මේ ලිපියේ පලමු කොටස What is Formula 1 (Part 1) කියවන්නට නොහැකි වුනානම් එය කියවා ඉන්න.
What is Formula 1? Part 2 | අලුත් F1 ෆෑන්ස්ලා වෙනුවෙන් ෆෝමියුලා වන් තරඟ හඳුන්වාදෙන ලිපි පෙලේ 2වැනි කොටස කියවා අප පහත දේවල් ගැන දැන ගනිමු
1. Structure of a F1 weekend - F1 ධාවන තරඟයක් සංවිධානය කෙරෙන ආකාරය
2. Full Race and Sprint Race - පූර්ණ තරඟය හා ස්ප්‍රින්ට් තරඟ අතර වෙනස
3. Why are these races called Formula? - ෆෝමියුලා තරඟ ලෙස මේවා හඳුන්වන්නේ ඇයි?
Structure of a F1 weekend
ෆෝමියුලා 1 ග්‍රෑන්ඩ් ප්‍රී සති අන්තයකදී (Race weekend / F1 weekend) එක් තරඟ සැසියක්දින තුනක් පුරා, සිකුරාදා සිට ඉරිදා දක්වා පැවැත් වෙනවා. සිකුරාදා දින, පැය එකක් බැගින් වූ පුහුණු සැසි දෙකක් පැවැත් වෙනවා – එනම් පළමු නිදහස් පුහුණු සැසිය (FP1) සහ දෙවන නිදහස් පුහුණු සැසිය (FP2). සෙනසුරාදා දිනය ආරම්භ වන්නේ තෙවන නිදහස් පුහුණු සැසියෙන් (FP3).
නිදහස් පුහුණු සැසිවලදී රියදුරන්ට ධාවන පථයේ තත්වය, තරඟයට පෙර රථවල සිදුකල සීරුමාරු කිරීම් වලින් ඇති වාසි අවාසි අවබෝධ කරගැනීමටත් එම තොරතුරු ඉන්ජිනේරු කණ්ඩායම් හා තරඟ උපක්‍රමවේදීන් කණ්ඩායම (race strategy team) වෙත ලබාදීම හා ස්වයංක්‍රීය දත්ත එකතුකිරීම් (telemetry data) හරහා රථයේ එන්ජිමේ හා වෙනත් පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිලිබඳව දත්ත ලබාගැනීමටත් අවස්ථාව උදාවෙනවා. ඒ අනුව රථයේ තවත් වෙනස් කිරීම් සිදුකිරීමට මෙන්ම තරඟ උපක්‍රම (fine-tuning race strategy) සීරුමාරු කරගැනීමටත් රියදුරන්ට අවස්ථාව ලැබෙනවා.
තුන්වන නිදහස් පුහුණු සැසියෙන් පසු (FP3) ෆෝමියුලා වන් නීති අනුව parc fermé තත්වය ප්‍රකාශයට පත්කරන අතර, එවිට රථවල කිසිදු සීරුමාරු කිරීමක් හා වෙනස් කම් කිරීම් තහනම් කරනවා. එවිට රථ දෙක ගාල් කරන ස්ථාන ෆෝමියුලා වන් නියාමන ආයතනය වන FIA හි නිළධාරීන් නිරීක්ෂණය කොට සීල් තැබීමක් කරනවා.
සෙනසුරාදා Qualifying ධාවන පැවැත්වෙන දිනය වන අතර Q1, Q2, Q3 ලෙස Qualifying වට තුනක් පැවැත්වෙනවා. මෙම Qualifying ධාවන වට තුන කාළසීමා වලට යටත් වෙන අතර ඒවා පිළිවෙලින් මිනිත්තු 18, මිනිත්තු 15 සහ මිනිත්තු 12 ක් පවතිනවා. එම වටයන්වලදී සෑම රියදුරෙක්ම සිය රථය හැකිතාක් වේගයෙන් ධාවනය කරමින් වේගවත්ම කාළය සටහන් කර ගැනීමට උත්සහ කරනවා.
වටවලදී වේගවත්ම කාළය සටහන් කරන රියදුරා P1 හෙවත් Pole ස්ථානය ලැබෙන අතර ඒ අනුව ධාවන තරඟයේදී කාර් රථ ස්ථානගත කරන Race Grid එකේ පලමුවෙනියටම රථය ස්ථාන ගත වෙනවා. P2 ලබාගත් රියදුරාගේ රථය දෙවෙනියටද P3 රියදුරා තුන්වෙනියටද ආකාරයට රථ 20ම රියදුරන්ගේ කාල සටහන් අනුව ස්ථාන ගත කෙරෙනවා.
Why the Grid Position is important?
රේස් ග්‍රිඩ් එකේ රථය ස්ථානගත ආකාරය, තරඟයේ ජයග්‍රහණයට විශාල බලපෑමක් ඇති කරන්නේ අධිවේගී ධාවනයේදී ඉස්සර කර යාම ඉතාමත් අපහසුවීම, අණතුරුදායක වීම මෙන්ම FIA නියාමන ආයතනය පනවා ඇති දැඩි නීතිවලට අනුකූලව සිදුකල යුතු වීමේ අවශ්‍යතාව නිසයි. එමෙන්ම සිංගප්පූරුව, අසර්බයිජාන්, මොනාකෝ වැනි ධාවන පථ ඉතා පටුවීම නිසා ඉස්සර කිරීම ඉතාමත් අපහසුයි.
පහත පෙන්වන්නේ 2025 බ්‍රසිල ග්‍රෑන්ඩ් ප්‍රී ධාවනය තරඟයට පෙර එහි තරඟකරුවන් ක්වලිෆයින් කාළයන් අනුව රේස් ග්‍රිඩ් පිලිවෙල සැකසුන ආකරයයි. එහි මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් වේගවත්ම කාළය වාර්තාකරමින් Pole හෙවත් P1 ස්ථානය දිනාගෙන තිබුණු අතර පෙට්‍රොනාස් මර්සඩීස් බෙන්ස් කණ්ඩායමේ ලාබාළ ධාවක කිමී ඇන්ටොනෙලි දෙවන තැන හෙවත් P2 ලබාගෙන සිටියා. තුන්වන වේගවත් කාලය වාර්තාකරමින් P3 ස්ථානය හිමිකර ගත්තේ ස්කුඩෙරියා ෆෙරාරී කණ්ඩායමේ චාල්ස් ලෙක්ලර්
ෆෝමියුලා 1 ග්‍රෑන්ඩ් ප්‍රී තරගයක් අවම වශයෙන් කිලෝමීටර 305ක දුරක් පැවැත්විය යුතුයි. එක් එක් ධාවන පථය වෙනස් දිගකින් යුක්ත වේ. එබැවින්, මෝටර් රථ ධාවනය කරන වට ගණන, කිලෝමීටර 305 / ධාවන පථයේ දිග (කිලෝමීටර වලින්) ලෙස ගණනය කෙරේ.
2025 ෆෝමියුලා වන් ධාවන තරඟ පැවැත්වෙන ධාවන පථ 24න් කෙටිම ධාවන පථය මොනාකෝ රාජ්‍යයේ මොන්ටෙකාලෝ ධාවන පථය වන අතර එය කිලෝමීටර් 3.3ක් දිගවේ. දිගම පථය බෙල්ජියමේ ස්පා-ෆ්‍රැන්කෝචෑම්ප්ස් පථය වන අතර එය කිලෝමීටර් 7ක් දිගවේ. සාමාන්‍යයේ ෆෝමියුලා වන් ධාවන තරඟයක් පැය 2ක් පමණ පැවැත්වෙන අතර කෙටි ධාවන පථවල ඊට වඩා අඩු කාළයකින්ද තරඟය අවසන් වෙන්නට පුලුවන්.
Full Grand Prix Race and Sprint Race
සම්පූර්ණ ෆෝමියුලා 1 ග්‍රෑන්ඩ් ප්‍රී තරගය ඉරිදා දිනවල පවත්වන ප්‍රධාන තරගයයි. එය දළ වශයෙන් කිලෝමීටර 305ක් (හෝ පැය 2ක්) පුරා පැතිරෙන අතර, පළමු ස්ථාන 10ට පැමිණෙන ධාවකයින්ට ලකුණු ලැබෙනවා. පළමු ස්ථානයට පත්වන ධාවකයාට ලකුණු 25ක් ලැබෙන අතර දහවන ස්ථානයට පත්වන ධාවකයාට එක ලකුණක්ද ලැබෙනවා.
ස්ප්‍රින්ට් රේස් යනු කෙටි ධාවන තරගයකි. එය සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනවල පැවැත්වෙන අතර කිලෝමීටර 100ක් (විනාඩි 30ක්) පමණ දුරකින් සමන්විත වෙනවා. මෙහිදී පළමු ස්ථාන 8ට පැමිණෙන ක්‍රීඩකයන්ට ලකුණු හිමි වෙනවා. පළමු ස්ථානයට ලකුණු 8ක් සිට අටවන ස්ථානයට එක ලකුණක් දවා දක්වා ලැබෙනවා. 2025 ෆෝමියුලා වන් තරග කාලසටහනට අනුව ස්ප්‍රින්ට් රේස් 6ක් සැලසුම් කර තිබෙනවා.
ස්ප්‍රින්ට් රේස් ඇති තරග 6දී, ඉරිදා පැවැත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රී තරගය සඳහා ආරම්භක ස්ථාන (Grand Prix Starting Grid) තීරණය කරන්නේ ස්ප්‍රින්ට් රේස් ප්‍රතිඵලයයි. මෙයට හේතුව සෙනසුරාදාවේ ස්ප්‍රින්ට් රේස් එක පැවැත්වීම නිසා Race Grid සැකසුම තීරණය කරන Free Practice 1 to Free Practice 3 නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකිවීමයි.
Why are these races called Formula?
"ෆෝමියුලා 1" යන නාමයේ "ෆෝමියුලා" යන පදය බිහිවී ඇත්තේ ලෝක මෝටර් රථ ධාවන තරඟ නියාමනය කරන්නට ගෝලියව පිලිගන්නා නියාමන ආයතනය වන Fédération Internationale de l'Automobile (FIA) විසින් පිහිටුවා ඇති ප්‍රමිතිගත තාක්ෂණික රෙගුලාසි හෙවත් "සූත්‍රය" (formula) මගිනි.
මෙම රෙගුලාසි මගින් එන්ජින්, චැසි තාක්ෂණික කරුණු, වායුගතික විද්‍යාව, බර සහ අනෙකුත් ඉංජිනේරු පරාමිතීන් සඳහා සීමාවන් පනවා ඇති අතර, තරගයට සහභාගී වන සියලුම කණ්ඩායම් සහ මෝටර් රථ මේවාට අනුකූල විය යුතුය.
ඒ අනුව FIA විසින් විවෘත රෝද සහිත (Open Wheel) තනි රියදුරෙකු ධාවනයේ යෙදෙන
මෝටර් රථ ධාවන තරඟ සඳහා ෆෝමියුලා හෙවත් සූත්‍ර 6ක් හඳුන්වා දී තිබෙනවා.
Formula One - ඉතාමත්ම දැඩි කොන්දේසි යටතේ, අතිශයේන්ම දක්ෂ රේසින් ධාවකයින්ට පමණක් විවෘත වන, අධිකම වේගයෙන් රථ ධාවනයට ඉඩදී තිබෙන, අතිවිශාල ප්‍රාග්ධනයක් හා මෙහෙයුම් පිරිවැයක් සහිත, ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෝටර් රථ ධාවන තරඟ මාලාව.
Formula 2, Formula 3, Formula 4 පිලිවෙලින් වඩාත් අඩු වේග හා තාක්ෂණික අතින්
අඩු සංකීර්ණතාවයකින් යුතු විවෘතරෝද රථ ධාවන තරඟ ලෙස පැවැත්වෙන අතර F1 තරඟ සඳහා තෝරාගන්නේ F4 සිට F2 දක්වා දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණින
අති දක්ෂ රේස් රියදුරන්වයි. ඒ අනුව F1 සඳහා රියදුරන් තෝරා ගන්නා තරඟමාලා
ලෙස F2, F3 හා F4 සැලකෙනවා.
මීට අමතරව මෑතකදී Formula E ලෙස තනිකරම බැටරි බලයෙන් ක්‍රියාත්මක වන Open Wheel EV රේසින් රථ ධාවන තරඟ සඳහාද සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම Formula රෙගුලාසි රාමුව පළමුවෙන්ම විධිමත් කරන ලද්දේ දෙවන
ලෝක යුද්ධයෙන් පසු, 1950 දී ආරම්භ වූ ප්‍රථම ලෝක ශූරතාවලිය සඳහා ය.
What is Formula 1? (Part 3) හරහා Basic tech of a F1 car - F1 රථයක මූලික තාක්ෂණ තොරතුරු කෙටියෙන් දැන ගනිමු.
Comments
Post a Comment