FILM : මාවල් සිනමා විශ්වයේ අලුත්ම සිත්තම : Avengers - Infinity War


වෝල්ට් ඩිස්නි සමාගමට අයත් මාවල් චිත්‍රාගාරය ඔවුන්ගේ අලුත්ම ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ පලමු ට්‍රෙලරය පසුගිය බදාදා එලිදැක්වූවා. අයන් මෑන්,  කැප්ටන් ඇමරිකා, තෝර්, ඇවෙන්ජර්ස්, ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, බ්ලැක් පැන්තර් (2018 පෙබ. 9 UK / පෙබ 16 USA) ආදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගණනාවක සිදුවීම් දාම, චරිත හා කථාවස්තූන් එකම හූයකින් බැඳ තබන මාවල් සිනමා විශ්වය (Marvel Cinematic Universe) චිත්‍රපට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෙන්ම කතාබහට බඳුන්වූ ප්‍රබන්ධමය ඇස්බැන්දුම ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ සිනමා විශ්වයේ අතුරුකතා සිනමාලෝකය පමණක් නොව රූපවාහිණී ලෝකයත් ජය අරන්. කැප්ටන් ඇමරිකා, අයන් මෑන් හා ඇවෙන්ජර්ස් කථා මාලාවල එන ඇමරිකන් ආරක්ෂක ඒජන්සිය වන S.H.I.E.L.D ඒජන්සියේ චරිත වටා ගෙතුනු "Agents of SHIELD" මාවල් විශ්වයේ පලමුවෙන්ම ජනප්‍රියවූ රූපවාහිණී කතාමාලාවයි. මීට අමතරව කැප්ටන් ඇමරිකා (ස්ටීව් රොජර්ස්) ගේ පෙම්වතියවූ පෙගී කාටර්ගේ චරිතය වටා එතුනු ඒජන්ට් කාටර් , අයන් ෆිස්ට්, ජෙසිකා ජෝන්ස්, ඩෙෆෙන්ඩර්ස්, ඉන්හියුමන්ස්, ලූක් කේජ්, ද පනිෂර්, ඩෙයාඩෙවිල් ආදී රූපවාහිණී කතාමාලා රැසක් මාවල් සිනමා විශ්වය තවත් ඔපමට්ටම් කරනවා.

මාවල් සිනමා විශ්වයේ 19වැනි චිත්‍රපටය හා ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ තුන්වෙන චිත්‍රපටය ලෙසයි ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය ඉදිරිපත් වෙන්නේ. මාවල් කොමික්ස් චිත්‍රකතා චරිත මත පදනම්ව නිර්මාණය වන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ සොයුරන් දෙදෙනාය. 2018 මැයි 4 වැනිදා එලිදැක්වීමට නියමිත මේ චිත්‍රපටය ඉන්ෆිනිටි වෝ පලමු කොටස වන අතර දෙවැනි කොටස 2019 මැයි 3 වැනිදා එලිදැක්වීමට නියමිතය.

Avengers : Infinity War කතාවස්තුව 
(Spoiler Alert !!!)

කැප්ටන් ඇමරිකා : සිවිල් වෝ චිත්‍රපටය අවසන් වනවිට ඇවෙන්ජර්ස් කණ්ඩායම දැඩි මතබේධ නිසා වෙන්වී, විසිරී ගොස් සිටිනවා. මේ අතර ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි, දෙවැනි කොටසේ ඇතිවූ සිදුවීම් දාමයන්වල ප්‍රථිපලයක් හා කැප්ටන් ඇමරිකා :  සිවිල් වෝ හා ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන් කථාවස්තූන්වල සිදුවිලි දාමයන්ද නිසා ඇතිවන තත්වයන් හේතුවෙන් ඈත පිටසක්වල අඳුරු කළාපයක බලය පතුරුවාගෙන සිටින තේනෝස් නම් කුරිරු පිටසක්වල නායකයාට සිය බලය මුලුමහත් විශ්වය පුරාම පතුරුවාගැනීමට යම් අවස්ථාවක් උදාවනවා.

ඇවෙන්ජර්ස් පලමු චිත්‍රපටයේ නිව්යෝර්ක් නගරය ආක්‍රමණය කල චිටෞරී නම් පිටසක්වල ආක්‍රමණික හමුදාවේ අසහාය නායකයා වන තේනෝස්  ඇස්ගාර්ඩ් හි රජුවන ඕඩින්ගේ හදාගත් පුත්‍රයා වන ලෝකී සමගද සබඳතාවයක් ඇත. ලෝකීට ඇති සුපිරි අධි-මානසික ශක්තිය ඔහු ලබාගත්තේ ඇස්ගාර්ඩ් වෙතින් පිටුවහල් කිරීමෙන් පසු තේනොස් යටතේ ඔහුගේ රාජධානියේදීය. ඇවෙන්ජර්ස් පලමු චිත්‍රපටයේදී ටෙසරැක්ට් නම් සුපිරි බළශක්ති ප්‍රභවය ලබාදෙන පොරොන්දුව මත පෘථිවිය ආක්‍රමණය කිරීම සඳහා චිටෞරී හමුදාව මෙන්ම අධි බලැති හෙල්ලද ලෝකීට ලැබුනේ තේනෝස්ගේ අනුග්‍රහය යටතේය.

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටවල එන ගැමෝරා (කොළපැහැති සමක් ඇති පිටසක්වල යුවතිය) හා යාන්ත්‍රික අවයව ඇති නෙබියුලා සොයුරියන් වන අතර තේනෝස් ඔවුන්ව සිය දියණියන් ලෙස හදාගෙන, ඝාතකයන් ලෙස පුහුණු කර ඇත. ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි දෙවන චිත්‍රපටය අවසන්වන විට ගැමෝරා හා නෙබියුලා තේනෝස්ගේ ග්‍රහණයෙන් මිදී, ඔහුට විරුද්ධව එක්ව සිටී.

තේනෝස්ගේ එකම අරමුණ විශ්වයේ බලසම්පන්නම වස්තූන්වල ඉන්ෆිනිටි ස්ටෝන්ස් නම් මැණික් හය තමා සතුකර ගැනීමයි. සෑම ඉන්ෆිනිටි ස්ටෝන් මැණිකකටම ඊටම ආවේණික අසහාය බලයක් ඇති අතර ජනප්‍රවාදයේ හැටියට ඉන්ෆිනිට මැණික් තමන් සතුකරගන්නාට විශ්වයේම බලය හිමිවේ.

ඉන්ෆිනිටි මැණික් තමන් සතුකරගැනීම සඳහා තේනෝස් දියත්කරන මහා මෙහෙයුමත්, එය අසාර්ථක කිරීම සඳහා ඇවෙන්ජර්ස් කණ්ඩායම හා ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම එක්ව සිදුකරන සටනත් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයේ මුල්කොටසේදී විදහා දැක්වේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .  ________________________________________________________________________

Comments