අනුරාධපුර පැරණි මැද නුවර මහාපාලී දානශාලාව අසල සල්ගහවත්ත සොයාගැනීම
අනුරාධපුර සල්ගහවත්තේ මැටි බඳුන් කොටස් දකුණු ආසියානු පුරාවිද්‍යාවේ සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර, විශේෂයෙන්ම ලිවීමේ ක්‍රමවල ආරම්භය හා මුල් කාලීන ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෙම සොයාගැනීම ඉතා වැදගත් වෙනවා.
මුල්කාලීන බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් සටහන් සහිත මෙම මැටි භාණ්ඩ කොටස්, ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුරයේ අභ්‍යන්තර නගරයෙහි (ප්‍රාකාරයෙන් වට වූ මධ්‍යයෙහි) සිදුකළ කැණීම්වලදී සොයා ගන්නා ලද්දේ ආචාර්ය සිරාන් දැරණියගල ප්‍රමුඛ කණ්ඩායමක් විසිනුයි.
මෙම සොයාගැනීම මගින් දකුණු ආසියාවේ ලේඛණ කලාව පිලිබඳ අනුමානයන් වෙනස් කරන අතර මහින්දාගමනයට පෙර, එනම් අශෝක අධිරාජ්‍යයේ බලපෑම වැඩිවෙන්නට පෙරම ලංකාව තුල, ආවේණික අක්ෂර හා ලේඛණ කලාවක් දියුණුවෙමින් පැවති බවත් එම අක්ෂර කලාව අවුරුදු 2500ක්-2600ක් තරම් ඉපැරණි බවත් තහවුරු වෙමින් තියෙනවා.
මුල් ලේඛණ කළාව අශෝක අධිරාජ්‍යයට සම්බන්ධවූ බවට කලින් තිබූ නිගමන පෙරලා දැමූ සල්ගහවත්ත අක්ෂර
සල්ගහවත්ත සොයාගැනීම්වලට පෙර, දකුණු ආසියාවේ බ්‍රාහ්මී අක්ෂර පිළිබඳ මුල්ම පිළිගත් සාක්ෂි ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ විසූ අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයට සම්බන්ධ විය. එනම් මීට වසර 2200-2300කට පෙර කාලය විය.
කෙසේ වෙතත්, සල්ගහවත්තේ ඇති සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව හයවන සිට පස්වන සියවස් දක්වා දිව යන බැවින් (එනම් වසර 2500ක්-2600ක් පැරණි වීම මත), ලේඛණ කළාව දකුණු ආසියාවේ දකුණු ප්‍රදේශයේ එනම් ලංකාවේ ස්වාධීනව බිහිවූ බවට තර්කයක් ගොඩ නගනවා.
පුරාවිද්‍යාත්මක පසුබිම හා කැණීම් ඉතිහාසය
අනුරාධපුරය දළ වශයෙන් ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන සියවස දක්වා (එනම් ආසන්න වශයෙන් ක්‍රි.පූර්ව 400 සිට ක්‍රි.වර්ශ 1100 දක්වා වසර 1500ක්) ලංකාව නැමති දිවයිනේ දේශපාලන, ආගමික සහ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කළේය.
අනුරාධපුර නගරයේ මධ්‍යයේ කොටසක් වන සල්ගහවත්ත ප්‍රදේශය, මෙසොලිතික යුගයේ (වඩාත් දියුණු ගල් ආයුධ සාදාගත් ගල් යුගයේ මැද භාගය මෙසෝලිතික ලෙස හඳුන්වයි) සිට මධ්‍යකාලීන යුගය දක්වා විහිදෙන ගැඹුරු ස්ථර තැන්පතු වලින් සමන්විත වන අතර, විශේෂයෙන්ම යකඩ යුගයේ ස්ථර මෙහි සුවිශේෂී ලෙස පොහොසත්ය. අනුරාධපුර රාජධාණීය ලංකාවේ යකඩ යුගයේ ප්‍රධානම පරිපාලන හා ආගමික මධ්‍යස්ථානය වූ බව මෙහිදී සන්දර්භය වටහා ගැනීම සඳහා මතක තබා ගැනීම වැදගත්වේ.
අඩි 30 ක පමණ ගැඹුරකට ළඟා වන මෙම පැරණි කෞතුක වස්තූන් රැගත් පාංශු ස්ථර, අඛණ්ඩ ජනාවාස පිළිබඳ සාක්ෂි ආරක්ෂා කරයි. මේවාට යකඩ මෙවලම්, කෘෂිකාර්මික අවශේෂ (උදා: වී ඇට), හීලෑ කරන ලද සත්ව අස්ථි (අශ්වයන් සහ ගවයන්), සහ කාලයට ගැලපෙන ලෙස දියුණු මැටි තාක්ෂණයක් පෙන්නුම් කරන උසස් තත්ත්වයේ මැටි භාණ්ඩ කොටස් තිබෙනවා.
සල්ගහවත්තේ මුල්ම කැණීම්
සල්ගහවත්තේ මුල්ම කැණීම් කටයුතු 1988 වසරේදී, එවකට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ආචාර්ය සිරාන් යූ. දැරණියගල මහතා විසින් සිදු කරන ලදි. අනුරාධපුරයේ ආරම්භය පිළිබඳ පුළුල් පරීක්ෂණවල කොටසක් ලෙස, නාගරිකයට පෙර පැවති ජනාවාස අවධීන් ගවේෂණය කිරීම සඳහා ආචාර්ය දැරණියගල විසින් පැරණි අනුරාධපුර නගරයේ මධ්‍යයේ තිබූ සල්ගහවත්ත තෝරාගෙන තිබුණි.
ඔහුගේ පර්යේෂණ වලින් මගින්, විකිරණ කාබන් කාලනිර්ණ ක්‍රමයට අනුව ක්‍රිස්තු පූර්ව 900–500 අතර කාලයට අයත් ප්‍රාග්-ඓතිහාසික යකඩ යුගයේ පාංශු ස්ථර සොයාගන්නා ලදී. පැරණි බ්‍රාහ්මීය අකුරු සහිත, ක්‍රිස්තු පූර්ව 600–500 කාලයට අයත් යයි සැලකෙන මැටි බඳුන් කොටස් හමුවුනේ මේ කැණීම් වලිනි.
මෙම සොයාගැනීම් අනුව, ක්‍රිස්තු පූර්ව 700–600 වන විට අක්කර 35-65 ක ජනාවාසයක් පැවති බව පෙන්නුම් කරන අතර, එයට දියුණු ලෝහ විද්‍යාව, කෘෂිකර්මාන්තය සහ මූලික නාගරීකරණය ලක්ෂණයන් හමුවී තිබෙනවා.
ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් සිරාන් දැරණියගල සොයාගත් අක්ෂරවල ඉපැරණි භාවය සැක පලකරයිසිරාන් දැරණියගලගේ කාලනිර්ණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විද්වතුන් අතර පැවති සැක සංකා හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් යලිත් පරියේෂණ හා කාළනිර්ණ ප්‍රයත්නයක් දියත්වුන්නා. ඒ අනුව 1989 සහ 1994 අතර කාලය තුළ, බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් සිරාන් දැරණියගල මහතාගේ සල්ගහවත්ත 2 (ASW2) පරීක්ෂණ අගල් තවදුරටත් පුළුල් කරමින් වඩාත් පුලුල්ව විමර්ෂණ කටයුතු ඇරඹුනා.
මෙම කණ්ඩායමට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ එෆ්. රේමන්ඩ් ඕල්චින් (F. Raymond Allchin) සහ එවකට ඩර්හැම් විශ්ව විද්‍යාලයේ රොබින් කෝනිංහැම් (Robin Coningham) නායකත්වය ලබා දුන්නා.
බ්‍රිතාන්‍ය ඇකඩමිය සහ ෂෙල් පුරාවිද්‍යා අරමුදල මගින් අරමුදල් සපයන ලද මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන්ම යකඩ යුගයේ සිට මුල් ඓතිහාසික යුගය දක්වා වූ පාංශු-ස්ථර අනුපිළිවෙල නැවත පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කලා.
කෝනිංහැම්ගේ විස්තීර්ණ වාර්තා (Coningham 1999, 2006) මගින්, විකිරණ කාබන් කාලනිර්ණයට අනුව ක්‍රිස්තු පූර්ව 450 න් පසු කාලයට අයත් ස්ථරවලින් බ්‍රාහ්මී සෙල්ලිපි සහිත මැටි භාණ්ඩ තිබීම තහවුරු කලා. මෙය දැරණියගලගේ කාල නිර්ණය තරමක් සීරුමාරු කළද, අශෝක සෙල්ලිපිවලට වඩා මෙම අක්ෂර පැරණි බව සනාත වූනා.
සල්ගහවත්තේ මැටි බඳුන් කොටස් අවම වශයෙන් බඳුන් හතක කැබලි වලින් සමන්විත වන අතර, ඒවා ප්‍රධාන වශයෙන් මූලික ස්ථාන දෙකකින් සොයා ගන්නා ලදි: 1988 දී මහපාලි දානශාලාව ආසන්නයෙන් සහ 1989-1994 කැණීම්වලදී ASW 88 යන ස්ථානයෙනි.
මේ අක්ෂර සටහන් කර ඇත්තේ බඳුන මත කැපෙන ආයුධයකින් සීරීමෙනි. මෙම අක්ෂර සටහන් මැටිබඳුන් පිළිස්සීමෙන් පසු සිදුකල ඒවා ලෙස සනාත කරගෙන ඇත. එනම් යම් අයෙක් සිය අයිතිය හෝ වෙනත් අයෙකුට පැවරීම (දන් දීම ) වැනි දෙයක් සටහන් කිරීම සඳහා මෙම අක්ෂර කොටා ඇති බව විද්වත් මතයයි.
මේ අක්ෂර බොහෝ නූතන දකුණු ආසියානු අක්ෂර පද්ධතිවලට වඩා පැරණි මූලික අවධියේ බ්‍රාහ්මීය අක්ෂරවල ලක්ෂණ ඇති බවද පැහැදිලි වෙන අතර ඒවා සමහරක් වල තේරුම් අනුමාන ලෙස සොයාගෙන තිබෙනවා.
ක්‍රිස්තු පූර්ව 600–500 කාලයට අයත් බවට කාබන් විකිරණ පර්යේෂණ වලින් සනාත වී ඇති එක් මැටි බඳුන් කැබැල්ලක කොටා ඇති අක්ෂරවලින් බිය අනුරාධි (හෝ "බිය අනුරාධිකා") යන අරුත දෙන බවත් බිය යන්නෙන් එක්කෝ පුද්ගල නාමයක් නැතහොත් යම් ආකාරයක දන් දීමක් හැඳින්වෙන බවත් (දෙකෙන් කුමක්ද යන්න පැහැදිලි නැත ) අනුරාධික / අනුරාධිකා යන්නෙන් අනුරාධපුරය යන්න කියවෙන බවත් පැවසෙනවා.
එමගින් එම බඳුනේ කොටා ඇත්තේ
(1) අනුරාධපුරයේ විසූ බිය නම්වූ පුද්ගලයා තමන්ට අයත් වටිනා මැටි භාජනයක තම අයිතිය සටහන් කිරීම
හෝ
(2) අනුරාධපුරයේ යම් පූජනීය ස්තානයකට හෝ දාන ශාලාවකට දන්දෙන ලද මැටි බඳුනක ඒ බව සටහන් කිරීම
විය හැකියි.
Comments
Post a Comment