මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවුං එකක් දෙන බව දන්වමුව! - මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර

දැන් අපට නුහුරු භාෂාවෙන් ලියැවුනු ලංකාවේ පරණ පත්තර කළාව 

දිනමිණ පළමු නිකුතුවේ මුල් පිටුව - 1909

අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට නිදහස ලැබෙන්නත් ප්‍රථමවයි. 1860 සැප්තැම්බර 10 වෙනිදා නිකුත් කළ ලංකාලෝකය පුවත්පතේ පැරණිම පිටපත ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සතුව පවතිනවා.



1911 සැප්තැම්බර් මාසයේ ලංකාවට පලමුවෙන්ම ගුවන්යානයක් ගෙන ඒමේ වාර්තාව සිංහල පුවත්පතක පලවූ ආකාරය


ජාතික ලේඛනාගාරයේ එහි ජායා පිටපත් තබා තිබෙනවා, හැබැයි ජාතික ලේඛනාගාරයේ සටහන් වලට අනුව මේ පුවත් පත පළමු සිංහල පුවත්පත වුවත් එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ පුවත්පතක්. මේක ආරම්භ වෙලා තියෙන්නේ සති දෙකෙන් දෙකට මුද්‍රණය වන පුවත්පතක් විදිහට වුනත් වර්ෂයක් පමණ යනවිට මුද්‍රණය වීම ඇනහිටලා තිබෙනවා. ඒ වුනත් නැවතත් සති පතා පුවත් පතක් විදිහට 1886දී ආරම්භ වෙනවා. එකල දිනපතා පුවත්පත් මුද්‍රණය වීමක් කොහොමත් දකින්නට ලැබුනේ නෑ. ඉතින් අපි මුලින්ම තෝරා ගත්තේ ලංකා ලෝකය පුවත්පතේ වෙළද දැන්වීම් කිහිපයක්. සමස්ත පුවත්පතින් හතරෙන් එකක කොටසක් වෙළද දැන්වීම් සඳහා වෙන් වී තිබිලා තියනවා.


“මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම මාතරට යන මහා පාරේ හබරාදූව, ගොයියාපාන, මිරිස්ස යන තැන්වල තිබෙන ස්තාලවලදී අස්වයන් බලන අයවල්වත් ඔවුන් ලවා වෙන කෙනෙක්වත් හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවුං එකක් දෙන බව දන්වමුව. –

මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර ”


1860 සැප්තැම්බර 10 වනදා පුවත්පතේ දැන්වීමක් උපුටා දක්වා ඇති අතර එහි කිසිදු අක්ෂරයක් වෙනස් කිරීමක් කරලා නෑ. බලාගෙන යනකොට ඒ කාලේ ලේඛකයන් අක්ෂර වින්‍යාසය ගැන සැලකිල්ලක් දක්වලාම නෑ වගේ.


“පසුගියදා ගෙන්වන ලද අප මහ රාජිනින් වහන්සේගේ ජුබිලි පින්තූර කොල තව ස්වල්පයක් ඉතුරුව තිබේ.පළමුවෙන් වික්ක මිල ගනනෙන් දෙකෙන් පංගුවට එනම් ශතා 50 ට දෙනු ලැබේ ”




ලියාපදිංචි කල පළවෙනි සිංහල පත්තරේ “ලක්මිණි පහණ”


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ පළමු ලියාපදිංචි සිංහල පුවත් පත වන්නේ ලක්මිණි පහණ පුවත්පතයි. 1862 සැප්තැම්බර 11 දින එළිය දුටු මේ පුවත්පත පස් වරක් පමණ මුද්‍රණය ඇනහිට තිබුනත් අවුරුදු 70ක් කාලයක් පුරා පැවති බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සටහන්ව තියනවා. 

ආරම්භයේ පටන් කර්තෘ වාක්‍යයට උඩින් යෙදෙන ලද කවියක් දකින්නට පුළුවන්. මේ කවිය පත්‍රය 1934 කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් එළි දක්වනතුරුම වෙනස් නොවී පැවතිණි.


දිනමිණ

1915 පෙබරවාරි 15 දින පළ වූ දිනමිණ පුවත්පතේ අයිතිකාරත්වය දැරුවේ D R විජයවර්ධන මහතායි. මෙම පුවත්පතෙත් වැඩි ඉඩ ප්‍රමාණයක් වෙළද දැන්වීම් සඳහා වෙන් කර තිබෙනවා. මෙහි භාෂාව හා යෙදුම් එකළ ග්‍රාම්‍ය යෙදුම් වලට බොහෝ සෙයින් සමානයි.

දිනකර ප්‍රකාශය

1885 වසරේදී ආරම්භ කළ දිනකර ප්‍රකාශය පුවත්පත 1900 න් පසුව සතියකට හතර වරක් නිකුත් විය. මෙම පත්‍රයේත් සමකාලින පුවත් පත් මෙන්ම භාෂාවේ දුර්වලතාවයන් දකින්නට පුළුවන්. දැන්වීම් පළ කරන්නන් අතර දිනකර පුවත්පත ඉක්මනින්ම ජනප්‍රිය වුයේ එහි දැන්වීම් පළ කිරීමේදී ඉතාමත් අඩු මුදලක් අය කිරීම හේතුවෙනි. සම්පුර්ණ තීරුවක් සඳහා 1903 දීත් අය කර තිබෙන්නේ රුපියල් පහක් පමණයි. අනෙක් පුවත් පත් මේ සඳහා රුපියල් දහයක් අය කරන ලදී.

සිළුමිණ පුවත්පත


ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත ප්‍රකාශිත දිනය වූයේ 1930 මාර්තු 30 වන ඉරිදා දිනයයි. පත්තරේ මිල ශත 10ක් පමණි.

"බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." යන සිරස්තලයෙන් තමයි පුවත්පත පිටවෙලා තියෙන්නේ.

"නේපාල ආණ්ඩුව විසින් තිබැට් රට අල්වා ගැනීම සඳහා යුධ හමුදාවක් පිටත් කර හරින ලදැයි බීතියෙන් තිබැට් රටේ ප්‍රභූවරයා වන දලයි ලාමා "රට ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාදව බලසම්පන්න යුධ සමුදාවක් එවනු මැනවැ" යි චීනයේ ජාතික ආණ්ඩුව වෙත ආයාචනයක් යවා තිබේ.

නේපාල තිබැට් යන දෙරටම බෞධ රාජ්‍ය දෙකකි-මේ දෙරටම සම්බන්ධයෙන් ලැබී තිබෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධ වැඩි විස්තර අනිත් ලෝකයා අතර තවම ව්‍යාප්ත නැත. නමුත් නේපාල යුධ සමුදාවේ ගමන දන්වා දලයිලාමා වෙත ඉන්දියාවෙන් විදුලි පණිවුඩ කීපයක්ම ලැබී තිබෙන බැව් කියා තිබේ."

ලංකාවේ පරණ පත්තර දැන්වීම්

ලංකාවේ පැරණි දැන්වීම් කලාව හරිම සුන්දරයි. බොහොම ග්‍රාම්‍ය භාශාවෙන් ලියා ඇති මෙම දැන්වීම් කියවන එක හරිම විනෝදජනකයි. අන්තර්ජාලයේ සැරිසරද්දී හමුවුනු දැන්වීම් ටිකකුත් බලාගෙනම යන්න.

ග්‍රෙහවුන්ඩ් බයිසිකලේ - රු.65/-යි අඩු නැහැ!


ඔබේ වාසනාවට ලොකු කුඩා හැමටම උවමනා ඇඳුම් අපවෙත තිබේ!


ගැමපෝන් නම් සිංදු කියන යන්ත්‍රය!


අපුල්ලන්නාගෙන් නැවතත් හානි!



Text Source (C)  - Roar.lk

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments