NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY : Ukranian sniper and the 3.8km shot | කිලෝමීටර් 3.8ක් ඈත සිටි රුසියානු නිළධාරියෙකුට වෙඩි තැබූ යුක්‍රේන වෙඩික්කරුවා


2023 වසරේ නොවැම්බර් මාසයේදී යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවෙකු වන වියාචෙස්ලාව් කොවල්ස්කි, කර්සන් ප්‍රදේශයේ සිට මීටර් 3,800 ක් (කිලෝමීටර් 3.8 ක්) දුරින් සිටි රුසියානු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා එවකට පැවති ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

ඒ වන විට 58 වන වියේ පසුවූ ඔහු, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේන ආරක්ෂක සේවයට (SBU) එක් වූ හිටපු ව්‍යාපාරිකයෙකු මෙන්ම සම්මානලාභී දිගු දුර වෙඩි තැබීමේ ශූරයෙකු ද වෙනවා.

මෙම සුවිශේෂී ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහු භාවිතා කර ඇත්තේ 12.7×114 මිලිමීටර් HL වර්ගයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි, යුක්රේනයේ නිෂ්පාදිත 'හොරයිසන්ස් ලෝඩ්' (Horizon’s Lord) නමැති ස්නයිපර් රයිෆලයයි.

Ukraine's Horizon Lord Sniper Rifle 

යුක්රේනයේ නිෂ්පාදිත 'හොරයිසන්ස් ලෝඩ්' (Horizon’s Lord) ස්නයිපර් රයිෆලය යනු අතිශය දිගු දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රති-ද්‍රව්‍යමය (Anti-materiel) ගිනි අවියකි. 

මෙහි ඇති සුවිශේෂී තාක්ෂණික ලක්ෂණය වන්නේ එය සඳහා භාවිතා කරන 12.7×114 මිලිමීටර් HL වර්ගයේ විශේෂිත උණ්ඩයයි. සාම්ප්‍රදායික සෝවියට් 14.5×114 මිලිමීටර් උණ්ඩ කොපුවකට 12.7 මිලිමීටර් (.50 කැලිබර්) උණ්ඩ හිසක් බද්ධ කිරීමෙන් මෙම අධි-ප්‍රවේග උණ්ඩය නිපදවා තිබෙනවා.

එමගින් උණ්ඩයට ඉහළ චාලක ශක්තියක් සහ අතිශය වායුගතික ස්ථායීතාවයක් ලැබෙන අතර, කිලෝමීටර් 3 ඉක්මවූ දුරකදී පවා සුපර්සොනික් (ශබ්දයේ වේගය ඉක්මවූ) වේගයක් පවත්වා ගැනීමට එයට හැකියාව තිබෙනවා.

Ballistics

අතිශය දිගු දුර වෙඩි තැබීමේ තාක්ෂණික විද්‍යාව (Ballistics) හුදෙක් ඉලක්කය දෙසට අවිය එල්ල කිරීමකට වඩා බොහෝ සෙයින් සංකීර්ණ වූ භෞතික විද්‍යාත්මක ගණනය කිරීම් මත පදනම් වෙනවා.

මීටර් 3,800 ක් වැනි දුරකට උණ්ඩයක් ගමන් කිරීමේදී තත්පර 9 ක පමණ කාලයක් ගත වන බැවින්, ගුරුත්වාකර්ෂණය හේතුවෙන් උණ්ඩය පහත වැටීම (Bullet Drop) මෙන්ම සුළඟේ වේගය හා දිශාව පිළිබඳව ඉතා සූක්ෂ්ම ලෙස ගණනය කළ යුතුවෙනවා.

තවද, වායුගෝලීය උෂ්ණත්වය, වායු පීඩනය, ආර්ද්‍රතාවය සහ පෘථිවියේ භ්‍රමණය නිසා උණ්ඩයේ ගමන් මාර්ගය අපගමනය වන 'කොරියෝලිස් ආචරණය' (Coriolis Effect) පවා මෙම ගණනය කිරීම්වලට ඇතුළත් කර ගනිමින් වෙඩික්කරු (sniper) සහ නිරීක්ෂකයා (spotter) විසින් සිය ඉලක්කය නිවැරදිව සකසා ගත යුතුයි.

The bullet that flew 9 seconds for the kill 

මෙම මෙහෙයුම සඳහා කොවල්ස්කි සහ ඔහුගේ සහායක නිරීක්ෂකයා රුසියානු හමුදා කඳවුරකට එපිටින් පිහිටි ගංගාව අසල ස්ථානගත වී ඇති අතර, නිරීක්ෂකයා විසින් දුර ප්‍රමාණය, සුළඟේ වේගය සහ වෙඩි තැබීමට බලපාන අනෙකුත් විචල්‍යයන් නිවැරදිව ගණනය කර තිබේ. 

දැඩි ශීතල කාලගුණය මධ්‍යයේ පැය කිහිපයක් නිසොල්මන්ව රැඳී සිටි කොවල්ස්කි, රුසියානු භට පිරිස් අතර අණ දෙමින් සිටි නිලධාරියෙකු නිරීක්ෂණය කිරීමෙන් පසු ක්‍රියාත්මක වුනා.

සුළඟේ වේගය පිළිබඳ ඇස්තමේන්තුවේ සිදු වූ සුළු දෝෂයක් නිසා ඉලක්කයට මීටර් 300 ක් පමණ ආසන්නයෙන් පතිත වූ පළමු පරීක්ෂණ වෙඩි පහරින් පසුව, ඔහු එල්ල කළ දෙවන වෙඩි පහර නිවැරදිව එම නිලධාරියා වෙත එල්ල වූ අතර, උණ්ඩයට ඉලක්කය කරා ළඟා වීමට තත්පර නවයක පමණ කාලයක් ගත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous Candian record

මෙම වෙඩි පහර මගින් 2017 වසරේදී ඉරාකයේදී කැනේඩියානු ඒකාබද්ධ කාර්ය සාධක බලකා 2 (Joint Task Force 2) ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් මීටර් 3,540 ක දුරකින් තබා තිබූ පෙර ලෝක වාර්තාව මීටර් 260 කින් අභිබවා යාමට කොවල්ස්කිට හැකි වුනා.

කෙසේ වෙතත්, 2025 වසරේ අගෝස්තු 14 වන දින 'ප්‍රිවිඩ්' (Pryvyd) ඒකකයේ නම සඳහන් නොකළ යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් මීටර් 4,000 ක (කිලෝමීටර් 4 ක) දුරක සිට එක් උණ්ඩයකින් රුසියානු සෙබළුන් දෙදෙනෙකු ඝාතනය කිරීමත් සමඟ කොවල්ස්කිගේ මෙම වාර්තාව බිඳවැටුනු බව යුක්‍රේන ආරංචිමාර්ග පවසනවා.

Comments