HAPPY HOLIDAYS : නිවාඩුකාලේ නිදිමරාගෙන බලන්න හොඳ TV Series

මේ දවස්වල හැමෝටම වගේ අවුරුදු නිවාඩුනේ. සමහර අය නම් Travelling to Nuwara Eliya  වගේ ස්ටස් අප්ඩේට් දාගෙන අවුරුද්දට ගමේ හරි නැතිනම් විනෝද ගමන් හරි යනවා. එහෙම යන්නේ නැතිව අවුරුදු vacation එක ගෙදරට වෙලා stay@home_cation එකක් කරගෙන ඉන්න අයට කාලේ වැයකරන්න හොඳ ඔත්තුවක් දෙන්නයි යන්නේ....



1] Counterpart: Season 01 - Episodes 01 to 10

අහම්බෙන් වගේ දැනගත්ත කවුන්ටර්පාර්ට් හිතුවට වඩා ගොඩක් හොඳයි. මේකෙ ජොන්රේ එක අනුව ත්‍රිලර්/සයන්ස් ෆික්ෂන්/ඩිස්ටෝපියන් ෆියුචර් විධියට ගන්න පුලුවන්. ඇකැඩමි සම්මාන ලාභී ජොනතන් සිමන්ස් හොවර්ඩ් සිල්ක් ලෙස ද්විත්ව රංගනයක් (double acting) සිදුකරන මේ කථාමාලාව නූතන බර්ලින් නුවර හා ජර්මනියේ ස්ථාන පාදක කරගෙන නිර්මාණය වී තියෙනවා.

කථා සාරාංශය : 1987දී, එකල නැගෙනහිර ජර්මනියේ විද්‍යාඥයින් විසින් සිදුකරන ලද යම් පර්යේෂණයක් හේතුවෙන් පෘථිවිය හා හැම අතින්ම සමාන තවත් සමාන්තර ලෝකයක් බිහිවන අතර එම ලෝකය හා මේ ලෝකය සම්බන්ධවන මාවතක් බර්ලින් නුවර එම විද්‍යාගාරය තුල බිහිවෙයි.

වසර 30කට පෙර සිදුවූ ඒ සිදුවීමේදී මෙම දෙවන සමාන්තර ලෝකයේ සිටින සෑම මිනිසෙකු, ගැහැණියක හා දරුවෙකුගේම පිටපතක් මේ අලුත් ලෝකයේද තිබෙන අතර ලෝක දෙක බිහිවීමට පෙර සිදුවූ සියල්ල ඒ දෙදෙනාමට හොඳින් මතක තිබේ. එහෙත් තමන් ජීවත් වන ලෝකයට සමාන්තර තවත් ලෝකයක් තිබෙන බවත්, එම ලෝකයේ තමන් හා හැම අතින්ම සමාන තවත් පුද්ගලයෙක් සිටින බවත් ලෝක දෙකෙහිම සාමාන්‍ය ජනයා නොදන්නා අතර එම ලෝක දෙකෙහිම පාලකයින් ඒබව දැඩි රහසක් ලෙස ආරක්ෂා කරගෙන සිටී.

ඒවගේම තිස් වසරකට පෙර බිහිවූ ලෝක දෙක සෑම අතින්ම එක සමානවුවද ඉන් පසුව කෙමෙන් කෙමෙන් එම ලෝක දෙකතුල සිටින ජනයා වෙනස් තීන්දු තීරණ ගණිමින් වෙනස් මාවත් දෙකක ගමන් ගනිමින් සිටී.

උදාහරණයක් ලෙස ආරම්භක පෘථිවියේ (prime earth) හොවර්ඩ් සිල්ක් ඉතා පහල මට්ටමේ රජයේ රැකියාවකින් සිය වෘත්තීයමය ජීවිතය අරඹන අතර වසර 30කට පසුවත් කිසිදු උසස්වීමක් නොමැතිව එම රැකියාවේම නිරතවයි. එහෙත් සමාන්තර පෘථිවියේ (alpha earth) හොවර්ඩ් සිල්ක් ඉතා දක්ෂ ලෙස සිය රැකියාව කරමින් වසර 30ක ඇවෑමෙන් එම ලෝකයේ බර්ලින් නුවර සිට ක්‍රියාත්මක වන බලසම්පන්න බුද්ධි අංශයක ඉහල බුද්ධි මෙහෙයුම් ක්‍රියාකරුවෙකු බවට පත්වී සිටී.

Prime earth පෘථිවියේ රටවල් බොහොමයක් මිනිස් නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කලත් පෘථිවිය දැඩි ඒකාධිපතිවාදී පාලනයන් ඇත. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඇල්ෆා පෘථිවියතුල අතිශයින් භයානක සාර්ස් වැනි ස්වසන රෝග වෛරසයක් පැතිරී බිලියන ගණනක් ජනයා මියයාම හා ඉන් පසුව ඇතිවූ අරාජිකත්වය පාලනය කිරීමට ඒකාධිපති රජයන් බිහිවීමයි. එමෙන්ම ඇල්ෆා පෘථිවියේ සමහර නායකයින්, මෙම වෛරසය ප්‍රයිම් පෘථිවියේ නායකයින් විසින් තමන් විනාශකීරීම සඳහා හිතාමතා තම ලෝකයේ පැතිරවූ බව විශ්වාස කරමින් ප්‍රයිම් පෘථිවිය කෙරෙහි දැඩි අවිශ්වාසයෙන් හා වෛරයේ පසුවේ.

2] Homeland: Season 07 - Episodes 01 to 09

ගොඩක් ටී.වී සීරීස් පලමුවැනි දෙවැනි සීසන් එකෙන් පස්සේ එපා වෙනවා. එහෙම නොවන ඒවා තියෙන්නේ කලාතුරකින්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඒවගේ එකක්. හෝම්ලෑන්ඩ් තවත් එවැනි සුපිරි ටීවී සීරීස් එකක්. හත්වැනි සීසන් එකට ඇවිල්ලත් තවමත් කිසිම පැකිලීමක් නැතිව බලමින් රසවිඳින්න විතරක් නෙමෙයි, සැබෑ ලෝකයේ බුද්ධි අංශ ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව යමක් අලුතින් ඉගෙන ගන්නත් හෝම්ලෑන්ඩ් බලන්න පුලුවන්.

කථා සාරාංශය : ක්ලෙයාර් ඩේන්ස් හිටපු සී.අයි.ඒ ක්‍රියාකාරිණී කැරී මැතීසන් ලෙස රඟන මෙහි ප්‍රධාන චරිත අතර පැරණි සීසන් වල ප්‍රධාන චරිත වලට පණපෙවූ ඇමරිකානු ජනාධිපතිනී එලිසබෙත් කීන් (S 6-7), ඇයගේ ජාතික ආරක්ෂක උපදේශක සෝල් බැරින්සන් (S 1-7), ඉලෙක්ට්‍රොණික බුද්ධි තොරතුරු විශේෂඥ මැක්ස් (S 1-7) සිටී. මීට අමතරව ජනාධිපතිනී කීන්ගේ ධවල මන්දිර ප්‍රධානී ඩේවිඩ් වෙලිංටන් (S 6-7), එෆ්.බී.අයි ඒජන්ත ඩාන්ටේ ඇලන්, උග්‍ර දක්ෂිණාංශික මාධ්‍යවේදී බ්‍රෙට් ඕකීෆ් ප්‍රධාන චරිතවලට පණපොවනවා.

සී.අයි.ඒ ඒජන්සියන් ඉවත්කරන ලද කැරී මැතීසන් කලක් ජනාධිපති කීන්ගේ ධවල මන්දිර නිළධාරියෙකු ලෙස කටයුතු කලත් දැන් ඉන් ඉවත්වී සිටී. කැරීගේ සී.අයි.ඒ ප්‍රධානී සෝල් බැරින්සන් රාජ්‍ය විරෝධී කටයුතුවල නියැලුනේ යයි අත් අඩංගුවට පත්වුවද දැන් ජනාධිපති කීන්ගේ විශේෂ ඉල්ලීමක් මත ඇයගේ ජාතික ආරක්ෂක උපදේශක බවට පත්වී ඇත.

පසුගිය හෝම්ලෑන්ඩ් කතාමාලා සියල්ලම අරාබි ත්‍රස්තවාදීන් ඇමරිකාව තුල සිදුකරන රහස් ක්‍රියාදාම පාදක කරගෙන නිර්මාණය වී තිබුණද අලුත්ම හෝම්ලෑන්ඩ් හත්වැනි සීසනය ඇමරිකාවේ අලුත්ම සතුරා වන රුසියානු රජයේ රහස් බුද්ධි මෙහෙයුම් හා එම මෙහෙයුම් මගින් ඇමරිකානු ජනාධිපති එලිසබත් කීන්ගේ රජය බිඳ දැමීමට සිදුකරන කූට සැළසුම් වටා ගෙතී තිබේ.

පසුගිය සතියේ හෝම්ලෑන්ඩ් නවවන  එපිසෝඩය විකාශණය වූ අතර ඉතිරි එපිසෝඩ තුන පිලිවෙලින් අප්‍රේල් 15, 22 හා 29 දිනවල විකාශය වනු ඇත. 

2] The Crossing: Season 01 - Episodes 01 to 02

මේක අලුත්ම ටීවී සීරීස් එකක්. තවම පයිලට් එපිසෝඩ් එක හා දෙවන එපිසෝඩ් එක විතරයි විකාශය වෙලා තියෙන්නේ. 

කථා සාරාංශය : ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ මුහුදු වෙරළකට දිනක් රාත්‍රියේ සියගණනක් මුහුදේ ගිලෙමින් සිටින මිනිසුන් ගොඩගසනවා. බොහෝ දෙනෙක් මියගොස් සිටින අතර දිවිගලවා ගන්නේ 47 දෙනෙකු පමණයි. මොවුන් ගිලෙමින් තිබෙන නෞකාවකින් මුහුදට පැනගත් අය බවට නගරයේ ආරක්ෂක අංශ විශ්වාස කලත් දිවිගලවා ගත්තවුන් සියලු දෙනාම විශ්වාස කල නොහැකි අභූත කතාවක් පවසනවා.

ඔවුන් පවසන අන්දමට ඔවුන් මීට වසර 180ක් ඉදිරි අනාගතයේ සිට දිවිබේරා ගැනීම සඳහා යම් කාළ යන්ත්‍රයක් හරහා වර්තමානයට පැමිණියවුන්. මීට වසර 180ක් ඉදිරි අනාගතයේ, එනම් 2198 වකවානුවේදී මිනිස්වර්ගයා වේගයෙන් සමූළඝාතනය වෙමින් පවතිනවා. මෙය සිදුකරන්නේ ඒපෙක්ස් නම් ජාන ඉන්ජිනේරු පර්යේෂණයකින් බිහිවූ, මිනිසුන්ට සමාන, එහෙත් හැම අතින්ම මිනිසුන්ට වඩා සුපිරි බුද්ධියක්, සුපිරි මානව හැකියාවන් (ශක්තිය, වේගය හා සියුම් සංවේදන ) ඇති මේවා ආධාරයෙන් සුපිරි තාක්ෂණයක් ගොඩනගාගත් මානව වර්ගයක් විසින්. ඒපෙක්ස් මානවයා, සාමාන්‍ය මානවයින් දුර්වල, විනාශකොට දැමිය යුතු පිලිලයක් ලෙස සලකන අතර එකවර බිලියන ගණනක් මරාදැමීම සඳහා බිහිසුනු වෛරසයක් ලොවපුරා මුදාහරිනවා. 



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments