BUSINESS / TECHNOLOGY : ඇමරිකන් microchip කොම්පැණි Huaweiට උපාංග සැපයීම නවතයි!


ඇමරිකාවේ ඉන්ටෙල් (Intel), කවල්කොම් (Qualcomm), සිලිනික්ස් (Xilinix) බ්‍රෝඩ්කොම් (Broadcom) යන සමාගම්, ඇමරිකන් රජය විසින් හුවාවී සමාගම සමග ගණුදෙනු සඳහා සම්භාදක පැනවීමත් සමගම තම මයික්‍රෝචිප් හා වෙනත් උපාංග හුවාවී සමාගමට ලබාදීම නවතා දමා ඇත.

කෙසේ වෙතත් හුවාවී ආරංචිමාර්ග සඳහන් කරන්නේ, සමාගම මේ අණතුර කල්තියා හඳුනාගෙන, අත්‍යාවශය මයික්‍රෝප්‍රොසෙසර් හා උපාංග විශාල අමතර තොග ඇණවුම් කොට ගබඩාකරගෙන ඇති බවයි. ඒ අනුව තෙමසකට සෑහෙන උපාංග හුවාවී ගබඩාවල තිබෙන බවයි සමාගම පවසන්නේ.

එමෙන්ම, හුවාවී සමාගම, 2017 වසරේ සිටම තමන්ගේම මයික්‍රෝප්‍රොසෙසර් හා වෙනත් උපාංග නිර්මාණයට අතගසා තිබෙන අතර, ඉතා ඉක්මණින්ම ඇමරිකන් මයික්‍රෝප්‍රොසෙසර් හා උපාංග වෙනුවට හුවාවී සමාගම විසින්ම නිෂ්පාදනය කරන ලද උපාංග යොදාගෙන ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හා ලැප්ටොප් නිෂ්පාදනයට තමන්ට හැකියාව තිබෙන බව හුවාවී උපසභාපති කෙන් හූ පවසනවා.

තෙල්වලට වඩා මයික්‍රෝචිප් ආනයනය කරන චීනය

චීනය, සිය වාර්ෂික තෙල් ආනයන වියදමට වඩා වියදමක් ඇමරිකාව ඇතුලු බටහිර රටවලින් මයික්‍රෝප්‍රොසෙසර්, මෙමරි චිප් හා වෙනත් ඩිජිටල් උපාංග ඇනවුම් කිරීමට වියදම් කරනවා. චීනය නිපදවන බොහෝ ඉලෙක්ට්‍රොණික භාණ්ඩතුල ඇත්තේ ඇමරිකාවෙන් හා වෙනත් බටහිර රටවලින් ආනයනය කරනලද හෝ එම රටවල් චීනය තුල නිෂපාදනය කරන ඉලෙක්ට්‍රොණික උපාංග හා තාක්ෂණයයි.

චීනය අඩපණ කිරීමේ ඇමරිකන් දේශපාලන ව්‍යාපෘතිය

ඇමරිකාව, පදනමකින් තොරව සිය සමාගම ඉලක්ක කරගෙන මෙලෙස සම්භාදක පනවන්නේ තම සමාගම වරදක් කොට ඇති නිසා නොව, චීනයේ ආර්ථික හා දේශපාලන බලය පිලිබඳව ඇති දැඩි ඊර්ෂ්‍යාව හා බිය මත පදනම්වූ උත්ප්‍රේරකයන් නිසා බවයි හුවාවී සමාගම පවසන්නේ.

මේ තීරණයෙන් හුවාවී සමාගමට වඩා පාඩු සිදුවන්නේ ඇමරිකන් සමාගම් වලට හා ඇමරිකන් ආර්ථිකයට බව, ලොව පුරා හුවාවී සේවකසේවිකාවන් වෙත ඊමේල් පණිවුඩයක් යවමින් සමාගම කියා සිටිනවා.

හුවාවී වසරකට ඩොලර් බිලියන 11ක ඉලෙක්ට්‍රොණික උපාංග ඇමරිකන් සමාගම්වලින් මිළදී ගන්නා බවත්, මේ සම්භාදක නිසා ඇමරිකන් සමාගම් වලට එම ආදායම අහිමිවන බවත් හුවාවී පවසනවා.

මේ අතර චීන රජය පවසන්නේ අසාධාරණ ලෙස තම රටේ සමාගම් වලට දඬුවම් කරමින් ඒවා විනාශ කිරීමට විදෙස් බලවේගවලට කිසිසේත් ඉඩදෙන්නේ නැති බවයි.

ගූගල් සමාගම, හුවාවී සමාගමට ඇන්ඩ්‍රොයිඩ් තහනමක් දමයි!

ගූගල් සමාගම ඇමරිකානු රජයේ සම්භාදක නියෝගය පිලිපදිමින්, හුවාවී සමාගමට ලබාදීතිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති බළපත්‍රය (Android license) අත්හිටුවා තිබෙනවා. ඒ අනුව ඉදිරීයේදී නිපදවන හුවාවී ජංගම දුරකථනවලට අලුත්ම ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්ධති ඇතුලුකිරීමට නොහැකිවනු ඇති.

කෙසේ වෙතත් ට්විටර් පණිවුඩයක් නිකුත්කරන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ඩිවිෂනය, මේ සම්බාධක නිසා දැනට භාවිතාවන හුවාවී ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හා ටැබ්ලට්වලට බලපෑමක් නොවන බව පවසා සිටිනවා.




Comments

Post a Comment