SCIENCE FICTION: CHRONICLE OF A GALACTIC CIVIL WAR

කතෘ සටහන (Copyright Notice) - මෙම ප්‍රබන්ධය George Lucas නිර්මාණය කල Star Wars හෙවත් තාරකා යුද්ධ විද්‍යා ප්‍රබන්ධ වෘතාන්තයේ සිදුවීම් අලලා ප්‍රබන්ධ කර ඇති අතර මෙහි සඳහන් බොහෝ ස්ථාන නාම, චරිත හා සිදුවීම් Star Wars ප්‍රබන්ධ විශ්වයෙන් උපුටාගෙන ඇති අතර ඒ සියල්ලේම හිමිකම් George Lucas/Lucas Films හා Walt Disney සතුවේ. වාණිජමය නොවන විනෝදාස්වාදී කටයුත්තක් සඳහා යොදාගෙන තිබේ.

වාල්මිකීගේ රාම රාවණ යුද්ධය, මන්දාකිණිය පුරා ඇවිලුණු මහා අධිතාක්ෂණික සංග්‍රාමයක පෘථිවිය මත සිදුවූ කුඩා සටනක් පමණයි

ඈත අතීතයේ අපගේ ක්ෂීරපථ මන්දාකිණිය තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තේ වැජඹුනු යුගයක් තිබුණා. වාල්මිකීගේ රාමායනය, මහාභාරත වැනි පුරාණ වීරකාව්‍යවල මේ අතීත ශ්‍රී විභූතිය මෙන්ම එකල අති දියුණු මානවයින් අතර මන්දාකිණිය පුරා ඇවිලුනු යුධගිණි පිලිබඳව යම් යම් වියැකුණු මතක සටහන් තිබෙනවා.

වසර ලක්ෂයකට වැඩි ඒ අතිතයේ;

මානව මෙන්ම වෙනත් දියුණු ජීවී විශේෂ ජීවත්වුනු ජනාවාස මන්දාකිණියේ ග්‍රහලෝක දහස් ගණනක පැතිර තිබුණා. මානවයින් හා වෙනත් දියුණු ජීවීන් යෝධ අභ්‍යකාශ යානා නිර්මාණය කරගෙන එම තාරකා හා සෞරග්‍රහමණ්ඩල අතර ආලෝකයේ වේගයෙන් ගමන් කලා.  

වසර දහස් ගණනක් සාමාකාමීව සහජීවනයෙන් සිටි මෙම ග්‍රහලෝක අතර දරුණු බල අරගලයක් නිර්මාණය වූ අතර මෙය ඉතිහාසඥයින් ගැලැක්ටික් සිවිල් යුද්ධය ලෙස හඳුන්වනු  ලබනවා. 

අධිරාජ්‍යයට එරෙහිවූ සමූහාණ්ඩුව

මේ අරගලය මන්දාකිණියේ අධිරාජ්‍යක් ගොඩනගා ගන්නට උත්සහ කල ගැලැක්ටික් එම්පයර් හා පෙර පැවති සෞරග්‍රහමණ්ඩල එක්ව බිහිකරගෙන තිබූ මන්දාකිණි සමූහාණ්ඩුව රැකගැනීම කිරීම සඳහා බිහිකරගත් සටන්කාමීන්ගේ සංවිධාන එකමුතුවත් අතර සිදුවුනා.

සටන්කාමීන්ගේ සංවිධාන එකමුතුව පාලක ගැලැක්ටික් අධිරාජ්‍යයට එරෙහිව කැරැල්ලක් දියත් කළේ අධිරාජ්‍යයේ බලය දුර්වල කිරීම පමණක් නොව අධිරාජ්‍යයේ බුද්ධි අංශ හා මිලිටරි පාලනය ලවා අධිරාජ්‍යය ග්‍රහණයේ තිබූ සිය ගණනක් ජනාකීර්ණ ග්‍රහලෝකවල ජනයා තව තවත් පීඩාවට පත්කරන පීඩාකාරී නිතිරීති සක්‍රිය කරගැනීමේ කූට අරමුණක්ද සමගින්.

ප්‍රහාර එල්ල කරමින් මිලිටරි බලයට තර්ජනය කරනවිට, අධිරාජ්‍ය පාලකයින් අඥාණව සිය මර්දනය දරුණු කර, නිහඬ ප්‍රතිපත්තියක් ගෙන ගිය ග්‍රහලෝක විශාල ගණනක ජනකායන්ද අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගසන තැන ගෙන එන්නට හැකි බව, කැරලිකාර සන්ධානයේ ඉහලම බුද්ධි මණ්ඩලය තීරණය කර තිබුණත් එය එතරම් ජනප්‍රිය තීරණයක් වුනේ නෑ.

අධිරාජ්‍යයට විරුද්ධව සිදුවූ කැරළිකරුවන්ගේ කුමණ්ත්‍රණ හා ගරිල්ලා ප්‍රහාර වලින් වඩාත්ම සාර්ථක ප්‍රහාල එල්ල කල, ඇක්සිස් නෙට්වර්ක් නම් රහස් ඔත්තු ජාලයක් මෙහෙයවූ ලූදන් රේල් මේ ක්‍රියාපිලිවෙත "අරමුණ ඉටුකරගැනීමට ඇති උපක්‍රමයක්" ලෙසින් සාධාරණීකරණය කලා. 

එහෙත් ඔහු පවා තමන් මූලිකව සිදුකල අධිරාජ්‍ය විරෝධී ත්‍රස්ත ක්‍රියාවලින් ග්‍රහලෝක සිය ගණනක ජනයාට මරණය හා අපාදුක් අත්පත් කර දීම පිලිබඳව පස්චාත්තාපයෙන් සිටි බව ඔහුගේ සමීපතමයෙක් හා දක්ෂ ඔත්තු කරුවෙකු මෙන්ම සටන් නායකයෙකු වන කැසියන් ඇන්ඩෝර් හොඳින් දැන සිටියා. 

එපමණක් නොව ලූදන්ගේ දකුණු අත මෙන් ක්‍රියාකල ඇක්සිස් නෙට්වර්ක් උපනායිකා ක්ලෙයා මාර්කී ද තමන් ගන්නා ක්‍රියාමාර්ගවල බිහිසුණු ප්‍රතිපල අහිංසක ජනයාට ලැබෙන බව දැන සිටියත් කෲර අධිරාජ්‍යය බිඳ දැමීමට එම කැපවීම සිදුකල යුතු බවට දැඩිව විශ්වාස කලා. 

ක්ලෝනීයකරණයෙන් බිහිකල සෙබළුන් යුධ වැදුනු ක්ලෝන යුද්ධ

කැරැල්ලේ මූලාරම්භය ක්ලෝන යුද්ධය (Clone War) දක්වා දිව යන්නක්. ක්ලෝන යුද්ධ වලට ඒ නම ලැබෙන්නේ එහි සටන් සඳහා බහුලව යොදාගත් ක්ලෝනීයකරණ තාක්ෂණයෙන් බිහිකල ලක්ෂ ගණන් ක්ලෝන සෙබලුන් නිසා.

මේ කාලය මන්දාකිණි සමූහාණ්ඩුව තුල අවුල් වියවුල් බෙහෙවින් ඇතිවුනු යුගයක්. විවිධ සෞරග්‍රහමණ්ඩළ කණ්ඩායම් ගැසී වෙළඳාම් පාලනයට, වටිනා අමුද්‍රව්‍ය බිහිකරන ග්‍රහලෝක තමන් සතුකරගැනීමටත් කල්ලි ගැසෙමින් සමූහාණ්ඩුවේ නීති කඩමින් කටයුතුකලා. කිසිවෙන් නොදැන සිටියත්, මේ අවුල් වියවුල් පිටුපස එක් ගුප්ත චරිතයක් සිටියා. ඔහු නමින් ෂීව් පැල්පටීන්. ශීව් පැල්පටීන් නාබූ (Naboo) ලෙසින් හැඳින්වුනු, සාමකාමී සශ්‍රීක ග්‍රහලෝකයේ වැසියෙක් වූ අතර එහි රජපවුලේ විශ්වාසය බෙහෙවින් දිනාගත් ප්‍රභූ චරිතයක්.  එබැවින් නාබූ ග්‍රහලෝකයේ හා එයින් පාලනයවූ සෞග්‍රහමණ්ඩලයේ අයිතිවාසිකම් නියෝජනය කිරීමට  ෂීව් පැල්පටීන් තෝරා යැවීමට එහි රාජාණ්ඩුව ක්‍රියාකලා.

ෂීව් පැල්පටීන් සෙනේට් සභිකයෙකු ලෙස ක්‍රියා කරන අවධියේදී නාබූ ග්‍රහලෝකයේ රැජින වුනේ සුරූපී පද්මී අමිඩාලා. සුරූපිණියක් පමණක්ම නොව දක්ෂ එමෙන්ම එඩිතර තරුණ රැජිනක්වූ අමිඩාලා පසුකලක ඇනකින් සක්යිවෝකර් සමග විවාපත් වෙනවා. අමිඩාලාගේ සිත දිනාගෙන, නබූ ග්‍රහලෝකයේ අභිවෘධිය වෙනුවෙන් වෙහෙසවෙන බව පෙන්වූ ෂීව් පැල්පටීන් සැබවින්ම සිත් නම් රණශූර වංශයේ අඳුරු වංශාධිපති ලෙසින් විරුදාවලිය ලත් ඩාර්ත් සිඩියස් බව කිසිවෙකු දැන සිටියේ නෑ. 

ඩාර්ක් සයිඩ් හෙවත් අඳුරු පැත්ත ලෙසින් ජෙඩායිවරුන් හඳුන්වන විශ්ව ශක්තියේ නපුරු විකෘතිය හොඳින් ප්‍රගුණකොට තිබූ ඩාර්ත් සිඩියස් එම ගුප්ත ශක්තිය මෙන්ම සටකපට උපායන් හරහා සමූහාණ්ඩුවේ විවිධ පාර්ශව අතර රහසින් ගැටුම් ඇතිකලා. ඒ සඳහා සිය රහස් අනුගාමිකයින් හා ඔත්තු කරුවන් යොදාගත්තා. ඩාර්ත් සිඩියස්සි දුකල කුමණ්ත්‍රණයක් නිසා මන්දාකිණි ජනරජයේ කොටසක් කැඩී වෙන්වීමෙන් පසුව ක්ලෝන යුද්ධ ඇරඹුනා. 


ක්ලෝන යුද්ධ ඇරඹෙන විට මන්දාකිණි සමූහාණ්ඩුවේ සාමය ආරක්ෂා කිරීමේ හා ගැටලු නිරාකරනය කිරීමේ වගකීම විශ්ව-ශක්තියෙන් (the force) ප්‍රයෝජන ගත හැකි අපූර්ව බලයන්ගෙන් සපිරි ඉපැරණි සටන්කාමී නිකායක් වන ජෙඩායි නිකායේ ජෙඩායි නයිට්වරු හා ඔවුන්ගේ නායකයින් ලෙස සැලකෙන ජෙඩායි මාස්ටර් වරුන් සතුව තිබුනා.

ක්ලෝන් යුද්ධය අතරතුර, සමූහාණ්ඩුවට විරුද්ධව වෙනම පරිපාලනයක් පිහිටුවා ගත් විරුද්ධවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමූහාණ්ඩුව සහ ජෙඩායි නිකාය විසින් මන්දාකිණි සමූහාණ්ඩුවේ සහයට ක්‍රියාත්මක වූ කැරලිකාර කණ්ඩායම් වලට  ආයුධ, උපකරණ, ආරක්ෂාව හා බුද්ධි තොරතුරු සැපයූවා.

ක්ලෝන යුද්ධය අතරතුර මන්දාකිණියේ විවිධ පැති අස්ථාවර කරන්නට කුමණ්ත්‍රණද සිදුකල පැල්පටීන්, මන්දාකිණිය පුරා සිදුවන ගැටුම් සමතයකට පත්කරන්න දැඩි මිලිටරි බලයක් යෙදවිය යුතුබවත් ඒ සඳහා තමන්ට බලතල ලබා දෙන ලෙසත් සෙනෙට් සභාවට යෝජනා ගෙන එමින්, තමන්ට හිතවත් සෙන්ට් සභිකයින් ලවා ඒවා සම්මත කරගනිමින් සිය බලය කෙමෙන් වැඩිකරගෙන සමූහාණ්ඩුවේ අග්‍ර-නායක තනතුර වෙන සුප්‍රීම් චාන්සලර් පදවිය දක්වා සිය බලය වැඩිකරගත්තා.

චාන්සලර් පැල්පටීන් ඒකාධිපති ඩාර්ත් සිඩියස් අධිරාජ්‍යයා වෙයි

කුමණ්ත්‍රණ හරහා අධිරාජ්‍යය තව තවත් අස්ථාවර කරමින්, එම අස්ථාවරත්වය මැඩීමට සිය අධිකාරී බලය හා මිලිටරි බලය යොදවමින් මහා වියවුලක් ඇතිකල සුප්‍රීම් චාන්සලර් පැල්පටීන් අවසානයේ සෙනේට් සභාව රවටමින් තමන් වෙත ලබාගත් අතිවිශාල බලයම උපයෝගීකරගෙන සමූහාණ්ඩුව විසුරුවා හැර මන්දාකිණි අධිරාජ්‍යයක් ප්‍රකාශයට පත්කලේ යුධ ගිණිදැල් නිවා සාමය උදාකරන බවට සමූහාණ්ඩුවේ දහස් ගණන් ග්‍රහලෝකවලට පොරොන්දුවක් ලබා දෙමින්.

අධිරාජ්‍යයා ලෙස බලය තහවුරුකර ගත් වහාම ඩාර්ත් සිඩියස් සිය ප්‍රථම රාජකාරිය ලෙස, Order 66 හෙවත් හැටහය වන ආඥාව ප්‍රකාශයට පත්කරමින් තම බලයට අභියෝග කල හැකි ජෙඩායිවරුන් සමූළඝාතනයට මුලපිරුවා.

සමූහාණ්ඩුවේ නිළ හමුදාව වන ක්ලෝන හමුදාවලට හැටහයවන ආඥාවට විරුද්ධවීමට නොහැකිවූ අතර ඔවුන් මන්දාකිණිය පුරා ග්‍රහලෝකවල තිබූ  ජෙඩායි නිකායේ මර්මස්ථාන විනාශකර, ජෙඩායි නයිට්වරුන් දස දහස් ගණනක් සමූළඝාතනය කලා.

ජෙඩායි සංහාරයෙන් මුවහත්වන අධිරාජ්‍ය විරෝධය

ජෙඩායි සමූළඝාතන මෙන්ම පැල්පටීන්ගේ අණ අනුව සිදුවෙන්මින් පවතින ඒකාධිපති ක්‍රියා නිසා ග්‍රහලෝක ගණනාවක පැතිර සිටි මෙම කැරලිකාර ඒකක එකතු වී ජනරජය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සන්ධානයක් බිහිකර ගත්තා.

මධ්‍යගත පාලනයක් හෝ ඒකාබද්ධ සැලැස්මක් නොතිබුණු කැරළිකාර සන්ධානයට තමන්ට හැකි ආකාරයට විවිධ ග්‍රහලෝකවල අධිරාජ්‍ය පාලන තන්ත්‍රවලට විරුද්ධව හැකි සෑම දෙයම කලා.  විරෝධතා, උද්ගෝෂණ මෙන්ම හැකි අවස්ථාවලදී අධිරාජ්‍යයේ යුධ කඳවුරුවලට පහරදෙමින් අස්ථාවර කලා.

එහෙත්, අසංවිධානාත්මක එම කැරලි මගින්, දැඩි විනයකින් ක්‍රියාත්මක වෙන, අධිරාජ්‍යයගේ මිලිටරි බලයට මෙන්ම අධිරාජ්‍යයේ දක්ෂ ඔත්තුසේවයට අභියෝග කල නොහැකි බව දන්නා ලූදන් රේල්, කැරළිකරුවන් එකතුකොට එක පෙරමුණකට ගැනීමට සිය ඇක්සිස් නෙට්වර්ක් ඔත්තුජාලය මෙහෙයවූවා.

පැල්පටීන්ගේ සුවචකීකරු සෙනේට් සභිකයින්, ඔහුට විරුද්ධව සෙනෙට් සභාව තුල ක්‍රියාත්මක වන සෙනෙට් සභිකයින් පිලිබඳව නිතරම ඔත්තු ලබාදුන් අතර, පැල්පටීන්ගේ ඔත්තුසේවය එවැනි සෙනේට් සභිකයින් පිලිබඳව සෙවිල්ලෙන් සිටියා පමණක් නොව ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කිරීමට විවිධ කුමණ්ත්‍රණ හා බොරු චෝදනා ගොනුකොට අත් අඩංගුවට ගැනීම් වැනි දෑ සිදුකලා.

මොන් මොත්මා මෙහෙයුම

ජනප්‍රිය අධිරාජ්‍ය විරෝධී සෙනේට් සභික මොන් මොත්මා, ඒ වනවිටත් පැල්පටීන්ගේ ඔත්තු යාන්ත්‍රණයේ ප්‍රධාන ඉලක්කයක් වූ අතර ඇයගේ නිවස, ගමන්කල අභ්‍යවකාශ යානය පමණක් නොව ඇය යන එන තැන් පවා නිරීක්ෂණය කරමින් සිටියේ පැල්පටීන්ට සෙනේට් සභාව තුල අභියෝගයක් වන ලෙස සෙනේට් සභිකයින් නම්මා ගැනීමට මොන් මොත්මා තුල තිබූ චතුර හැකියාව ගැන හොඳ අවබෝධයකින් සිටි නිසයි.

කෙසේ වෙතත්, මොන් මොත්මා ලූදන් රේල්ගේද ඉල්ලක්කයක් වූ අතර, අධිරාජ්‍ය විරෝධී සියලු පාර්ශව එක මේසයකට ගෙනැවිත් එක සැලසුමකට අනුව සටන් කරවීමට නම්, එහි නායකත්වයට මොන් මොත්මා පත්විය යුතුබවට ඔහු දැඩි ලෙස විශ්වාස කලා.

ගැලැක්ටික් සිවිල් යුද්ධය ඇරඹෙන්නේ ලූදන් රේල් ගේ සූක්ෂම සැලසුම් වලට අනුව, දක්ෂ සටන්කාමියෙකු වන කැසියන් ඇන්ඩෝර්, මොන් මොත්මා අධිරාජ්‍යයාගේ ආරක්ෂක සේවා ග්‍රහණයෙන් මුදවාගෙන පැමිණීමත් සමගයි. 

ඇය, අධිරාජ්‍යයට විරුද්ධව දිවිහිමියෙන් සටන් කිරීම අරමුණ කරගත් රෙබෙල් එලායන්ස් හෙවත් කැරලිකරුවන්ගේ සන්ධානය නිළවශයෙන් ප්‍රකාශයට පත්කොට එහි නායකත්වය භාරගැනීමත් සමග සිවිල් යුද්ධයේ නිළ ඇරඹුම සනිටුහන් වෙනවා.

පැල්පටීන් අධිරාජ්‍යයා හෙවත් ඩාර්ත් සිඩියස්ගේ ඩෙත් ස්ටාර් සුපිරි අවිය

ඩෙත් ස්ටාර් (Death Star) යනු ගැලැක්ටික් අධිරාජ්‍යය විසින් නිර්මාණය කරන ලද, මන්දාකිණියේ දියුණු ජීවී විශේෂ නිර්මාණය කර තිබූ බිහිසුණු සමූලඝාතන අවි වලින් වඩාත්ම විනාශ කාරී අවිය ලෙස හඳුන්වන්න පුලුවන්.

එය හැඩයෙන් ගෝලාකාර වන අතර අවශ්‍ය තැනට ස්ථානගත කිරීම සඳහා ප්‍රචාලන පද්ධතියකින්ද සමත්වුනා. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ එක් බලවත් ලේසර් පහරකින් මුළු ග්‍රහලෝකයක්ම විනාශ කිරීමට හැකිවීමයි. ඩෙත් ස්ටාර්හි ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර් 120-160 අතර වන අතර, එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බහුවිධ ආරක්ෂක උපකරණවලින් සන්නද්ධ වුනා.

ඩෙත් ස්ටාර් පෘෂ්ඨයේ, එයට පහරදීමට පැමිණෙන ප්‍රහාරක යානා විනාශ කිරීමට බලවත් ටර්බෝලේසර් තුවක්කු දහස් ගණනක් සවිකර තිබුණා. මෙම තුවක්කු අවියට තර්ජනයක් විය හැකි යුධ යානා, බෝම්බ හෙලන යානා, සහ අනෙකුත් අභ්‍යවකාශ යානා පහරදී විනාශ කරන්නට යොදාගත්තා. මීට අමතරව ඩෙත් ස්ටාර් අවිය තුල ටයි ෆයිටර් නම් කුඩා ප්‍රහාරක යානා බළගණයක්ද අඩංගුකර තිබුනා. එම ප්‍රහාරක යානා මගින් ඩෙත් ස්ටාර් අවියට ප්‍රහාරයක් එල්ල කිරීමට ආසන්නවන සතුරු යානා ඈතදීම හඳුනාගෙන ඒවාට පහරදෙන්නට හැකියාව ලැබුනා.

ඩෙත් ස්ටාර් විනාශ කල මෙහෙයුම

සටන් සන්ධානය හෙවත් මන්දාකිණි සමූහාණ්ඩුව යලි ස්ථාපනය කිරීමේ සන්ධානය අධිරාජ්‍යයට එරෙහිව සිය පළමු ප්‍රධාන ජයග්‍රහණය ඊට වසරකට පමණ උදාකරගත්තේ අධිරාජ්‍යයාගේ අණින් නිර්මාණය වුනු ඩෙත් ස්ටාර් නම් අති-විනාශකාරී ප්‍රහාරක අවිය අභ්‍යවකාශයේදී පුපුරුවා හැරීමෙන්.

කිසි ලෙසකත් විනාශකල නොහැකි ලෙස අධිරාජ්‍යයාගේ පුද්ගලික පුද්ගලිකවම සොයා බැලූ ව්‍යාපෘතියක් ලෙස එය සියලුම ග්‍රහලෝක සිය ආධිපත්‍යයට  නතුකර ගැනීමට යොදාගැනීමට ඩාර්ත් සිඩියස් අධිරාජ්‍යයා කල්බලමින් සිටියා.

කෙසේ වෙතත්, ඩෙත් ස්ටාර් අවියේ ප්‍රධාන නිර්මාණ ඉන්ජිනේරුවරයා වූ ගේලන් අර්සෝ, එම අවිය විනාශ කල හැකි දුර්වලතාවයක් පිලිබඳව කැරලිකරුවන්ගේ ඔත්තුසේවයට, එනම් ලූදන් රේල්ගේ ඔත්තු ජාලයට තොරතුරු යවනවා. එම තොරතුරු මත ක්‍රියාත්මක වෙන ලූදන්, සිය දක්ෂම මෙහෙයුම්කරුවා වන කැසියන් ඇන්ඩෝර් ඇතුලු කණ්ඩායමක්, අධිරාජ්‍යයේ බලකොට ග්‍රහලෝකයක් වන ස්කරිෆ් හි දත්ත ගබඩාවකින් සොරා ගන්නවා.

මේ කණ්ඩායමට, ගේලන් අර්සෝ ගේ දියණිය, ජින් අර්සෝ ද සම්බන්ධ වනවා. සිය පියා ඇඩිරාජ්‍යයට සේවය කිරීම ගැන බද්ධ වෛරයෙන් සිටියත්, ඩෙත් ස්ටාර් විනාශ කල හැකි තොරතුරු ලබා දුන්නේ සිය පියා බව තහවුරුකර ගත් ජින්, ඔහුගේ අරමුණ ඉටුකිරීමට සිය කැමැත්තෙන් කැසියන් හා මෙහෙයුමට එක්වනවා.

සොරාගත් සැලසුම් සම්ප්‍රේෂණය කරන්නට සමත්වුනත් කැසියන් ඇන්ඩෝර්, ජින් අර්සෝ ඇතුලු පිරිස, අධිරාජ්‍ය සෙබලුන් අතින් ඝාතනය වනවා. ඔවුන් සම්ප්‍රේෂණය කල ඩෙත් ස්ටාර් සැලසුම්, ලේයා ඔර්ගානා කුමරියට ලැබෙන අතර ඇය හරහා මොන් මොත්මාගේ නායකත්වයෙන් සටන් වදින කැරලි සන්ධානයට ලැබෙනවා.

මේ තොරතුරු මත කැරලිකරුවන් යැවින් සටන ආරම්භ කරනවා. බැටල් ඔෆ් යැවින් හෙවත් යැවින් සටනේදී ලේයා කුමරියගේ නිවුන් සොයුරු ලූක් සක්යිවෝකර් එක්ස් වින්ග් යානයක් රැගෙන ඩෙත් ස්ටාර් වෙත පියාසර කරමින්, නිවැරදි ඉලක්කයට බෝම්බයක් හෙලා ඩෙත් ස්ටාර් අවිය පුපුරවා හරිනවා.



https://starwars.fandom.com/wiki/Galactic_Civil_War 

Comments