සුන්දර ස්කොට්ලන්තය - ඡායාරූප එකතුව #5



ආර්ගයිල් වන උයන, ට්‍රොසැක්ස් ජාතික වනෝද්‍යානය, දකුණු ස්කොට්ලන්තය.



13වැනි ශතවර්ෂයට අයත් උර්කුහාර්ට් මාලිගාවේ (Urquhart Castle) නටබුන්. පසුබිමින් පෙනෙන්නේ සුප්‍රකට ලොක් නෙස් (Loch Ness) විලයි. මෙම මාලිගාව හා ලොක් නෙස් විල කඳුකර ස්කොට්ලන්තයේ පිහිටා ඇත.



එක්සත් රාජධානියට අයත් විශාලතම මිරිදිය විල වන ලොක් ලොමොන්ඩ් විල ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශයේ (Scottish Highlands) පිහිටා ඇත.



ස්කොට්ලන්තයේ ස්වදේෂීය භාශාව වන ගේලික් (Gaelic) භාශාවෙන් "ලොක්" යන වචනය "විල" හෝ "ජලාශය" යන තේරුම දෙයි. මේ අනුව ස්කොට්ලන්තයේ සියලුම විල් ලොක් යන පදයෙන් පටන් ගැනේ. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ස්කොට්ලන්ත කඳුකර ප්‍රදේශවල ඇති තවත් සුන්දර විලක් වන "ලොක් ආර්කයිග්" විලයි.



ස්කොට්ලන්තයේ ෆයිෆ් ප්‍රදේශයේ පිහිටා ඇති වසර 700ක් පැරණි ස්විල්කන් ගල් පාලම. ස්කොට්ලන්ත එඬේරුන් විසින් බැටලුවන් එතර කරගැනීම සඳහා සෑදූ මෙය දැන් ස්කොට්ලන්තයේ "සෙන්ට් ඇන්ඩෲස් ලින්ක්ස්" ගොල්ෆ් පිටියේ පිහිටා ඇත. සෙන්ට් ඇන්ඩෲස් ලින්ක්ස් ගොල්ෆ් පිටිය ගොල්ෆ් ක්‍රීඩාවේ උපන් බිම ලෙස සැළකේ.  මෙහි ගොල්ෆ් ක්‍රීඩාවේ ඉතිහාසය 15වැනි ශතවර්ෂය දක්වා ඈතට දිවෙයි.



ලොක් ටමෙල්, පර්ත්ෂයර් කෝරළය, ස්කොට්ලන්තය



1179දී නිළවශයෙන් නගරයක් ලෙස පිලිගැනුනු ඇබර්ඩීන් නගරය, ස්කොට්ලන්තයේ තුන්වන ජනාකීර්ණම නගරයයි. මේ ඡායාරූපයේ පෙනෙන්නේ "Old Aberdeen" ලෙස හඳුන්වන පැරණි ඇබර්ඩීන් නගරයේ මාවතකි. පැරණි ඇබර්ඩීන් නගරය තුල පිහිටා ඇති වැදගත්ම ආයතනය වන්නේ ස්කොට්ලන්තයේ පැරණිතම විශ්වවිද්‍යාලයක් වන 1495 ආරම්භවූ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයි.



The Dunmore Pineapple ලෙස හැඳින්වෙන අන්නාසි ගෙඩියක් හැඩැති මේ ගොඩනැගිල්ල  කරවන ලද්දේ ඩන්මෝර්හි 4වැනි අර්ල්වරයා ලෙස නිළලත් ස්කොට්ලන්ත ධනවත් රදලයෙකු වූ ජෝන් මරී විසින් 1791දී ය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම ගොඩනැගිල්ලේ එක් කොටසක "හොට් හවුස්" ලෙසින් හඳුන්වන උණුසුම් කරන ලද ප්‍රදේශයක අන්නාසි හා වෙනත් ඝර්මකලාපීය පළතුරු වැවිය හැකි ලෙස සකස්කොට තිබූ බැවිනි. එකල ඉතා දුර්ලභ පළතුරක්වූ අන්නාසි, ධනවත් බවේ මූර්තියක් ලෙස සැළකිනි.



සාන්ත කිල්ඩා දූපත්. ස්කොට්ලන්තයේ ඉතාම දුශ්කර ප්‍රදේශයක් වන මෙම දූපත් ස්කොට්ලන්තයට උතුරින් අත්ලාන්තික් සාගරයේ පිහිටුවා ඇත. 1930න් පසු මෙම දූපත්වල ස්ථිර ජනාවාස නැතත් වසර 2000කට පමණ පෙරසිට ජනාවාස තිබූ බවට සාක්ශි ඇත. නවශිලා යුගයට අයත් ගල් ආයුධ හා මැටි භාණ්ඩ හමුවී ඇත.



ටලා ජලාශය, ට්වීඩ්ස්මර්, ස්කොට්ලන්තය.



ෆොර්ත් නදිය අසබඩ පිහිටි වොලස් ස්මාරකය. මෙම ස්මාරකය ස්කොට්ලන්ත ජනයාගේ නිදහස හා ජන්ම උරුමය සැමරීම පිණිස කරනලද නිර්මාණයකි. විලියම් වොලස් නම් ස්කොට්ලන්ත විරුවා සිහිවීම සඳහා මෙයට වොලස් ස්මාරකය ලෙස නම් තබා ඇත. ස්කොට්ලන්තය ආක්‍රමණය කොට යටත්කරගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් නිදහස්වීම සඳහා සිදුකල ස්කොට්ලන්ත නිදහස් අරගලයේ විරුවෙකු වන විලියම් වොලස්, ඇන්ඩෲ මොරේ නම් තවත් සටන්කාමියෙකු සමග එක්ව ඉංග්‍රීසි හමුදා පරදවා 1297දී ජය ලැබීය. කෙසේ වෙතත් 1305දී විලියම් වොලස් ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ නගරය අසල කල සටනකදී ඉංග්‍රීසි හමුදා වලට අසුවූ අතර එන්ගලන්තයේ පලමු එඩ්වර්ඩ් රජු, විලියම් වොලස් එල්ලා මරණ ලදී.



මධ්‍යම ස්කොට්ලන්තයේ සුන්දර විලක් වන ලොක් ලිවෙන්. මෙම විලෙහි මැද ඇති දූපතක ස්කොට්ලන්තයේ වීරවරියක් ලෙස සැලකෙන මේරී රැජින ඇයගේ සතුරන් විසින් වර්ෂ 1567දී සිරකොට තැබූ මාලිගයේ නටබුන් තවමත් දකින්නට හැකිය. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ලොක් ලිවෙන් මාලිගයයි.

ස්කොට්ලන්තයේ මේරි රැජින සිරකොට තැබූ ලොක් ලිවෙන් මාලිගය













මෙල්රෝස් රොක්ස්බර්ග්ෂයර්හි ශාන්ත මේරි ක්‍රිස්තියානි තාපසාරාමය (abbey). ගොතික් ගෘහනිර්මාණ ශෛලියට නිමවා ඇති මෙය 1136දී පිහිටුවන ලද්දකි. ස්කොට්ලන්තයේ දෙවන ඇලෙක්සැන්ඩර් රජු හා වෙනත් රජවරුන් හා ප්‍රභූවරුන්ගේ දේහ මෙහි මිහිදන් කොට තිබේ.




ඈත උතුරු ස්කොට්ලන්තයේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටා ඇති ඩන්කන්ස්බි ස්ටැක්ස් ලෙස හඳුන්වන ස්වභාවික ගල් කඳු.




කඳුකර ස්කොට්ලන්තයේ ඇපල්ක්‍රොස් කෝරළයේ සුන්දර ප්‍රදේශයක ගැමි නිවසක්




ෆයිව් සිස්ටර්ස් ඔෆ් කින්ටේල් හෙවත් කින්ටේල්හි සොයුරියන් පස්දෙනා ලෙස හඳුන්වන කඳු මුදුන් පහ කඳුකර ස්කොට්ලන්තයේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.




ශාන්ත ඇන්ඩෲ ආසන දෙව්මැදුර, ස්කොට්ලන්තයේ, ෆයිෆ් කෝරළයේ ඇති රෝමානු කතෝලික දෙව්මැදුරකි. මෙය 1158 පිහිටුවන ලද අතර මෙය මධ්‍යතන යුගයේ (Medieval Period) ස්කොට්ලන්ත කතෝලික ධර්මයේ මූලස්ථානයක් විය. ශාන්ත ඇන්ඩෲ මුනිතුමාගේ සිරුරේ අස්ථි කොටස් මෙම දෙව්මැදුරේ නිදන්කොට ඇතිබව පුරාවෘත්තවල සඳහන්වේ. 16වැනි ශතවර්ශයේ සිදුවූ කොට්ලන්තයේ ආගමික ප්‍රතිශෝධනයෙන් (Scottish Reformation) පසුව ස්කොට්ලන්තය පාප් වහන්සේගේ පාලනයේ ඇති රෝමානු කතෝලික ශාසනයෙන් ඉවත්ව ප්‍රෙස්බිටේරියන් ක්‍රිස්තියානි සසුන පිහිටුවා ගැනීමෙන් පසුව ගරාවැටී නටබුන් විය.




කඳුකර ස්කොට්ලන්තයේ අයිලීන් ඩොනන් පෞරාණික මාලිගාව. 13 වැනි ශතවර්ශයේ පිහිටුවන ලද මෙය ස්කොට්ලන්තයේ ප්‍රභූ වංශ දෙකක් වන මැකෙන්සී වංශය හා ඔවුන්ගේ මිත්‍ර මැක්‍රේ වංශයේ බළකොටුවක් විය. මෙය පිහිටුවා ඇති කින්ලි නම් ප්‍රදේශය ස්කොට්ලන්තයේ ඉතාම සුන්දර ප්‍රදේශයකි.




සන්ඩර්ලන්ඩ්හි ඩන්රොබින් මාළිගය. සන්ඩර්ලන්ඩ් කෝරළයේ ප්‍රභූවරයා වන අර්ල් ඔෆ් සන්ඩර්ලන්ඩ් වාසය කරන මාළිගාව වන මෙය 1845දී ඉදිකිරීම් අවසන් කරන ලද මාළිගයකි. කෙසේ වෙතත් මෙම භූමියේම ප්‍රභූ පවුල්වල නිවාස හා මාලිගා 12වැනි ශතවර්ශයේ සිටම පැවතුනු අතර ඒවායේ නටඹුන් මත මෙම මාළිගාව නිමවා ඇත.




ස්කොට්ලන්තයේ පර්ත්ෂයර් දිස්ත්‍රික්කයේ ඩ්‍රමන්ඩ් මාළිගයේ මල් උයන.












ඩ්‍රමන්ඩ් මාළිගයේ ගුවන් ඡායාරූපයක්





ගැළොවේ වන උද්‍යානයේ (Galloway Forest Park) රාත්‍රී කාළයේ ඡායාරූපයක්. මෙම වන උද්‍යානය ආලෝක දුෂණය අවම, එනම් කෘත්‍රිම ආලෝකයෙන් තොර "ඩාක් ස්කයි" හෙවත් "අඳුරු රාත්‍රී" නම් අන්තර්ජාතික ව්‍යාපෘතියට අයත්වේ. මෙහි අරමුණ, කෘත්‍රිම ආලෝකයෙන් රාත්‍රිය ආලෝකමත් වීම නිසා අපට නොපෙනෙන රාත්‍රී අහසේ සුන්දරත්වය විඳීමට අවස්ථාව ජනතාවට ලබාදීමයි. මෙම වනෝද්‍යානය තුල ස්කොට්ලන්ත ආකාශවස්තු දුරේක්ශයක්ද පිහිටුවා ඇත.






සාන්ත කිල්ඩා දූපත, උතුරු ස්කොට්ලන්තය. මෙම දූපත ලෝක උරුම ප්‍රදේශයක් වන අතර ඉපැරණි මානව ජනාවාසවල නටඹුන් දකින්නට හැකිය.



__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments