![]() |
| A young Spartan woman - AI generated using historical descriptions as the prompt |
සමෘධිමත් ස්පාර්ටා දේශයේ සංචාරය කරන්නට කාළ චාරිකාවක යෙදෙන ඔබට හැකියාවක් ලැබෙන්නේ නම් බොහෝ තැන්හි එලිමහන් ක්‍රීඩාපිටිවල ස්පාටාවේ යොවුන් කන්‍යාවෝ දීප්තිමත් හිරු රැස් හමුවේ දීර්ඝ වේලාවක් ගත දකින්නට ලැබෙනු ඇති. ඔවුහු සිය පාද වේගයෙන් චලනය කරමින් සහ බාහූන් පද්දමින්, දිවීමෙහි සහ මල්ලවපොර ක්‍රීඩාවෙහි නිරත වන ආකාරය දිස්වෙනු ඇති. ග්‍රීක හා රෝම ලෝකයේ වෙනත් බොහෝ තැන්වල මෙන් කාන්තාවන් නිවසට හෝ මුළුතැන්ගෙට සීමා කිරීමක් ස්පාර්ටාවේ දකින්නට තිබුනේ නෑ.
රූමත් ස්පාර්ටන් කාන්තාවක් ශක්තිමත් සිරුරක් ඇති වෙළඹකට සමකරන කාව්‍යයක් ස්පාර්ටන් සාහිත්‍යයේ තිබෙන්නේ ශාරිරික සුවතාවය හා ශක්තිය ස්පාටා සමාජයේ පිරිමින් අතර මෙන්ම කාන්තාවන්ටත් අනිවාර්යවූ නිසයි.
ස්පාර්ටාවේ පිරිමින් එකල ග්‍රීක-රෝම ලෝකයේම දක්ෂතම හා නිර්භීතම සටන්කරුවන් ලෙස භය-මුසු කීර්තියක් දිනාගෙන සිටියත් ගැහැණු ළමයින් සටන් සඳහා සූදානම් කිරිමක් සිදුවුනේ නෑ. එහෙත් ස්පාටාවේ, පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද ශාරීරික යෝග්‍යතාව එක හා සමානව වැදගත් යැයි සලකන ලද අතර, ගැහැණු ළමයිද තරඟ සහ ශක්තිය මැන බලන පරීක්ෂණ සඳහා සහභාගී කරවීම සිදුවුනා.
![]() |
| Spartan Girls Training - AI Generated Illustration |
"ස්පාටන් කාන්තාවන්" හෝ "ස්පාටන් කන්‍යාවන්" ලෙසද හැඳින්වෙන ස්පාටාවේ යොවුන් කන්‍යාවෝ ශක්තිය, ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන ලද අතර අනෙකුත් බොහෝ පුරාණ ග්‍රීක සමාජයන්හි කාන්තාවන්ගේ චරිතයන්ට වඩා වෙනස් වූ, සුවිශේෂී සහ බලපෑම් සහගත කාර්යභාරයක් ස්පාර්ටා නගර-රාජ්‍යයේ (city state of Sparta) සමාජ රාමුව තුළ ඉටු ඉටුකලා.
පෙර සඳහන් කල පරිදිම ස්පාටන් සමාජයේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණයක් වූයේ ශාරීරික යෝග්‍යතාවය සහ ශක්තිය කෙරෙහි දක්වන ලද අවධානයයි. එය පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද එක සේ අදාළ වූ කාර්යයක් වුනා.
කාන්තාවගේ කාර්යභාරය බොහෝ දුරට ගෘහස්ථ සීමාවට පමණක් සීමා වූ අනෙකුත් ග්‍රීක නගර-රාජ්‍යයන් මෙන් නොව, ස්පාටන් කාන්තාවන්ට කුඩා කල සිටම ක්‍රීඩා සහ ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට දිරිගන්වන දිරිගන්වන ලද අතර නිරෝගී දරුවන් ලැබිය හැකි ශක්තිමත් කාන්තාවක් බවට පත්වීම අපේක්ෂාව වුනා.
ඒ අනුව ස්පාටන් ගැහැණු ළමයින් ඇති දැඩි කිරීමේදී මූලික වූයේ ශාරීරික ශක්තිය, විනය සහ විඳදරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් රාජ්‍ය අනුමැතිය ලත් දැඩි අධ්‍යාපන ක්‍රමයකින් කුඩාකල සිටිම හැඩගස්වනු ලැබුවා.
විධිමත් හමුදාමය විනය හා පුහුණුව හෙවත් අගෝගේ (agoge) ක්‍රමය පිරිමි ළමයින් සඳහා පමණක් වෙන් කර තිබූ අතර, ගැහැණු ළමයින්ටද ඊට සමාන පොදු අධ්‍යාපනයක් හිමි වුනා. එහිදී ඔවුහු සංගීතය, නර්තනය සහ සාහිත්‍යය පිළිබඳ පාඩම්වලට අමතරව දිවීම, මල්ලවපොර සහ හෙල්ල විසි කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වියයුතු වුනා.
ස්පාටන් කාන්තාවන්ගේ ශාරීරික පුහුණුව ඇයගේ ශරීර සුවතාවය හා නිරෝගීභාවය සඳහා පමණක් සිදු වූවක් නොවේ; එය මව්වරුන් ලෙස සහ ස්පාටන් සමාජයේ ආරක්ෂකයින් ලෙස ඔවුන්ගේ කාර්යභාරය සඳහා අත්‍යවශ්‍ය පූර්ව සූදානමක් ලෙසද සලකන ස්පාර්ටන් සමාජය සළකනු ලැබුවා. ස්පාටාව එහි සතුරන්ගෙන් ආරක්ෂා කරන ප්‍රබල යෝධයින් බවට පුහුණුකල හැකි ශක්තිමත් සහ නිරෝගී දරුවන් බිහි කිරීම ස්පාටන් කාන්තාවන්ගෙන් ස්පාර්ටන් පාළකයින් හා ස්පාර්ටන් සමාජය බලාපොරොත්තු වුනා.
ඔවුන්ගේ ශාරීරික දක්ෂතාවයට අමතරව, ස්පාටන් කාන්තාවෝ අනෙකුත් පුරාණ ග්‍රීක සමාජයන්හි දැකිය නොහැකි මට්ටමේ නිදහසක් සහ ස්වාධීනත්වයක් භුක්ති වින්ද බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙලිවෙනවා.
බොහෝ දුරට නිවසටම සීමා වී අයිතිවාසිකම් හෝ වරප්‍රසාද ස්වල්පයක් පමණක් හිමි වූ ග්‍රීසියේ ඇතැන්ස්හි කාන්තාවන් මෙන් නොව, දේපළ හිමිකර ගැනීම, වස්තුව උරුම කර ගැනීම සහ යම් දුරකට පොදු ජීවිතයට සහභාගී වීම ඇතුළුව වැඩි අයිතිවාසිකම් සහ නිදහසක් ස්පාටන් කාන්තාවන්ට හිමි වුනා.
ස්පාටන් කාන්තාවන් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ පුවතක් පැමිණෙන්නේ පළමුවන ලියෝනිදාස් රජුගේ බිරිඳ වූ ගෝර්ගෝ රැජිනගේ කතාව විස්තර කළ ප්ලූටාර්ක් (Plutarch) නැමැති ඉතිහාසඥයාගෙන්. ස්පාටන් කාන්තාවන් පිරිමින් පාලනය කරන්නේ මන්දැයි විදේශිකයෙකු ඇසූ විට, ගෝර්ගෝ රැජින "පිරිමින්ව බිහිකරන්නේ අපි, ඒ නිසා ඔවුන්ව පාලනය කරන්නත් අපිට පුලුවන්" ලෙස පිලිතුරු දුන්බව පැවසෙනවා.
ඔවුන්ගේ සුවිශේෂී තත්ත්වය සහ වරප්‍රසාද පැවතියද, ස්පාටන් කාන්තාවන්ගෙන් තවදුරටත් යම් යම් සමාජ සම්මතයන් සහ බලාපොරොත්තු ඉටු කිරීම අපේක්ෂා කෙරුනා. ස්පාටන් සමාජය තුළ විවාහය සහ මාතෘත්වය ඉහළින් අගය කරන ලද අතර, ස්පාටන් රණශූර ආකල්පයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා කාන්තාවන් විවාහ වී දරුවන් බිහි කිරීමට දිරිගන්වනු ලැබුවා.


Comments
Post a Comment