NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

SEDAN, HATCHBACK, LIFTBACK, ROADSTER: විවිධ වාහන වර්ග නිවැරදිව හඳුනගන්න

අලුත් වාහන ගන්න හැමෝම උනන්දුවෙන් ඉන්න මේ කාලේ බොඩි ස්ටයිල් එක අනුව විවිධ වාහන වර්ග නිවැරදිව හඳුනගන්න හැටි මේ ලිපියෙන් කියල දෙන්නම්.

වාහන වර්ගීකරණය රටවල් වලින් රටවල් වලට වෙනස් වෙනවා. යුරෝපය, ජපානය, ඇමරිකාව වගේ දැවැන්ත වාහන නිෂ්පාදකයින් ඉන්න කලාපවල ඔවුන්ටම ආවේණික යෙදුම් තියෙනවා.

මේ ලිපියේ දැක්වෙන්නේ වාහන වර්ගීකරණයේ ජපන්-යුරෝපා භාවිතාව

(1) MICRO CARS

වෙළඳපොලේ තියෙන පොඩිම, වගේම අඩුම පහසුකම් හා ආරක්ෂාව තියෙන වාහන වර්ගය. මේවා නගරවල කෙටි ධාවන කටයුතු සඳහා වඩාත් සුදුසුයි. උදාහරණයක් විධියට Tata Nano

(2) KEI CAR / CITY CAR IN JAPANESE


කේ-කාර් කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරන, කුඩාම කාර් මාදිලියකට. සාමාන්‍යයෙන් මයික්‍රෝ කාර්වලව වඩා ඉඩ පහසුකම් වගේම ආරක්ෂාවකුත් මේ වාහන වල තියෙනවා. කේ-කාර්වලට හොඳම උදාහරණය Suzuki Wagon R StingRay.

(3) SEDAN/SALOON

කාර් මාදිලි අතරින් වැඩිම සුවපහසුව, ඉඩපහසුකම් හා වැඩිම ආර්ක්ෂාව තියෙන වාහන වර්ගය සෙඩෑන් නැතිනම් සැලූන් කියන වර්ගය. විවිධ නිෂ්පාදකයින් මේවා විවිධ ප්‍රමාණවලින් නිපදවුවත්, ඔවුන් නිපදවන වාහන අතරින්, ඔවුන්ගේ සැලූන්/සිඩෑන් මාදිලිය, අනෙක් වාහන වලට වඩා විශාල, පහසුකම් හා ආරක්ෂාව වැඩි වාහන මාදිලය වනු නිසැකයි.

ඒ වගේම සැලූන්/සිඩෑන් රථයක්, සාම්ප්‍රදායික කාර් එකක හැඩය, එනම් බොනට්ටුවක් හා පිටුපස බූට් එකක් (ට්‍රන්ක්) එකක් ඇති ආකාරයට, දොරවල් 4 වාහනයක් ලෙස හැඩගස්සලා තියෙනවා.

ප්‍රමාණයෙන් විශාල වුනත් දොර 5ක් තියෙන ස්ටේෂන් වැගන් වගේ මාදිලි, සිඩෑන්/සැලූන් ලෙස හඳුන්වන්නේ නෑ. උදාහරණ විධියට Toyota Camry, Nissan Altima, BMW 5 Series, 7 Series, Mercedes S Class, Jaguar XJ.

(4) COMPACT


කොම්පැක්ට් කාර් විධියට හඳුන්වන්නෙ  සිඩෑන් කාර් මාදිලියේ උප-කුළකයක්. කොම්පැක්ට් කාර් මාදිලිය සිඩෑන් එකට වඩා මදක් කුඩා, පිරිමැසුම් දායක වාහනයක්. ඒත් බොඩි ස්ටයිල් එක සිඩෑන් වගේමයි. උදාහරණ විධියට Toyota Corolla, Mitsubishi Mirage, Suzuki Dzire,  ගන්න පුලුවන්.

(5) HATCHBACK / HOT HATCH


යුරෝපයේ වගේම ආසියාව ගොඩක්ම ජනප්‍රිය වාහන වර්ගයක් හැච්බැක් මාදිලිය ගන්න පුලුවන්. හැච්බැක් මාදිලියට ඕනෑ තරම් උදාහරණත් තියෙනවා. Suzuki Swift, Suzuki Celerio, VW Polo, Toyota Aqua ලංකාවෙ ජනප්‍රිය හැච්බැක් වාහන.

හැච්බැක් වාහන සාමාන්‍යයෙන් දොර 5 වාහන. පිටුපස දොර, වාහනයේ වහලයට සවිකරලා උඩට අරින විධියට හදලා තියෙන්නෙ.

Hot Hatch කියන්නේ World Rally  Council (WRC) මෝටර් රේසින් වලට යොදාගන්න high powered හැච්බැක් වර්ගයේ වාහන වලට කියන නමක්. වෙළඳ පොලට එවන street legal අධිබල හැච්බැක් වලට හොට් හැච් කියනවා.

(5) SUBCOMPAT CROSSOVER / COMPACT SUV



සබ්කොම්පැක්ට් ක්‍රොස්-ඕවර් කියන්නෙ හැච්බැක් පෙනුම තියෙන, ඒත් ඊට වඩා මදක් විශාල, කුඩා ප්‍රමාණයේ SUV එකක් කියලත් හඳුනගන්න පුලුවන් වාහනයක්. සාමාන්‍යයෙන් SUV එකක හැඩය, SUV එකකට සමාන පොලොවෙ ඉඳන් උස (ground clearence)  තිබුණත්, SUV එකක තියෙන පහසුකම් සමහර ඒවා සබ්කොම්පැක්ට් ක්‍රොස්-ඔවර් එකක නෑ.

උදාහරණ විදියට  Toyota C-HR, Hyundai Venue,  Honda HR-V (Honda Vezel) ගන්න පුලුවන්.

(6) LIFTBACK / FASTBACK / SPORTBACK



ලිෆ්ට්බැක් නැතිනම් ෆාස්ට්බැක් (අව්ඩි මෙය ස්පෝට්බැක් ලෙස හඳුන්වනවා) එකක පෙනුම සාමාන්‍යයෙන් වඩාත් දිගින් වැඩි හැච්බැක් එකක් වගේ. දොර 5ක් තිබෙන අතර 5 වැනි දොර, හැච් බැක් එකක් වගේ උඩට විවෘත කරන්න පුලුවන්. ෆාස්ට්බක් /ලිෆ්ට්බැක් එකක් ස්ටේෂන් වැගන් එකක් තරම් විශාල නෑ.

ලංකාවෙ හොඳම උදාහරණ Toyota Prius, Honda Insight, Hyundai IONIQ, BMW 6 Series Gran Turismo, Audi A5 Sportback, Audi A7 Sportback

(7) ROADSTER/CABRIOLET




රෝඩ්ස්ටර් හෙවත් කැබ්‍රිඔලෙ කියලා හඳුන්වන්නෙ දොර දෙකේ, වහලය රහිත open top වාහනයකට. ඕනෑම වේලාවක හකුලන්න, විවෘත කරන්න පුලුවන් විධියට ලෙදර් වලින් නිර්මාණය කල වහලයක් (soft top) තියෙන මේ වාහන, ධනවතුන්ට වේගවත් ධාවනයෙන් ප්‍රීති වෙන්න, වගේම සිය ධනය ප්‍රදර්ශණය කරන්නත් මිළ අධික Sports Car විධියට නිර්මාණය කරලා තියෙනවා. 

රෝඩ්ස්ටර්/කැබ්‍රිඕලෙ වාහන මාදිලියේ තවත් වැදගත් ලක්ෂණයක් වෙන්නෙ ඉදිරිපස අසුන් දෙක පමණක් තියෙන, කුඩා ප්‍රමාණයේ වාහන වීමයි.

විවිධ නිෂ්පාදකයින් තමන්ගේ වාහන රෝඩ්ස්ටර්  නැතිනම් කැබ්‍රිඔලෙ විධියට හඳුන්වනවා. සමහර නිෂ්පාදකයින් රෝඩ්ස්ටර් කියලා එක් මාදිලියකුත්, ඊට ටිකක් වෙනස් විධියකට කැබ්‍රිඕලෙ කියල තව මාදිලියකුත් ඉදිරිපත් කරනවා. කොහොම වුනත් මේ වාහන වල මූලික ලක්ෂණ බොහොමයක් සමානයි.

BMW Z4, Mercedes-AMG GT, Jaguar F-Type,  Porsche 911 Cabriolet උදාහරණ විධියට ගන්න පුලුවන්.

(8) CONVERTIBLE





කන්වර්ටිබල් කියන්නෙ දොරවල් දෙකේ, ඒත් ඉදිරිපස අසුන් දෙකට අමතරව පිටුපස අසුන් දෙකකුත් තියෙන 4දෙනෙකුට හෝ 5 දෙනෙකුට ගමන් කරන්න පුලුවන් රෝඩ්ස්ටර්/කැබ්‍රිඕලෙ වාහනයක්.

Mercedes E Class Convertible, BMW 8 Series Convertible, Aston Martin DB11 Convertible උදාහරණ ලෙස ගන්න පුලුවන්.

(9) TARGA


කැබ්‍රිඔලෙ මාදිලියේ හා ටාර්ගා මාදිලියේ වෙනස ඡායාරූපයේ පැහැදිලිව පෙනෙනවා. ටාර්ග මාදිලියේ පිටුපස ආවරණය වන විශාල වීදුරුවක් තිබෙනවා. ටාර්ගා මාදිලියේ හා කැබ්‍රිඕලෙ මාදිලියේ ප්‍රධානම වෙනස එයයි. ටාර්ගා මාදිලිය හඳුන්වාදීමේ ගෞරවල ජර්මනියේ පෝෂ සමාගමට හිමිවෙනවා.

(10) COUPE



කූපෙ විධියට හඳුන්වන්නෙ දොර දෙකේ, ඉදිරිපස අසුන් දෙක පමණක් තියෙන, හාඩ් ටොප් - ඒ කියන්නේ ස්ථිර වහලයක් සහිත ස්පෝර්ට්ස් මාදිලියේ වේගවත් ධාවනයට නිර්මාණය කරපු කාර් රථයක්. 

Aston Martin Vantage Coupe, Mercedes AMG-GT Coupe දොර දෙකේ කූපෙ වාහන වලට උදාහරණ

වාහන නිෂ්පාදකයින් මේ මූලික වාහන වර්ග තමන්ට ආවේණික, විවිධාංගීකරණයට බඳුන් කරන නිසා කූපේ මාදිලියත් දැන් වෙනස් වෙනවා. මර්සෙඩීස් හා බී.එම්.ඩබ්ලිව් සමාගම් දෙකම දොර හතරේ කූපේ වාහනත් දැන් හඳුන්වාදීලා තියෙනවා. Mercedes AMG-GT 4 Door Coupe උදාහරණ



Comments