NEW ENERGY VEHICLES: Xiaomi විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේදී සාර්ථක වන්නටත්, Apple අසාර්ථක වන්නටත් හේතු මොනවාද?

 


ඇපල් සමාගම Project Titan ලෙස හැඳින්වූ සිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය සඳහා දශකයක් පුරා ඩොලර් බිලියන 10ක් වැය කළේය. නමුත් අවසානයේදී මුලුමනින්ම අසාර්ථකවූ එම ව්‍යාපෘතිය නවතා දැමීමට සමාගමට සිදුවූ අතර වැයකල ඩොලර් බිලියන දහයෙන් අත්පත් කරගත් වාසියක් පෙන්වීමට පවා සමත් නෑ. 

චීනයේ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ෂියෝමී සමාගමද ද විදුලි මෝටර් රථයක් නිපදවීමට තීරණය කල අතර එය සාර්ථකවුනා. පසුගිය වසරේදී විදුලි වාහන මිලියන 4ක් අලෙවි කළ BYD සමාගම හා සැසඳීමේදී, ෂියෝමී ඉතා කුඩා නිෂ්පාදකයෙකු වුවත් තාක්ෂණය අතින් ‍BYD හා සමව සිටිනවා.

ෂියෝමී විදුලි රථ ඇමරිකාවේ වඩාත් අවධානයට යොමුවූයේ ෆෝඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆාර්ලි විසින් Xiaomi SU7 සෙඩාන් රථයක් මාස 6ක පරීක්ෂා කිරීමක් සඳහා ෆෝඩ් මූලස්ථානය පිහිටි ඇමරිකාවේ ඩෙට්‍රොයිට් වෙත ගෙන ඒමත් සමගයි. පුවත් මවන්නට වූ එය ෂියෝමී සමාගමට ඇමරිකාව තුල ප්‍රසිද්ධියක් ලබාදෙන්නට සමත් වුනා.

 ජිම් ෆාර්ලී එම ෂියෝමී SU7 රථයට කොතරම් ඇලුම් කලාද යත් රථය නැවත චීනයට භාර දීමට කාලය පැමිණි විට, ෆාර්ලි තමන් මෙතක් භාවිතාකර ඇති හොඳම රථය ෂියෝමී SU7 බවත්, එය නැවත දීමට සිදුවීමට කණගාටුවට කරුණක් බවයි. ෂියෝමී විදුලි රථ නිෂ්පාදනයේ කොතරම් දුරක්, කොතරම් වේගයෙන් පැමිණ ඇති දැයි තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්.

එපමණක් නොව, මෑතකදී තවත් අලුත් ෂියෝමී SU7 Ultra මාදිලියේ දොර හතරේ සිඩෑන් රථයක්, ජර්මනියේ අධිවේගී මෝටර් රේසින් ධාවනපථයක් වන නූබර්ග්-රින්ග් ධාවන පථයේදී වේග වාර්තාවක් තැබුවා. ධාවන පථයේ සෘජු කොටස් වලදී පැයට සැතපුම් 200කට වැඩි වේගයකින් ධාවනය කිරීමට රථය පැදවූ බ්‍රිතාන්‍ය ජාතික මෝටර් රථ ධාවන ශූර ඩේවිඩ් පිටාර්ඩ් සමත්වුනා.


ෆාර්ලිගෙන් ලැබුණු ඉහළ පැසසුම් සහ ජර්මනියේදී පිහිටවූ ධාවන වාර්තා සමග සමඟ, Xiaomi සමාගම සැබවින්ම “ආකර්ෂණීය විදුලි මෝටර් රථයක්” නිපදවා ඇති බව අවිවාදිතයි.

ඇපල් අසාර්ථක වෙන්නටත්, ෂියෝමී සාර්ථක වන්නටත් හේතුව සොයා බැලූ නිව්යෝර්ක් ටයිම්ස්

මේ වසර මුලදී, The New York Times පුවත්පත  ලොව සාර්ථකම අධිතාක්ෂණික සමාගමක් වන ඇපල් අසාර්ථක වීමටත්, අඩුමිල ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් කරලියට පැමිණි ෂියෝමී ඇපල් පරදවා සාර්ථක වීමටත් හේතු සොයා බැලුවා.

චීනය සිය ග්‍රහණයට ගත් ගෝලීය සැපයුම්දාම

චීන විදුලි රථ ක්ෂේස්ත්‍රයේ පලමු ජයග්‍රහණය වන්නේ චීන සමාගම් පොලොවෙන් ගන්නා අමුද්‍රව්‍යවල සිට අවසන් නිමැවුම දක්වා සම්පූර්ණ සැපයුම් දාමයක් නිර්මාණය කරගැනීමට සමත්වීමයි.

ටයිම්ස් වාර්තාකරුවන් වන මීගන් ටොබින් සහ ක්ලෙයාර් ෆු පැමිණි පලමු නිගමනය වුනේ  විද්‍යුත් වාහන සඳහා වන සැපයුම් දාමය (supply chain) පූර්ණයෙන්ම සිය සමාගම් සතුකර ගැනීමට චීනය සමත්වී තිබීමයි. එම යටිතල පහසුකම් (infrastructure)  හා සැපයුම් දාමය හරහා Xiaomi සමාගමට අවශ්‍ය උපාංග ඉක්මනින් සහ අඩු වියදමකින් ලබා ගැනීමට හැකි වුනත්, ඇපල් සමාගමට එය සිදුකර ගැනීමට නොහැකිවුනේ දිගින් දිගටම චීන සැපයුම්කරුවන් මත යැපීමට සිදුවීම නිසයි.

චීන සමාගම් හා රජයේ සහනාධාර

චීන විදුලි වාහන නිෂ්පාදකයින්ට රජයේ සහයෝගය (subsidies) සඳහා ඩොලර් බිලියන ගණනක් ලැබී ඇති බවට බටහිර, විශේෂයෙන්ම ඇමරිකන් හා යුරෝපීය සමාගම් චෝදනා කරනවා. එම රාජ්‍ය අනුග්‍රහය, විදුලි මෝටර් රථවල බැටරිවල ඇති ඛනිජවල (rare earth minerals) සිටම සැපයුම් දාමයේ පාලනය ලබා ගැනීමට ඔවුන්ට උපකාරවී තිබෙන බවට විශාල චෝදනා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා කරන්නන් වැදගත් කරුණු නොසලකා හරිනවා. පළමුවෙන්ම, එක්සත් ජනපදය සිය ආරක්ෂක කර්මාන්ත සඳහා ප්‍රයෝජනවත් බොහෝ කර්මාන්ත සඳහා බිලියන් ගණනින් රාජ්‍ය ආධාර ලබා දී ඇති අතර, ඒවා පසුව වාණිජ යෙදුම් බවට පත්වී තිබෙනවා. අන්තර්ජාලය, ජීපීඑස් තාක්ෂණය, එක්සත් ජනපද රජය විසින් අනුග්‍රහය දක්වා ආරක්ෂක හමුදා සඳහා නිර්මාණය කොට  පසුව වාණිජ කරණයට පත්කල ඇමරිකන් නිර්මාණ සඳහා හොඳම උදාහරණයි. 

එපමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය රජයේ සහනාධාර හරහා ලිතියම්-අයන බැටරි තාක්ෂණය, සූර්ය පැනල තාක්ෂණය සහ පරිගණක මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණය නිපදවූ නමුත් එම තාක්ෂණයන් වාණිජකරණයට නිදහස් කිරීමෙන් පසුව රිසිසේ චීන, ජපන්, කොරියන් සමාගම් වලට ඒවායින් ප්‍රයෝජන ගැනීමටත් වැඩි දියුණු කිරීමට ඉඩලබාදී සිටියා. මෙලෙස වගකීම් විරහිතව සිය තාක්ෂණය තරඟකරුවන්ට ලබාදී පසුව පසුතැවිලි වෙමින් චෝදනා කිරීමෙන් පලක් නොවන බව නිව් යෝර්ක් ටයිම්ස් ලේඛකයින් පවසනවා.

අධ්‍යාපනයෙන් අසාර්ථක ඇමරිකාව

විදුලි වාහන,  දියුණු කෘත්‍රිම බුද්ධිය වැනි අධිතාක්ෂණික රැකියා කිරීමට අවශ්‍ය උගත් සහ අභිප්‍රේරිත දැනුමැති ශ්‍රමිකයන් එක්සත් ජනපදයේ අධ්‍යාපන පද්ධතියෙන් මහා පරිමාණයෙන් බිහිකරන්නේ නැති බව අවිවාදිතයි. එය සෑම් ඕල්ට්මන් වැනි අති දක්ෂයින් සුළුතරයක් බිහිකරන අතර බහුතරයක් 19වැනි සියවසට ගැලපෙන ලෙස බිහිකරනවා. 

එක්සත් ජනපදයේ තාක්ෂණික දියුණුවෙන් බහුතරයක් සඳහා H-1B වීසා බලපත්‍ර හෝ ග්‍රීන් කාඩ් පත් මගින් පැමිණෙන සංක්‍රමණිකයන් මත යැපෙන්නට සිදුව තිබෙනවා.  ඇමරිකානු පාසැල් වලින් බිහිවන සාමාන්‍ය ඇමරිකානුවා යනු 21 වන සියවසේ ලෝකයට නුසුදුසු අධ්‍යාපනික වශයෙන් සාමාන්‍ය මට්ටමේ, සුලු රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරගෙන ජීවත්වීමට කැමති, වැඩ කිරීමට වඩා විවේකකාලය ගැන සිතමින් ගතකරන කම්මැලි පුද්ගලයෙකු බව ඇමරිකන් චෝදනා වලට පිලිතුරු දෙන චීන විචාරකයින් පවසනවා.

ඇමරිකාවට වඩා දරදඬු ධනවාදී ක්‍රමයකට දුවන චීන ව්‍යාපාර

චීනය, ඇමරිකාවට වඩා බෙහෙවින් දැඩි ධනවාදී ක්‍රමයකට අනුව කටයුතු පැවසීම විවාදාත්මක වුනත්, එය සත්‍යයක්. චීනය අසාර්ථක  කරතබාගෙන නොදුවන අතර ඒවා බංකොලොත්වීමට ඉඩහරයි. 

එහිදී එහි ආයෝජකයින්ට, සේවක ප්‍රජාවට සිදුවන්නේ කුමක්දැයි චීන රජය නොසලකන අතර survival of the fittest හෙවත් සුදුස්සා ජයගැනීමේ මූලධර්ම අනුව හොඳම විභවය ඇති ව්‍යාපාරවලට පමණක් සාර්ථක වන්නටත්, රජයේ සහනාධාර හා රජයේ කොන්තරාත්තු ලබාදීමටත් ක්‍රියා කරනවා.ධනවාදී ප්‍රාග්ධනය බෙදාහැරීම මෙයට වඩා කාර්යක්ෂම විය නොහැකි අතර චීනයේ ක්‍රියාත්මක වන්නේ එවැනි ධනවාදයක් බව චීනයට බැණවදින අමරිකානුවන් මෙන්ම ඔවුන්ගේ යුරෝපීය සගයන්ද අමතක කරනවා.

ගැජට් මානසිකත්වයෙන් කාර් නිෂ්පාදනයට පිවිසි ෂියෝමි


ෂියෝමී, සිය ව්‍යාපාරික දිවිය ඇරඹූවේ වේගයෙන් වෙනස්වෙන, වසරින් වසර මාදිලි අලුත්විය යුතු consumer electronics හෙවත් පාරිභෝගික ගැජට් වෙළඳාමෙන්.

Xiaomi පාරිභෝගික නිෂ්පාදන සෑදීමේදී ලබා ගත් අත්දැකීම් නිසා චීනයේ බොහෝ සාම්ප්‍රදායික මෝටර් රථ නිෂ්පාදන සමාගම් අභිබවා යාමට එයට හැකි වී තිබෙනවා. AlixPartners උපදේශන සමාගමේ ආසියානු මෝටර් රථ අංශයේ ප්‍රධානියා වන ස්ටීවන් ඩයර් (Stephen W. Dyer) මහතා පැවසුවේ, මෙහි ප්‍රතිඵලයක් ලෙස Xiaomi සමාගමට නව මාදිලි ඉක්මනින් වෙළෙඳපොළට ගෙන ඒමටත්, නිරතුරුවම අලුත් කළ හැකි මෘදුකාංග සෑදීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් හැකි වී ඇති බවයි.

Xiaomi විවිධ පාරිභෝගික විද්‍යුත් උපකරණ නිෂ්පාදකයෙකු ලෙස ජනප්‍රිය වීම නිසා, චීන පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් ගැන ගැඹුරු දැනුමක් ඔවුන්ට ලැබුණා. SU7 රථ ලබා දුන් පළමු දිනයේම, ගැනුම්කරුවන්ට Xiaomi හි යෙදුම් ගබඩාවට ගොස් තම මෝටර් රථ customize කිරීමට අවශ්‍ය උපාංග ලබා ගැනීමට හැකියාව තිබුණා. 

ඒ අතර, ඔවුන්ගේ උපකරණ පුවරු සඳහා ඇනලොග් ඔරලෝසු හෝ ස්පර්ශ තිර පැනලයකට සම්බන්ධ කළ හැකි භෞතික ස්විච පේළියක් වැනි දේවල් අන්තර්ගත වුණා. "සන්නාමයේ ශක්තිය නිසා, Xiaomi ඔවුන්ගේ බොහෝ තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටිනවා,"  

Comments