ගුවන්යානා කළු පෙට්ටිය වළාකුළට යයි!

ගුවන්යානයක Cockpit Vice Recorder කළු පෙට්ටියක ඇතුලත පෙනුම
මැලේසියානු ගුවන්සේවයේ MH370 යානය අතුරුදහන් වෙලා දැන් වසර 2කුත් ඉකුත්වෙලා. යානයේ යැයි තහවුරු වූ කුඩා කොටස් කිහිපයක් හමුවුනා හැරෙන්නට අදටත් යානයට සිදුවූ දෙය අභිරහසක්. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වුනාට පස්සේ තවත් පැය 6ක් පමණ ඉන්දියන් සාගරය ඉහලින් පියාසර කල බවට යානයේ එන්ජින් හා ARCAS පද්ධතිය චන්ද්‍රිකා හරහා තාක්ශණික යානයේ එන්ජින් ක්‍රියාකාරිත්වය හා වෙනත් තාක්ශණික දත්ත එක් රැස් කරන දත්ත ගබඩාවකට එවූ දත්ත ඇසුරෙන් බොහෝ දුරට තහවුරු වෙලා තියෙනවා. ඒත් කළු පෙට්ටි හමුවුනේ නැතිනිසා යානයට සිදුවුනුදේ හා අවසන් පැය කිහිපයේ නියමුවන් හා යානයේ පද්ධති ක්‍රියාත්මක වුනේ කොහොමද කියලා දැන ගන්නට වෙන්නේ නෑ. 

ඒවගේම පසුගිය මැයි 19වැනිදා අභිරහස් ලෙස කඩාවැටුනු ඊජිප්තු ගුවන්සේවයේ MS804 පියාසැරියේ කළු පෙට්ටිදෙක මීට සති කිහිපයකට පෙර මධ්‍යධරණී මුහුදු පතුලේ තිබී සොයාගත් අතර එම කළු පෙට්ටි දෙකෙන් "Flight Data Recorder" කළු පෙට්ටියේ දත්තවලට අනුව යානයේ ARCAS පද්ධතිය චන්ද්‍රිකා හරහා එවා තිබූ යානය දුමින් පිරීයමින් පවතින බවට දුම් සංවේදක නිකුත්කල දත්ත නිවැරදි බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් යානයේ නියමුවන්ගේ කතාබහ පටිගතවී ඇති "Cockpit Vocie Recorder" කළු පෙට්ටිය හානියට පත්වී ඇති අතර එයාර් බස් සමාගමේ පැරිස් නගරයේ විද්‍යාගාරයක එහි සියුම් අළුත්වැඩියා කටයුතු කරමින් පවතිනවා. එම නිසා MS804 යානයට සිදුවූ දෙය පිලිබඳ නිශ්චිත නිගමන වලට එළඹීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති.
MS804 ඊජිප්තු යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක්
























ගුවන් යානයක් කඩාවැටීමෙන් පසු එම යානය සිදුවූ දෙය පිලිබඳව නිශ්චිතව දැන ගැනීම සඳහා කළු පෙට්ටි සොයාගැනීමට මාස ගණනාවක් සිට වසර කිහිපයක් දක්වා ගතවීම (2009දී අත්ලාන්තික් සාගරයට කඩාවැටුනු ප්‍රංශ ගුවන්සේවයේ යානාවේ කළු පෙට්ටි සොයාගත්තේ වසර 2කට පසුවය ) විශාල ගැටලුවක් වී තිබෙන නිසාත්, විශේෂයෙන්ම මුහුදු පතුලේ මාස ගණනාවක් ගවේෂණ කිරීමට සිදුවිමෙන් දැරීමට සිදුවන ඩොලර් මිලියන ගණනක පිරිවැය නිසාත් එයාර්බස් ගුවන් යානා සමාගම තම A320 හා A330 යානාවල කළුපෙට්ටිවල ගබඩාවන දත්ත සජීවීවම චන්ද්‍රිකා හරහා අන්තර් ජාල දත්ත ගබඩාවකට යැවීමට සැළසුම් කරනවා.

දැනටමත් එයාබස් හා බෝයිං ගුවන්යානා එන්ජින් හා වෙනත් තාක්ශණික දත්ත සජීවීව දත්ත ගබඩාවලට යැවීමට උපයෝගීකර ගන්නා බ්‍රිතාන්‍යයේ ඉන්මාර්සැට් (Inmarsat) චන්ද්‍රිකා සමාගමේ චන්ද්‍රිකා ජාලය උපයෝගීකරගෙන කළු පෙට්ටි දෙකෙහි දත්ත අන්තර්ජාල දත්ත ගබඩාවකට සජීවීව යාවත්කාලීන කිරීම සිදුකිරීමට සැළසුම් කෙරෙනවා. ඒ අනුව යානයක් අණතුරට පත්වූ සැනින්ම එම යානයේ කළු පෙට්ටි දෙකෙහි සියලුම දත්ත පර්යේශකයින්ට ලබාගැනීමට හැකිවනවා. එනිසා අණතුරට හේතුව ඉතා ඉක්මණින් නිශ්චය කරගත හැකිවනවා. එමෙන්ම මෙම ක්‍රමය මගින් යානය පියාසැරියේ යෙදුනු පැය 100ක පමණ දත්ත ගබඩාකර ගැනීමට හැකිවෙනවා. දැනට යානා තුල ඇති Cockpit Voice Recorder කළු පෙට්ටිවල සටහන් වන්නේ අවසන් පැය 2හි දත්ත පමණය. පැය දෙකකට වරක් පැරණි දත්ත මකා අලුත් දත්ත සටහන් කරනවා. ඒ Voice Recorder කළු පෙට්ටියක ඇති මතක ධාරිතාවයේ ඇති සීමාවන් නිසා. එහෙත් අන්තර්ජාල දත්ත ගබඩාවකට ටෙරා බයිට දහස් ගණනක දත්ත වුවද රඳවා ගත හැකි නිසා යානයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව පැහැදිලි චිත්‍රයක් සකස් කරගැනීමට දත්ත විශ්ලේශකයින්ට හැකිවනවා.


 __________________________________________________________________________

Creative Commons License 


VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments