![]() |
| Tollense River in northern Germany - 1250 BC |
1996 වසරේදී, උතුරු ජර්මනියේ Tollense ගඟ දිගේ ආධුනික පුරාවිද්යාඥයෙකු ඇවිද යමින් සිටියා. ඔහුට ගං ඉවුරෙන් පිටතට නෙරා තිබූ මිනිස් අතක අස්ථියක් දක්නට ලැබුණා. එම අස්ථිය තුළ ගල් ඊතල තුඩක් ඇනී තිබුණ බවත් විමතියෙන් එය පරීක්ෂාකල ආධුනික පුරාවිද්යාඥයා දුටුවා.
පුරාවිද්යාඥයින් කැණීම් ආරම්භ කළාට පසු ඔවුන්ට දිගින් දිගටම මිනිස් අවශේෂ හමුවුණා. මේ වන විට පුද්ගලයන් 140 කට වඩා වැඩි පිරිසකගේ සහ අශ්වයන් කිහිප දෙනෙකුගේ අස්ථි සොයාගෙන තිබෙනවා. ඔවුන් කැණීම් කර ඇත්තේ එම නිම්නයේ ඉතා කුඩා කොටසක් පමණයි. ඒ අනුව නිම්නයේ සම්පූර්ණ කැණීමකින් 3000-4000කගේ පමණ මානව අවශේෂ සොයාගන්නට පුලුවන් විය හැකි බවට ගණන් බලා තිබෙනවා.
කාබන් දින පරීක්ෂා සිදුකල විද්යාඥයින් විසින් එම අස්ථි ක්රි.පූ. 1250 ට පමණ අයත් බවට කාල නිර්ණය කර තිබෙනවා. ඒ කියන්නේ මීට වසර 3250කට පමණ පෙර යුරෝපා පිත්තල යුගයට අයත් වෙනවා.
හමුවූ අස්ථි බොහොමයක් තරුණ පිරිමින්. බොහෝ දෙනෙකුට මාරාන්තික තුවාල තිබී තිබෙනවා: අස්ථි තුළ ඇනී තිබූ ඊතල තුඩු, කුඩුපට්ටම් වූ හිස් කබල් සහ පිටුපසට එල්ල වූ කැපුම් තුවාල. එයින් පෙනී යන්නේ ඔවුන් පලා යද්දී ප්රහාරයට ලක්ව ඇති බවයි.
ඒ අනුවම මේ ස්ථානයේදී වසර 3250කට පෙර පිත්තල යුගයේ යම් ශිෂ්ඨාචාරයක මිනිසුන් දෙපිරිසක් අතර දරුණු යුධගැටුමක් සිදුවී තිබෙනවා. මෙය දැනට හමුවී ඇති, යුරෝපයේ සිදුවූ ආදිතම විශාල යුද්ධය හෝ දරුණු අවිගැටුම බවට පුරාවිද්යාඥයින් මත පලකරනවා
මෙම සොයාගැනීමට පෙර, ඉතිහාසඥයින් විශ්වාස කළේ ලෝකඩ යුගයේ උතුරු යුරෝපයේ සිදු වූයේ කුඩා ගැටුම් පමණක් බවයි, එනම් පුද්ගලයන් සුළුපිරිසක් පමණක් සම්බන්ධ වූ ප්රාදේශීය ආරවුල් වැනි දේ.
Tollense සොයාගැනීම එම මතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. හමු වූ සිරුරු සංඛ්යාව සහ ප්රදේශයේ විශාලත්වය මත පදනම්ව, පර්යේෂකයින් ඇස්තමේන්තු කරන්නේ පිරිමින් දහස් ගණනක් මෙහි සටන් වැදී ඇති බවයි.
ඔවුන්ගෙන් සමහරෙකුට පෙර සටන් වලින් ඇති වී සුව වූ තුවාල තිබී තිබෙනවා. මොවුන් හුදෙක් ප්රදේශයේ ගොවීන් පමණක් නෙවෙයි; බොහෝ දෙනෙක් පළපුරුදු සෙබළුන්. ඔවුන් එක්කෝ ස්ථිර යුධ හමුදාවක සේවය කර තිබෙනවා. එසේ නැතිනම් මුදලට සටන් කරන රණශූරයින් (mercenaries) පිරිසක් විය හැකියි. කෙසේ වෙතත් මොවුන් අවිගත් ගැමියන් නොවන බවනම් තහවුරුයි.
සටන්කරුවන් විවිධ ආයුධ මිශ්රණයක් භාවිතා කර තිබෙනවා: ලෝකඩ කඩු, හෙල්ල, ලෝකඩයෙන් සහ ගල් වලින් සාදන ලද ඊතල තුඩු, සහ බර ලී මුගුරු.
විද්යාඥයින් එම රණශූරයන්ගේ දත් වල රසායනික සංයුතිය ද පරීක්ෂා කළා. ප්රතිඵල වලින් පෙනී ගියේ බොහෝ දෙනෙක් එම නිම්නය ආසන්නයේ හැදී වැඩුණු අය නොවන බවයි. 2016 වසරේදී, පුරාවිද්යාඥයින්ට රණශූරයෙකුට අයත් ලෝකඩ මෙවලම් කට්ටලයක් හමු වුණා. එහි මෝස්තරයෙන් පෙනී යන්නේ ඔහු සැතපුම් සිය ගණනක් ඈත මධ්යම යුරෝපයේ සිට පැමිණි අයෙකු බවයි.
ඒ අනුව ඔවුන් මුදලට සටන් කරන කුලී හේවායින් කණ්ඩායමක් හෝ ඈත රාජධාණියක නිළ හමුදාවේ සාමාජිකයින් විය හැකියි.
ඔවුන් සටන් කළේ ඇයි, ඔවුන් කවුද? ඒ ගැන කිසිවෙකුට නිශ්චිතවම කිව නොහැකියි. එක් ජනප්රිය මතයක් වන්නේ ඔවුන් ගඟ හරහා වැටී තිබූ, වැදගත් වෙළඳ මාර්ගයක කොටසක් වූ පාලමක් හෝ පිහිටි මාර්ගයක් පාලනය කර ගැනීම සඳහා සටන් වැදී ඇති බවයි.
මෙම කාලයට අයත් කිසිදු ලිඛිත වාර්තාවක් නැහැ - නම් නැහැ, ජයග්රාහකයෙකු ගැන සටහනක් නැහැ, සහ ලිඛිත කථා නැහැ. ඉතිරිව ඇත්තේ අමතක වී ගිය යුද්ධයක, වසර 3,000 ක් පැරණි අස්ථි වලින් පිරුණු ගං ඉවුරක් පමණයි.

Comments
Post a Comment