්ලපු දෙයක් නෙමෙයි. අපේ පාරිභෝගිකයින් තවත් තෘප්තිමත් කිරීමේ නිරන්තර උත්සහයක ප්‍රතිපලයක් තමයි ඇමසන් ප්‍රයිම්. ඒක දැන් ඉතාමත් ජනප්‍රියයි. (අපගේ සටහන - 2005 වසරේ හඳුන්වාදුන් ඇමසන් ප්‍රයිම් සේවාවේ සාමාජිකත්වය මේ වනවිට පාරිභෝගිකයින් මිලියන 66ක් දක්වා වැඩිවී තිබෙනවා)

එපමණක නොවේ පාරිභෝගික තෘප්තිය පිලිබඳ උන්මාදය ආයතනයේ සංස්කෘතියට ආදේශකර ගත යුතුයි. ප්‍රධාන විධායකයාගේ සිට ඇමසන් භාණ්ඩ පාරිභෝගිකයින් වෙත ගෙනයන රියදුරා දක්වාම මේ ආයතන සංස්කෘතිය විහිදවීමට වගබලාගත යුතුයි.

සුපරීක්ෂාකාරීව නවෝත්පාදන බිහිකිරීම හා හඳුන්වාදීම, ඒවායේ වර්ධනය හා වැඩිදියුණු කිරීම් ක්‍රමාණුකූලව හා ඉවසිලිවන්තව සිදුකිරීම, පාරිභෝගිකයින් නොපිලිගන්නා දෑ අසාර්ථක බව පිලිගැනීමට පසුබට නොවීම හා ඒවායේ එල්බ නොසිටීම හා අසාර්ථකත්වයෙන් පසුබට නොවීම පාරිභෝගික කේන්ද්‍රීය ආයතන සංස්කෘතියක තවත් වැදගත් ලක්ෂණ වනවා.

A skeptical view of proxies

අපගේ සටහන - ප්‍රොක්සි යනු නියෝජිතත්වයයි. එනම් යමක් වෙනුවට පෙනී සිටින තවත් දෙයක්. උදාහරණයක් ලෙස කොටස් හිමියෙකු වෙනුවෙන් ඔහුගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටීමට පත්කරන්නා ප්‍රොක්සි ලෙස හැඳින්විය හැකියි.

ආයතන විශාලවන විට සිදුවන අණතුරුදායක දෙයක් නම් කළමණාකාරිත්වය විවිධ තීන්දු තීරණ ගැනීමේදී විවිධ පාර්ශව නියෝජනය කරන නියෝජිතයින් හෝ නියෝජ්‍යයන් වෙත යොමුවීමයි.

සරල උදාහරණයක් ලෙස ප්‍රොසෙස් හෙවත් ක්‍රියාවලි දාම මතම තීන්දු ගැනීම ගත හැකියි. ආයතනයක නිසි ක්‍රියාකාරිත්වයට හොඳින් සැළසුම් කරන ලද ක්‍රියාවලි දාම අත්‍යාවශ්‍යය. පාරිභෝගිකයින්/ගණුදෙනු කරුවන් තෘප්තිමත් කිරීමට හොඳින් සැලසුම් කරන ලද කාර්යක්ෂම ක්‍රියාවලි දාම විශාල මෙහෙයක් ඉටුකරයි.

එහෙත් කල්යත්ම සමාගම් සිය මූලික ඉලක්කය වන ගණුදෙනුකරුවා/පාරිභෝගිකයා අමතක කොට තීන්දු ගැනීම යම් ක්‍රියාවලි දාමයක ප්‍රතිපලයට පවරන්නට උත්සුක වනවා. ඒ අනුව ක්‍රියාවලි දාමය නිවැරදියි යන මතයේ පිහිටා එම ක්‍රියාවලි දාමය නිවැරදිලෙස කිරීම ආයතනයේ ඉලක්ක සැපිරීමේ එකම මග ලෙස ගන්නවා. මෙය විශාල සමාගම් තුල බොහෝ සෙයින් දකින්නට ලැබෙනවා.

උදාහරණයක් ලෙස නව භාණ්ඩයක්, සේවාවක් හෝ තාක්ෂණයක් හඳුන්වාදීමේදී වෙළඳපොල තොරතුරු සමීක්ෂණ (market research surveys) වල ප්‍රතිපල බහුල ලෙස යොදාගන්නවා. බොහෝ විශාල සමාගම් විශාල මුදලක් වැයකොට මෙවැනි සමීක්ෂණ ගණනාවක් සිදුකොට ඒවායේ ප්‍රථිපල මත නව හඳුන්වාදීම් සිදුකරනවා. එහෙත් වෙළඳපොල යතාර්ථය නම් හඳුන්වාදෙන නව භාණ්ඩ හෝ සේවාවලින් 9/10ක්ම අසාර්ථක වන බවයි. එනම් සමීක්ෂණ ප්‍රතිපල මත පදනම්ව අලුත් භාණ්ඩ/සේවා හඳුන්වාදීමේ ක්‍රියාවලියේ යම් වැරැද්දක් තිබෙන බව පේනවා. එහෙත් බොහෝ සමාගම දිගින් දිගටම මේ ක්‍රියාවලි දාමය සිය නව නිර්මාණ වෙළඳපොලට හඳුන්වාදීමේදි යොදා ගන්නවා.

මෙහිදී සිදුවන්නේ කුමක්ද? පාරිභෝගිකයාගේ සැබෑ හඬ වෙනුවට වෙළඳපොල තොරතුරු සමීක්ෂණ වල සංඛ්‍යාන විස්තර හා ඒවා ආධාරයෙන් නවමු භාණ්ඩ හඳුන්වාදීමේ ක්‍රියාවලි දාමය ප්‍රොක්සියක්වී තිබීමයි.

අවසන් ප්‍රතිපලය අසාර්ථක වුවත් නිසිලෙස ක්‍රියාවලි දාමය නැතිනම් ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරවීම බොහෝ සමාගම් තුල සිදුවනවා. මේ ප්‍රොසෙස් එක නිවැරදිද? එය යාවත්කාලීන කිරීම හෝ වැඩිදියුණු කිරීම සිදුකල යුතුද යන්න පිලිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි.

මෙවැනි තවත් උදාහරණ දිය හැකියි. දෘඩ ලෙස ක්‍රියාවලි දාමවලට යටත්ව තිබෙන තවත් සේවාවක් නම් බැංකු සේවාවයි. බැංකුවල ණය ලබාදීමට සුදුස්සන් තේරීම පියවර ගණනාවක ප්‍රොසෙස් එකක් වන අතර ඒවායින් සමහර ක්‍රියාවලි දාම දැන් පරිගණක ගත කොට ස්වයංක්‍රීයව සිදුවනවා. ඒ අනුව ණය හෝ බැංකු සේවා ලැබිය යුත්තේ කාටදැයි තීරණය කිරීමේදී යම් ගණුදෙනු කරුවන්ට අසාධාරණ සිදුවන්නේ ඔවුන් නුසුදුස්සන් යයි ප්‍රොසෙස් එක මගින් තීරණය කිරීම නිසයි.

එනම් ගණුදෙනු කරුවා පිලිබඳව තිබිය යුතු දැනුම හා අවබෝධය වෙනුවට ණය ගැනීමේ හැකියා විශ්ලේෂණ ප්‍රොසෙස් එක ප්‍රොක්සියක් වී තිබෙනවා.

එමෙන්ම දෘඩ ලෙස ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කිරීමේදි නුසුදුස්සන්ට මෙන්ම ගෙවීම පැහැර හැරීමේ චේතනාවෙන්ම ණය ඉල්ලන්නන් හට ණය පහසුකම් ලැබෙනවා. ඒ ඔවුන් බැංකුව භාවිතා කරන ක්‍රියාවලි දාමය පිලිබඳව ඉතා හොඳින් දැනුවත්ව අකුරටම අවශ්‍යතා සපුරා සිටීම මෙයට හේතුවයි. මේ අනුව අවංක ගණුදෙනු කරුවන් කළකිරීමෙන් බැංකුව හැර යන අතර වංචාකාරයින්ට ණය ලබාදී බැංකුව අමාරුවේ වැටෙනවා.

වේගයෙන් වර්ධනය වන, එම වර්ධනය දීර්ඝකාලීනව පවත්වාගෙන යන සමාගම් මෙම ප්‍රොක්සි උගුලේ හසුවීමෙන් වැළකුණු සමාගම් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් වෙළඳපොල සමීක්ෂණ ක්‍රියාවලි, ගණුදෙනුකරුවන් තක්සේරු කිරීමේ ක්‍රියාවලි හෝ වෙනත් ක්‍රියාවලි දාමයන් වල වහලුන් නොවී සිය පාරිභෝගිකයින්/ගණුදෙනු කරුන්ගේ නියම අවශ්‍යතා හා හැකියාවන් පිලිබඳව ඉතා ගැඹුරු අවබෝධයක් ගොඩ නගාගෙන තිබෙනවා.

The eager adoption of external trends

නැම්මක් හෝ නැඹුරුවක් ට්‍රෙන්ඩ් එකක් ලෙස සැළකිය හැකියි. දීර්ඝකාලීන වර්ධනයන් පවත්වාගෙන යන සමාගම් ව්‍යාපාරික පරිසරයේ විටින් විට දිස්වන බලසම්පන්න නැඹුරුවන් ඉතා ඉක්මණින් හඳුනාගෙන ඒවා දැඩිලෙස ග්‍රහණය කරගැනීම සිදුකරනවා.

මෙවැනි වැදගත් නැඹුරුවන් හඳුනාගැනීම අපහසු වෙන්නේ නෑ. උදාහරණ ලෙස මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇති කෘත්‍රිම බුද්ධිය හා ස්වයං-ඉගෙනීම මගින් ස්වයංක්‍රීය හැඩගැසිය හැකි/වැඩිදියුණු විය හැකි යන්ත්‍ර සැළකිය හැකියි. එමෙන්ම Crowd Funding, Crowd Sourcing හා Sharing Economy/Collaborative Consumption යන නැඹුරුවන්ද ඉදිරිපත්කල හැකියි.

මෙවැනි නැඹුරූන් හඳුනාගැනීම අපහසු නැතත්, ඒම නැඹුරු ආයතනයේ අභ්‍යන්තරයට ගෙන ඒවායින් ලබාගත හැකි ව්‍යාපාරික වාසි හා තර්ජන නිසිලෙස හඳුනාගෙන ප්‍රයෝජනයට ගැනීම සමහර සමාගම් වලට ඉතා අපහසු කටයුත්තක් වනවා. එවැනි සමාගම් ඉතා ඉක්මණින් පසුගාමී වනවා.

(අපගේ උදාහරණය - ඩිජිටල් ඡායාරූපකරණයේ නිර්මාතෲ සමාගම වන්නේ කලක් ඡායාරූපකරණ ලොවේ කිරුළුපලන් කොඩැක් සමාගමයි. 1975දී ලොව පලමු ඩිජිටල් කැමරාව නිපදවූයේ කොඩැක් සමාගමේ ස්ටීවන් සැසන් විසින්. ඩිජිටල් ෆොටෝග්‍රැෆි සෙන්සර ඇමරිකාවේ අභ්‍යවකාශ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක වූ ඔත්තුබලන චන්ද්‍රිකා කැමරා සඳහා නිපදවුනු අතර කල්යත්ම වාණිජකරණය වූ ඩිජිටල් සෙන්සර් තාක්ෂණය ලොව වෙලා ගන්නා රැල්ලක් විය හැකි බව කොඩැක් සමාගම තේරුම් නොගත්තත් ජපානයේ නිකොන් හා කැනන් සමාගම් එය හොඳින් තේරුම් ගත්තා. අදවන විට කොඩැක් සමාගම බංකොලත්වී ඇත්තේ ඔවුන් නිර්මාණය කල එහෙත් ප්‍රයෝජන නොගත් ඩිජිටල් කැමරා තාක්ෂණය නිසයි )

ඇමසන් සමාගම කෘත්‍රිම බුද්ධිතාක්ෂණය පිලිබඳව පර්යේෂණ පවත්වන්නේ දැන් දශකයකට පෙර ඉඳලා. එතරම් ඈත කාලයේම අප තේරුම්ගත්තා මේ තාක්ෂණයේ වැදගත් කම. අදවන විට ඇමසන් අඩවියට පිවිසෙන මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ මෙන්ම සැපයුම්කරුවෙන් ජනනය කරන ටෙරාබයිට් ලක්ෂගණනක දත්ත විශ්ලේෂණය කොට ඒ අනුව ඉල්ලුම් අනාවැකි, සැපයුම් සැලසුම්, විශේෂ අලෙවිකරණ උපක්‍රම, මිල නියමකිරීමේ උපායමාර්ග ආදී සුවහසක් කටයුතු මිනිස් මොලයට සිදුකල හැකි වෙගයට වඩා ලක්ෂවාරයක් වේගයෙන් හා නිවැරදිව කිරීමට අපගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වලට හැකියි.

අපගේ Alexa කෘත්‍රිමබුද්ධි නිවෙස් සහයකයා ක්‍රියාත්මක වන්නේත් මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් මයි. එමෙන්ම නුදුරු අනාගතයේදී අපගේ ගණුදෙනුකරුවන් ඇණවුම් කරන භාණ්ඩ ස්වයංක්‍රීයව නිවෙස්වලට ගෙනයාමට අප නිර්මාණය කරන ඇමසන් ඩ්‍රෝන්සේවාවේ ඩ්‍රෝන යානා පියාසර කරවන කෘත්‍රිම බුද්ධියේ පාදමත් මෙම පර්යේෂණයි.

ඒ අනුව ඉතා ඉක්මණින් කෘත්‍රිමබුද්ධි තාක්ෂණ නැඹුරුව වැලඳගත් අප දැනටමත් ඉතා ඉහල ප්‍රතිපල ලබමින් සිටිනවා.

(අපගේ සටහන - Sharing Economy/Collaborative Consumption යන අලුත් ආර්ථික/ව්‍යාපාරික නැඹුරු ඇමරිකාවේ / යුරෝපයේ දැවැන්ත සමාගම් මෙන්ම අලුත් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරමින් තිබෙනවා. ඌබර් මින් එක් දැවැන්ත සමාගමක්. එහෙත් ලංකාව ගත්විට පික්-මී ටැක්සි සේවය හැරෙන්නට මෙම නැබුරුවේ දැවැන්ත වාසි අවබෝධකර ගත් සමාගමක් ලංකාව තුලනම් පේන තෙක්මානයකවත් නෑ. 

කෙසේ වෙතත් මෙවැනි ෂෙයාරිං ඉකොනොමි / කොලැබොරේටිව් කන්සම්ප්ෂන් සංකල්ප යටතේ නව සමාගමක් ගොඩනගන ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙක් මට පසුගිය දිනෙක හමුවුනා. ඇමරිකාවේ සිලිකන් නිම්නයේ ගොඩනැගෙන ඔහුගේ මේ සමාගමේ පිටුපස-කාර්යාල (back-office) සේවා සැපයීම ලංකාවේ සිට සිදුකිරීමට ඔහු බලාපොරොත්තු වන අතර ඒ සඳහා විශාල ලාංකික පිරිසක් සේවයේ යොදවාගැනීමට ඔහු බලාපොරොත්තු වනවා.)

High-velocity decision-making

බොහෝ සමාගම් ඉහල තත්වයේ ව්‍යාපාරික තීන්දු ගන්නවා. එහෙත් මේ තීන්දු ගැනීම සඳහා ඔවුන් විශාල කාලායක් ගන්නවා. එම කාළ පරාසර අතරතුර ව්‍යාපාරික පරිසරයේ වෙනස්කම් සිදුවිය හැකි අතර ආයතනයට වාසි සහගතව තිබූ අවස්ථා වෙනස්වන්නට ඉඩ තිබෙනවා.

මේ නිසා ඉහල තත්වයේ තීන්දු/තීරණ අධිවේගයන් ලබාගැනීමේ ක්‍රියාදාමයක් සැකසීම අත්‍යාවශ්‍ය වනවා. හයි වෙලෝසිටි ඩිසිෂන් මේකින් ලෙස අප හඳුන්වන්නේ මේ තත්වයයි. ඇමසන් සමාගම අධිවේගයෙන්, ඉහල තත්වයේ තීන්දු ලබාගැනීමේ ක්‍රියාදාමයන් ඇතිකර තිබෙනවා. ඉහල කළමණාකාරිත්වය ඉතා වේගවත් ලෙස බරපතල තීන්දු ගැනීමේ හැකියාව ලබා ඇත්තේ ඔවුනට අවශ්‍ය ඉතා නිවැරදි දත්ත අපගේ කෘත්‍රිම බුද්ධි පරිගණක ජාලය මගින් ඉක්මණින් සපයන නිසයි.

තීන්දුගැනීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දෘඩ නොවිය යුතුබවත්, සුනම්‍යලෙස වෙනස් කරගත හැකි විය යුතු බවත් අප විශ්වාස කරනවා. බොහෝ තීන්දු පහසුවෙන් වෙනස්කල හැකි අතර එබැවින් අනවශ්‍ය ලෙස කල් ගතකිරීම සිදු නොකල යුතුයි.

වැරදි තින්දු ගැනීම ස්වාභාවිකයි. හැකිතාක් මෙය සිදුවීම අඩුකරගත හැකි නමුත්, තීන්දු වැරදීයාම අහෝසිකල හැකි සංසිද්ධියක් නොවේ. වැරදි සිදුකිරීම හා ඉක්මණින් වැරදි හදාගෙන ඉදිරියට යා හැකි ආයතන සංස්කෘතියක් ඇතිකල යුතුයි. බෝහෝ ආයතනවල වැරදි තීන්දු ගැනීම එහි විධායකයින්ගේ අනාගතයට ඉතා අහිතකර ලෙස බලපාන සංස්කෘතියක් තිබෙනවා. එබැවින් ඔවුන් සෙමෙන් ප්‍රවේසමෙන් තීන්දු ගන්නවා. මේ ප්‍රමාදය විශාල අවාසිවලට තුඩු දෙනවා. එමනිසා ඉතා වේගයෙන් හැකිතාක් නිවැරදි තීන්දු ගැනීමටත්, වැරදුනු විට එම වැරදි හදාගෙන ඉදිරියට යාමේ සංස්කෘතියක් බිහිකරගත යුතුයි.

තවත් වැදගත් දෙයක් නම් තීන්දුගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සියල්ලම ලැබෙන තෙක් බලා නොසිටීමයි. බොහෝ තීන්දු සඳහා තීන්දු ගැනීමට අවශ්‍යයයි සිතන තොරතුරුවලින් 70%ක් තිබීම ප්‍රමාණවත්. මීටවඩා තොරතුරු ලැබෙන තෙක් තීන්දුව ප්‍රමාද කිරීම සමාගමට අවාසිවන අතර තරඟකරුවන්ට වාසිදායක වනවා.

එමෙන්ම වැරදිතීන්දුවක් ගත්බව ඉක්මණින් අවබෝධකර ගෙන වේගයෙන් එය නිවැරදි කිරීම හෝ ආපසු හැරවීම සිදුකල යුතුයි. එවිට යම් පාඩුවක් වෙතත්, තීන්දු පමාකිරීමේ පාඩුව ඊටවඩා බොහෝ සෙයින් වැඩියි.

එමෙන්ම ඇමසන් සමාගම තුල තීන්දු ගැනීමේදි Disagree and Commit නම් සංකල්පයක් භාවිතා කරනවා. මෙහි හරය වන්නේ සියලුදෙනාම එකඟ නොවුනත්, එම තීන්දුව ගතයුතු යයි තර්ක කරන්නන්ගේ හඬට කන්දී සියල්ලන්ගේම එකඟතාවය නොමැතිව වුවත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට ආයතනය කැපවීමයි. එවිට තීන්දු ගැනීම ඉතා වේගවත් වන්නේ සියල්ලන්ගේම එකඟතාවය ලබාගැනීමට වැයවන කාළය අවම නිසා. තීන්දුව වැරදිනම් එය ඉතා ඉක්මණින් ආපසු හැරවිය යුතු අතර එම තීන්දුවට සහයදුන් විධායක නිළධාරීන් ආරක්ෂා කර ඔවුන්ට වැරැද්ද නිවැරදි කරගැනීමේ අවස්ථා ලබාදිමේ ආයතන සංස්කෘතිකාංගය බිහිකර ගැනීම ඉතා වැදගත්.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments