NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

TRAVEL: පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ උප්පත්ති කතාව

Original Book Cover, 1894

1894දී එවක උද්‍යාන පාලක හෙන්රි ට්‍රයිමන් ලියන ලද "පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිළිබඳ අත්පොත" පොත්-පිංචෙන් උපුටාගන්නා ලදී

උද්භිද උද්‍යානයේ පිහිටීම හා දේශගුණය

පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය, ඉංග්‍රීසීන් විසින් උඩරට රාජධානිය සම්පූර්ණයෙන්ම යටත් කරගෙන වසර හයකට පසුව, 1821 දෙසැම්බර් මාසයේදී අරඹනු ලැබූවා. මෙම ස්ථානය කොළඹ පාරේ මහනුවර සිට කිලෝමීටර 6.4 කටත් වඩා අඩු දුරකින් පිහිටා ඇති අතර, දකුණු පසින් ඇති ප්‍රධාන පාරෙන් හැරුණු විට අනෙක් සෑම පැත්තකින්ම එය වටවී ඇත්තේ මහවැලි ගඟේ ස්වභාවිකව පිහිටි වක්කලමක් හෙවත් නැම්මකිනි (river loop). 

හෙක්ටයාර 60.7 කට ආසන්න ප්‍රමාණයකින් යුතු මෙම භූමිය මනරම් ලෙස තැනිතලා සහ කඳු ගැටවලින් සමන්විත වන අතර, මුහුදු මට්ටමේ සිට මෙහි සාමාන්‍ය උස මීටර 470ක් පමණ වේ.

මෙහි කාලගුණය රස්නය සහිත, තෙතමනය සහිත සහ ඉතා සමබර එකකි. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සෙල්සියස් පමණ වන අතර, අප්‍රේල් සහ මැයි මාස වඩාත්ම රස්නය සහිත මාස වන අතර දෙසැම්බර් සහ ජනවාරි මාස වඩාත්ම සිසිල් මාස වේ. 

වසරකට දින 150 ක පමණ කාලයක් වැසි පතිත වන අතර, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2,210 ක් පමණ වේ. එය වසර පුරා තරමක් ඒකාකාරී ලෙස පැතිරී තිබුණද, ඊසානදිග සහ නිරිතදිග මෝසම් සුළං පිළිවෙලින් සක්‍රිය වන ඔක්තෝබර්, නොවැම්බර් සහ ජූනි මාසවලදී සාමාන්‍යයෙන් තද වර්ෂාපතනයක් ලැබේ. 

ජනවාරි, පෙබරවාරි සහ මාර්තු වඩාත්ම වියළි මාස වන නමුත්, එම මාසවලදී පවා බොහොමයක් වසරවල කෙටි කාල පරාසයන් තුළ වැසි පතනය වේ.

Map of Royal Botanic Garden, Peradeniya (C) Terence K Arachchi, 2026

උද්‍යාන භූමියේ රාජකීය ඉතිහාසය

උද්භිද උද්‍යානයක් ලෙස භාවිත කිරීමට පෙර, එම ඉඩමෙන් වැඩි කොටසක් මහනුවර රජවරුන් විසින් කෙලින්ම පාලනය කල, රාජකීය අයිතියක් සහිත භූමියක් විය. රජ කාලයට අයත් නටබුන් ලෙස සැලකෙන දකුණු මායිම දිගේ පිහිටි පස් ගොඩැල්ලක් සහ අගලක් තවමත් පැහැදිලිව දැකගත හැකි අතර, ගල් ගොඩනැගිලිවල නටබුන් ද හමු වී ඇත. මෙම ස්ථානයේ එක් කොටසක කුඩා විහාරයක සහ හිමිනමකගේ ආවාස ගෙයක් තිබී ඇති අතර, කෙසේ වෙතත් උද්‍යානය පිහිටුවීමට පෙර ඒවා අතහැර දමා තිබුණි.

1823 දී හුදුහුම්පොළ විහාරය විසින් මෙම ඉඩමට සහ විහාරයට හිමිකම් කී අතර, එයින් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවද, ඊට හිලව් වශයෙන් වෙනත් ඉඩම් කොටසක් පිරිනැමීමෙන් එය නිරවුල් කරගන්නා ලදී.

ලංකාවේ උද්භිද උද්‍යාන ආරම්භය

කෙසේ වෙතත්, ලංකාවේ පළමු උද්භිද උද්‍යානය පේරාදෙණිය නොවේ. ලන්දේසීන්ට කොළඹ කොම්පඤ්ඤ වීදියේ උද්‍යානයක් තිබූ අතර, එහි සේවය කළ සහ ජීවත් වූ ලස්කිරිඤ්ඤ කුලී හේවා භට ඛණ්ඩයක් (මිලිටරි වහරෙන් භට ඛණ්ඩයක් කම්පැණි ලෙස හැඳින්වෙනවා) නිසා ඊට කොම්පැණි වීදිය හෙවත් කොම්පඤ්ඤවීදිය යන නම ලැබුණි.

බ්‍රිතාන්‍යයන් විසින් මෙය නොසලකා හරින ලද අතර පසුව කැබලි කර විකුණා දමන ලදී; නමුත් පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ගරු ෆ්‍රෙඩ්. නෝත් මහතාට (පසුව ගිල්ෆෝර්ඩ් සාමිවරයා) කොළඹ අසල කැලණි ගඟ අසබඩ පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසට අනුබද්ධව උද්‍යානයක් තිබූ අතර, 1799 දී ජෝසෆ් ජොන්විල් නමැත්තෙකු එහි අධිකාරී ලෙස පත් කරමින් ඊට උද්භිත ස්වරූපයක් ලබා දීමට යම් උත්සාහයක් ගන්නා ලදී. කල්කටාවේ පිහිටි ගරු නැගෙනහිර ඉන්දියා සමාගමේ උද්‍යානය මෙම කාලයේදී ප්‍රමුඛ උද්භිත විද්‍යාඥ රොක්ස්බර්ග් යටතේ සරුසාරව පැවැති අතර, එම ආයතනය සමඟ යම් ශාක හුවමාරු කිරීම් සිදු කර ඇති බව පෙනී යයි.

කෙසේ වෙතත්, ලංකාවේ පළමු උද්භිද උද්‍යානය පේරාදෙණිය නොවේ. ලන්දේසීන්ට කොළඹ කොම්පඤ්ඤ වීදියේ උද්‍යානයක් තිබූ අතර, එහි සේවය කළ සහ ජීවත් වූ ලස්කිරිඤ්ඤ කුලී හේවා භට ඛණ්ඩයක් (මිලිටරි වහරෙන් භට ඛණ්ඩයක් කම්පැණි ලෙස හැඳින්වෙනවා ) නිසා ඊට කොම්පැණි වීදිය හෙවත් කොම්පඤ්ඤවීදිය යන නම ලැබුණි. බ්‍රිතාන්‍යයන් විසින් මෙය නොසලකා හරින ලද අතර පසුව කැබලි කර විකුණා දමන ලදී; 

නමුත් පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ගරු ෆ්‍රෙඩ්. නෝත් මහතාට (පසුව ගිල්ෆෝර්ඩ් සාමිවරයා) කොළඹ අසල කැලණි ගඟ අසබඩ පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසට අනුබද්ධව උද්‍යානයක් තිබූ අතර, 1799 දී ජෝසෆ් ජොන්විල් නමැත්තෙකු එහි අධිකාරී ලෙස පත් කරමින් ඊට උද්භිත ස්වරූපයක් ලබා දීමට යම් උත්සාහයක් ගන්නා ලදී. 

කල්කටාවේ පිහිටි නැගෙනහිර ඉන්දියා සමාගමේ උද්‍යානය මෙම කාලයේදී ප්‍රමුඛ උද්භිත විද්‍යාඥ රොක්ස්බර්ග් යටතේ සරුසාරව පැවැති අතර, එම ආයතනය සමඟ යම් ශාක හුවමාරු කිරීම් සිදු කර ඇති බව පෙනී යනවා

කොළඹ කිව් උද්‍යානය කළුතර උද්‍යාන

1810 දී, රාජකීය සංගමයේ සභාපති සර් ජෝසෆ් බෑන්ක්ස් මහතා ලංකාවේ නිසි උද්භිද උද්‍යානයක් පිහිටුවීම සඳහා යෝජනා කර සැලසුමක් සකස් කළා. ඒ සඳහා තෝරාගත් ස්ථානය නැවතත් කොළඹ කොම්පඤ්ඤවීදිය වූ අතර, එය ලන්ඩනයේ සුප්‍රකට කිව් උද්‍යානයේ අභාශයෙන් කොළඹ කිව් උද්‍යානය ලෙස හඳුන්වන්නට තීරණය කලා. අදටත් කොළඹ කොම්පඤ්ඤවීදියේ කිව් පාර, මෙම උද්‍යානය පිහිටි භූමිය ඉදිරියෙන් දිවෙන පාරයි. 

උද්භිද විද්‍යාව වෙනුවෙන් පෙනී සිටි ජෝසෆ් බෑන්ක්ස්, කැන්ටන් හි සිටි ඩබ්ලිව්. කර් මහතාව "නියෝජිත අධිකාරී සහ ප්‍රධාන උද්‍යාන පාලක" ලෙස පත් කර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඔහු 1812 දී පැමිණි අතර, කොළඹ පිහිටි පෞද්ගලික රජගෙදර උද්‍යානයේ සහ කොම්පඤ්ඤවීදියේ හෙක්ටයාර 2.8 ක (අක්කර 7 ක) භූමි ප්‍රමාණයක වගකීම ඔහුට පවරනු ලැබුවා. 

කෙසේ වෙතත්, කොම්පඤ්ඤවීදියේ ඉඩම ඉක්මනින්ම මෝසම් කාළයට බේරේ වැව උතුරා යාම නිසා ගංවතුරට ලක්වන බවත්, එහි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් තේරුම් ගිය නිසා, 1813 දී රජය විසින් කළුතර ආසන්නයේ තිබූ අසාර්ථක වූ හෙක්ටයාර 242.8 ක (අක්කර 600 ක) උක් වත්තක් ලබාගෙන උද්භිද ආයතනය එහාට ගෙන ගියා. කොළඹ පිහිටි කුඩා කිව් උද්‍යානයද දිගටම පවත්වාගෙන යනු ලැබුවා.

ඇලෙක්සැන්ඩර් මූන් හා පේරාදෙණිය උද්‍යානයේ ආරම්භය

1814 දී ඩබ්ලිව්. කර් මහතාගේ අභාවයෙන් පසුව, 1816 දී සර් ජේ. බෑන්ක්ස් විසින් කර් මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඇලෙක්සැන්ඩර් මූන් තෝරාගනු ලැබූ අතර, ඔහු වසරකට පවුම් 512 ක ඉතා හොඳ වැටුපකට මෙහි ගෙන්වා ගෙන තිබුණා. ඔහු දක්ෂ, උද්‍යෝගිමත් මෙන්ම තමන්ගේ කාර්යයට කැපවූ පුද්ගලයෙක්. මූන්ගේ අධීක්ෂණය යටතේ උද්භිද උද්‍යානය 1821 දී පේරාදෙණියේ දැනට පවතින ස්ථානයට ගෙන යන ලද අතර, පලමු උද්‍යාන සැලසුම්, මාර්ග තැනීම සහ කළුතරින් ගෙන යා හැකි ශාක පේරාදෙණියට ගෙනයාම මූන්ගේ දැඩි කැපවීම මත සිදුවුනා.

ආරම්භයේදී, උද්‍යානයේ නිරිතදිග කොටස පමණක් විවෘත කරන ලද අතර, එහි වැඩි වශයෙන් කෝපි සහ කුරුඳු වගා කරන ලදී. මූන් ලංකාවේ ශාකලතාව පිළිබඳව උනන්දුවෙන් අධ්‍යයනය කළ අයෙකු වූ අතර, සීමිත අවස්ථා, අසම්පූර්ණ පුස්තකාලයක් සහ කිසිදු සහායකයෙකු නොමැතිව, බොහෝ කැපවීමෙන් සම්පාදනය කරන ලද "Catalogue of Ceylon Plants" නම් ග්‍රන්ථය 1824 දී ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කොළඹදී ප්‍රකාශයට පත් කරන්නටද ඔහු සමත්වුනා.

මෙම පොතෙහි දිවයිනට ආවේණික වූ ශාක 1,127 ක උද්භිද විද්‍යාත්මක සහ දේශීය නම් ඇතුළත් වූ අතර (ඉන් ශාක 164 ක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී), ඊට අමතරව විදේශයන්ගෙන් හඳුන්වා දුන් සහ වාණිජව වගා කරන ලද ශාක විශේෂ 366 ක්ද ඇතුළත් විය. 

එමෙන්ම ඇලෙක්සැන්ඩර් මූන් වියළන ලද ශාක සාම්පල විශාල එකතුවක්ද සකස් කළ අතර පුස්තකාලයක් ආරම්භ කර, එතැන් සිට නොකඩවා පවත්වාගෙන එනු ලබන ලංකාවේ ශාක පිළිබඳ වර්ණ සිතුවම් මාලාවටද මුලපිරීය. එය දැනට උද්‍යානයේ ඇති ඉතා වටිනා වස්තු අතරින් ප්‍රධාන කොටසකි. ඔහු 1820 දී ආරම්භ කරන ලද, වර්තමාන රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ පූර්වගාමියා වූ ලංකා සාහිත්‍ය සහ කෘෂිකාර්මික සමිතියේද ප්‍රමුඛ සාමාජිකයෙකු විය.

1825 දී මූන්ගේ අභාවයෙන් පසු පත් වූ අධිකාරීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ. ඔවුන්ගෙන් බහුතරයක් උද්‍යානයේ සංවර්ධනයට හෝ ලංකාවේ උද්භිද විද්‍යාවේ දියුණුවට ලොකු සේවයක් සිදු කළේ නැත.

1825 ඇන්ඩෲ වෝකර් (වැඩබලන)

1827 ජේම්ස් මැක්‍රේ

1830 ජෝර්ජ් බර්ඩ් (වැඩබලන)

1832 ජේම්ස් ජෝර්ජ් වොට්සන්

1838 ජේ. ජී. ලියර් (වැඩබලන)

1840 එච්. ටී. නෝමන්සෙල්

1843 ඩබ්ලිව්. සී. ඔන්ඩාච්චි (වැඩබලන)

ජෝර්ජ් ගාඩ්නර් යුගය

1844 දී, ක්‍රියාශීලී උද්භිද විද්‍යාඥයෙකු මෙන්ම බ්‍රසීලයේ ප්‍රසිද්ධ ගවේෂකයෙකු වූ ජෝර්ජ් ගාඩ්නර් පත් කිරීමත් සමඟ, පේරාදෙණිය උද්‍යානය වඩාත් සක්‍රීය, ස්වාධීන සහ ඵලදායී ගමනක් ආරම්භ කළ අතර එය අද දක්වාම පවත්වාගෙන යනු ලබනවා 

ජෝර්ජ් ගාඩ්නර්ගේ නායකත්වය යටතේ උද්‍යානයේ අලුත් පාරවල් තැනූ අතර, කැළෑ විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කර, අලුත් ශාක වර්ග රාශියක් හඳුන්වා දෙන ලදී. උද්‍යානයේ ඇතුළුවන දොරටුව සකස් කර, උද්‍යාන අධිකාරී බංගලාවද ඉදි කරන ලද්දේ ගාඩ්නර් යටතේය. කෙසේ වෙතත්, ගාඩ්නර් සංචාරක උද්භිද විද්‍යාඥයෙකු වූ අතර, ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ දේශීය ශාක එකතු කිරීම, ඒවා විස්තර කිරීම සහ නව සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීමයි. ඔහු මුළු ලංකාව පුරාම පාහේ සංචාරය කරමින් ලංකාවේ උද්භිද විද්‍යාවේ දියුණුවට විශාල සේවයක් කලේය

තිස් වසරක ත්වේට්ස් පාලනය හා පේරාදෙණිය උද්‍යානය ලෝකයේ හොඳම උද්‍යානයක් බවට පත්වීම

ගාඩ්නර් මහතාගෙන් පසුව එම තනතුර සඳහා ආචාර්ය ජෝර්ජ් හෙන්රි කෙන්ඩ්‍රික් ත්වේට්ස්  මහතාව තෝරා ගන්නා ලදී. 1849 දී ඔහු මෙරටට පැමිණෙන විට, වගා කර තිබුණේ අක්කර 40 ක (හෙකටයාර් 16 ක) පමණ භූමි ප්‍රමාණයක් පමණි. ඉන් විශාල කොටසක් මහනුවර ප්‍රදේශයේ විකිණීම සඳහා එළවළු වගා කළ ගෙවතු වගා භූමියක් ලෙස භාවිතා වුන අතර උද්භිද විද්‍යාවට සිදුවූ සේවය අවම විය.

ආචාර්ය ත්වේට්ස් මහතා වසර තිහකට වැඩි කාලයක් පුරා පේරාදෙණිය උද්‍යානය ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන ගිය අතර, එය විද්‍යාත්මක මෙන්ම ප්‍රායෝගික වටිනාකමකින් යුතු ලොව සුප්‍රකට ආයතනයක් බවට පත් කළේය. එතුමාගේ විශාල දැනුම සහ උද්භිද විද්‍යාව වෙනුවෙන් දැක්වූ කැපවීම, උද්‍යානයට විශාල ගෞරවයක් මෙන්ම ගෝලීය කීර්තියක් ද ලබා දුන්නේය. 1880දී ආචාර්ය ත්වේයිට්ස් තිස්වසරක සේවයකින් පසු විශ්‍රාම ගිය අතර 1882දී මහනුවරදී අභාවප්‍රාප්ත විය.

Comments