64 හැවිරිදි බර්න්ඩ් ටල්මාන් ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් නුවර පදිංචිකරුවෙකි. ඔහුගේ විනෝදාංශය මෙටල් ඩිටෙක්ටර් නම් උපකරණයක් ආධාරයෙන් පොලොවේ මතුපිට ආසන්නයේ සැඟවී ඇති විවිධ වටිනාදෑ සොයා යාමයි. නිවස ආසන්නයේ ස්ථානයක් මෙසේ මෙටල් ඩිටෙක්ටරය යොදාගෙන පරීක්ෂාකරද්දී එක්වරම පොලොව යට යම් ලෝහමය වස්තුවක් අති බවට ඔහුගේ යන්ත්‍රය සංඥා කලා. එම ස්ථානය හාරා බැලූ ටල්මාන්ට දිලිසෙන ලෝහ කැබැල්ලක් හමුවුනා. මූලික පරික්ෂාවලදී එය චුම්බකිත නොවන ලෝහයක් (non-magnetic metal) බව වටහාගත් ඔහු එය නිවසට ගෙනැවිත් සිය ගරාජයේ පිහිටුවාගෙන තිබූ කුඩා පරීක්ෂණාගාරයේදී පරීක්ෂාකලා. එවිට ඔහුට එය අධික ලෙස විකිරණ නිකුත්කරන බව පෙනීගියා. වහාම සිය සොයාගැනීම ගැන බළධාරීන් දැනුවත් කල අතර ජර්මන් පරමාණුක අධිකාරියෙන් පැමිණ ඔහුගේ පරීක්ෂණාගාරය පරීක්ෂා කොට, විකිරණ ද්‍රව්‍ය ලඟතබාගැනීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා.
තමාට සිදුකල බලවත් අසාධාරණය නිසා එම ලෝහ කැබැල්ල සොයාගත් ස්ථානය පොලීසියට හෙලිකිරීමට ටල්මාන් ප්‍රතික්ෂේපකල අතර තවමත් ටල්මාන්ට විරුද්ධව නඩුවක් පවරනවාද නැතිද යන්න ජර්මන් උසාවිය තීරණය කොට නෑ. ටල්මාන්ගේ බලාපොරොත්තුව වන්නේ සාවද්‍ය පොලිස් පරීක්ෂණයෙන් නිදහස්වූ වහාම නැවතත් ඔහු විකිරණ ලෝහ කැබැල්ල සොයාගත් ස්ථානයේ තවත් පරික්ෂා සිදුකිරීමයි.
ජර්මන් පුවත්පත් වාර්තාකරන ආකාරයට මෙම ලොහ කැබැල්ල හමුවූ පෙදෙස, හිට්ලර්ගේ පාලන සමයේ නට්සි පරමාණු පර්යේෂණ සඳහා සුපිරිසිදු යුරේනියම් ඔක්සයිඩ් නිපදවීමට පිහිටුවාතිබූ රහසිගත නිෂ්පාදනාගාරයකට ආසන්න ස්ථානයක්. නට්සි ජර්මන් සමාගමක් වූ ඩෙගූසා සමාගම මෙය පවත්වාගෙන ගිය අතර ඩෙගූසා සමාගම් හිට්ලර්ගේ සමූහ-ඝාතන වදකාගාර සඳහා සයික්ලෝන් B නම් විෂ වායුව නිපදවූ කුප්‍රකට සමාගමද වනවා.
රහසිගත පර්යේෂණාගාරයක් වුවද හිට්ලර් විරෝධී මිත්‍රපාක්ෂික ඔත්තුසේවා මෙම යුරේනියම් නිෂ්පාදනාගාරය පිලිබඳව දැන සිටි අතර යුද්ධය අවසන්වීමට පෙර මිත්‍රපාක්ෂික ගුවන්ප්‍රහාර මගින් බෝම්බ 10,000 පමණ හෙලා මෙම ස්ථානය සුනුවිසුනු කොට දැමූ බවයි වාර්තා වන්නේ. ජර්මනිය ආක්‍රමණය කල සෝවියට් හමුදා මෙම ස්ථානය සියුම්ව පරීක්ෂාකල බවත් යුරේනියම් නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව ඔවුන් තහවුරු කල බවත් වාර්තා වනවා.
හිට්ලර් පරමාණු බෝම්බ තුනක් පර්යේෂණ සඳහා පුපුරුවා හැරියාද?
මෑතකදී අමරිකානු ජාතික ලේඛණාගාරයෙන් හමුවූ දෙවන ලෝක යුධ සමයේ ඇසින් දුටු සාක්ෂි වාර්තාවකට අනුව අඩුම ගණනේ එක් පර්මාණු බෝම්බයක් හෝ පුපුරුවා හැරීමට හිට්ලර්ගේ පරමාණු විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.
හිට්ලර්ගේ ලුෆ්ට්වාෆෙ නම් ගුවන් හමුදාවේ සිටි ඉතා පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හාන්ස් සින්සර් තමන් අලුත් ගුවන්යානයක පරීක්ෂණ පියාසැරිය නිරතව සිටියදී හතු පැළයක් වන් වළාකුළක් (mushroom cloud) දකින්නට ලැබූ බවත් අඩි 7000ක් පමණවූ මේ වළාකුළ අසලට යත්ම යානයේ ගුවන්විදුලි පණිවුඩ හුවමාරු හා විදුලි උපකරණ විකාරරූපී ලෙස ව්‍යාකූලවූ බවත් සින්සර් සිය සාක්ෂියේ සටහන් කොට තිබෙනවා. සින්සර් මෙම හතු වළාකුල දැක තිබූ ස්ථානය ආසන්නයේ නට්සි පර්මාණුක පර්යේෂණ ආයතනයක් තිබූ බව සඳහන් වනවා.
සින්සර්ගේ පියාසැසි සටහන් පොතේද (flight logbook) මෙම වළාකුල හා එයින් ඇතිකල බලපෑම සටහන් කොට තිබූ බවයි වාර්තා වන්නේ.

Comments
Post a Comment