HISTORY: දෙවෙනි ලෝක යුද්ධයේදී, මවුන්ට්බැටන්ගේ ආසියා යුධ මූලස්ථානය තිබුණේ පේරාදෙණිය මල්වත්තේ බව දන්නවාද?
Peradeniya Royal Court, 1371
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඉතිහාසය, තෙවන වික්‍රමබාහු රජු සිහසුනට පත්ව මහවැලි නදිය අසබඩ පේරාදෙණියේ රාජසභාව පැවැත්වූ ක්‍රි.ව. 1371 දක්වා දිවයනවා.
පසුව කීර්ති ශ්‍රී රාජසිංහ සහ රාජාධි රාජසිංහ යන රජවරුන් විසින්ද මෙය භාවිත කරන ලදී. පළමුවන විමලධර්මසූරිය රජු විසින් මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකර තිබූ නමුත්, උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් සතු වූ පසු ඔවුන් එය විනාශකර දැමුවා.
Dutch Herb Garden of VOC Company, Slave Island, 1690 – 1796
කෙසේ වෙතත්, ලංකාවේ ප්‍රථම උද්භිද උද්‍යානය පේරාදෙණිය නොවේ. ලන්දේසි පාලන සමයේදී කොළඹ කොම්පඤ්ඤවීදිය (Slave Island) ප්‍රදේශයේ උද්‍යානයක් පැවති අතර, ලන්දේසි පාලන සමයේදී මෙම ප්‍රදේශය 'කොම්පඤ්ඤ වේල්ඩ්' (Kompagnie's Veld - සමාගමේ පිට්ටනිය) හෝ 'කෘයිඩ්ටුයින්' (ඔසු උයන) ලෙස හඳුන්වනු ලැබුණා.
කොළඹ කොටුවට දකුණු පසින් බේරේ වැවෙන් වටවූ බිම් තීරයක මෙය පිහිටා තිබුණ බවයි පැවසෙන්නේ. ලන්දේසීන් විසින් කුළුබඩු වර්ග පර්යේෂණයට ලක් කිරීම සඳහා මෙරට පර්යේෂණ භූමියක් ලෙස මෙය යොදාගෙන තිබෙනවා.
කුරුඳු, ගම්මිරිස්, සාදික්කා සහ කරාබුනැටි වැනි කුළුබඩු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට හෝ ලොව පුරා අපනයනය කිරීමට පෙර, කොළඹ දේශගුණය තුළ වගා කළ හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුහු මෙම උද්‍යානය ස්ථාපිත කළ අතර ඊට අමතරව ඖෂධීය පැළෑටි වගා කිරීම මෙහි සිදුව තිබෙනවා.
කොළඹ කොටුව තුළ පිහිටා තිබූ ලන්දේසි රෝහලට (Dutch Hospital) අවශ්‍ය ඖෂධ පැලෑටි ලබාගැනීමට මෙය භාවිත කර තිබෙනවා.
එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් එය නොසලකා හැරීම නිසා එම ඉඩම පුද්ගලික ගැණුම් කරුවන්ට කොටස් කර විකුණූ බව වාර්තා වෙනවා
Attempt to establish a botanical garden in Peliyagoda, 1799
ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆ්‍රෙඩ්රික් නෝර්ත්ට අයත් මන්දිරයකට යාව කැලණි ගඟ අසබඩ පෑලියගොඩ ප්‍රදේශයේ උද්‍යානයක් පැවති අතර, 1799 දී ජෝශප් ජොන්විල් එහි අධිකාරීවරයා ලෙස පත් කරමින් ඊට උද්භිද විද්‍යාත්මක වටිනාකමක් ලබා දීමට ආණ්ඩුකාර නෝර්ත් උත්සහ කර තිබෙනවා.
ඒ වන විට කල්කටාවේ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගමේ උද්භිද උද්‍යානය ප්‍රකට උද්භිද විද්‍යාඥ රොක්ස්බර්ග් යටතේ දියුණු වෙමින් පැවති අතර, නෝර්ත්ගේ උද්‍යානය සහ කල්කටා උද්‍යානය අතර ශාක හුවමාරු ද සිදු වූ බවට යම් වාර්තා තිබෙනවා.
Kew Garden, Slave Island - 1812
ලංකාව සඳහා විධිමත් උද්භිද උද්‍යානයක් පිළිබඳ සැලසුම් සම්පාදනය කරන ලද්දේ ලන්ඩනයේ කියු (Kew) උද්‍යානයේ සේවය කළ කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකු සහ ස්වභාවවේදියෙකු වූ ජෝශප් බෑන්ක්ස් විසින්. ඒ සඳහා යළිත් වරක් කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය තෝරා ගන්නා ලද අතර, එම ප්‍රදේශය අදටත් "කියු පාර" (Kew Road) ලෙස හඳුන්වනු ලබනවා.
1812 දී W Kerr මහතා එහි "නේවාසික අධිකාරී සහ ප්‍රධාන උද්‍යාන පාලක" ලෙස පත් කෙරුණු අතර, කොළඹ රජගෙදර උද්‍යානය (වර්තමාන කොටුව ජනාධිපති මන්දිර උද්‍යානය) සහ කොම්පඤ්ඤවීදියේ අක්කර හතක වපසරියකින් යුත් කියු උද්‍යානය ඔහු යටතට පත් කරනු ලැබුවා.
Peradeniya Garden, 1821 with Alexander Moon as the Superintendent
1813 වසරේදී බ්‍රිතාන්‍ය රජය විසින් කළුතර ප්‍රදේශයේ පිහිටි, අසාර්ථක වූ අක්කර 600ක සීනි වතුයායක අයිතිය ලබා ගන්නා ලදී. කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි "කියු" උද්‍යානය ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ බැවින්, මෙම විශාල භූමියෙහි නව උද්භිද උද්‍යානයක් නිර්මාණය කිරීමට තීරණය කලා. කෙසේ වෙතත් එම ව්‍යාපෘතියද එතරම් සාර්ථක නොවූ තැන, 1821දී ඇලෙක්සැන්ඩර් මූන් නැමති උද්‍යාන පාලකවරයෙකු පත්කොට පේරාදෙණියේ ශ්‍රී ලංකාවේ පලමුවන රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවීමේ තීරණය ගනු ලැබුවා.
ඇලෙක්සැන්ඩර් මූන් ලංකාවේ ශාකලතාවන් පිළිබඳ හැදෑරීමට මහත් රුචිකත්වයක් දැක්වූවෙකු වූ අතර, ඔහු විසින් 1824 වසරේදී "ලංකාවේ ශාක නාමාවලිය" (Catalogue of Ceylon Plants) සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලදී.
ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන්ද ලියැවුණු මෙම ග්‍රන්ථයෙහි දේශීය ශාක විශේෂ 1,127ක සහ මෙරටට හඳුන්වා දී වගා කරන ලද ශාක විශේෂ 366ක උද්භිද විද්‍යාත්මක හා දේශීය නාමයන් ඇතුළත් වෙනවා. මූන් මහතා 1820 දී පිහිටුවන ලද "ලංකා සාහිත්‍ය සහ කෘෂිකාර්මික සමිතියේ" ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර, එය වර්තමාන රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ පූර්වගාමියා ලෙස සැලකෙනවා.
Development under George Gardener, 1844
1844 වසරේදී ජෝර්ජ් ගාඩ්නර් මහතා අධිකාරී ධුරයට පත්වීමත් සමඟ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ස්වාධීන ආයතනයක් ලෙස ව්‍යාප්ත විය. උද්‍යානයේ දියුණුවට සුවිශාල මෙහෙවරක් සිදුකල ගාඩිනර් මහතා සිහිවීම සඳහා සිහිවටනයක් උද්‍යානය තුල පිහිටුවා තිබෙනවා.
30 year legacy of George Henry Kendrick Thwaites
1849 දී ගාඩ්නර්ගේ අභාවයෙන් පසු ජෝර්ජ් හෙන්රි කෙන්ඩ්‍රික් ත්වේට්ස් අධිකාරී ධුරයට පත් විය. ඔහු 1879 දී සිය ධුරයෙන් ඉල්ලා අස්වන තෙක් වසර 30ක කාලයක් සේවය කලා. 1859 සහ 1864 අතර කාලයේදී කාණ්ඩ පහකින් යුතුව ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද Enumeratio Plantarum Zeylaniæ කෘතියේ සාර්ථකත්වයත් සමඟ, 1865 ජූනි 1 වන දින ඔහු රාජකීය සමිතියේ (Royal Society) සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.
ෆ්‍රෙඩ්රික් මුවර්ගේ Lepidoptera of Ceylon ග්‍රන්ථයේ ඇතුළත් වඩාත්ම වටිනා තොරතුරු සැපයූවේද ඔහු විසිනි. හක්ගල සින්කෝනා (Cinchona) තවාන් පිහිටුවීමට මූලිකත්වය ගත් ත්වේට්ස් මිය යනතෙක්ම ජීවත් වුනේ ශ්‍රී ලංකාව තුලමයි.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන Kendrickia walkeriශාක ගණය මෙන්ම Thwaitesia නැමැති මකුළු ගණයද නම් කර ඇත්තේ ඔහුට ගෞරවයක් වශයෙනි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ආවේණික සර්ප දෑලියෙකු වන Chalcidoseps thwaitesi සහ Tapena thwaitesi නැමැති සමනල විශේෂයද ඔහුගේ නාමයෙන් නම් කර ඇත.
Department of Agriculture, 1912
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය 1912 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟ එහි පරිපාලනය යටතට පත් වුනා.
World War II South East Asia Command Headquarters, 1942
දෙවන ලෝක යුධ සමයේ 1942දි බුරුමය, මලයාව (මැලේසියාව ) රටවලින් බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියා-නවසීලන්ත මිත්‍ර හමුදා පලවා හරිමින් 1942 පෙබරවාරි 15 සිංගප්පූරුව ජපන් හමුදා යටතට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයන් ඇතුලු මිත්‍ර පාර්ශව ඉන්දියාවට හා ලංකාවට පසුබැස්සා. ලංකාව යටත් කරගතහොත් ජපානයට, ඉන්දියාවට එන සැපයුම් අවහිර කොට ඉන්දියාවද අල්ලාගත හැකි බව අවබෝධකරගත් බ්‍රිතාන්‍යයන් කෙසේ හෝ ලංකාව ආරක්ෂාකර ගැනීමට කටයුතු කලා.
1943 වසරේදී, අද්මිරාල් ලෝඩ් ලුවී මවුන්ට්බැටන් මහතා අභිනවයෙන් පිහිටුවන ලද ගිනිකොනදිග ආසියානු විධානයේ (SEAC) මිත්‍ර පාර්ශවීය හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබුණු අතර ඔහු සිය මූලස්ථානය පිහිටුවා ගැනීමට පේරාදෙණිය උද්භිද උද්‍යානය තෝරාගත් බව පැවසෙනවා.
ලෝඩ් මවුන්ට්බැටන්ගේ මූලස්ථානය පිළිබඳ සාක්ෂි වර්තමානය වන විට ශේෂව පවතින්නේ ඉතා අල්ප වශයෙනි. "දකුණු ආසියානු විධාන මූලස්ථානය, උද්‍යානයේ මහා වටරවුම අවට විශාල භූමි ප්‍රමාණයක විසිරී තිබූ ගොඩනැගිලි ගණනාවකින් සමන්විත වී තිබෙනවා.
ලෝඩ් මවුන්ට්බැටන්ගේ කාර්යාල සංකීර්ණය පිහිටා තිබුණේ වර්තමානයේ විශාල තණබිමක් වන Great Circle) මධ්‍යයේ වන අතර, එම ගොඩනැගිල්ල මුළුමනින්ම ඉවත්කර තිබෙනවා.
රහසිගත මෙහෙයුම් මූලස්ථානය (Secret Mission headquarters) මීට නුදුරින් පිහිටා තිබූ අතර, එම ගොඩනැගිල්ල අදටත් සුරැකිව පවතී. එය දැනට උද්භිද උද්‍යාන අධිකාරීවරයාගේ කාර්යාලය ලෙස භාවිත කෙරෙනවා.
කෙසේ වෙතත්, මුල් ගොඩනැගිල්ලේ ඉදිරිපස පෙනුම ආවරණය වන පරිදි පසුව කොටසක් අලුතින් එක් කර තිබෙන නිසා පැරණි පෙනුම අවහිර වී තිබෙනවා. පැරණි කොටස ඉතා උස් වහලයකින් හා විශාල බිම් ප්‍රමාණයකින් යුක්ත වන අතර, ගොඩනැගිල්ලේ මුල් බිත්ති අඟල් 18ක් පමණ ඝනකමින් යුක්ත වීම විශේෂත්වයක්.
වර්තමානය වන විට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පරිපාලන කටයුතු ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතී. මෙම දෙපාර්තමේන්තුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වෙනවා.

Comments
Post a Comment