HUMAN HISTORY: ස්ටෝන්හෙන්ජ් ගොඩනගන්න වසර 1000කට පෙර නිමැවූ එංගලන්තයෙන් හමුවූ වසර 6000ක් පැරණි දැව මාවත
![]() |
| AI enhanced illustration: Original Creator: Edward Mortelmans |
නිරිතදිග එංගලන්තයේ ‘Somerset Levels’ කියන තෙත්බිම් ප්‍රදේශය හරහා ක්‍රිස්තු පූර්ව 3807 දී විතර නිර්මාණය කරපු දැව මාවතක නටඹුන් හමුවී තිබෙනවා. බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් ‘Sweet Track’ ලෙස නම් කර තිබෙන මෙය ලෝකයේ මෙතෙක් සොයාගෙන තියෙන පැරණිතම ලීයෙන් හදපු ගමනාගමන මාර්ගවලින් එකක්.
එකල ජීවත්වූ මානවයින් කිලෝමීටර් දෙකක් විතර දිග මේ අන්තරායකාරී වගුරු බිම හරහා ගමන් කරන්න තමයි මේ මාර්ගය හදලා තියෙන්නේ. ඒ හරහා ‘Westhay’ දූපතේ ඉඳන් උසින් වැඩි ‘Shapwick’ ප්‍රදේශයට ලේසියෙන්ම යන්න පුළුවන් වුණා.
වගුරු බිම මැදින් ආරක්ෂිතව යන්න පුළුවන් වෙන්න, ඔවුන් අතු සහ ලී කූඤ්ඤ 'V' හැඩයට පසට හයි කරලා, ඒ මත තද ඕක් ලී ලෑලි එකින් එක සම්බන්ධ කරලා මේ පාර සකස් කරලා තියෙනවා.
‘Sweet Track’ මාර්ගයේ ඉදිකිරීම් දෙස බලද්දී, එකල මානවයාගේ ඉහළ පරිසර දැනුම, සංවිධාන ශක්තිය සහ වඩු තාක්ෂණයේ තිබුණු දියුණුව හොඳින්ම පැහැදිලි වෙනවා. ඔවුන් නිකන්ම ලී කැබලි පාවිච්චි කරන්නේ නැතුව, කැළෑවලින් තෝරාගත් විශේෂ ගස් වර්ග ගල් පොරෝ සහ ලී කුඤ්ඤ භාවිත කරලා හරියටම කැපෙන සේ ලෑලි බවට පත්කරගෙන තියෙනවා.
ඉතිරිවී ඇති ලී වල ගස්වළලු පරීක්ෂා කිරීමෙන් (Tree-ring analysis) සොයාගෙන තියෙන්නේ, මේ සඳහා යොදාගත් ප්‍රධාන ඕක් ලී සියල්ලම ක්‍රිස්තු පූර්ව 3807 ශීත ඍතුවේදී හෝ 3806 මුල් වසන්ත ඍතුවේදී කපාගත්ත ඒවා බවයි. ඒකෙන් තේරෙන්නේ මේ මුළු මාර්ගයම අවුරුදු ගණනාවක් තිස්සේ ටිකෙන් ටික හදපු එකක් නෙවෙයි, එකවර සැලසුම් කරලා හදපු එකක් බවයි. මෙය මහා පරිමාණ සැළසුම්කරණය, සංවිධානාත්මක ශක්තිය මෙන්ම දේශපාලන නායකත්වය පිලිබඳවත් එකල ඉංජිනේරු දැනුම පිලිබඳවත් සාක්ෂි සපයනවා.
ඔක්සිජන් නැති, ජලයෙන් යටවුණු 'පීට්' (Peat) පස් තට්ටුව යට වසර හයදහසකට ආසන්න කාලයක් සුරක්ෂිතව තිබුණු මේ මාර්ගය, බ්‍රිතාන්‍යයේ අතීත සමාජය ගැන වටිනා තොරතුරු රැසක් එළිදරව් කරනවා. මේ මග දෙපස තිබී කැඩුණු ඊතල හිස්, ඔප දැමූ පොරෝ හිස් සහ කොස් ඇට වැනි දේ හමුවී ඇති අතර, ඒවයින් පැහැදිලි වන්නේ මෙය දිනපතා ගමනාගමනයට සහ වෙළඳාමට බහුලව භාවිත වූ බවයි. සුප්‍රකට ස්ටෝන්හෙන්ජ් (Stonehenge) හෝ ඊජිප්තු පිරමිඩ හැදෙන්නත් වසර දහසකට පෙර නිර්මාණය වුණු මේ ලී පාර, අතීත මානවයාගේ පුදුම සහගත නිර්මාණශීලීත්වයට හොඳම සාක්ෂියක්.


Comments
Post a Comment