DARPA Robotics Challenge අවසාන-පූර්ව වටයේ ජයග්‍රහණය ගූගල් සමාගමේ Schaft රොබෝවා දිනාගනී!!!

දින දෙකක් පුරා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වුනු ඩාර්පා රොබොටික්ස් චැලෙන්ජ් රොබෝ තරඟාවලියේ ජයග්‍රහණය ගූගල් සමාගම විසින් මෑතකදී මිළදීගත් ජපාන නවෝත්පාදන සමාගමක් නිර්මාණය කල "ශාෆ්ට්" නම් මානව රූපී රොබෝවා විසින් දිනාගන්නා ලද බව ෆ්ලොරිඩාවෙන් ළැබෙන ආරංචිමාර්ග පවසයි.

ශාෆ්ට් රොබෝවා ඩාර්පා අභි‍යෝග්‍යතා රොබෝ තරඟාවලියේ සම්පූර්ණ කලයුතු කාර්යයන් 8ම ඉතා හොඳින් සම්පූර්ණ කොට ඉහලම ලකුණු ලබාගෙන තිබේ.
අඩි 4කුත් අඟල් 11ක් උසැති ශාෆ්ට් රොබෝවා අනෙකුත් කණ්ඩායම් අභිබවා ලකුණු 27 රැස් කරගත් බව පැවසේ.  ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව එක් කර්තව්‍යයකට ලකුණු 4ක් බැගින් ලකුණු 32ක් විය.

ශාෆ්ට් නිර්මාණය කල ජපන් ඉන්ජිනේරු කණ්ඩායම කලක් ටෝකියෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණාගාරයක සේවය කල අතර මෑතකදී එම විද්‍යාගාරයේ කටයුතු පෞද්ගලික අංශයට භාරදීමෙන් පසු ගූගල් සමාගම විසින් අත්පත් කරගන්නා ලදී.

මේ අනුව ශාෆ්ට් රොබෝවා හා ඔහු නිර්මාණය කල ඉන්ජිනේරු කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර රොබෝවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මූල්‍යමය දායකත්වය ඩාර්පා ආයතනයෙන් පර්යේෂණ සඳහා වන මූල්‍ය ප්‍රධානයක් (research grant) ලෙස ලැබෙනු ඇත. ශාෆ්ට අමතරව වැඩිම ළකුණු ලැබූ කණ්ඩායම් 7ක් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුනටද ඩාර්පා මූල්‍ය ප්‍රධානයන් හිමිවෙනු ඇත.

සබැඳි ලිපි : රොබෝ සෙබළුන්, රොබෝ සහන සේවකයින් හා රොබෝ සහයකයින් ශිල්ප දක්වන DARPA Robotics Challenge

 

Comments