හඳුනාගන්න HD TV (High Definition Television)


High Definition Television (හයි ඩෙෆිනිශන් ටෙලිවිශන්) හෙවත්HDTV යනු ඉතා ඉහල විභේදනයක් (resolution) සහිත රූපවාහිනී වර්ගයකි. ඩිජිටල් ටෙලිවිශන් (Digital TV - DTV) ගණයට අයත්වන එච්.ඩී.ටීවී රූපවාහිනී වල රෙසොලූශන් ඉතා ඉහල නිසා ඉතාමත් සුපැහැදිලි, තියුණු රූප තිරයේ මැවෙයි.උදාහරණයක් ලෙස දැනට අප නිවෙස්වල තිබෙන පෑල් (PAL) වර්ගයට අයත් රූපවාහිනීවල තිරයේ දිවන දර්ශණයේ රෙසොලූශන් එක (විභේදනය) 720×576 වෙයි. එනම්, තිරයේ රූපය නිර්මාණය කරන කුඩා රූපාංග (පික්සෙල්-pixel) 414,720 සමන්විතවෙයි.

ඔබගේ පරිගණකයේ WXGA LCD එනම් (Wide XGA resolution) වර්ගයේ තිරයක් ඇත්නම් ඔබට 800x600 (ලෝ රෙසොලූශන්) සිට 1360x768 (හයි රෙසොලූශන්) දක්වා පරාසයක් තෝරාගත හැක. බොහෝ පරිගණක WXGA LCD තිර 1360x768 රෙසොලූශන් එකකින් ක්‍රියාත්මක වීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් සකසා ඇත්තේ තියුණු රූපයක් ලබාදීම සඳහාය.

මේ නිසා ඔබ, ඔබගේ ඩී.වී.ඩී තැටි පරිගණකයක ධාවනය කර චිත්‍රපටිය නරඹනවිට ලැබෙන රූපය එම ඩී.වී.ඩී තැටියම සාමාන්‍ය රූපවාහිනියකට සවිකල ඩී.වී.ඩී යන්ත්‍රයක ධාවනය කලවිට ලැබෙන රූපයට වඩා තියුණු බවින් වැඩිය.

  මෙහි CRT TV යනු අප නිවෙස්වල ඇති කැතෝඩ කිරණ ටියුබයකින් සමන්විත රූපවාහිනී යන්ත්‍රයි.
නියම HDTV වලින් ලබාදෙන විභේදනය පරිගණක LCD තිරයක් මගින් ලබාදෙන විභේදනයටත් වඩා ඉහල විභේදනයක් ලබාදෙයි. මෙය පික්සල් (එනම් රූපාංග) 2,073,600 තරම් ඉහල අගයක් ගනී.

සාමාන්‍ය රූපවාහිනියකින් ලබාදෙන පික්සල් 414,720 ගණනකින් සැකසෙන රූපයක් හා නියම HDTV (True HDTV) රූපවාහිනියක පිකසල්  2,073,600 ගණනකින් සැකසෙන රූපයකත් මොනතරම් වෙනසක් ඇත්දැයි ඔබට සිතාගත හැක. නියම එච්.ඩී.ටීවී රූපවාහිනියකින් ඔබගේ රූපවාහිනිය මෙන් පස් ගුණයක් සුපැහැදිලි, තියුණු, ත්‍රීව්‍ර රුප ලබාදිය හැකිය.

Screen Resolutions of HDTV (source : Wikipedia)


දැනට HDTV මාදිලි තුනකින් (video mode) වෙලඳ පොලට නිකුත් වෙයි. මේවානම් 720p, 1080i හා 1080p යනුවෙනි. මෙහි 720 හෝ 1080න් දක්වන්නේ රූපවාහිනී තිරයේ මෙහි 720 හෝ 1080න් දක්වන්නේ රූපවාහිනී පික්සල් වලින් තිරයේ උස ප්‍රමාණයයි (එනම් 720 තිරයක සිරස් අතට පික්සල් 720ක් ඇත ).  p හෝ i වලින් දැක්වෙන්නේ රූපය ගොඩනගන තාක්ශණ දෙවර්ගයයි. පී යනු ප්‍රොග්‍රෙසිව් ස්කෑන් (progressive scan) තාක්ශණයෙන් රූපය ගොඩනගන රූපවාහිනී තිරවලටයි. අයි යනු ඉන්ටර්ලේස් තාක්ශණයෙන් (interlace scan) රූපය ගොඩනගන රූපවාහිනී තිරවලටයි. HDTV තාක්ශණය නිවැරදිව වටහාගැනීමට රූපය ගොඩනගන ප්‍රොග්‍රෙසිව් හා ඉන්ටර්ලේස් තාකශණ වටහා ගතයුතු නිසා එය වැඩිදුර හදාරමු.

Progressive Scan


රූපවාහිනි තිරයක චල රූපයක් ලෙස දිස්වන්නේ ඉතාවේගයෙන් ඇඳෙන නිසල රූ විශාල ප්‍රමාණයක් නිසාය. මේ නිසල රූ ෆ්‍රේම්ස් (frames) ලෙස හඳුන්වන අතර ෆ්‍රේම් එකක් ගොඩනැගෙන්නේ තිරස් තීරු (horizontal lines) විශාල සංඛයාවක් එකතුවීමෙනි (රූපසටහන බලන්න ) . 1080 රෙසොලූශන් එකක් ඇති එච්.ඩී ටීවී තිරයක එක ෆ්‍රේම් එකක තිරස් පික්සල් තීරු 1080 ඇත. ඒ අනුව එක ෆ්‍රේමයක් නිර්මානය කිරීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ඉතාවේගයෙන් පික්සල් තීරු 1080ක් ඇඳ ෆ්‍රේම් එක ගොඩනගයි. සැනෙකින් එම ෆ්‍රේමය මැකීගොස් ඊලඟ ෆ්‍රේමය ඇඳෙයි. සාමාන්‍යයෙන් රූපවාහිනි තිරයක තත්පරයට නිසල ෆ්‍රේම් 50-60 සංඛයාවක් ඇඳීමෙන් චල රූපයක් නිර්මාණය වෙයි. මෙය රූපවාහිනියේ සංඛ‍යාතය නොහොත් ෆ්‍රීක්වන්සි එක ලෙස හඳුන්වයි. මෙය ෆ්‍රේම් රේට් (frame-rate) ලෙසද හඳුවයි.

ප්‍රොග්‍රෙසිව් ස්කෑන් ක්‍රමයේදී සිදුවන්නේ රූපය සැකසෙන තිරස් පික්සල් තීරු සියල්ලම සෑම රූපයක්ම (frame- ෆ්‍රේම් එකක්ම) වෙනුවෙන් සම්පූර්ණයෙන් සටහන් වීමයි. ප්‍රොග්‍රෙසිව් ස්කෑන් ක්‍රමයෙන් මැවෙන රූප ඉන්ටර්ලේස් ක්‍රමයෙන් මැවෙන රූප වලට වඩා ඉතා පැහැදිලි වන නමුත් මේ සඳහා ඉහල තාක්ශණයක් අවශ්‍ය බැවින් ප්‍රොග්‍රෙසිව් ස්කෑන් රූපවාහිනී, ඉන්ටර්ලේස් රූපවාහිනිවලට වඩා මිලෙන් අධිකය.

Interlace Scan

ඉන්ටර්ලේස් තාක්ශනයේදී සිදුවන්නේ සෑම ෆ්‍රේම් එකක්ම සියලුම පික්සල් තීරුවකින්ම සකසනවා වෙනුවට ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට ඇඳෙන තීරු වෙනස් කිරීමයි. එනම් පලමුවන ෆ්‍රේමයේදී ඔත්තේ සංඛ්‍යාවකින් දැක්වෙන තීරු පමණක් ඇඳෙන අතර ඉරට්ටේ සංඛ්‍යාවකින් දැක්වෙන තීරු ඇඳෙන්නේ නැත. ඊලඟ ෆ්‍රේමයේදී ඉරට්ටේ තීරු ඇඳී ෆ්‍රේමය සැකසෙන අතර ඔත්තේ තීරු ඇඳෙන්නේ නැත. මේ ක්‍රමයෙන් රුපයේ තියුණු භාවය අඩුවෙන අතර චල රූප දැක්වීමේදී දෝශ පෙන්වයි. එහෙත් ඉන්ටෙර්ලේස් තාක්ශණය ලාභදායි නිසා මෙවැනි රූපවාහිනි (එච්.ඩී.ටීවී ) වුවත් සාපේක්ශව මිලෙන් අඩුවේ.

ඉන්ටර්ලේස් ක්‍රමයට සැකසෙන චලරූපයක ඇතිවෙන දෝශ පහත රූපයෙන් වටහා ගත හැකිය.


යම් නිශ්පාදකයෙක් සිය එච්.ඩී. ටීවී රූපවාහිනි තාක්ශණය 1080i ලෙස හඳුන්වාදෙන්නේ නම් එම රූපවාහිනිය ඉන්ටර්ලේස් වර්ගයට අයත් ප්‍රොග්‍රෙසිව් ස්කෑන් වර්ගයට වඩා අඩු තාක්ශණයේ රූපවාහිනියක් වනු ඇත. සැබැවින්ම ගත්කල 720p HDTV රූපවාහිනියක් 1080i HDTVරූපවාහිනියකට වඩා හොඳ රූපයක් ලබාදෙන බව කියැවේ. 720ට වඩා 1080 විබේධනය (screen resolution) ඉහල වුනත් ඉන්ටර්ලේස් තාක්ශණයේ අවාසි නිසා 720p රූපවාහිනිවල image quality 1080i වලට වඩා ඉහලය.

HDTV Aspect ratio

ඇස්පෙක්ට් රේශියෝ (aspect ratio) ලෙස හඳුන්වන්නේ රූපවාහිනී තිරයක පලල හා උස අතර අනුපාතයයි. අප භාවිතා කරන ඇනලොග් වර්ගයේ රූපවාහිනී තිරවල ඇස්පෙක් රේශියෝව 4:3 වෙයි. එනම් පලල 4 වනවිට උස 3ක් වෙයි. තිරයේ විශාලත්වය අඟල් කීයක් වුවත් ඇස්පෙක් රේශියෝව වෙනස් නොවේ. උදාහරණයක් ලෙස අඟල් 25ක් ඇනලොග් රූපවාහිනියක තිරය අඟල් 20ක් දිග වන අතර අඟල් 15ක් පලල් වේ. ඒ 4:3 අනුපාතයටයි.

අලුත්ම පරිගණක මොනිටර් හා එච්.ඩී ටීවී නිමවා ඇත්තේ 16:9 අනුපාතයටයි. මේ අනුව පලල 16ක් වන තිරයක උස 9ක් ලෙස සැකසේ. 16:9 අනුපාතය නිසා ප්‍රේක්ශකයාට වඩා පුලුල් රූපයක් දර්ශණය වේ.


True HD

ටෲ එච්.ඩී හෙවත් සැබැවින්ම එච්.ඩී තාක්ශණයෙන් ලැබෙන උපරිම image quality ලබාදෙන රූපවාහිනී ටෲ එච්.ඩී ලෙස හැඳින්වේ. දැනට වෙලඳ පොලේ ඇති ටෲ එච්.ඩී රූපවාහිනි යන්ත්‍ර 1080p මාදිලියේ ඒවා වෙයි.

HDTV Broadcasters

තාක්ශණයෙන් ඉහල නිසාත්, උපකරණ මිල අධික නිසාත් දැනට එච්.ඩී ටීවී විකාශයන් සිදුකරන්නේ බටහිර රටවල් කිහිපයක කේබල් නාලිකා කිහිපයක් පමණකි. මේවා අතර TNT, ESPN, Discovery, ESPN, and HBO ප්‍රධාන වේ.



Blu Ray Disks

බ්ලූ රේ ඩිස්ක් යනු ගිගාබයිට 50ක ධාරිතාවයකින් යුතු සී.ඩී රොම් වර්ගයේ ප්‍රකාශ තැටියකි (optical disk). අධික ධාරිතාව නිසා බ්ලූ රේ ක්‍රමයට සකසන ලද චිත්‍රපට වලට එච්.ඩී තාක්ශණයේ ඉතා ඉහල විබේධනයකින් යුතු චිත්‍රපට ගබඩා කල හැකිය. මේ නිසා බ්ලූ රේ තැටි ධාවන යන්ත්‍රයක් 1080ප් මාදිලියේ එච්.ඩී රූපවාහිනි යන්ත්‍රයකට සම්බන්ධ කොට බ්ලූ රේ ක්‍රමයට සකසන ලද චිත්‍රපටයක් නරඹනවිට ඉහලම වින්දනයක් ලබාගත හැකිය.


Comments