MIDEAST POLITICS : ඇමරිකාවට ඉරානය එක්ක යුද්ධෙකින් දිනන්න බෑ!!


ඉරාකයේ පාඩම්

ජෝර්ජ් W බුෂ් ඉරාකයේ යුද්ධය පටන්ගන්න වෙලාවේ, එයාගේ හමුදාපතිවරු වගේම ජාතික ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්  ඉරාකය යටත්කරගැනීම ආප්පකනවා වගේ ඉක්මණින් ලේසියෙන් කරගන්න පුලුවන් එකක් කියලා විශ්වාස කලා. ඉරාක ආක්‍රමණය භාරව හිටපු ජෙනරාල් ටොමී ෆ්‍රෑන්ක්ස් 2003 මාර්තුවේ පටන්ගත්ත ආක්‍රමණය ඉරාක ග්‍රීස්ම සෘතුවේ අමාරුම කාලේ වෙන ජූලි-අගෝස්තු වෙනකොට අවසන් කරලා ආයෙත් ඇමරිකන් හමුදාව ඇමරිකාවටම ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා සුබ සිහින මවමින් සිටියා.

අන්තිමට අවුරුදු 9ක් ඇදිලාගිය යුද්ධෙන් ඇමරිකන් භටයින් 4424ක් මැරිලා 31,000ක් තුවාල වුනා.

ඇමරිකන් යුධකාමය නිසා ඉරාකයට වගේම ලෝකයටම වුනු විනාශ

1/ ඉරාක භටයින් 17,600ක් මියගිහිල්ලා 40,000+ තුවාල වුනා

2/ ඉරාක පොලීසියේ 12,000ක් මියගියා

3/ අහිංසක ඉරාක සිවිල් වැසියන් 103,160–113,728 ක් අතර ප්‍රමාණයක් මියගියා

4/ ඉරාක, සුන්නි සටන්කාමීන් 70,000ක් ඇමරිකන් හමුදාවෙන් මරලා දැම්මා

5/ ලෝකය එතෙක් මෙතෙක් දුටු කෲරම ඉස්ලාම් ත්‍රස්තකල්ලිය වන ISIS බිහිවුනා

6/ ඉරාකය පුරා සුන්නි-ෂියා භක්තිකයින් අතර දරුණු ගැටුම් ඇතිවුනා

7/ 2014-2017 කාලය ඉරාකයේ විශාල සිවිල් යුද්ධයක් ඇතිවුනා.

ඉතා හොඳ යටිතල පහසුකම්, අධ්‍යාපන පද්ධතියක්, සෞඛ්‍යසේවා තිබුණු, කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් තිබුණු, උගත් ජනතාවක් සිටි ඉරාකය විනාශවුනු කාළකන්නි රටක් බවට පත්කලා.

අවසානයේ ඇමරිකන් හමුදා, බුද්ධි අංශ වගේම, ප්‍රති-ත්‍රස්ත විශේෂඥයින්, ඇමරිකාව ඉරාකය ආක්‍රමණය, ලොව පුරා ත්‍රස්තක්‍රියා ඉහල නංවන්න දායකවුනු බව ප්‍රකාශ කරනවා.

ඇමරිකාව බිහිකල අමනෝඥම ජනාධිපතිවරයාවූ ජෝර්ජ් W බුෂ්ගේ ගොන්කම් වලින් පාඩමක් ඉගෙන නොගත්ත බව පෙනෙන, ඊටත් වඩා මෝඩයයි ඇමරිකානුවන්ම සිතන ට්‍රම්ප්, දැන් ඉරානයට ගහන්නට රණබෙර වයනවා.

ඇමරිකාව බොහොම ලේසියට හිතුවත්; ඉරානය;

1/ ඉරාකය මෙන් 3.5ගුණයක් විශාලයි.

2/ භූවිශමතාවය අනුව සමතලා, කාන්තාර රටක්වෙන ඉරාකයට වඩා ඉරානයේ භූවිශමතා ඉතාමත් දුශ්කරයි.

3/ ඇමරිකාව 1953දී චන්දෙන් පත්වුනු මොහොමඩ් මොසඩෙග් නීති විරෝධී කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරලා, දූෂිත රජෙක් වුනු ෂා රජ්ජුරුවන් ඉරානයේ රූකඩ පාලකයා කරපු හැටි ඉරාන වැසියන්ට අමතක නෑ. එහි ප්‍රතිපලයක් වුනේ, නම්‍යශීලී, විවෘත මුස්ලිම් රාජ්‍යයක් වුනු ඉරානය අයතොල්ලා කොමේණිගේ නායකත්වයෙන් දැඩිමතධාරී ඒකාධිපති ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්වීමයි.

4/ ඉරාකයට වඩා ඉරානයට මැදපෙරදිග, තමන්ට පක්ෂපාතී, ඇමරිකන් විරෝධී ත්‍රස්ත සංවිධාන ගණනාවක සහය තිබෙනවා. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, පලස්තීනයේ හමාස් සංවිධානය, යේමනයේ හෝති සංවිධානය මින් ප්‍රධානයි. මේ ත්‍රස්ත කල්ලි සියල්ලටම ඉරානයේ විධානය අනුව මැදපෙරදිග, ඇමරිකන්, බ්‍රිතාන්‍ය ඉලක්කවලට වගේම ඇමරිකන් ලැදි ඊශ්‍රායල්, සෞදි, UAE, බහරේන්, කටාර් වැනි රටවල් වලට පහරදෙන්න පුලුවන්.

5/ ඒවගේම ඉරානය සයිබර් ප්‍රහාර හොඳින් ප්‍රගුණකරලා තියෙනවා. ඒ මගින් ඇමරිකානු භූමියේ ඉතා වැදගත් යටිතල පහසුකම් (විදුලිය, ජලය, අන්තර්ජාල පද්ධති, දුරකථන පද්ධති ) වලට පහරදීලා විශාල අර්බුධ ඇති කරන්න පුලුවන්.

6/ ලෝකයේ තෙල් වලින් 25% පමණ ගමන්කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමලා, ලෝකයේ විශාල තෙල් අර්බුධයක් ඇති කරන්නත් ඉරානයට පුලුවන්.

RELATED;


ඇමරිකාව, ඉරාකයේ කල මෝඩ යුද්ධයට පැනලා සහය දුන්න යුරෝපය, ඉරාන යුද්ධයකට තමුන්ගේ කිසිම සහයක් නැති බව දැනටමත් කියලා තියෙනවා.

1/ ප්‍රසිද්ධියේ ඇමරිකාව එක්ක මත ගැටුමකට යන්න යුරෝපීය රටවල් අකමැති වුනත්, ඔවුන් කිසිම විටක ඇමරිකාවට ඉරානය එක්ක යුද්ධ කරන්න තමන්ගේ භටපිරිස්, ගුවන් යානා හා යුධ නෞකා නොදෙන බව ස්ථිරයි.

2/ බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය වගේ රටවල විශාල මුස්ලිම් ජනගහනයක් සිටිනවා. මේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අන්තවාදී තරුණ කොටස් පාලනය කරගෙන, ඔවුන් ත්‍රස්තක්‍රියාවලට නොමුනොකරගෙන ඉන්නේ අපහසුවෙන්. මේ හැම රටකම මුස්ලිම් තරුණයන් ඒ රටවල සිදුකල ප්‍රහාරවල අරමුණු බීජය වුනේ ඒ රටවල් ඉරාක යුද්ධයේදී ඇමරිකාවට සහය දීලා මුස්ලිම්වරුන් මරන්නට ක්‍රියාකල බවට තියන වෛරය හා විරෝධය.

ආයෙත් ඇමරිකාව එක්ක මැදපෙරදිග යුද්ධයකට ගිහිල්ලා තමන්ගේ රටවල්වල ත්‍රස්තක්‍රියා වැඩිකරගන්න ඒ රටවල් කැමතිවන්නේ නෑ.

3/ ඒ වගේම හැම යුරෝපීය රටක්ම දැන් ඇතිවෙලා තියෙන තත්වයට හේතුව, ඇමරිකාව, ලෝකයේ රටවල් ගණනාවක් ඉරානය එක්ක ගහපු න්‍යෂ්ඨික අවිහරණ ගිවිසුමෙන් පාර්ශවිකව ඉවත්වීම හේතුවෙලා තියෙන බව විශ්වාස කරනවා. ඒ අනුව, ලෝකයම විරුද්ධ වෙද්දී ඇමරිකාව උද්ධච්ඡකමෙන් සිදුකරගත්ත දේවල්වලට කරගහන්න යුරෝපය කැමති නෑ.

ඒ නිසා ඇමරිකාවට මේ යුද්ධය කරන්න වෙන්නේ තනිවම.



Comments