හිරු එලියෙන් වැඩ ගන්නෝ

හිරු එළියෙන් විදුලිය නිපදවන නෙදර්ලන්තයේ සූර්යකෝෂ මාවත

සූර්යකෝෂ මතුපිට්ට එලා, විදුලිය නිපදවීමට හැකිලෙස නිර්මාණය කල මාවතක් නොබෝදා නෙදර්ලන්තයේ  ඈම්ස්ටර්ඩෑම් අගනුවරේ තදාසන්න කුඩා නගරයක් වන ක්‍රොමෙනි නගරයේදී නොබෝදා විවෘත වුනා. මෙය බයිසිකල් පමණක් ගමන්කල හැකි "bicycle path" එකක් විධියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

විවෘත කිරීමට සහභගිවුනු නෙදර්ලන්තයේ (එනම් ඕලන්දයේ) ආර්‍රථික සංවර්ධන අමාත්‍ය හෙන්ක් කෑම්ප් මහතා හා එම මහත්මිය සයිකල් පදිමින් මාවත විවෘත කරන ආකාරයයි ඉහත ඡායාරූපයේ පෙනෙන්නේ. දැනට මීටර් 230ක් දිග මේ මාර්ගය ඉදිරියේදී තවත් දිගු කිරීමට බලාපොරොත්තු වෙනවා. දිනකට බයිසිකල් මගින් ගමන්බිමන් යන නෙදර්ලන්ත වැසියන් 2000ක් පමණ මෙම මාර්ගය භාවිතා කරනබවයි පැවසෙන්නේ.


සෝලා රෝඩ් (Solar Road) නැමති සමාගමක් මගින් නිර්මාණය කොට තිබෙන මෙම මාර්ගය සූර්ය කෝෂ එබ්බවූ කොන්ක්‍රීට් වලින් තනා, ඒ මතට ශක්තිමත් "tempered glass" වර්ගයේ වීදුරු ස්ථරයක් දමා තිබෙනවා. සිදුකරන ලද අත්හදා බැලීම් වලදී සූර්ය කෝෂවලට හානි නොවී ට්‍රැක්ටරයක් වැනි බරවාහනයකට වුවද ගමන් කලහැකි බව හෙලිවී තිබෙනවා.

Tûranor PlanetSolar | ලොව වටා හිරු බලයෙන් ගිය සූර්යකෝෂ බෝට්ටුව

ටොන් 85ක් බරැති යොට් (yacht) හෙවත් විනෝද් යාත්‍රා ගණයට අයත් මෙම නැවට වර්ග මීටර් 537ක සූර්යකෝෂ සවිකොට ඇත. කිලෝ වොට් 93ක බලයක් ඉන් ජනනය වන අතර නිපැදවෙන විදුලිය මගින් විදුලි මෝටරයක් කරකවා ප්‍රචාලනය ලබාදෙයි.

ඉතිරි විදුලිය ලිතියම්-අයන (lithium-ion) බැටරිවල ගබඩා කෙරෙන්නේ රාත්‍රීකාලයේ ප්‍රයෝජනය සඳහාය. මේ සඳහා ටොන් 8.5ක ලිතියම්-අයන බැටරි සවිකොට ඇත.

යුරෝ මිලියන 15ක් වැයකොට නිර්මාණය කල මෙම නෞකාව ජර්මනියේ කීල් නුවරදී ගොඩනැගූ අතර ඒ සඳහා බරපැන ජර්මානු ව්‍යාපාරිකයෙකු විසින් දරන ලදී. 2012 මැයි මාසයේදී තනිකරම සූර්ය බලයෙන් ලොව වටා ගමන අවසන් කිරීමට මෙයට හැකිවිය. ඒ සඳහා දින 584ක් ගතවූ අතර ඒ මුලු කාලයම සූර්ය බලයෙන් ගමන්කලේය.

දැන් මෙම නෞකාව ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්වවිද්‍යාලය මගින් පාවෙන සමුද්‍ර පර්යේෂණාගාරයක් ලෙස භාවිතා කරයි.


Comments