2020 දී අඟහරු ගවේෂණයට සූදානම් වන Mars 2020 Rover



දැනට අඟහරු ගවේෂණයේ නිරතව සිටින කිව් රියෝසිටි රෝවරයේ සාර්ථකත්වය පදනම් කරගෙන අඟහරුවා මත ජීවය පවතීදැයි (නැතහොත් අතීතයේ පැවතුනාදැයි) නිශ්චිතව නිගමනය කරගැනීම සඳහා තවත් ගවේෂක රෝවරයක් 2020වසරේදී අඟහරුවෙත යැවීමට නාසා ආයතනය සැළසුම් කරනවා. මේ වනවිට එම රෝවරය දැන් අඟහරු මත ක්‍රියාත්මකවන කිව්රියෝසිටි රෝවරයේ අනුරුවටම නිමැවීමට තීරණය කොට තිබෙන්නේ කිව්රියෝසිටි රෝවරය හිතුවාටත් වඩා ඉතා හොඳින්, බලාපොරොත්තුවූ ජීව කාලයට වඩා දීර්ඝකාලයක් සාර්ථකව ක්‍රියාත්මක වීම නිසයි. 2020 රෝවරයේ හැඩරුව කිව්රියෝසිටි රෝවරය මෙන් වූවත් එහි ගෙනයාමට අදහස්කරන්නේ වඩාත් සංකීර්ණ පරීක්ශණ උපකරන බව නාසා මෙහෙයුම් සැළසුම් කරුවන් ප්‍රකාශකරනවා.

අඟහෘවාගේ ජීවය පිලිබඳ සාක්ශි විමසීම සඳහා රෝවරයේ ගෙනයන විද්‍යාත්මක උපකරණ කට්ටල (scientific instrument packages) හතක් පිලිබඳ දළ විස්තර ඉදිරිපත් වී තිබෙනවා.

Mastcam Z - මෙය රෝවරයේ ප්‍රධාන කැමරා පද්ධතිය වන අතර, අධිවිබේධන වර්ණ ඡායාරූප, ස්පෙට්‍රොස්කොපික් වර්ගයේ සුපිරි විබේධන ඡායාරූප මෙන්ම පැනොරාමා ඡායාරූප ගැනීමට මෙය නිමැවෙනවා. එමෙන්ම ඈත ඇති වස්තූන්වෙත zoom කොට ඡායාරූප ගැනීමේ හැකියාවද මෙයට ඇතුලත් වනු ඇති. මෙම කැමරා පද්ධතියේ නිර්මාණ කටයුතු හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජිම් බෙල් නම් විද්‍යාඥයායි. තාරකා විද්‍යාඥයෙකු හා පිටස්තර ග්‍රහලෝක පිලිබඳ විශේෂඥයෙකු වන ඔහු අඟහරු ග්‍රහයාගේ භූවිද්‍යාව හා ඛනිජ විද්‍යාව පිලිබඳ සුපතල විශේෂඥයෙකු වනවා.

SuperCam - පාෂාණ මතට ලේසර් කිරණ විහිදුවා විශේෂිත රසායණික විශ්ලේෂණ සිදුකිරීමේ හැකියාවක් ඇති මෙයට අඟහරුවාගේ පාශාණ හා ප්‍රාවරණ පාශාණවල කාබණික සංයෝග ඇතිදැයි සොයා බැලීමේ හැකියාව තිබෙනවා. මෙහි නිර්මාණය හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ අමෙරිකානු රාජ්‍ය පර්යේෂණාගාරයක් වන ලොස් ඇල්මෝස් පර්යේෂණාගාරයේ විද්‍යාඥ රොජර් වින්ස් විසිනුයි. දැනට අඟහරුවා මත ක්‍රියාත්මක කිව්රියෝසිටි රෝවරයේ කෙම්-කැම් (ChemCam) නම් රසායණික විශ්ලේෂක කැමරා පද්ධතියේ ප්‍රධාන විද්‍යාඥ තනතුර හොබවන්නේද මොහු විසිනුයි.

PIXL (Planetary Instrument for X-ray Lithochemistry) -  X කිරණ  ප්‍රතිදීප්ත වර්ණාවලීමානයක් වන මෙය අඟහරු පාෂාණ මතට ප්‍රභල x කිරණ විහිදුවා, ඉන් අණතුරුව පරාවර්තනය වන ප්‍රතිදීප්ත x කිරණවල සංයුතිය විශ්ලේෂණය කරන වර්ණාවලීමානයක් ලෙස ක්‍රියාත්මක වේ. එමගින් අඟහරු පෘශ්ඨයේ මූළද්‍රව්‍යමය සංයුතිය (elemental composition of Martian surface) විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තුවේ. මෙහි නිර්මාණයට දායකත්වය හා ප්‍රධාන විද්‍යාඥවරිය ලෙස ක්‍රියාකරනු ඇත්තේ නාසා ජෙට් ප්‍රපල්ෂන් විද්‍යාගාරයේ (NASA-JPL) ඇබිගේල් ඕල්වුඩ් විසිනුයි. ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥවරියක් වන ඇය මීට පෙර සිදුකල පර්යේෂණ මාළාවකදී වසර බිලියන 3.43 පැරණි පාෂාණ ස්ථරවල ඇති ඉපැරණි රසායණික අංශුමාත්‍රයන් (chemical traces) පරික්ශාකොට ඒවා මගින් වසර බිලියන ගණනකට පෙර පෘථිවියේ ජීවත්වූ ක්ශුද්‍රජීවීන් පිලිබඳ තොරතුරු හෙළිකරගෙන ඇත. අඟහරුවා මතද ඉපැරණි ක්ශුද්‍රජීවීන් ජීවත්වූවාදැයි සොයාබැලීමට ඇය සූදානම්වේ.

SHERLOC (Scanning Habitable Environments with Raman & Luminescence for Organics and Chemicals) - පාරජම්බූල x කිරණ ලේසර් වර්ණාවලීමානයක් හෙවත් රාමන් වර්ණාවලීමාණයක් වන මෙයට කාබණික සංයෝග හඳුනාගැනීමේ හැකියාව ඇති සංකීර්ණ උපකරණයකි. මෙහි නිර්මාණය හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ නාසා JPLවිද්‍යාගාරයේ ලූදර් බීගල් විසිනි. තාරකා භෞතිකවිද්‍යාඥයෙකු (astro physicist) වන ආචාර්ය බීගල් දැනට ක්‍රියාත්මක කිව් රියෝසිටි මෙහෙයුමේද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන විද්‍යාඥයෙකි.

MOXIE (Mars Oxygen In Situ Resource Utilization Experiment) - ඝණ ඔක්සයිඩ විද්‍යුත් විච්ඡේදනය (solid oxide electrolysis) නම් නවතම තාක්ශණයක් ආධාරයෙන් අඟහරු වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වාගෝලයෙන් ඔක්සිජන් නිපදවීමේ හැකියාව සොයා බැලීම සඳහා මෙම පර්යේෂණය නිර්මාණය කොට ඇත. අඟරු වායුගෝලයෙන් 96% කාබන්ඩයොක්සයිඩ් වන අතර අනාගත මිනිස් ගවේෂණවලදී ඔක්සිජන් නිපදවාගත හැකි ක්‍රමවේදයන් සොයාබැලීමේ පියවරක් ලෙස මෙම පර්යේෂණ උපකරණය අඟහරු වෙත යැවේ. මෙහි නිර්මාණයේ හා අඟහරු මත පර්යේෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස ක්‍රියාකරනු ඇත්තේ මැසචුසෙට්ස් තාක්ශණික ආයතනයේ මයිකල් හෙච් මහතාය.

Mars Environmental Dynamics Analyzer (MEDA) - අඟහරු මත කාළගුණ නිරීක්ශණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට නිර්මාණය කරන මෙම කාළගුණ-මාන උපකරණ පැකේජයට උශ්ණත්වය, සුළඟේ වේගය හා දිශාව, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාවය නිරන්තරයෙන් මැන බලමින් පෘථිවියට වාර්තා කරනු ඇත. ස්පාඤ්ඤයේ  ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ ආයතනය වන Instituto Nacional de Tecnica Aeroespacial (INTA) මගින් නිර්මාණය කරන මෙහි නිර්මාණය හා මෙහෙයවීම ස්පාඤ්ඤයේ කීර්තිමත් විද්‍යාඥයෙකු වන හොසේ රොඩ්‍රිගුවෙස් විසින් සිදුකරයි.

RIMFAX (Radar Imager for Mars' Subsurface Exploration) -පාෂාණ විනිවිදගොස් එහි ස්ථර හා ආකෘතිය පිලිබඳව තොරතුරු ලබාදෙන රේඩාර් උපකරණයක් (ground-penetrating radar) මෙය නෝර්වේ රාජ්‍යය මගින් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියකි.


Comments