NEW POSTS

Recent Posts Widget

HISTORY & MYSTERY: Ancient Mesopotamia's Lizard-Like Humanoids | පැරණි මෙසපොතේමියාවෙන් හමුවූ මානවරූපී උරග පිළිරූ


උබයිඩ් පිළිරූ අභිරහස: පැරණි මෙසපොතේමියාවෙන් හමුවූ මානවරූපී උරග පිළිරූ

20 වන සියවසේ මුල් භාගයේදී දකුණු ඉරාකයෙන් එනම් පැරණි මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය පැවති පෙදෙසකින් හමුවූ සුවිශේෂී මැටි කලාකෘති සමූහය, සියවසකට වැඩි කාලයක් තිස්සේ පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ දැඩි කුතුහලයට හේතු වී තිබෙනවා. 

මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ උබයිඩ් (Ubaid) යුගයට අයත් ස්ථානවලින් කැණීම් කර සොයාගත් වසර 7,000ක් පැරණි මෙම කුඩා පිළිම මගින්, උරගයන්ට සමාන ලක්ෂණ සහිත මානව රූප නිරූපණය කෙරෙනවා.

මෙහි ඇති සංස්කෘතික සහ සංකේතාත්මක වැදගත්කම පිළිබඳව තවමත් විවිධ ගැටලු මතු වෙමින් පවතින අතර මේවායේන් නිරූපණය වන්නේ ඇදහිලි ක්‍රමයක්ද නැතහොත් අප නොදන්නා පෞරාණික වැදගත් සිදුවීමක් ද යන්න පැහැදිලි නෑ

ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයන් මෙම කලාකෘති ප්‍රාග් ඓතිහාසික මෙසපොතේමියානු සමාජ පසුබිම තුළ තබා විග්‍රහ කළද, ඒවායේ නියම අරමුණ කුමක්ද යන්න තවමත් හරිහැටි හෙළි කරගත නොහැකි අභිරහසක් වගේම මේවා පැහැදිලි කිරීමට Ancient Aliens මාදිලියේ Conspiracy Theory විකල්පද ජනප්‍රියයි.

උබයිඩ් (Ubaid) යුගය: ශිෂ්ටාචාරයේ සමාරම්භය

ක්‍රිස්තු පූර්ව 6500 සිට 3800 දක්වා කාලය තුළ මෙසපොතේමියාවේ (වර්තමාන ඉරාකය) පැවති මෙම යුගය, මානව ඉතිහාසයේ ඉතා තීරණාත්මක සංධිස්ථානයකි. දඩයම් යුගයෙන් මිදී මිනිසා ස්ථිර පදිංචියට හුරුවූ මුල්ම අවධියක් ලෙස මෙය සැලකේ. මෙම යුගයට අදාළ ප්‍රධාන ලක්ෂණ කිහිපයක්;

මෙම පූර්ව ඓතිහාසික අවධිය පිළිබඳ ප්‍රථම සාධක ‘ටෙල් අල්-උබයිඩ්’ (Tell al-'Ubaid) නම් ස්ථානයෙන් හමු වූ බැවින් එම මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය උබයිඩ් නමින් හඳුන්වනු ලබනවා.

වර්තමාන ඉරාකයට අයත් දකුණු මෙසපොතේමියාවේ ගංඟාශ්‍රිත තැනිතලා ප්‍රදේශවලින් ක්‍රිස්තු පූර්ව 6200 දී පමණ මෙම සංස්කෘතිය ආරම්භ වී පසුව ක්‍රමයෙන් උතුරු දෙසට ව්‍යාප්ත වූ උබයිඩ් සංස්කෘතිය මානව දියුණුවේ සංධිස්ථාන සනිටුහන් කර තිබෙනවා.

කෘෂිකාර්මික විප්ලවය: ගංගා නිම්න ආශ්‍රිතව ඇළවේලි හා වාරි පද්ධති සකස් කරමින් වගා කිරීමට මිනිසා මුල්වරට හුරුවූයේ මෙම අවධියේදීය.

මුල්ම නගර නිර්මාණය: ලොව පැරණිතම නගර සහ ස්ථිර මැටි ගඩොල් නිවාස ඉදිවූයේ උබයිඩ් වැසියන් අතිනි.

සුවිශේෂී මැටි කර්මාන්තය: කළු පැහැති ජ්‍යාමිතික හැඩතලවලින් අලංකාර කළ "උබයිඩ් මැටි බඳුන්" ලොව පුරා ප්‍රසිද්ධය.

ටෙල් අල්-උබයිඩ් සහ ඒ අවට ප්‍රදේශවල පුරාවිද්‍යා කැණීම්

1919 වසරේදී හැරී රෙජිනෝල්ඩ් හෝල්ගේ මෙහෙයවීම යටතේ මෙහි කැණීම් ආරම්භ වූ අතර, පසුව ලෙනාඩ් වුලී විසින් සිදුකළ ගවේෂණ මගින් මානවරූපී උරග පිළිරූ ඇතුලු වටිනා පුරාවස්තු රැසක් අනාවරණය කරගන්නා ලදී.

මීට සමාන මැටි රූප 'ඌර්' සහ 'එරිදු' යන ප්‍රදේශවලින් ද හමුවී ඇති අතර, එමගින් මෙම සොයාගැනීම් ව්‍යාප්ත වී තිබූ භූගෝලීය කලාපය තවදුරටත් පුළුල් වේ.

හමුවූ මැටි රූපවල ස්වභාවය


මෙම කැණීම්වලදී අනාවරණය කරගත් සුවිශේෂී පුරාවස්තු අතරින් වඩාත්ම අවධානයට ලක්වන්නේ නෙරා ගිය දෑස් සහිත 'උරගාකාර' ස්වරූපයක් ගන්නා මැටි රූපයි. උබයිඩ් සංස්කෘතියට අනන්‍ය වූ මෙම රූපවල ලක්ෂණ පහත පරිදි වේ:

  • භෞතික ස්වරූපය: මෙම ප්‍රතිමා බොහොමයක් මගින් නිරූපණය වන්නේ සිහින් සිරුරක් සහිත මිනිස් රූප වුවද, ඒවායේ හිසෙහි හැඩය උරගයෙකුට සමාන වේ. මේවායේ මුහුණ දිගටි වන අතර දෑස් ආමන්ඩ් (almond) ඇටයක හැඩයට සමාන මදක් නෙරා ආ ස්වභාවයක් ගනී.

  • කාන්තා ප්‍රතිමා: හමුවූ රූප අතරින් බහුතරයක් කාන්තා රූප වන අතර, ඒවායේ උරහිස් මත අලංකාර කැටයම් හෝ සලකුණු දක්නට ලැබේ. සමහර ප්‍රතිමා මගින් දරුවෙකු වඩාගෙන සිටින මවකගේ රූපයක් ද නිරූපණය වේ.

  • දරුවෙකු වඩාගත් මව් රූපය: සෙන්ටිමීටර 13.8 ක් උසැති මෙම මැටි රූපයෙන් නිරූපණය වන්නේ සිය වම් උකුලේ තබාගෙන සිටින දරුවෙකුට කිරි පොවන මවකි. මෙහි ඇති වඩාත්ම විස්මයජනක කරුණ නම් එම මවට මෙන්ම දරුවාට ද ඇත්තේ උරගයෙකුට සමාන හිසක් (Reptilian head) වීමයි. ප්‍රතිමාවේ ගෙල වටා ඇති මාල, විවිධ ඉරි, තිත් සහ ඉඟ පටි කළු පැහැති සායම්වලින් ඉතා සියුම්ව සිතුවම් කර ඇත. එමෙන්ම මෙම ප්‍රතිමාව ස්ථාවරව තබා ගැනීම සඳහා එහි පාද කේතුකාකාර පාදමක හැඩයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

  • සංකේත සහ අධිකාරීත්වය: හමුවූ මැටි රූප අතර ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයම විවිධ ඉරියව්වලින් නිරූපණය කර ඇත. ඉන් සමහරක් හිස්වැසුම් (Helmets) හෝ උරහිස් ආවරණ (shoulder pads) පැළඳ සිටින අතර, තවත් සමහර රූප අතින් සැරයටියක් හෝ සෙංකෝලයක් (Scepters) දරා සිටියි. මෙමගින් එම පුද්ගලයන් සතුව පැවති සමාජීය බලය හෝ පාලන අධිකාරීත්වය සංකේතවත් වන බව විශ්වාස කෙරේ.

  • පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, මෙම රූපවල හිසෙහි පවතින අමුතු හැඩය එම යුගයේ පැවති යම් සම්ප්‍රදායික හිස හැඩගැන්වීමේ කලාවක් (Cranial deformation) හෝ යම් ආගමික වතාවත්වලට සම්බන්ධ සංකේතයක් විය හැකිය.

උබයිඩ් මැටි රූප සහ පිටසක්වල සබඳතාව: මතභේදාත්මක විග්‍රහයක්

පුරාවිද්‍යාඥයන් මෙම රූප සංකේතාත්මක නිර්මාණ ලෙස හැඳින්වූවත්, 'පැරණි පිටසක්වල ජීවීන් පිළිබඳ මතධාරීන්' (Ancient Alien Theorists) මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරති. ඔවුන් පවසන්නේ මෙම රූප හුදු පරිකල්පනයන් නොව, අතීතයේ පෘථිවියට පැමිණි සැබෑ ජීවීන් වර්ගයකගේ නිරූපණයන් බවයි.

ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක කිහිපයක් පහත දැක්වේ:

  • 'රෙප්ටිලියන්' (Reptilian) ජීවීන්: මෙම මතධාරීන් විශ්වාස කරන්නේ මීට වසර දහස් ගණනකට පෙර 'රෙප්ටිලියන්' හෙවත් උරග ස්වරූපී පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි බවයි. උබයිඩ් වැසියන් තමන් ඇසින් දුටු මෙම උසස් ජීවීන් දේවත්වයෙන් සලකා ඔවුන්ගේ රූප මෙලෙස නිර්මාණය කර ඇති බව ඔවුන්ගේ මතයයි.

  • දැනුම ලබාදීම: මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ හදිසි දියුණුවට සහ වාරි තාක්ෂණයේ වර්ධනයට මෙම 'දෙවිවරුන්' ලෙස පෙනී සිටි පිටසක්වල ජීවීන්ගේ මගපෙන්වීම ලැබුණු බව මෙමගින් කියවේ.

  • දරුවාට කිරි දෙන මව් රූපය: විශේෂයෙන්ම උරග හිසක් සහිත දරුවාට කිරි දෙන මව් රූපය පෙන්වා දෙමින් ඔවුන් තර්ක කරන්නේ, මෙය හුදු සංකේතයක් නොව පිටසක්වල ජීවීන් සහ මිනිසුන් අතර පැවති යම් ජානමය සබඳතාවක් (Hybridization) ඉඟි කරන්නක් බවයි.

  • අනුන්නාකි (Anunnaki) සම්බන්ධය: සමහර පර්යේෂකයන් මෙම රූප සුමේරියන් ලේඛනවල සඳහන් වන 'අනුන්නාකි' දෙවිවරුන්ගේ මුල් නිරූපණයන් ලෙස ද හඳුන්වනු ලබයි.

Comments