FILM : ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන නොදන්න දේවල්

















මේ දිනවල තිරගතවන ට්‍රාන්ස්ෆෝමර්ස් - බම්බල්බී චිත්‍රපටය ඔබ නරඹා තිබෙන්න පුලුවන්. නැතිනම් ඊට පෙර තිරගතවුනු ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට නරඹා තිබෙන්න පුලුවන්. මාවල්, ඩී.සී කොමික්ස් වැනි වෙනත් ප්‍රබන්ධමය සිනමා විශ්වයන්ට වඩා ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට වෙනස් වන්නේ ඒවායේ අවස්ථා සම්බන්ධය ගලපාගැනීම බොහෝ අපහසු නිසයි. 

කොටින්ම ට්‍රාන්ස්ෆෝමර්ස් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මෙලොවට ආවේ කොහොමද? කොහේ ඉඳන්ද? මොන හේතුවකටද කියලා තේරුම් පවා ගැනීම අපහසුයි. ඒ වගේම බොහොමයක් ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපට ආරම්භයේ පෙන්වන අතීතයට සම්බන්ධ රූපමාලා කොටස තේරුම් ගැනීමත් අපහසුයි. 

ඔබත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට රසවිඳින්නෙක් නම්, ඔබටත් මේ ගැටලු තියෙන්න පුලුවන්. 

විද්‍යාගවේෂණටත් මේ වගේ දේවල් ගැන හොයන්න, දැනගන්න නොසංසිඳෙන කුතුහලයක් (ඇත්තටම කිව්වොත් ලෙඩක්) තියෙන නිසා අන්තර්ජාලය පීරලා, ට්‍රාන්ස්ෆෝමර්ලාගේ ඉතිහාස කතාව හා ජනප්‍රිය ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටවල අවස්ථා සම්බන්ධ ගලපාගන්න පුලුවන් තොරතුරු රැසක් හොයාගත්තා. මේ ලිපිය, ඒ හොයාගත්ත තොරතුරුවලින් සකස් කරපු එකක්. 

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාව නිර්මාණය කලේ කවුද?

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ උප්පති කතාව ගැන විවිධ මතවාද තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට බිහිවෙන්න බොහෝ කාළයකට ඉස්සෙල්ලයි  ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික්ස් නැතිනම් චිත්‍රකතා බිහිවුනේ. ඒවාවල දැක්වෙන ට්‍රාන්ස්ෆෝමර්ස් උපත ගැන තොරතුරු ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමා විශ්වයේ (Transformer Cinematic Universe) හඟවන උප්පති කතාවට වඩා බොහෝ වෙනස්. ලංකාවේ වැඩි දෙනෙක් ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන දන්නේ චිත්‍රපට වලින් නිසා ඒ තොරතුරු විතරක් කියන්නම්.

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ උප්පති කතාවට යම් සම්බන්ධයක් "Age of Extinction - ඒජ් ඔෆ් එක්ස්ටින්ෂන්" චිත්‍රපටයේ පෙන්වනවා. ඒ චිත්‍රපටය ආරම්භය, පෘථිවියේ ඩයිනසෝරයන් රජකරන, අවුරුදු මිලියන 65කට පෙර සිදුවීම් මාලාවක් දක්වනවා. එහි එක් රූපරාමුවක පිටසක්වල ජීවියෙකුගේ සුරතක් යම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවන බවක් පෙන්වනවා. ඒ හා සමගම එම පිටසක්වල යානයෙන් යම් ආකාරයක සුපිරි බෝම්බ වර්ගයක් නිකුත්වෙන අතර ඒවා පුපුරා යනවිට එයට හසුවෙන ඩයිනසෝරයන් මෙන්ම ගස්වැල් ආදී සියලුම ජීවී ද්‍රව්‍ය ලෝහයක් බවට පත්වෙන බව පෙන්වනවා.


වසර මිලියන 65කට පෙර පෘථිවියේ ඩයිනෝසර යුගය අවසන්කල පිටසක්වලයින් "The Creators" හෙවත් නිර්මාපකයින් ලෙස හඳුන්වනවා. ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයේ අලුත්ම චිත්‍රපටවල මේ ක්‍රියේටර් පිටසක්වලයින් Quintessons ලෙසින්ද හඳුන්වනවා.

ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයට අනුව, ඔටෝබොට් (autobot) ලෙස හඳුන්වන ට්‍රාන්ස්ෆෝමර් කෘත්‍රිම බුද්ධි ජීවීන් මෙන්ම ඔවුන්ගේ පරම සතුරන් වන ඩෙසෙප්ටකෝන්වරුන්  (decepticons) දෙපාර්ශවයම ක්‍රියේටර්වරුන්ගේ නිර්මාණ බවයි පැවසෙන්නේ. 

ට්‍රාන්ස්ෆෝමර් ඔටෝබොට්වරුන් හා ඩෙසෙප්ටිකොන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන "සයිබර්ට්‍රෝන්" ග්‍රහලෝකයත් ක්‍රියේටර්ස් සුපිරි පිටසක්වලයින්ගේ නිර්මාණ බවයි පැවසෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්වයේ තොරතුරු වලින් හෙලිවන ආකාරයට සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය සෙනසුරු ග්‍රහයා තරම් විශාල, කෘත්‍රිමව නිර්මාණය කල ලෝහමය ග්‍රහලෝකයක් වනවා. 

ක්‍රියේටර් ජීවීන් මෙලෙස පෘථිවියේ සියලු ජීවය සයිබර්ෆෝමින් නම් ක්‍රියාවලියෙන් ලෝහ බවට හරවන්නට හේතුවක් තිබෙනවා. එම ලෝහය ට්‍රාන්ස්ෆෝමියම් ලෙස හඳුන්වන සුපිරි ලෝහයක් වන අතර ක්‍රියේටර් ජීවීන්ගේ තාක්ෂණයේ පදනම මෙම සුවිශේෂ ලෝහවර්ගය මත ගොඩනගා තිබෙනවා. ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් වරුන් නිර්මාණය කරන්නටද භාවිතාකරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමියම් ලෝහයයි. ක්ෂණයකින් හැඩතල වෙනස්කරගන්න්ට පුලුවන් සුපිරි හැකියාවක් මේ ට්‍රාන්ස්ෆෝමියම් ලෝහයට තිබෙනවා.  ක්‍රියේටර් වරුන් වසර මිලියන 65කට පෙර පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශකර දමන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමියම් නිපදවා ගැනීමටයි.

වසර ලක්ෂ ගණනක් ක්‍රියේටර්ස් පිටසක්වලයින්ගේ ග්‍රහණයේ සිටි සයිබර්ට්‍රෝන් යාන්ත්‍රික ජීවීන් විශාල අරගලයකින් පසු ක්‍රියේටර් ජීවීන්ව පලවාහැර සිය නිදහස දිනාගන්නවා. බොහෝකාලයක් සාමකාමී හා සමෘධිමත් ජීවිත ගතකල සයිබර්ට්‍රෝන් යාන්ත්‍රික ජීවීන් අතර යම් යම් ගැටුම් හටගන්නා අතර ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදී සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ අයිතිය වෙනුවෙන් සටන් වදිනවා. මොවුන්ගෙන් එක් කණ්ඩායමක් ට්‍රාන්ස්ෆෝමර්වරුන් ලෙස තමන්ව හඳුන්වාගන්නා අතර අනෙක් පිරිස ඩෙසෙප්ටිකොන් ලෙස තමන්ව නම් කරගන්නවා.

ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ නායකයා ඔප්ටිමස් ප්‍රයිම් වන අතර ඩෙසෙප්ටිකොන්වරුන්ගේ නායකයා මෙගට්‍රෝන් වනවා.

ට්‍රාන්ස්ෆෝමර් රොබෝ ජීවීන් පෘථිවියට පැමිණෙන්නේ ඇයි?

සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ පාලනය සඳහා ඔටෝබොට් හා ඩෙසෙප්ටිකොන්වරුන් අතර ඇතිවූ යුද්ධයේදී ඔවුන් දෙපිරිසගේම අරමුණක් වී ඇත්තේ ඔවුන් හුදෙක් බුද්ධිමත් යන්ත්‍ර වලින් ඔබ්බට ගොස් සවිඥාණික ජීවීන් (sentient life) බවට පත්කල "AllSpark" නම් ඉපැරණි වස්තුවක් තමන් සතුකරගැනීම සඳහායි. අති ප්‍රභල බළශක්ති ප්‍රභවයක්වූ ඕල්ස්පාර්ක් වස්තුව විශ්වය තරම්ම පැරණි බව පමණක් පැවසෙන අතර එය නිර්මාණයකල සුපිරි ජීවින් කවුරුන්ද යන්න ගැන සඳහනක් නෑ. ට්‍රාන්ස්ෆෝමර්වරුන් නිර්මාණය කල ක්‍රියේටර් ජීවීන්ද ඕල්ස්පාර්ක් වස්තුවෙන් ප්‍රයෝජනගත් බවයි පැවසෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර්වරුන් ක්‍රියේටර්වරුන් පලවාහැරීමෙන් පසු ඕල්ස්පාර්ක් වස්තුව ඔවුන්සතු වෙනවා.

යුද්ධයට පෙර ඕල්ස්පාර්ක් වස්තුව ඩෙසෙප්ටිකෝන්වරුන්ගේද එකඟතාවය මත ඔටෝබොට්වරුන්ගේ ආරක්ෂාව යටතේ තිබූ බවයි පැවසෙන්නේ. යුද්ධයේ කූටප්‍රාප්තියේදී සයිබර්ට්‍රෝන් මව් ග්‍රහලෝකය විනාශවීයාමට පෙර ඔප්ටිමස් ප්‍රයිම් විසින් එය ඩෙසෙප්ටිකෝන්වරුන්ගේ ග්‍රහණයට පත්වීම වැලැක්වීමට විශ්වයේ ඉතා ඈත ග්‍රහලෝකයක් වෙත යවනවා. එම ග්‍රහලෝකය පෘථිවිය බවයි පැවසෙන්නේ.

ඩෙසෙප්ටිකෝන්වරුන්ගේ නායක ලෝඩ් මෙගාට්‍රෝන් ඕල්ස්පාර්ක් වස්තුව සොයමින් නූතන මානවයින් බිහිවීමට වසර දහස් ගණනකට පෙර පෘථිවියට පැමිණි බවත් වසර දහස් ගණනක් එය සොයමින් සිට පසුව බළශක්තිය හීනවීමෙන් හෝ වෙනත් දෝශයකින් ඇන්ටාක්ටිකාවේදී අධික ශීතලට හසුවී නිද්‍රාවට පත්වෙනවා. 1867දී ඇන්ටාක්ටිකාව ගවේෂණය කල බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙකුවූ Archibald Witwicky මෙගට්‍රෝන් සොයාගෙන නිද්‍රාවටපත්ව සිටින ඔහුව බ්‍රිතාන්‍යයටත්, ඉන්පසු ඇමරිකාවටත් ගෙන එනවා.

ඔප්ටිමස් ප්‍රයිම්ගේ උපනායකයෙකුවූ සෙන්ටිනල් ප්‍රයිම්ද මෙගාට්‍රොන් හඹාගෙන පෘථිවියට පැමිණෙන අතර ඔහුගේ යානය යම්හේතුවකින් සඳමතට කඩාගෙන වැටී ඔහු වසර දසදහස් ගණනක්ම සඳමත ඔහුගේ යානයේ අක්‍රියව සිටිනවා.

1950 ගණන්වලදී සඳෙහි ඡායාරූපගත් යානාවලින් ලැබුණු ඡායාරූපවල සෙන්ටිනල් ප්‍රයිම්ගේ යානය සටහන්වී තිබුණ බවත් ඇමරිකාව ඇපලෝ සඳගවේෂණ චාරිකා ආරම්භකලේ මේ අත්භූත පිටසක්වල යානය ගවේෂණය කිරීමේ යටි අරමුණින් බවත් ට්‍රාන්ස්ෆෝමර් සිනමා විශ්ව වංශකතාවේ දැක්වෙනවා.


මෙගට්‍රොන් හා සෙන්ටිනල් ප්‍රයිම් ගිය මං ඔස්සේ පැමිණි වෙනත් ඔටෝබොට් ට්‍රාන්ස්ෆෝමර්වරුන් මෙන්ම ඩෙසෙප්ටිකෝන්වරුන්ද වසර දහස්ගණනක සිටම පෘථිවියේ ජීවත්වන බව විවිධ ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටවල දැක්වෙන රූපරාමවලින් තහවුරු වෙනවා. Transformers : Revenge of The Fallen චිත්‍රපටයට අනුව ඔවුන් ඊජිප්තු පිරමීඩ නිර්මාණයටද දායක වන අතර, ඊටත් වසර දහස්ගණනකට පෙර අයිස් යුගයේදී ආදිමානවයින් සමගද ඩයිනසෝරයින්ගේ වෙස්ගත් ට්‍රාන්ස්ෆෝමර්වරුන් පෘථිවියේ සිට තිබෙනවා. Transformers : Last Knight චිත්‍රපටයට අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආතර් රජුගේ නයිට්වරුන් සමගද සේවය කොට තිබෙනවා. එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී නට්සීන්ට විරුද්ධවද ට්‍රාන්ස්ෆෝමර්වරු රහසිගතව සටන්වැදී තිබෙනවා.



මෙගට්‍රෝන් යලි අවදිවීම හා ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියට පැමිණීම

1897දී ඇන්ටාක්ටිකාවේදී සොයාගෙන ඇමරිකාවට මෙගට්‍රොන්ගේ නිද්‍රා දේහය රැගෙන ආ ආචිබෝල්ඩ් විට්විකීගේ මී මුනුපුරා වන සෑම් විට්විකීගේ පරීක්ෂණයකදී මෙගාට්‍රෝන් යලි පණගැන්වෙන අතර ඔහු විසින් සිය ඩිසෙප්ටිකෝන් සගයන්ට යවනලද පණිවුඩයක් ලැබීමෙන් වසර දහස් ගණනාවකට පසු නූතන ට්‍රාන්ස්ෆෝමර් විශ්වයේ දකින්නට ලැබෙන ඩිසෙප්ටිකොන්වරුන් පෘථිවියට එනවා. එම පණිවුඩයට රහසේ සවන්දුන් ඔප්ටිමස් ප්‍රයිම්ද මෙගට්‍රෝන් පෘථිවියේ බව දැනගෙන මෙහි පැමිණෙනවා.

Transformers (2007), Revenge of the Fallen (2009), Dark of the Moon (2011), Age of Extinction (2014), The Last Knight (2017), Bumblebee (2018) යන චිත්‍රපට සියල්ලේම නූතනයේ සිදුවීම්වලට පාදක වන්නේ මෙගට්‍රොන් යලි අවදිවීම හා ඔහු හඹා ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියට පැමිණීමත් යන සිදුවීම් අලලායි.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments