Meta සමාගම සිව්වැනි වරටත් සිය කෘත්‍රිම බුද්ධි (AI) අංශය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

 මෑත කාලීන වාර්තාවලට අනුව, මාස හයක් වැනි කෙටි කාලයක් තුළ Meta සමාගම සිව්වැනි වරටත් සිය කෘත්‍රිම බුද්ධි (AI) අංශය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කරන බව සඳහන් වේ. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් මඟින් සමාගමේ නව AI ඒකකය වන Superintelligence Labs කණ්ඩායම් හතරකට බෙදා වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම අඛණ්ඩ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා ප්‍රධාන හේතු කීපයක් බලපා ඇත. එනම්, AI ක්ෂේත්‍රයේ දැඩි තරඟකාරීත්වය, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඉවත්ව යෑම් සහ ඔවුන්ගේ නවතම Llama 4 AI මාදිලියට ලැබුණු ඇල්මැරුණු පිලිගැනීම යනාදිය හේතුවෙනවා.

Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් කියා සිටින්නේ, මෙම වෙනස්කම් සිදු කරනුයේ සමාගමේ කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය (artificial general intelligence - AGI) සංවර්ධනය වේගවත් කිරීම සඳහා බවයි.

එමෙන්ම, මේ මගින් නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ Google, Microsoft, සහ OpenAI වැනි ප්‍රතිවාදීන් හමුවේ සිය තරගකාරීත්වය පවත්වා ගැනීමද බලාපොරොත්තු වෙනවා. මේ නව ව්‍යාපෘතිවලට සහය දැක්වීම සඳහා, ලුසියානා හි දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්තියක් වෙනුවෙන් PIMCO සහ Blue Owl Capital සමඟ ඩොලර් බිලියන 29ක මූල්‍ය ගනුදෙනුවක් ඇතුළුව, Meta සමාගම AI යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු ආයෝජනයන් සිදුකරන්නට නියමිත බව වාර්තා වෙනවා.

 සමාගම සිය 2025 ප්‍රාග්ධන වියදම් අනාවැකිය ඩොලර් බිලියන 66-72 දක්වා ඉහළ නංවා ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉහළ පෙළේ AI පර්යේෂකයන් සඳහා වන ඉහළ වැටුප් හේතුවෙන් 2026 දී තවදුරටත් වියදම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comments