පොත් විකුණා රොකට් හදන ඇමසෝනියාවේ ජෙෆ් බීසෝස්


"තවමත් සොයා නොගත් දේ බොහෝය. තව බොහෝ දෑ සිදුවීමටද තිබේ. අන්තර්ජාලයේ බලපෑම කෙතෙක් තීව්‍ර වන්නට ඉඩ ඇතිදැයි කිසිවෙකුටත් තවම හරි අවබෝධයක් නැති අතර තවමත් ගෙවෙන්නේ අන්තර්ජාල විප්ලවයේ පලමු දවසයි...."

ඉහත වැකිය ඇමසන්.කොම් නිර්මාතෲ ජෙෆ්‍රී බීසෝස්ගේ (රුවන් වැකියක්?) වන අතර එය ඵලකයක ලියා ඇමසන් මූලස්ථානයේ එනම් ඇමසෝනියාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අමුත්තන් පිලිගැනීමේ ආලින්දයේ තබා ඇතැයි පැවසේ.

Day 01 උන්මාදය

"තවමත් අප සිටින්නේ පලමු දිනයේය..... We are still on Day 1" යන්න ඇමසෝනියාවේ පවතින උන්මාදයක් යයි කිව හැකිය. මේ උන්මාදයේ නියමුවා බීසෝස් වේ. උන්මාදයේ තරම කොතරම්ද යත්  සියැටල් නුවර පිහිටි ඇමසෝනියා මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකම "ඩේ වන්" ලෙස තබා ඇත. එකක් "Day 1 South" ලෙස බෞතීස්ම කර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල "Day 1 North" ලෙස හඳුන්වයි.

ඇමසෝනියාවේ කැන්ටිම "ගරාජ්" ලෙස නම් කොට ඇත්තේ HP ආරම්භ කල විලියම් හිව්ලට් හා ඩේවිඩ් පැකාර්ඩ්, ඇපල් නිර්මාතෲ ස්ටීව් ජෝබ්ස් මෙන්ම ජෙෆ් බීසෝස්ද සිය ව්‍යාපාරය ආරම්භ කලේ ඔවුන් එවක පදිංචිව සිටි නිවසේ ගරාජයේ බව සැමට සිහිපත් කරවන්නටය.

පොත් වෙළඳාම උඩු යටිකුරු කල බීසෝස් ඉන්පසුව සිය අවධානය ඉලෙක්ට්‍රොණික භාණ්ඩ හා වෙනත් දෑ වෙතද යොමුකලේය. අදවන විට ඒ සියල්ල විකුණනවාට අමතරව ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් ලෝකයද කළඹවමින් ඇමසන් ෆයර් හා ඇමසන් කින්ඩල් නමින් දුරකථන හා ටැබ්ලට් සන්නාම නිර්මාණය කොට ඇත.

ලෝක පොත් මුදලාලිලාට පාඩමක්

පොත් විකිණීමට අමතරව පොත් ප්‍රකාශයටද අතගැසූ බීසෝස්, පෙරකල පොත් ප්‍රකාශණ ලෝකයේ අරටු බැසගෙන සිටිමින්, අමාරුවෙන් පොත් ලියන ලේඛකයින්, විශේෂයෙන්ම අලුතින් පොත් ලියන නවමු ලේඛකයින්ගේ හොඳ පොත් පවා පල කිරීම ප්‍රතික්ශේප කරමින් ඔවුන් ඇද වට්ටන මුග්ධ පොත් මුදලාලිලාටද පාඩමක් උගන්වා තිබේ. 

අද ඕනෑම පොත් ලේඛකයෙකුට, ඇමසන් හා ලාභ බෙදාගැනීමේ පදනම මත සිය පොත් ඇමසන් ඊ-පොත් ලෙස පලකොට ඇමසන් අඩවියේ විකුණාගත හැක. එපමණක් නොව කැමතිනම් කතෲවරයෙකුට ඇමසන් CreateSpace.com ප්‍රකාශ සේවාව මගින් තම පොත මුද්‍රිත පොතක් ලෙසද කරදරයකින් තොරව පලකරවාගත හැකිය. පොතක් ලියා එය පලකරවාගන්නට පොත් මුදලාලිලාට පින් සෙන්ඩුවෙන්නට සිදුවූ කාලය අවසන් කලේ ඇමසෝනියාවේ ජෙෆ් බීසෝස්ය.

තෙරේසා රගාන්, වසර 19ක් තිස්සේ සාම්ප්‍රදායික පොත් ප්‍රකාශකයින් විසින් ප්‍රතික්ෂේප කල නවමු ලේඛිකාවකි. පොත් මුදලාලිලා දිගින් දිගටම ප්‍රතික්ෂේප කොට, අවසන ඇමසන් ඔස්සේ පලකල ඇයගේ එක් පොතක්  Best Seller අලෙවි වාර්තා තබන්නට සමත්වී ඇත.
එහෙත් තවමත් ගෙවෙන්නේ බීසෝස්ගේ පෙරලිකාර ඉන්ටර්නෙට් විප්ලවයේ පලමු දිනයයි..

සුපිරි පෙරලිකාරයා නැතහොත් සුපිරි ව්‍යාකූලකරන්නා

සුප්‍රකට ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව ජෙෆ් බීසෝස් හඳුන්වා දෙන්නේ "The Ultimate Disrupter" හෙවත් සුපිරි පෙරලිකාරයා නැතහොත් සුපිරි ව්‍යාකූලකරන්නා ලෙසයි. අතගසන සෑම ව්‍යාපාරයක්ම උඩුයටිකුරු කිරීමට බීසෝස් සතු නිසඟ හැකියාව උහු මෙම අන්වර්ත නාමය ලැබීමට ඉතාම සුදුස්සා බව ඇමසන් කොටස් හිමියන් මෙන්ම වෝල් ස්ට්‍රීට් ආයෝජකයින්ද එකලෙස විශ්වාස කරයි. මෙම පෙරලිකාර ගමනේදී ඔහුගේ තීක්ෂණ බුද්ධිය, ව්‍යාපාර ඥාණය මෙන්ම උන්මාදයක් මෙන් නාභිගතවන "පාරිභෝගිකයාට වඩා වැදගත් කිසිවක් නැත" යන විශ්වාසය මහඟු සහයක් සපයයි. ඇමසෝනියාවේ අතුගාන්නාගේ සිට සියල්ලන්ම පාරිභෝගිකයා ඉහලින්ම තෘප්තිමත් කිරීමේ නිරන්තර මෙහෙයුමක, නොනවතින අරගලයක යෙදී සිටී.

විකුණුම් ඉලක්ක හා ලාභ ඉලක්ක නොවැදගත් ලෙස සළකන බීසෝස්, පාරිභෝගිකයා තෘප්තිමත් කලවිට  අන් සියල්ලම ඉබේම සම්පූර්ණ වන බවට විශ්වාස කරයි. ඕනෑම රටක සිටින ඕනෑම ගණුදෙනු කරුවෙකුට jeff@amazon.com ඊමේල් ලිපිනය හරහා ජෙෆ් බීසෝස්ට තම ගැටලුව හෝ යෝජනාව යොමුකල හැකි අතර ඒ ඊමේල් පණිවුඩ තමන්ම කියවන බවත්, අවශ්‍ය ඒවාට පෞද්ගලිකවම පිලිතුරු ලියන බවත්, අනෙක් ඊමේල් වලට අවශ්‍ය  පියවර/විසඳුම් ගැනීම සඳහා නියෝගයක්ද සමග අදාල නිළධාරියාවෙත යොමු කරන බවත් ජෙෆ් බීසෝස් පවසනවා.

එතකින්ද නොනවතින ජෙෆ් බීසෝස් සියලු ඇමසෝනියානුවන්ට නියෝග කොට ඇත්තේ තමන්ගෙන් පාරිභෝගික ගැටලු ගැන යොමුවන සියලුම ඊමේල් පණිවුඩවල ගැටලු වලට පැය කිහිපයක් ඇතුලත විසඳුම් ලබාදී, එම ගැටලුව ඇතිවීමට හේතුවත්, මින් ඉදිරියට එම ගැටලුව නැවතත් ඇති නොවීමට ගන්නා පියවරත් පිලිබඳ වාර්තාවක් තමන් වෙත කෙලින්ම එම දිනය තුලම ලබාදිය යුතු බවයි. 
අසාර්ථකවීමට ලොව හොඳම තැන අපේ ඇමසෝනියාවයි! - ජෙෆ් බීසෝස්

I believe we are the best place in the world to fail (we have plenty of practice!) because failure and invention are inseparable twins - Jeff Bezos (2016 Annual Letter to Shareholders)

අසාර්ථක දෑ කිරීමට ලොව හොඳම තැන අපේ සමාගමය යයි මම විශ්වාස කරනවා. ( අසාර්ථක දේවල් කොට අපට බොහෝ පලපුරුද්දක් තිබේ ) ඒ ඇයිද යත්, අසාර්ථකත්වය හා නව නිර්මාණ වෙන්කල නොහැකි නිඹුල්ලුන් වන නිසාය.  - ජෙෆ් බීසෝස් (2016 වාර්ශික වාර්තාවේ සමාගම් සභාපතිගේ ලිපිය )

එම ලිපියේ, තම සංකල්ප වැඩිදුරත් විස්තරකරන බීසෝස්;

අපට අවශ්‍ය වන්නේ විශාල සමාගමක් මෙන්ම නිරන්තරයෙන් නව නිර්මාණ, නව සේවා හා නව තාක්ෂණයන් බිහිකරන නව නිපැවුම් යන්ත්‍රයක් (invention machine) වීමටයි. අප ලබාදෙන ඉහලම පාරිභෝගික සේවාව හා පාරිභෝගික තෘප්තිය ලබාදීමට නම් දැවැන්ත ආදයමක් ඇති,  අතිවිශාල සමාගමක් විය යුතුමය. එහෙත් අපට අවශ්‍ය එවැනි විශාලත්වයත් සමගම කුඩා සමාගමක් තුල දැකිය හැකි වේගයෙන් තීන්දු ගැනීම, විශාල අවදානම් ගැනීමට මැලි නොවීම හා ඉකමණින් වෙනස් වීමේ හැකියාවද පවත්වාගෙන යාමයි.

මේ අපහසු අභියෝගය ජයගැනීමට අපට පුලුවනිද? 

මම සැමවිටම සුභවාදීව සිතන්නට කැමතියි. ඇමසෝනියාවේ අප බිහිකොට ඇති ආයතන සංස්කෘතිය මේ අභියෝගය ජයගැනීමට අපට සහය වනු ඇත. එහෙත් එය ඉතා අපහසු කාරියක් බවද අපි හොඳාකාරවම දන්නෙමු.

අප වැනි විශාල ආයතන නිරන්තරයෙන්ම විවිධාකාරී උගුල්වල පැටලෙයි. ඒවායින් ආරක්ෂාවීමට අප සැවොම ඉතා අවධානයෙන් සිටිය යුතු බව මගේ විශ්වාසයයි. මා දැක ඇති, විශාල සමාගම් වැටී නැසෙන එක් උගුලක් නම් විවිධාකාර ගැටලු විසඳීම සඳහා එකම ආකාරයේ විසඳුම් බිහිකිරීමේ රටාවක් ඇතිවීමයි (“one-size-fits-all” decision making). ඕනෑම ආයතනයක තීන්දු ගැනීමේ වේගය හා නවමු නිර්මාණ බිහිකිරීම අඩාල කිරීමට මේ ආකාරයේ තීන්දුගැනීමේ රටාවකට හැකියාව තිබේ.







වේගවත්ම ඩොලර් බිලියන 100ය

වසර 22ක් පැරණි ඇමසන්.කොම්, ලෝක ව්‍යාපාර ඉතිහාසයේ ඩොලර් බිලියන 100 ආදායම් ඉලක්කය වෙත් වේගයෙන්ම ලඟාවූ සමාගමයි. ඔවුන්ගේ ක්ලවුඩ් කම්පියුටින් සේවය වන Amazon Web Services අංශය පමණක් ඩොලර් බිලියන 10ක ආදායම් වාර්තාවක් තබා ලොව විශාලතම අන්තර්ජාල ක්ලවුඩ් සේවාව බවට පත්වී ඇත.

අප මෙය සිදුකලේ කොහොමද?

ඉතා වැදගත් මූලික ප්‍රතිපත්ති කිහිපයක් මත බිහිකල ආයතන සංස්කෘතිය මගින් හැඩගැසුනු හා එම ප්‍රතිපත්ති නිරන්තරයෙන් ක්‍රියාවට නැගීමට කැපවුනු සේවක මඩුල්ල

තරඟකරුවන් ගැන කිසි ලෙසකින් කරදර නොවී ගණුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමට ඇති උන්මාදනීය කැපවීම.

නිතරම නව නිර්මාණ, නව විසඳුම් සොයා යෑම හා ඒවායේ අසාර්ථක බව විඳදරාගෙන ඉදිරියට යාමට ආයතනය තුල ඇති ඉඩකඩ.

අසාර්ථකවීම කිසිවිටකත් අපගේ සේවක/සේවිකාවන්ගේ වෘත්තීය ප්‍රගමනයට බාධාවක් නොවන අතර බොහෝවිට එය උපකාරීවේ.

අතිසාමාන්‍ය (supernormal) සාර්ථකත්වයක් ලැබීමටනම් සෑමවිටම සාම්ප්‍රදායික චින්තයට (conventional wisdom) විරුද්ධව යා යුතුය. එහෙත් එවිට අසාර්ථකවීමේ සම්භාවීතාවය 90% වැඩිය. බොහෝ සමාගම් වලට මෙවැනි අසාර්ථකත්ව සම්භාවිතාවයක් දරාගත නොහැකිය. එහෙත් ඇමසෝනියාවේ එය ගැටලුවක් නොවේ. ඒ ඇයිද යත්, ලැබෙන 10% සාර්ථකත්වයේ වටිනාකම ඩොලර් බිලියන ගණනින් වන නිසාය. අප වේගවත්ම ඩොලර් බිලියන 100 කරා ලඟාවූයේ සාම්ප්‍රදායික චින්තයට විරුද්ධව ලංසු තැබූ නිසාය.

Blue Origin ඇමසෝනියාවේ රොකට් කොම්පැණිය

1982 වසරේදී 18 හැවිරිදි පාසැල් සිසුවෙකු වූ ජෙෆ් බීසෝස් ඇමරිකාව පුරා සිසු-සිසුවියන් ලක්ෂ 12ක් පමණ අයදුම් කරන, ඉතා අපහසු තරඟ විභාග පෙලකින් ඉහලම ලකුණු ලබාගන්නන්ට පමණක් හිමිවන National Merit Scholarship ශිෂ්‍යත්වයක් දිනා ගත්තා. එමෙන්ම ඒවසරේදී බීසෝස් උගත් Miami Palmetto High School පාසැලේ දීප්තිමත්ම ශිෂ්‍යා (high school valedictorian) ලෙස තේරුණේත් ඔහුමයි.

මෙම විශිෂ්ඨ දක්ෂතා නිසාම මාධ්‍යවල අවධානයට බඳුන්වූ 18 හැවිරිදි ජෙෆ් බීසෝස්, 1982 වසරේදී මයාමි හෙරල්ඩ් පුවත්පතට සම්මුඛ සාක්ච්ඡාවක් ලබාදෙමින්, සිය අනාගත බලාපොරොත්තු මෙසේ විස්තර කලා.

"I want to build space hotels, amusement parks and colonies for 2 million or 3 million people who would be in orbit. 'The whole idea is to preserve the earth. The goal was to be able to evacuate humans. The planet would become a park."

ඇමරිකාවේ අනෙක් ප්‍රයිවෙට් රොකට් කාරයා වෙන ඊලෝන් මස්ක් වගේම ජෙෆ් බීසෝස් කුඩා කාළයේ ඉඳන්ම අභ්‍යවකාශයට ආසා කලා. වසර 2000 වනවිට බිලියනපතියෙකුවූ නිසා සිය අභ්‍යවකාශ ආශාවන් සපුරාගන්නට බීසෝස් බ්ලූ ඔරිජින් කියලා අභ්‍යවකාශ සමාගමක් ආරම්භ කලා.

ඉහතින් සංසන්දනය කොට ඇත්තේ ඊලෝන්ගේ ස්පේස් එක්ස් නිර්මාණය කරන ලොකුම රොකට්ටු දෙක හා බීසෝස්ගේ බ්ලූ ඔරිජින් නිර්මාණය කරන ලොකුම රොකට්ටු දෙකයි. ස්පේස් එක්ස් හා බ්ලූ ඔරිජින් සමාගම් දෙකම සිය රොකට්ටුවල බලසම්පන්න ප්‍රථම අදියට නැවත නැවත භාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

New Glenn ලෙස නම්කොට ඇති මෙම විශාල රොකට්ටුව බ්ලූ ඔරිජින් සමාගම විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන BE-4 (Blue Engine 4) අධිබල රොකට් එන්ජින් 7කින් බල ගැන්වෙනවා. මීතේන් හා ද්‍රව ඔක්සිජන් දහනය කරන මෙම රොකට් එන්ජින් දැනටමත් නාසා ආයතනයේ රොකට් ගුවන්ගත කරන යුනයිටඩ් ලෝන්ච් ඇලියන්ස් නම් සමාගම් සමූහයේ අලුත්ම රොකට්ටුව වන වල්කන් රොකට්ටුවට සවිකිරීමට ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. මීට පෙර යුනයිටඩ් ලෝන්ච් ඇලියන්ස් භාවිතා කල ඇට්ලස් රොකට්ටුවට භාවිතා කලේ රුසියාවේ නිෂ්පාදිත RD-8 නම් එන්ජිමක්. ඇමසන් BE-4 එන්ජිම සාර්ථක වීමත් සමග ඇමරිකන් රොකට් සඳහා රුසියාවෙන් එන්ජින් මිළදී ගැනීම නතරවනු ඇති.

2020 වනවිට දැවැන්ත නිව් ග්ලෙන් රොකට්ටුවේ පරීක්ෂණ කටයුතු අවසන් වනු ඇති අතර සමහරවිට බීසෝස් ගේ පාසැල් වියේ සිහිනය වූ අභ්‍යවකාශයේ ස්ථිර ජනාවාස ඇතිකිරීමේ සිහිනය සැබෑ කරගැනීමේ අඩිතාලම මේ විශාල රොකට්ටුවත් සමග උදාවනු ඇත.

Bezos the "Rocket Man" at Blue Origin Launch Pad



Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments