පසුගිය බ්රහස්පතින්දා (ඔක් 15) ඊලෝන් මස්ක් ඔහුගේ ටෙස්ලා සමාගමේ අලුත්ම රෝඩ්ස්ටර් අධිවේගී රථයේ සුපිරි එලිදැක්වීමේ උළෙල අවසන්වූ වහාම, විවේචකයින් එය බිලියනපතියන් සඳහා වූ මිල අධික, නිෂ්ඵල විගඩමක් ලෙස බැහැර කරන්නට පටන්ගත්තා.
සෑම විප්ලවීය තාක්ෂණික පිම්මකදීම ඇසෙන හුරුපුරුදු ප්රතිචාරයන් රෝඩ්ස්ටර් එලිදැක්වීමේදීත් අපට විවේචකයින්ගෙන් ඇසෙනවා. සක්රීය වායු ප්රවාහ චූෂණ තාක්ෂණය (active air suction technology) භාවිතයෙන් තත්පරයකට අඩු කාලයකින් පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගවත් වන මෝටර් රථයක් ප්රකෝටිපතියන් කිහිප දෙනෙකුගේ සුපිරි කාර් එකතුවට හැරෙන්නට වෙනත් කිසිවෙකුට අවශ්යදැයි ඇසෙනවා.
සැබැවින්ම දෛනික ගමනාගමනය සඳහා කිසිවෙකුට එවැනි අධික ත්වරණයක් අවශ්ය නොවන්නා වගේම සාමාන්ය වාහනයකට එතරම් අධික බලයක් ලබාදීම විශාල අණතුරුවලට හේතුවක් වෙනවා.
මුලින් ඇතිවන සැකය, පසුව පුළුල් ප්රයෝජනයක් බවට පත්වීමේ මෙම රටාව ඉංජිනේරු ඉතිහාසය පුරා නැවත නැවතත් දක්නට ලැබෙනවා.
1978 Formula One තරඟ වාරය සඳහා Brabham කණ්ඩායම වෙනුවෙන් Gordon Murray විසින් නිර්මාණය කරන ලද Brabham BT46B මෝටර් රථය, අභ්යන්තර චූෂණ පංකාවක් භාවිතා කරමින් පෙර නොවූ විරූ downforce එකක් - නිර්මාණය කළා. එය සිය මංගල Formula 1 තරඟයේදී වේගවත්ම රථය වුනා. කෙසේ වෙතත්, ප්රතිවාදී කණ්ඩායම් සහ F1 විචාරකයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය සහ විවේචන හේතුවෙන්, Formula One හි පාලක මණ්ඩලය වන FIA හට එම මෝටර් රථය තහනම් කිරීමට සිදු වුණා.
බොහෝ විට සුඛෝපභෝගී හෝ ප්රායෝගික නොවන ලෙස හංවඩු ගසනු ලැබූ, දශක ගණනාවක් පුරා සිදු වූ මෝටර් ක්රීඩා අත්හදා බැලීම්, අවසානයේදී වර්තමානයේ සම්මත නවීන වාහනවල දක්නට ලැබෙන කාබන්-සෙරමික් තිරිංග, hybrid බල ඒකක, සක්රීය වායුගති විද්යාව (active aerodynamics සහ paddle shifter හෙවත් සුක්කානමේ සවිකර ඇති ගියර් මාරු කිරීමේ පද්ධතිය බිහි කළා.
ඒ හා සමානව, යුරෝපා අභ්යවකාශ වැඩසටහන, Europa ව්යාපෘතිය අසාර්ථක වීම් එකොළහකට පසුව, 1973 දී Ariane රොකට් වැඩසටහන දියත් කළ විට, විචාරකයින් එය මහජන මුදල් නාස්තියක් ලෙස හෙලා දුටුවා. දශක දෙකක් ඇතුළත, Ariane විසින් වාණිජ චන්ද්රිකා දියත් කිරීමේ වෙළඳපොළෙන් අඩකට ආසන්න ප්රමාණයක් අත්පත් කරගත් අතර, නවීන විදුලි සංදේශ, කාලගුණ විද්යාව සහ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතීන් (GPS) සඳහා අඩිතාලම දැමුවා.
Tesla Roadster ප්රදර්ශණය කල සුපිරි බලශක්ති කළමනාකරණය, සක්රීය වායුගති විද්යාව සහ ඉහළ කාර්යසාධනයක් සහිත චැසිය වැනි තාක්ෂණයන් සාමාන්ය මෝටර් රථවලට සංගෘහිත කිරීමට වසර 10ක් පමණ ගත වෙන්නට පුලුවන්. මේ තාක්ෂණයන් මගින් මගින් සාමාන්ය රියදුරන් සඳහා වාහන ස්ථායිතාව, හදිසි තිරිංග පද්ධතිය, තාප කාර්යක්ෂමතාව සහ සමස්ත මාර්ග ආරක්ෂාව නොවැළැක්විය හැකි ලෙස වැඩිදියුණු කරනු ඇතැයි අපට බලාපොරොත්තු වෙන්නට පුලුවන්.

Comments
Post a Comment